Friday, April 21, 2017

නිරාගමිකයා,බෞද්ධයා, හා උපාසකයා


ලංකාවේ සිංහල බෞද්ධ උගතුන් යම් කිසි ප්‍රමාණයක් දැන් දැන් නිරාගමිකයන් බවට පත් වන ප්‍රවණතාවයක් දැක ගැනීමට ඇත. 
Image result for atheism


මෙයට හේතු සොයා බැලීම කාලීන අවශ්‍යතාවයක් ලෙස මට සිතේ.
මෑතකාලීනව බොහෝ සාම්ප්‍රදායික බෞද්ධ පවුල් වලින් බිහි වන උගතුන් සිංහල බුද්ධාගම අත්හරිනවා පමණක් නොව පන්සලේ ඇති අපගාමී චර්‍යාවන් ආදිය මතුකරමින් බුද්ධාගම හරයක් නැති තවත් එක ආගමක් ලෙස හුවා දක්වමින් සිටිති.

මෙහිදී මා සලකන්නේ බුද්ධාගම සැබැවින්ම ආගමක්ද යන්න සොයා බැලිය යුතු බවයි.
ඊට ප්‍රතම සොයා බැලිය යුත්තේ ආගමක් යනු කුමක්ද යන්නයි. අවිඥ්ඥානිකව බොහෝ දෙනා ආගම් ගැන දැන සිටියත් ආගම් වෙනුවෙන් යුධ ප්‍රකාශ කලත් ආගමක් යනු කුමක්දැයි වටහා ගත්තෝ අල්පය.

ආගම
මේ වචනය සෑදුනු හැටි හෝ එය විවිධ භාශාවලින් යෙදෙන හැටි ගැන සෙවීමට මෙහිදී වෙහෙසිය යුතු නැත. අද වන විට ආගම යන සිංහල වදනත් "religion" යන ඉංග්‍රීසි වදනත් සියයට සියයක්ම එකම අරුතකින් භාවිතා කෙරේ.
ඒ අනුව ආගමක් (Religion) සතුව
ආගම් කතෲ වරයෙකු සිටීම
ආගමික සංස්ථාවක් පැවතීම
විශ්වාසයන් සමුදායක් පැවතීම
ඇදහීම් ක්‍රම හා පූජා විධි පැවතීම
අනිවාර්‍යයෙන් සුරැකිය යුතු සම්ප්‍රධායන් පැවතීම
දුක කියා පිහිට ඉල්ලා සිටීමේ අවස්ථාවක් තිබීම

වැනි සරළ පොදු ලක්ෂන රැසක් හඳුනා ගත හැකිය.

මගේ හඳුනා ගැනීමේ හැටියට සිංහල බෞද්ධයන්ගේ බුද්ධාගම සැබැවින්ම ආගමකි. එහි ඉහතසඳහන් සෑම සියළු ලක්ෂණයක්ම අඩංගුය.

නම් වශයෙන් හිංදු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, යුදෙව් ආදී ඕනෑම ආගමික විශ්වාස පද්ධතියක් තුල මේ සෑම ලක්ශනයක්ම එකම අයුරින් සමන්විතය. එහෙත් ඇදහිලි ක්‍රම හා සම්ප්‍රදායන් වල ඒ ඒ සංස්කෘතීන්ට අදාල වූ වෙනස්කම් පමණක් හඳුනා ගත හැකිය.

නූතන නිරාගමිකයන් බවට පත්වන බුද්ධාගම්කාර පවුල් වල උගත් දරුවන් ප්‍රභලවම ගැටෙන්නේ මෙන්න මේ කී බුදු දහම පාදකව පිහිටුවාගෙන ඇති ලෞකික ආගමික සංස්ථාවක් වන බුද්ධාගම සමගින්ය.

එලෙස මේ සාම්ප්‍රදායික ආගමක් වූ බුද්ධාගම හා ගැටෙන උගත් බුද්ධිමත් නව පරපුර (නව පරපුර කීවාට අප අයත් පනස් විය ඉක්මවූ උගතුන්ද මේ කුලකයට අයත් වේ ) ඒ තුලින් විවේචනයට ලක් කරන්නේ බුදු හිමියන්වය, බුදු හිමියන්ගේ දහමය.

මේ  අත්තෝනෝමතික විවේචනය මුලාවකි. බුදු දහමේ උගන්වන්නේ කුමක්දැයි නොදැන කරන විවේචනයකි.
ඔවුන් සැබැවින්ම, පුවත් පතක මාතෘකා පාඨ පමණක් කියවා අන්තර්ගතය සිතින් මවා ගමේ කඩ මණ්ඩියේ කයිවාරු ගසන්නන් වැනිය.

රේරුකානේ හිමියන්ගේ පොත්වලින් කඩල ගොටු ගැසීම.
Image result for rerukane chandawimala thero books

මේ මා ඉතා මෑතකදී කියවූ බ්ලොග් ලිපියක අන්තර්ගත වූ කාරනයකි. මේ ලිපි රචකයා කියන්නේ රේරුකානේ හිමියන්ගේ පොත් වලින් වැඩ්ක් ගත හැකි බවත් ඒවානම් කඩල ගොට්ටක් ගසා ගැනීමට හෝ අවශ්‍යනම් හදිස්සියකට ගන්ජා සුරුට්ටුවක් ඔතා ගැනීම වැනි වැඩකට බවයි.
මේ කියමන දකින් බුද්ධාගම් කාරයෙකු මෙයින් කැළඹීමකට පත්විය හැකිය. අපොයි අර යකා අපා ගත වෙන්නට හදනවා යැයි විස්සෝප වන්නට හැකිය. ආගම් අදහන්නන්  ගේ හැටි එසේය.

එහෙත් මා කියන්නට තනන්නේ මේ ආකාරයෙන් බරපතල විවේචනයක් එම පොත් කෙරෙහි එල්ල කරන බ්ලොග් රචක සහෘදයා එම පොතෙහි සඳහන් එකදු කරුනක් වත් විමර්ශන ශීලීව හෝ අඩු තරමින් තර්කානුකූලව බිඳ හෙලීමක් නොකරන බවයි. එසේනම්, ඔහු මෙවැනි කථාවක් කීමෙන් බලා පොරොත්තු වන්නේ කුමක්ද? පැහැදිලිවම ආගම් භක්තිකයන් උරණ කරවා ඒ තුලින් පොරක් වීමටත් නූතන බ්ලොග් චන්ඩින් අතර සම්මතයට ගරහන නිර්භීත බ්ලොග්  චන්ඩියෙකු ලෙස වැජබීමටත්ය.

අදාල ලිපිය හුදෙක් හිස් "චන්ඩි පාට්" එකක් බව කියා මා ප්‍රථිචාරයක් දැමුවද එයට කිසිදු පිළිතුරක් රචකයා ගෙන් මෙතුවක් ලැබී නැත.

පටලවා ගත් පංචස්කන්ධය
තවත් බ්ලොග් සාකච්චාවකදී සත්ත්වයෙකු වීමට නම් පංචස්කන්ධයක් දැරිය යුතුයැයි මා කියා සිටි විට නිරාගමිකයෙකු ලෙස පෙනී සිටින එම උගත් බ්ලොග් කරු පෙරලා විමසුවේ පංචස්කන්ධයක්ම අවශ්‍යයිද යන්නයි. එවිට මා ස්කන්ධ 5 සවිස්තරාත්මකව පෙන්වා දුන් කල ඔහු නිහඬ වෘතයකට පිවිසුනි. මින් මා වටහා ගත්තේ බොහෝ දෙනෙකු මෙන් ඔහුත් පංචස්කන්ධය යනු පංච ඉන්ද්‍රිය ලෙස වරදවා වටහා ගෙන උන් බවකි. බුදු දහම යනු තවත් එක ආගමකියි පෙන්වීමටත් බුද්ධාගමේ වැරදි හරහා බුදු දහමට ගැරහීමටත් වෙර දරන බොහෝ දෙනාගේ බුදු දහම පිළිබඳව වූ දැනුම එයාකාරය.


මෑතකදී ප්‍රවීන බ්ලොග් රචක අටම්පහුර කතුවරයා සල්ගාදු නමින් පන්සලක් ආස්‍රිත කථාවක් කෙටි කථාවක් ස්වරූපයෙන් එලි දැක්වීය. මේ කථා කරන්නේ බුද්ධාගමේ ආගමික ස්ථානයක් වූ පන්සලක් ඇසුරේ බුද්ධාගමේ නියෝජිතයන් වූ හාමුදුරු කෙනෙකුගේ චර්‍යාවයි. මෙය හිතලුවක් සේ බැහැර කිරීම හෝ බුද්ධාගමට අගෞරව කිරීමක් සේ ගත යුතු නැත. බුද්ධාගම යනු ගෞරවනීය විද්‍යාවක් හෝ දැනුම් පද්ධතියක් නොවන නිසා මෙවැනි කථා තුලින් බුද්ධාගම් කාරයින් ගැටුමට ලක් විය හැකිය. එහෙත් මේ යථාර්ත වාදී කථාවෙන් හාස්‍යයට ලක් කෙරෙන්නේ බුදු හිමියන් දෙසූ දහම නොවෙයි. වටහා ගත යුතු සත්‍යය එයයි.
මෙවැනි රචනා හරහා දහම  හාස්‍යයට ලක් කිරීමට තැත් දරන්නන් කෙරෙහි අනුකම්පා කිරීම හැර කල හැකි අනිකක් නැත.

_________________________

නැවත මුල් මාතෘකාවට එළැඹෙමින්, ඉහත සඳහන් කාරනා අනුව ආගමක් අරුත් දැකිවිය හැකිනම් ඒවා ප්‍රථික්ශේප කරන උදවිය නිරාගමිකයින් ලෙස හැඳින්වේ නම්, මාද නිරාගමිකයෙක්මි.

බුදු හිමියන්ගේ දහම පිළිගන්නා අයෙකු නිරාගමිකයෙකු විය හැක්කේ කෙසේද?

මෙය ඉතා ගැඹුරින් විමසා බැලිය යුත්තකි.
බුදු හිමියන්ගේ දහම යනු දැනුම් පද්ධතියකි. බුදු හිමියන්ම අගය කොට ඇති පරිදි එය ප්‍රායෝගිකව භාවිතා කිරීමෙන් අවබෝධ කොට ගත යුතු දැනුම් පද්ධතියකි.
එහි වැඳුම් පිදුම් කිරීමෙන් අවසන් ඵලය කරා එළැඹීමේ මගක් නැත.
යැදීම් නැත
ආශ්චර්‍යයන් නැත
සියල්ලටම වැඩියෙන් එහි මැවුම් කරුවෙකු නැත.
ඒ වෙනුවට ඉතා ගැඹුරු හේතු ඵල දහමක් ඇත.

ඉතින් මෙය ආගමක් වන්නේ කෙසේද?

ඒ අනුව බුදු හිමියන්ගේ දහම දැක ඇති, එය වටහා ගත යුත්තක් බව තේරුම් ගෙන එය ඇසුරු කරනා නිරාගමිකයෙකි.

දහම පිළිගන්නා තැනැත්තා පරිපූර්ණ ලෙස දහම අවබෝධ කල අයෙකු විය යුතු නැත. එහෙත් දහමෙහි ඇති යම්කිසි කොටස් වටහා ගැනීම තුලින් දහමේ හරවත් බව දැක තව දුරටත් එය වටහා ගැනීම සඳහා විමර්ශනය කරන පුද්ගලයා බුදු දහම පිළිගන්නෙකු වේ.

දැන් යමෙකුට මේ ආකාරයෙන් බුදු දහම දකින්නෙකු ආගම් භක්තිකයෙකු යැයි නම් කිරීමේ හැකියාවක් ඇතිද?



බුදු හිමියන්ගේ දහම තුල එදා බෞද්ධයන් හෝ බුද්ධාගම් කාරයින් සිටියේ නැත. බුද්ධාගම් කාරයින් සිටීමට බුදු හිමියන් ආගමක් දේහනා කලේද නැත.

උපාසකයා
බුදු හිමියන් වහන්සේ තමන් වටහා ගත් ලෝක ධර්මය හෙවත් වෙනත් ඈසකින් ලෝකය බැලීම හා ඒ තුලින් පරම වූ ලෝක සත්‍යය වටහා ගන්නා ආකාරය මිනිස් වර්ගයා හට කියා දෙනු ලැබීය.
එය දැනුම් පද්ධතියකි
විද්‍යාවකි.

එය සැකෙවින් වටහා ගෙන ඒ මගට පිවිසෙන මිනිසුන් උන් වහන්සේ හැඳින්වූයේ "උපාසක " යනුවෙනි.

මේ කියන්නේ සුදු රෙද්දක් හැඳ, මල් වට්ටියක් හිස තබාගෙන සිටින අනුන්ට අංචි අදින උපාසක ප්‍රථිරූපකයන් ගැන නොවෙයි.

නිරාගමිකයාත්, බෞද්ධයා හෙවත් බුද්ධාගම් කාරයාත්, උපාසකයාත් යනු එසේය.....

නිරාගමිකයා දෘශ්ඨිවාදියෙකු වන්නේ කෙසේදැයි ඉදිරි ලිපියකින් සාකච්චා කිරීමට බලා පොරොත්තු වෙමි.

මෙසේ මේ ලියන මා ජීවිතයේ කිසිදු දිනයක දහම් පාසැලකට පය නොතැබූ, මේ තාක් කල් ජීවිතයේ එකම එක වතාවක් හෝ (ළමා කාලයේදී වත් ) අටසිල් සමාදන් නොවූ පුද්ගලයෙකු බව කියවන උදවිය දැන ගැනීම වැදගත් වේ යැයි සිතමි.

Thursday, April 6, 2017

කෝටිපතියෙක් අහින්සක හිඟන්නෙක්ව හප්පලා මරලා !


මේ පහු ගිය දවස් වල ගොසිප් පුවත් වල බොහෝම ජනප්‍රියව කථා වුනු මාතෘකාවක්.
මේ මාතෘකාවෙන් චෝදනා ලබන පුද්ගලයා කෝටිපතියෙකු ලෙස දැක්වීම මගින්ම පොදු ජනතාවගේ විරුද්ධ වාදියෙකු අපරාධකාරයෙකු වැනි පූර්ව නිගමනයක් කියවන්නා තුල ඇති කිරීමට උත්සහ කිරීමක් දක්නට ලැබෙනවා.

අනතුර සිදුකල රථය යැයි "ගොසිප් ලංකා නිව්ස්" වෙබ් අඩවියෙහි පල වී තිබූ ඡායාරූපයක්.


ඊට අමතරව චුදිතයා තවත් උප කුලකයකට බෙදා දැක්වීමක් සඳහා අලුතින්ම මේ මාතෘකාවට ඔහුගේ නම මොහොමඩ් ලෙස දක්වා තිබෙනවා. අන්න ඒ නිසා දැන් පොදුවේ මොහොමඩ් ලාට එරෙහි පුද්ගලයින් මේ මිනී මරුවා එල්ලා දැමිය යුතුයි කියන තැනට පවා පත්ව තිබෙනවා.

එහෙත් මේ සමස්ථ සිදුවීම දෙස බැලීමේදී අපට පෙනෙන ආකාරයට මෙය චේතනාන්විතව සිදු කල ඝාතනයක් ලෙස හුවා දැක්වීමේ හැකියාවක් නැහැ. එහෙත් ඇතැම් විට අදාල චුදිතයා සැඟවීයාමට හේතු වූයේ එම අවස්ථාවේ ඔහු බීමතින් සිටි නිසා විය හැකියි. එහෙත් දැන් එම චෝදනාව ඔහු වෙත එල්ල වන්නේ නැහැ.

එනමුත් මේ රියැදුරා (ඔහු කෝටිපති ගනකාධිකාරී වරයෙකු  නොවෙයි රටේ ජනාධිපති වුවත් එය ඔහුගේ තරාතිරම පමණයි රිය පදවන විටදී ඔහු රියැදුරෙකි ) අනතුරක් කොට පලා යාමේ චෝදනාවෙනුත්, සාක්ෂි සඟවා ගැලවීමට තැත් කිරීමේ චෝදනාවෙනුත්, රිය අනතුරක් කොට මිනිසෙකු හට මරණය ගෙන දීමේ චෝදනාවෙනුත් ගැලැවෙන්නේ නැහැ. නීතිය ඉදිරියේ හිඟන්නාටත් ලැබෙනුයේ පොදුවේ මිනිසෙකු සතු අයිතිවාසිකම් මිස අන් වෙනස් වූ යමක් නොවෙයි.

මේ මිනිසෙකු මරණයට පත් වීමේ චෝදනාව නිසා දැන් අදාල රියැදුරා මේ වන විට දින 14ක රිමාන්ඩ් කාලයකට යටත් කොට අති වග ප්‍රවෘත්ති වාර්ථා කර ඇත.

එසේනම් දැන් බැලිය යුත්තේ මේ සිදුවීමේහි පසුබිමයි. අදාල අවස්ථාවේ මරනයට පත්වූ සිඟන්නා මාර්ගයෙහි කලේ කුමක්ද?
බොහෝ විට ඔහු බීමතින් හෝ අන් යම් මත්ද්‍රව්‍යයක බලපෑම මත මාර්ගයේ ඉබාගාතේ යමින් සිටියා විය හැකිය. (රාත්‍රියේ රථ වාහන පදවන ඕනෑම රියැදුරෙකු මෙවන් අවස්ථා වලට මුහුණ දී තිබිය යුතුය.) සිඟන්නන් හැඳ සිටින අඳුරු පැහැ කඩමාලු ඇඳුම් බොහෝ විට රාත්‍රියේ පහන් එළියෙන් රියැදුරෙකුට දර්ශණය වනවා ඉතාමත් අඩුය.
මේ පසු බිමෙන් බලනා විට රාජකාරි වල මුලු දිනයක් යෙදීමෙන් වෙහෙසවී රාත්‍රියේ රිය පදවන ඕනෑම රියැදුරෙකු අතින්  මෙවැනි වරදක් සිදු වීමේ ඉඩ ප්‍රස්ථාව ඉතාම විශාලය.
මෙවන් ප්‍රශ්ණයක් විග්‍රහ කිරීමේදී අදාල චුදිතයා දෙස බැලිය යුත්තේ "කෝටිපතියෙකු" "මොහොමඩ්" කෙනෙකු යන උප කුලක වලට ඔහු වර්ග කිරීමෙන් නොව, "රියැදුරෙකු" යන කුලකයට ඔහු වර්ග කිරීමෙන් පමණකි.
හෙට දිනයේදී මෙවන් වරදක් රාත්‍රියේ රිය පදවන ඕනෑම රියැදුරෙකු අතින් සිදුවිය හැකිය. ඒ රියැදුරා මෙය කියවන ඔබ හෝ ලියන මා නොවේයැයි කිසිවෙකුට සහතිකයක් දිය නොහැකිය.
ඒ ඔබ හෝ මා හෝ ඉහත සඳහන් චුදිත මොහොමඩ් හෝ වේවා ප්‍රතිපලය පළමුවෙන්ම දින 14ක රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමකි. ඔබ කොතරම් නිදොස් වුවත් එම ප්‍රථිපලයෙන් මිදීමට නොහැකිය. මීට මාස කිහිපයකට පෙර පුත්තලම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රියැදුරෙකු අතින්ද මාර්ගයේ සිටි සිඟන්නෙකු අනතුරට පත්ව මියගිය අතර රියැදුරා රිමාණ්ඩ් බන්ධනාගාර කිරීමකට යටත් විය. එහිදීද "ප්‍රයිවට් බස් කාරයෝ එලවන්නේ යක්කු වගේ, උන්ට උපරිම දඬුවම් දිය යුතුය" කියා සමාජය නිහඬ විය.

මා දකින ආකාරයට මේ ලෙස මාර්ගයේ අනාරක්ශිත ලෙස සිඟන්නන් ගැවසීම යනු රියැදුරන් මුහුණ දෙන අති බරපතල අභියෝගයකි.
කිසි සේත් වරදක් නොකර උපරිමයෙන් නීති ගරුකව රිය පදවන රියැදුරෙකු අතින් පවා හෙට දිනයේ මෙවැනි වරදක් වීමේ සම්භාවිතාවය ඉතා ඉහලය. මේ තත්වයට වග කිව යුත්තෝ කවුරුන්ද. මේ ගැන පවතින රජයට හෝ පොලීසියට චෝදනා එල්ල කරීම ඉතාම පහසුය.

එහෙත් ඇත්ත වශයෙන්ම මීට වගකිව යුත්තෝ පාරේ රිය පදවන ගමන් "පින්" කිරීමට උත්සහ දරණ තකතීරු රියැදුරන්ම මිස අනෙකෙකු නොවෙයි. බොහෝ දෙනා තමන්ටම මෙවන් අභාග්‍යයක් සිදු වන තුරු මේ යථාර්තය වටහා නොගැනීම අවාසනාවකි.
පාරේ ධාවනය වන වාහන වලින් සිඟන්නන්හට මුදල් දෙන අවස්ථා ඔබ කොතෙක් දක ඇතිද? මේ හඬ ගසන්නේ තමන්ගේම අභාග්‍යයට බව ඔවුන් නොදකිති. මේ පින පල දෙන්නේ හෙට දිනයේ රියැදුරෙකු (ඔබ හෝ මා හෝ රිය පදවන යමෙකු ) බන්ධනාගාර ගත කිරීමෙන් බව කිසිවෙකු නොදකී.

මේ සිදුවීම පාදක කරගෙන මේ ලිපිය කියවන යමෙකු වේද මා ඔබගෙන් ඉල්ලා සිටිනුයේ..
ඔබ පින් කිරීමට කැමැතිද ඒ සඳහා සුදුසු තැනක් තෝරා ගන්න. රථ වාහන ධාවනය වන මහා මාර්ගය පින් කරන තැනක් නොව, රටේ සම්මත නීති පද්ධතියකට යටත්ව ඔබගේ මගේ ගමන යාමට පමණක් ඉඩ පහසුකම් සලසා ඇති තැනකි.
නියමිත ස්ථානයේ ඊට අදාල කර්තව්‍යයේ පමණක් යෙදෙන්න.
තමන් හා අනුන් අනතුරේ නොහෙලන්න.





Saturday, April 1, 2017

කෙක්කෙන් හෝ කොක්කෙන් රැකගත යුතු ප්‍රජාතන්ත්‍රවාදය!

අප රටේ මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදය දකින ආකාරය හරිම අපූරු එකකි.

පෙර රජය සමයේ එහි පාක්ෂිකයන් දුටුවේ එය සම්පූර්ණ නොවූවත් ඉතා හොඳින් ප්‍රජාතන්ත්‍ර වාදය සුරැකෙන රජයක් ලෙසයි. එසේම එය බිඳ වැටුනහොත් අප දැනට බුක්ති විඳින ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් පවා අහිමිව යා හැකි බවකුයි.

එම නිසා කෙක්කෙන් හෝ කොක්කෙන් එම රජය රැක ගත යුතු බව එහි පාක්ෂිකයන් දැරූ පොදු මතයයි.

අද පවතින තත්වය.....
මේ රජයේ පාක්ෂිකයන්ට අනුව පෙර රජය පෙරලා දමා මෙම රජය ඉතා හොඳින් අපට ප්‍රජා තන්ත්‍ර වාදය ලබා දී ඇතැ දැන් අපි එය බුක්ති විඳින්නෝ වෙමු.
යම් එයකින් මේ රජය මැතිවරණයක් පරාජය වුවහොත් පෙර රජ කල ප්‍රජාතන්ත්‍ර විරෝධී රජය නැවත බලයට ඒවි.
එම නිසා ඡන්ද නොපවත්වා හෝ දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගත යූතුය.

මේ සංකල්ප දෙකේ වෙනසක් කිසිවෙකු දකීද?

මා දකින ප්‍රජාතන්ත්‍ර වාදය නම්
"යම් ප්‍රදේශයක බහුතරය මී හරකුන් නම් පාලකයා මී හරකෙකු විය යුතුය!"

මෙය වැලකීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීය.

Tuesday, March 28, 2017

ගන්ධබ්බයා කවුද?



ප්‍රකට බ්ලොග් රචක කොළඹ ගමයා හි අජිත් විසින් රචිත පුනර්භවය හා අන්තරාභවය ගැන ඔහු විසින් කරන ලද හැදෑරීමක් පදනම් වූ අන්තරා භවිකයෙකු ගැන කියැවුනු ලිපි පෙල තුල මා විසින් ඔහු හා වැඩිදුරට සාකච්චාවක යෙදුනි. එනමුත් මගේ දායකත්වය හිටි අඩියේ නවතා දැමීමට සිදු වීම නිසා ඒ මාතෘකාව ගැන මා දරන අදහස් මෙසේ සටහන් කොට තැබීම මැනැවැයි සිතුනු නිසා මේ ලිපිය සකස් කරමි.

පළමුවෙන්ම අපි මේ වචන පැහැදිලි කර ගත යුතුය
අන්තරාභවිකයා යනුවෙන් කීවිට එය ඉතා පැහැදිලිව භවයන් දෙකක් අතර සරන්නෙකු හෙවත්    භවයකින් නික්මුනු එහෙත් භවයක් නොලද්දෙකු වෙයි. එහෙත් මෙහි පුද්ගල භාවයක් පැහැදිලිවම කියැවෙන බව වටහා ගත යුතුය.
නොයෙකුත් පර්යේශණ මගින් ඇතැමුන් මේ අන්තරාභවිකයා සමග ගනුදෙනු කරනා බව සාක්ෂි සාධක සමග ඉදිරිපත් වෙයි.

දැනට අපි මේ සාකච්චාවට බඳුන් වන අන්තරාභවිකයා සතු පුද්ගල භාවය හෙවත් මතකයක් සහිත, සිතුවිළි පහල කරන, පුරුදු සහිත තත්වය පමණක් ධාරනය කර ගනිමු.

දැණ් ගන්ධබ්බයා යනු කවරෙකුදැයි විමසා බලමු.
ගන්ධබ්බ යන වදන ඉහතින් අර්ථ දැක්වූ අන්තරාභවිකයා යන සංකල්පය හා ගැලපෙන අරුතකින් මහායානයේ යෙදෙන බව බොහෝ තැන් වල මාද කියවා ඇත්තෙමි. එය පාදක කරගෙන අජිත් විසින් ඔහුගේ රචනා වලද මේ වචනය යොදාගෙන තිබුනි.
මෙය බුදු දහමේ කියැවෙන ආකාරය එය බව කියා පෑමට අජිත් විසින් මා හට ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා වල ද මේ ගන්ධබ්බ සංකල්පය කියැවෙන බව හා එයට උදාහරණ ලෙස මහා තණ්හාය සංඛය සූත්‍රය ද උපුටා දක්වන ලදී.

එහෙත් එම අදාල සූත්‍රයෙහි කියැවෙන "ගන්ධබ්බ" යන වදනින් ඉහත මා දක්වන ලද ආකාරයේ අන්තරාභවිකයෙකු අරුත් ගැන්වෙන්නේ කෙසේදැයි ඔහු පැහැදිලි කලේ නැත.

මෙය වදනක් නිවැරදිව අරුත් නොගන්වා දෙදෙනෙකු එකම වදනට අරුත් දෙකක් දරමින් කරනා ලද පුහු වාදයක් බවට පත් වූයේ මෙතැනිනි.

ගන්ධබ්බ යන වචනය මෙතැනින් ඉදිරියට භාවිතයට නොගත යුතු යැයි මා සිතමි ඒ වෙනුවට වඩා එකඟ විය හැකි යෙදුමක් වන අන්තරාභවිකයා යන යෙදුම මා භවිතා කරන්නට කැමැත්තෙමි.

අන්තරාභවයක් ගැන කථා කිරීමට අප භවය හඳුනා සිටිය යුතුය
භවය හඳුනා ගැනීමට සත්ත්වයා හඳුනා සිටිය යුතුය.
සත්ත්වයාගෙන් තොර වූ භවයක් ගැන කතා කිරීම අභව්ය කාරනයකි.

සත්ත්වයා යන සංකල්පය බුදු දහමෙහි හැඳින්වෙන්නේ ස්ඛන්ධයන් පහක එකතුවක් ලෙසිනි..
සෑම සත්ත්වයෙකුටම ස්ඛන්ද පහක්ම තිබිය යුතුද කිය එහිදී අතුරු පැනයක් පැන නැගුනු මුත් එය එසේම විය යුතුයැයි මා සිතමි.
මේ ස්ඛන්ධ පහ යනු
* සත්ත්වයාගේ සමස්ථ භෞතික ස්කන්ධය වූ රූපය.
(භෞතික වාදීව සිතන විට අපට සත්ත්වයා තුල හඳුනා ගත හැක්කේ මෙයම පමණි, ඉන් ඔබ්බෙහි කිසිවක් නැත )
* සත්ත්වයා පරිසරය හා ගැටීමේදී එයට දක්වන සංවේදී භාවය වන වේදනාව. (මෙය නාම ධර්මයක් හෙවත් නාමික වූ ස්ඛන්ධයකී,"සංකල්පයකි")
* තෙවැනි ස්ඛන්ධය වූ සංඤ්ඤාවෙහි පවතිනුයේ වේදනාවන් තුල ඇති පණිවුඩයයි. එය සත්ත්වයාගේ මතකය හා බැඳී පවතින්නකි. සත්ත්වයා සතු ඉගෙනුම නැමති හැකියාවද මෙයයි. (මෙයද නාම ධර්මයකි )
* සංඛාරය යනුවෙන් හඳුන්වන සිව්වැනි ස්ඛන්දය විසින් කියැවෙන්නේ විවිධ වූ සංඤ්ඤා එක් කර ඒවා ඇසුරින් වඩා සංකීර්ණ වූ සංකල්පයන් ගොඩනගා ගැනීමයි. අප අවට ඇති පරිසරය අනුව අප සිටින ස්ථානය ගැන අදහසක් ඇති කර ගැනීම වැනි.
* මේ සියල්ලට අමතරව ඇත්තේ විඤ්ඤානය යන පස් වැනි ස්ඛන්ධයයි. මෙය බොහෝ දෙනා ආත්මය වැනි පවතින සංකල්පයක් ලෙස වරදවා වටහාගැනීමක් කර ඇත. එසේම මරණයෙන් පසු  නැවත උපතක් සඳහා මියගිය තැනැත්තාගේ සිට අළුත් සත්ත්වයාගේ සිරුරට ඇතුළුවන ඒකකයක් ලෙසද වරදවා වටහා ගනිති.
එහෙත් ඇත්තෙන්ම විඤ්ඤානය යනු යම් කිසි වේදනාවකට යාවන සංඤ්ඤාව පදනම්ව ගොඩනැගෙන සංස්ඛාරය හඳුනා ගැනීමයි.

මෙය දහමෙහි ඉගැන්වෙන අයුරු ඉතාම කෙටි ක්ෂණයක් තුලදී යම් කිසි එක් සංස්ඛාරයක් හඳුනා ගැනීමෙන් කෙළවර වේ. එහෙත් අඛන්ඩව එකක් පසු පස එකක් ලෙසින් විඤ්ඤානයන් බිහි වෙමින් අනන්ත සංඛ්‍යාවක් වූ සංස්ඛාරයන් හඳුනා ගනියි.
මෙය අඛන්ඩ ක්‍රියාවලියකි..

ඒ අනුව දැන් අප සොයා බැලිය යුත්තේ සත්ත්වයා යනුවෙන් පවතින්නේ කුමක්ද යන්නයි.
රූපය යන සංකල්පය අද වන විට නූතන විද්‍යාවන්ගෙන්ද මනාව පැහැදිලි කල හැකි නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින් සංකල්පයකි. සිරුර සැදී ඇති පදනම රසායනික පරමාණු ලෙස ගත හොත්, කිසිදු පරමාණුවකට එහි උප පරමානුක අංශුන් ස්ථාවර නැති නිසා මෙය නිරන්තරවම වෙනස් වෙමින් පවතින එකම සැකිල්ලක් බව වටහා ගත හැකිය.

සියළු නාම ස්ඛන්ධයන් යනු රූපය මත ඇති වන භාහිර බල පෑම් නිසා ක්ෂනයක් පිණිස හටගෙන වියැකී යන නාමික සංකල්පයන්ය. එසේ වූ කල සත්ත්වයා යනුවෙන් වූ පවතින සංකල්පය කුමක්දැයි සිතා බැලිය යුතු වේ.

මේ මොහොතේ පවතින සත්ත්වයා යනු මේ මොහොතේ ඇති යම් කිසි සංස්ඛාරයක් විඤ්ඤානය කරන හා ඊට අනුරූප වූ සිතුවිල්ලක් පහල කරන පෙර විඤ්ඤානය මරා දමා සිතුවිල්ලට අනුරූප විඤ්ඤානයකින් සිතුවිල්ල ග්‍රහනය කරගන්නා සංකල්පයකි.
ඒ අනුව සත්ත්වයා යනු හුදු වර්ථමානයම (ක්ෂ්ණයක් පමණවත් නැති මේ දැන් පමණක්ම ) බව වටහා ගත හැකිය.

සත්ත්වයා තුළ ඇති පැවැත්මක් ලෙස අප වරදවා ගන්නේ මතකයයි. මතකයට අමතරව පුරුදු නම් වූ තවත් කොටසක් ඇත. සත්ත්වයෙකු තුල පුද්ගල භාවයක් හට ගනුයේ මේ ආකාර වූ මතකය හා පුරුදු නිසාවෙනි.

යම් කිසි පුද්ගලයෙකු තුල මතකය හා පුරුදු නොරැඳේද, ඔහු තුළ පැවතිය හැකි පුද්ගල භාවය කුමක්ද? එවන් වූ සත්ත්වයෙකු ක්ෂනයක් පාසා වෙනස් වන කිසිදු පැවැත්මක් නැති එකෙකු බව වැටහෙනු ඇත.

ඒ අනුව කුඩා කල සිටි මා දැන් සිටින මා නොවේයැයි කියන කියමන් වඩා හොඳින් වැටහෙනු ඇත. කුඩා කල සිටි මා හා දැන් සිටින මා අතර වූ එකම සම්බන්ධය නම් මතකය හා පුරුදු පම්ණි.
එසේනම් මේ දැන් සිටින මාද මීට මොහොතකට පෙර සිටි මාගේ මරණයෙන් පසු පැවැත්මයි.

දැන් අපි නැවත අන්තරාභවිකයා කෙරෙහි එලැඹීමට පෙර, භවය හඳුනා ගනිමු.
භවය යන සංකල්පය වඩා හොඳින් පැහැදිලි කෙරෙන්නේ පටිච්ච සමුප්පාදය තුලිනි.
ඒ කෙසේද යත්. (පටිච්ච සමුප්පාදයෙන් අවශ්‍ය කොටස පමණක් උපුටා දක්වමි.)

වේදනා පච්චයා තණ්හා
තණ්හා පච්චයා උපාදානං
උපාදාන පච්චයා භව
භව පච්චයා ජාති

එනම්
වේදනාව (අප ඉහතින සාකහ්චා කල ) නිසා තණ්හාව ඇති වේ,
තණ්හාව නිසා උපාදානය ඇතිවේ (දැඩිව අල්වා ගැනීම / ග්‍රහනයට ගැනීම )
උපාදානය නිසා භවය (පැවැත්ම ) ඇති වේ.
භවය (පැවැත්ම ) නිසා ජාතිය (උපත ) ඇති වේ.

මේ අනුව භවය යනු උපාධානය නිසාම හටගන්න දෙයක් ලෙස දහමෙහි ඉගැන්වේ. ඒ කෙසේදැයි බැලුවහොත්, එක් සංස්කාරයක් ග්‍රහණය කරගන්නා සත්ත්වයා එය අත් හරින්නේ තවත් සංස්ඛාරයක් ග්‍රහණය කර ගනිමිනි. මේ ආකාරයෙන් සත්ත්ව විඤ්ඤානය ක්ෂනයක් පාසා එකක් හැර අනෙකක් ලෙස උපාදානය කිරීම නිසා සත්ත්වයාට භවය හෙවත් පැවැත්මක් පිළිබඳ සංකල්පය ඇති වේ. (මේ භවය යනු කාලයට සමාන වදනක් ලෙස මා ඇතැම් විට දකිමි ඒ ගැන වැඩි දුරට විස්තර කීරීම දැනට අපහසුය )

දැන් අපි අන්තරාභවිකයා දෙසට හැරෙමු.

මෙතැනදී භවය යන්නට වෙනත් අරුතක් දෙන බව දැකිය හැකිය.
එනම් මෙහිදී සත්ත්වයාගේ එක් භෞතික ජීවිතයක් (මවු කුසක පිළිසිඳීමේ සිට මරණය දක්වා ) භවයක් ලෙස සැලකෙයි. මෙය අපි පොදු වහරේදී පෙර භවය, මේ භවය, මතු භවය ආදී ලෙසින් භාවිත වේ. මේ අදහස හුදෙක්ම පෙර ආත්මය මේ ආත්මය ආදී වශයෙන් යෙදෙන විට අදහස් කරන ආත්මය යන සංකල්පයට සමාන වෙයි. මෙය බුද්ධ කාලයට පසු වෙනත් මත වාද නිසා ගොඩ නැගුනක් විය හැකිය. මෙය මාගෙ උපකලපනයක් පමණි.
මේ අරුතින් භවය ගත් කල මේ භවයෙන් නික්මෙන සත්ත්වයා හට මීලඟ භවයකට පිවිසීමට සිදු වේ.
එසේ වූ කල එයාකාර වූ භව දෙකක් අතර හිදැසක් (යම් කිසි කාලයක් ඇතැයි සිතීම මෙවන් මතවාද බිහි වීමට හේතුවයි.
දැන් අපි භවයන් දෙකක් අතර තත්වයක් ගැන සිතමු.
එක් භවයකින් නික්මෙන සත්ත්වයෙකු (නික්මෙන්නෙ කුමක්දැයි මට වටහා ගත නොහැකිය ) වෙනත් භවයකට පිවිසීමට පෙර තත්වයක් ලෙස මෙය වටහා ගත යුතුය. දැන් මෙතැන සත්ත්වයා වෙනත් භවයකට පිවිස නැති නිසා එතැන සත්ත්වයෙකු නැත. එනම් රූපයක් නැත, රූපයක් නැති තැන වේදනා ලැබීමට පරිසරය හා ගැටෙන්නට දෙයක් නැත, වේදනා නැති කල සංඤ්ඤා නූපදී, සංඤ්ඤා නොමැති කල සංස්ඛාරයන් උපදින්නට ද බැරිය. එසේ වූ කල විඤ්ඤානයක් හට ගන්නේ කුමක් අරභයාද? එයත් විය නොහැකිය.
මේ සියල්ල එසේ නම් භවයකින් තොරව වෙසෙන අවස්ථාවක, එහි සිතුවිලි පහල කරන්නේ කවුරුන්ද? මෙය සමස්ථයක් ලෙසම අභව්ය කථාන්දරයකි.
එසේ මරණින් පසු කෙනෙකු සිතුවිළි පහල කරයිනම්, මතකය දරයි නම් එතන භවයක් ඇත. එනම් මේ භවය යනු උපතක සිට මරනය දක්වා කාලය යන සංකල්පය තුල මේ භවිකයෙකු මිස අන්තරා භවිකයෙකු නොවිය යුතුය.

බුදු දහමේ උගන්වන පුණර්භවය යනු මරණින් පසු උපත හෙවත් පුණරුත්පත්තියට යෙදෙන වෙනස් වූ නමක් නොවන්නේය. පුණර් භවය යනු අර්ත දැක්විය යුත්තේ පුණර්(නැවත නැවතත්  ) භවය (පැවතීම ) යනුවෙනි. එනම් සත්ත්වයා තුල තෘශ්නාව උපාධානය කිරීම පවතින තාක් සත්ත්වයා විසින් භවය තනමින් පවතියි. එය නැවත නැවතත් කරමින් පැවතීම මරණය හා සම්බන්ධ නොවෙයි. සත්ත්වයා එක් උපතක සිට මරණය අතර තුරද නිරන්තරයෙන් පුණර් භවයට මුහුණ දෙන අතර එය හුදු භෞතික මරණයකින් කෙලෙවර නොවේ. එය අඛණ්ඩ වූ ක්‍රියා දාමයකි. සත්ත්වයා නිරතුරුව පුණර්භවයක් ලබන නිසාවෙන්ම අන්තර භවිකයෙකු ගැන කථා කීරීම නිශ්පලය.

අවසානයේ සූත්‍ර දේශ්නා වල එන "ගන්ධබ්බයා" අන්තරාභවිකයෙකු නොවේ යැයි මා වටහා ගනිමි.

මේ ලිපිය ඔස්සේ මා ප්‍රකාශ කරන්නේ මා වටහා ගන්නා ආකාරය මිස අනෙකුන් එසේ වටහා ගත යුතු බවක් නොවනා වග අවධාරණය කර සිටිමි.


Wednesday, March 22, 2017

සමරිසියන්ගේ සන්තර්පනය පිණිස පන්සලට අවලාද නැගීම...!

සමරිසි කියන වචනයම සිංහල බසට අළුත් වචනයකි. අප පාසැල් කාලයේ හෝ ඉන් අනතුරුවත් මේ මෑතක් වන තුරු මෙවන් වදනක් ගැන අසා නොතිබුනි.

එහෙත් දැන් අපට ඒ ගැන කථා කිරීමට පොළඹවන සුලු පරිසරයක් හා බල කිරීමක් සිදුව ඇත.

මේ ගැන මා යමක් ලිවිය යුතුයැයි සිතුනේ කලක් තිස්සේ බ්ලොග් ලෝකයේ විවිධා කාරයෙන් මේ ගැන සාකච්චා වන අයුරු දැකීමෙන් හා මා බ්ලොග් ඇසුරට පත් වීමට පෙර සිටම, විවිධ ප්‍රවෘත්ති වෙබ් අඩවි තුලින් පවා මෙවන් මාතෘකාවක් දුටු සැනින් එයට පන්සල හා බුදු දහම ගාවා ගෙන කරන අසික්ශිත විවේචන  දැක ඇති නිසාවෙනි.

ඇත්තෙන්ම බුදු දහ්ම සමරිසි බව පිළිගන්නවාද? බැහැර කරනවාද?
බැහැර කිරීමක් හෝ අනුමත කිරීමක් සැබැවින්ම නැත. (ඇතැමෙක් එය බැහැර කිරීමක් ලෙසද තවකෙකු අනුමත කිරීමක් ලෙසද ගෙන වාද කිරීමට මෙයද හේතුවකි ),
සියළු ආකාර ලිංගික සන්තර්පනයන්, කායික ආශාවන් සැතපවීමකි. එය සම විශම යැයි බෙදා දැක්වීම හරසුන් ක්‍රියාවකි. ආශවන් සැතපවීමක් යනු සැතපවීමකි. බුදු දහම මගින් ලෝකෝත්තර සුවයක් සොයන්නන්හට මෙවන් වූ සියළු ආකාර සැතපවීම් වලින් මිදීමට උගන්වනු ලබයි. එසේනම් ගිහියන්හට?
ගිහියන්හට විඳිනා වූ සුවයක් තමාටත් අනුනටත් හානි නොවන පරිදි විඳීමටත්, කොයි ආකාර විඳීමක් වුව පමණ ඉක්මවා යාම නිසා පිරිහීමට හේතු වන බවත් කියා තමන්ට අවැසි ඉලක්කය කුමක්ද? ඒ අනුව හැසිරීමට මග කියා දී ඇත. කිසිදු තහනමක් හෝ වර්ග කිරීමක් ඇත්තේ නැත යැයි ඉඳුරා කිව හැකිය.

ගිහි උපාසකයින්හට බුදු හිමියන් පංචසීලයක් පිළිපැදීමට යෝජනා කරයි. උන් වහන්සේ එහි තෙවැනි සිල් පදය ලෙස කාමේසු මිච්චාචාරා යනුවෙන් සිල් පදයක්ද එක් කොට ඇත. මේ කථා කරන කාමය යනු ලිංගිකත්වයද?
මා හේතු යුක්තව එසේ නොසිතමි. කාම යන වදනට විව්ධ අරුත් ගැන්විය හැකි වුවත් දහම තුල එය භාවිතා වන්නේ ඉතා පුළුල් අරුතකිනි. දහමේහි එන කම සම්පත්තීන් යනු පංච ඉන්ද්‍රියයන් සැතපවීමෙහි මගයි. ඒ අනුව පංච කාමයම අදි පරිබෝජනය කිරීම, පමණ නොදැන ඇසුරු කිරීම නුසුදුසු ලෙස බුදු හිමියන් දක්වා ඇති ලෙස අපිට පිළිගත හැකිය.
මතුපිටින් ඉතා සරළ එහෙත් හරයෙන් බැලූ විට බුද්ධිමතාට ඉතා බරපතල මෙවන් වූ සීලයක් රැකීමට යෝජනා කරන බුදු හිමියන්, උන්වහන්සේගේ ශ්‍රාවක භික්ෂු පරපුර වෙත පැවතියේ කෙසේදැයි සොයා බැලීම ඉතා වටනේය.

කාමය හෝ ලිංගිකත්වය යන කරුණු භික්ෂු සංඝයා විශයෙහි බලනොපාන අත්ශයින්ම ග්‍රාම්‍ය වූ පුහුදුන් (පෘතග්ජන ) හැසිරීමකි. නිර්වාන මාර්ගය අයැද සියළු ගිහි සම්පත් හැර පියා සසුන් මගට පිවිසෙන පැවිද්දාට අමුතුවෙන් මෙවන් වූ ග්‍රාම්ය හැසිරීම් අයෝග්‍ය බව කීමට බුදු හිමියන් වෙර දරා නැත.
එහෙත් බුද්ධත්වයෙන් විසි වසරකට පසු උන්වහන්සේ ප්‍රාථිමෝක්ෂය (භික්ෂු සීලය ) දේශනා කිරීමේදී ඒ අවස්ථාවේ නොයෙක් ලාමක භික්ෂූන් අතින් මෙවන් වූ භික්ෂුත්වයට නොගැලපෙන ලාමක ක්‍රියා සිදුවීමට හා ඒවා බුදු හිමියන් වෙත වාර්ථා වීමට පටන් ගෙන තිබී ඇත.

එසේ වූ කල බුදු හිමියන් ඉතා පැහැදිලිවම විව්ධාකාරයෙන්, එකදු හිදැසක් නොතබා ස්ත්‍රී, පුරුශ, තිරිසන්, අමනුශ්‍යා ආදී ඕනෑම කොටසකට අයත් වන සත්ත්වයෙකු සමග පවත්වන ලිංගික ඇසුරක් පාරාජිකා අකුසලයක් ලෙස අරුත් ගන්වා ඇත. එසේ වූ කල යම් වූ පැවිද්දෙකු එවන් වූ ඇසුරක් පැවැත්වූයේද? ඔහු හෝ ඇය එසැනින් භික්ෂූත්වයෙන් පිරිහේ. තව දුරටත් භික්ෂුවක යන ආමන්ත්‍රනයට සුදුසු නොවේ. ගිහියන්ගෙන් වැඳුම් ලැබීමට සුදුසු නොවේ. යම් ස්ත්‍රී හෝ පුරුෂ පැවිද්දෙකු වින්දනයක් ලබන අරමුනින් ස්වයං හැසිරීමක නිරත් වූයේද? එය පාරාජිකාවක් නොවුනත් ඉතා බරපතල ඇවතකි. භික්ෂු සමූහයා අභිමුවෙහි පාපොච්චාරනයක් කොට නිවැරදි වන බවට සපත කොට නිවැරදි කර ගත යුතු ඇවැතකි.

දහම අනුව පංචස්කන්ධයකින් සැදි සත්ත්වයාගේ එම පංචස්කන්ධයම මොහොතින් මොහොත මැරෙමින් උපදින සංකල්පයකි.
සත්ත්වයා සත්ත්වයෙකු ලෙස හඳුනා ගන්නේ හා සත්ත්වයෙකුගේ පැවත්මක් අප දැක ගන්නේ හුදෙක්ම සත්ත්වයාගේ තුල ඇති මතකය හා පුරුදු හේතුවෙනි.
මතකය හා පුරුදු නොවුනා නම් සෑම සත්ත්වයෙකුම එක් මොහොතක පමණක් පවතින සංකල්පයකි.

විඳීම් වලදී සත්ත්වයා ඇබ්බැහි වලට යන්නේත්, එකම විඳීම නැවත නැවත සොයන්නේත් වරක් විඳි සත්ත්වයා මතකය ඇසුරින් විඳීම සැපවත් ලෙස ගැනීමත් එම විඳීම දැන් සිටින සත්ත්වයා විඳ නැති වීමත් නිසාවෙනි.

මේ තත්වය මත යමෙකු සමලිංගිකත්වය පන්සල හා ගලපා දැක්වීමට වෙර දැරීම හුදු මිත්‍යාවකි.
එහෙත් පන්සල් පරිසරය තුල සිටින සියළු භික්ෂූන් ප්‍රාථිමෝක්ෂය අකුරට සුරකින් සිල්වතුන් යැයි මා කිසි විට නොකියමි.
එසේනම්?
යම් කිසි භික්ෂුවක් පාරාජිකාවකට පැමිණ එය සඟවාගෙන වෙසෙයිද?
යම් කිසි භික්ෂුවක් වෙනත් අවශේස ඇවැතක් සඟවාගෙන වෙසෙයිද?
මෙවන් වූ පුද්ගලයෙකු නිසැකවම භික්ෂු ප්‍රථිරූපකයෙකි, හෙවත් භික්ෂුවක් ලෙස වෙස් ගෙන සිටිනා වූ මිනිසෙකි. එවන් වූ මුග්ද පුද්ගලයින් අද වන් සමාජයක ඕනෑ තරම් සිටිය හැකි වුවද, එය පාදක කොටගෙන භික්ෂූන් අවමානයට ලක් කිරීම නුසුදුසු ක්‍රියාවකි.
සියළු දුක් නසා නිවන් මගට පිවිසීමට වරම් ඉල්ලා පැවිදි දිවියට පිළිපන් භික්ෂුවකගෙන් එවන් වරදක් සිදු වනුයේම නැත.

ගිහි සමාජය තුල වෙසෙන නොයෙකුත් දෘශ්ටීන් දරන ලාමක මිනිසු තුල සම විශම ආදී නොයෙකුත් ආකාර පාංච කාම සම්පත්තීන් වීන්දීම් ඇත. එය ස්වභාවිකය. සත්ත්වයා විඳීම සැපයක් ලෙස ගැනීම සත්ත්ව ගතියකි. මිනිසාගේ සිට සිතුවිළි පහල කරනා වූ සෑම සත්ත්වයෙකුම මේ ලක්ෂණ පෙන්වති.
එහෙත් නිවන් අරමුණෙහි වෙසෙන භික්ෂුව එසේ නැත. !



Wednesday, September 7, 2016

කසාද මිනිහට අයිතියක් නැද්ද ගෑනිට වෙඩි තියන්න !

කසාද මිනිහට අයිතියක් නැද්ද ගෑනිට වෙඩි තියන්න !

මෑත කාලයේ ජනමාධ්‍ය වල බොහෝ සාකච්චාවට ලක් වුනු සැමියෙකු විසින් තම බිරිඳට වෙඩි තබා මරා දැමීමට තැත් කිරීමේ  කාරනය තුලින් මට වෙනස් කථාවක් මතක් වුනා. මේක මීට අවුරුදු 15 කට විතර කලින් මම මුහුන දුන් අත්දැකීමක්.

එවකට මා රාජකාරි කල පෞද්ගලික ආයතනයේ මගේ ලේකම්වරිය ලෙස සේවය කල තරුණිය එවකට තම විවාහයෙන් වෙන්ව මව සමග ජීවත් වූ තැනැත්තියක්. ඉතා කාර්‍ය ශූර තරුණියක වූ ඇයගේ පෞද්ගලික ජීවිතය ගැන මා ඊට වඩා යමක් දැන සිටියේ නැහැ.
ඉතා කැපවීමෙන් තම රාජකාරි ඉටුකල ඇය, දිනපතාම මෙන් රැකියාවට පැමිණියේ මාගේ අංශයේම සෙවය කල අලෙවි නිළධාරියෙකුගේ රාජකාරි රථයෙන් ඔහු හා අසල කාර්‍යාලයක සේවය කල ඔහුගේ බිරිඳද සමගින්.

එක් දිනක් උදයේ මා අසුනේ රැඳී සිටියදී හදිසියෙන් මෙන් දුවගෙන ආ පෙර කී අලෙවි නිළධාරියා සියල්ලන් තැති ගන්වන පුවතක් කියා සිටියා. ඔහු සුපුරුදු පරිදි ඔහුගේ බිරිඳ කාර්‍යාලය අසලින් බස්සවා අපගේ කාර්‍යාලය ඉදිරියෙන් ලේකම් වරිය බස්සවා රතය අයිනට කර නවත්වනවාත් සමගම අසල නවතා තිබූ ත්‍රීරෝද රියකින් ඉදිරියට පැමිණි තරුණයන් තිදෙනෙක් අර ලේකම්වරිය බලහත්කාරයෙන් ඇද ත්‍රිරෝද රියට දමාගෙන පලා ගොස් ඇත.
වාසනාවකට මගේ අලෙවි නිලධාරියා ඒ තිදෙනා අතර සිටි ඇයගේ වෙන්ව සිටින සැමියා හඳුනාගෙන ඇත.

ඒ අවස්ථාවේ මාගේ උපදෙස් මත වහාම මා ඇයව රැගෙන පැමිණි අය හා තවත් අලෙවිඅංශයේ තරුණයෙකු ආසන්නම පොලිස් ස්ථානය වෙත පිටත් කර හැරියේ රැගෙන පැමිණි අයගේත් පැහැර ගැනීමට ලක් වූ තරුණියගේත් ආරක්ශාව වෙනුවෙනුයි.
ඔවුන් ගොස් පොලීසියට මෙය පැමිණිලු කල විට පොලීසිය අසා ඇත්තේ රැගෙන ගියේ සැමියා විසින් බව හඳුනා ගත්තාද යනුයි.
ඒ සැමියා බව පැවසූ විට එසේනම් අපිට කරන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ටත් ප්‍රශ්ණයක් නැහැ ඒගොල්ලන්ගේ පවුලේ ප්‍රශ්ණය ඒගොල්ලෝ බේරාගනියි කියා පැමිනිලි කිරීමට ගිය පිරිස හරවා එවා තිබුනා.

කිරීමට කිසිවක් නොවුනු හා එකට රාජකාරි කල මිතුරියකගේ හදිසි ආපදාවෙන් කැලැඹුනු ආයතනයේ පිරිස ලෙස වහාම මේ ගැන ඇයගේ මවට හා ඤාතීන්ට දැනුම් දී ඔවුන්ව පැහැරගැනුම සිදුවූ ප්‍රදේශයට අයත් පොලිස් ස්ථානයට යොමු කිරීමට කටයුතු කළා.

මේ තරුණිය සැමියාගෙන් වෙන්වීමට නීත්‍යානුකූලව කටයුතු කරමින් සිටි බවත්, පැහැර ගැනුම කල සැමියා කිසියම් වූ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වූ කාලකන්නියෙකු බවත් ඇයගේ ඤාතීන්ගෙන් අප පිරිස පසුව දැනගෙන තිබුනා.

මේ සමස්ථ සිදුවීම අප සමාජයේ එදිනෙදා සිදුවන දහසකුත් එකක් පවුල් ආරවුල් සමග බැලීමේදී හුදු තවත් එක් සිදුවීමක් මිස කථා කිරීමට තරම් වූ වැදගත් සිදු වීමක් නොවෙයි.
එහෙත් අදටත් මේ සිදුවීම මගේ මනසේ රැඳී පවතින්නේ එකම එක හේතුවක් නිසයි. ඒ අදාල අවස්තාවේ පොලීසියේ හැසිරීම හා එම තරුණිය මිහුණ දුන් අති භයංකාර අනාරක්ෂිත තත්වය.
ඇය කෙරෙහි ද්වේශයෙන් ඊර්ශ්‍යාවෙන් හා ක්‍රෝදයෙන් පසුවූ සමාජ තත්වය අතින් ඇයට නොගැලපෙන එම අවාසනාවන්ත මිනිසා ඇයගේ ජීවිතයට අනතුරක් කලා නම්, ඇයට ඇසිඩ් ප්‍රහාරයකින් වැනි යමකින් හානි කලානම්, දරුනු ලෙස වදදී අඩන්තේට්ටම් කලා නම්,  යම් අයුරකින් ඇය හා මේ උන්මත්තකයා ලිංගික ඇසුරක් ඇවැත්වූවා නම්, ඔහු වසර ගනනාවක් ඇගෙන් වෙන්ව සිටීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්වය කෙබඳු විය හැකිද එයින් ඇයට ඇති වන සෞඛ්‍යමය අවධානම කොතෙක්ද? එය සාපරාධී ස්ත්‍රී දූශනයක් නොවන්නේද?
එවැනි අවධානමකින් ගැලවීමට ඇයට පුද්ගලයෙකු සතු අයිතියක් නොවන්නේද?
ඇයගේ ඉච්චාවෙන් තොර බලහත් කාරයක් හමුවේ ඇයගේ අයිතීන් හා ජීවිතය ආරක්ශා කර දීම පොලීසිය සතු වගකීමක් නොවන්නේද?

අදාල දිනයේ ඇගේ අරමුණ වූ රැකියාවට වාර්තා කිරීම බලහත්කාරයෙන් වැලකීමට අදාල දිනය වනවිටත් නීතියෙන් අවලංගු නොවූ සැමියා වූ පමණින් ඔහු සතු බලයක් වෙත්ද?
පොලීසිය ගරු කලේ එවන් වූ අයිතියකටද?

පුද්ගලයෙකු තමන්ගේ ඉච්චාවෙන් තොරව බලහත්කාරයෙන් රැගෙන යාමට හා රඳවා තබා ගැනීමට විවාහ නීතිය බලය සපයන්නේද?
එය එසේනම්
ගැහැණිය යනු අපේ නීතියට අනුවත් සැමෙයාගේ යටතේ ජීවත් වන දෙවැනි අන්තියේ පුරවැසියෙකු විය යුතුයි නේද?

අද වන විට සමාජය අස්වාභාවික ලිංගික රුචියන් ඇති පුද්ගලයින්ගේ අයිතීන් ගැන පවා කථා කරති. එහෙත් සැබැවින්ම ගැහැණිය සතුව නීතිමය ආරක්ෂාවක් වෙත්ද?

තත්වය එබඳු නම් කසාද මිණිහා ගෑනිට වෙඩි තිබ්බාම මොකද?



Thursday, August 25, 2016

බස් ගැමුණු හා පෞද්ගලික අධ්‍යාපනය



දින කිහිපයකට පෙර රත්නපුර ප්‍රදේශයේදී පැවති සයිටම් දෙමාපිය සංසදය මෙහෙයවූ සාකච්චා සභාවක හටගත් අනුමත කල නොහැකි ගැටුම්කාරී තත්වය මේ ප්‍රශ්ණය තවත් ව්‍යාකූල කල බවක් පෙනේ.

බස් හිමියන්ගේ අයිතිවාසි කම් වෙනුවෙන් පෙනී සිටීම ගැන ප්‍රසිද්දියක් උසුලන ගැමුණු විජරත්න මහතා සයිටම් දෙමාපිය සංසදයේ සභාපති ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටීම මෙම සිදු වීමෙහි එක් ප්‍රධාන ප්‍රථිපලයක් වී ඇත.  මෙම සිදුවීම සමාජයීය වශයෙන් බලපාන්නේ කෙසේද යන්න වෙනමම සාකච්චා කල යුතු තත්වයකි. මේ කාරනය පෞද්ගලික අධ්‍යාපනයට ධනාත්මකව මෙන්ම ඍනාත්මකවද බලපෑමක් වී ඇත.

එදින සිදු වූයේ කුමක්දැයි අපට තවමත් ජන මාධ්‍යය ඔස්සේ පැහැදිලි චිත්‍රයක් ලැබී නැත.
එහෙත් දැනගන්නට ඇති කරුනු අනුව (රූපවාහිනී මාධ්‍යයේ ප්‍රවෘත්ති හා වෙබ් අඩවි වාර්ථා ) එදින සයිටම් දෙමාපිය සංසදය නම් වූ සංවිධානයක් මගින් සමාජය දැනුවත් කිරීමේ කථිකාවතක් රත්නපුරයේදී පවත්වා ඇත. මෙයට සහභාගී වූවෝ ආරාධිතයන්ද? නැතහොත් එය විවෘත්ත සාකච්චාවක්ද යන්නත් පැහැදිලි නැත.

කෙසේ වෙතත් එයට සහභාගී වී ඇති පිරිස අසාමාන්‍ය බවක් පෙනේ.
එහිදී කථිකයන් ලෙස සයිටම් දමාපිය සංසදයේ සාමාජිකයින්ට පරිභාහිරව දබර අමිල නම් විශ්ව විද්‍යාල ආචාර්‍ය ප්‍රභල දේශපාලන ක්‍රියාධර ස්වාමීන් වහන්සේද, පුරවැසි බලය සංවිධානයේ ප්‍රධානීන්ද සහභාගී වූ බව පෙනේ.
එසේම මෙහි සභාවෙහි දෙමාපිය සංසදයෙහි සාමාජිකයයින් හා අන්තරයේ හෝ කුරුට්ටන් හෝ අන් යම් කණ්ඩායමක් නියෝජනය කරන සබරගමු වි.වි සිසුන්ද  සිට ඇත. ඔවුන් ආරාධිතයන් වූවාද අනාරාධිතවම පැමින සහභාගී වූවාද යන්න පැහැදිලි නැත.

සිදුවීම උද්ගත වී ඇත්තේ දඹර අමිල ස්වාමීන් වහන්සේගේ කථාව අවසානයත් සමගය. එහිදී නැගී සිටින සිසුවෙකු සභාව නොතකා තමන් සභා මධ්‍යයෙහි සිට කථාවක් පැවැත්වීමට පටන් ගනී. ඒ සමගම උරණ වන දෙමාපියන් මේ තරුණයා හා ඔහුගේ සගයා හෝ සගයන් සභාවෙන් වහාම ඉවත් කර දමයි.
මෙහිදි අප බැලිය යුතු කාරනා කිහිපයක් ඇත.
ඔවුන් කඩාකප්පල් කිරීමට දැඹර අමිල හිමියන්ගේ කථාව වසන් වනතුරු සිටියේ මන්ද?
එය කිසියම් පූර්ව සැලැස්මක්ද?
එසේ අනපේක්ශිතව සිදු වූ කඩාකප්පල් කිරීම මත සයිටම් දෙමා පියන් එතරම් කලබල වූයේ මන්ද?
වැඩිහිටියන් ලෙස ඔවුන්හට එය වඩා සාමකාමී ලෙස කර ගැනීමට ඉඩක් නොවුනිද?
වි වි සිසුන් සාමකාමිව මෙහෙයවීම කල නොහැකකැයි යමෙකු කීවොත් එය පූර්වාදර්ශ සහිතව විවි සිසුන් විසින්ම සනාත කොට ඇත්තකි.
කරුණු කෙසේ පෙල ගැසුනද දෙමාපියන්ගේ හැසිරීම එතරම් දැඩි හා කලබල කාරී වීම අනුමත කල නොහැක්කකි.

මේ සාකච්චාව අවසන නටපු නැතුමකුත් නැත බෙරේ පළුවකුත් නැත කීවාක් මෙන් සියල්ල උඩු යටිකුරු වී ඇත.

රටේ සමස්ථ සිසු ප්‍රජාව වෙනුවෙන් සියළු පුද්ගලයින්හට එක් එක් බමුණු කුල වල අන පනත් වලට යටත් නොවී නිදහසේ තමන් කැමැති විෂය ධාරාවක් ඔස්සේ උසස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු විය යුතුය. දුප්පත් දක්ෂ සිසුවාට දුප්පත් කම භාධාවක් කර නොගෙන ශිශ්‍යත්වයකින් හෝ බැංකු මූල‍ය ප්‍රථිපාදන හරහා හෝ තම ඉම් සොයා යාමට ඉඩ හසර විවෘත්ත විය යුතුය.

දැනට වැඩිම අභියෝගයට ලක් වී ඇති සයිටම් ආයතනයේ දෙමාපිය සංගම් මේ ජාතික ප්‍රශ්ණය කථිකාවක් බවට පත් කිරීමට උත්සහ දරන්නේ නම් එය ඉතා යහපත් ක්‍රියාවකි. එහෙත් එය දැඩි හික්මීමකින් හා අවබෝධයකින් කල යුත්තකි.
දැලි පිහියෙන් කිරිකෑමක් සේ ප්‍රවේසමෙන් කල යුත්තකි.
ආණ්ඩුවට තග දමා බස් ගාස්තු වැඩිකරනා සේ කල හැක්කක් නම් නොවනු ඇත.

මේ ගැන තවත් වෙනස් අයුරකින් බැලූ අපගේ බ්ලොග් කරුවෙකු මා උපුටා දක්වමි. ඔහුගේ මතයද විමසා බැලීමට සුදුසුය.
ඉලංගකෝන්