Sunday, October 16, 2022

ලිංගිකත්වය පාපයක්ද?

 සිතුවිළි - 5

ලිංගිකත්වය පාපයක්ද?
මට මේ ගැන යමක් ලිවිය යුතුමයි සිතුනේ මෑතකදී මුහුණු පොත් සමූහයක පිරිමි දරුවෙක් ලියා තිබුනා ඔහුට ගැහැණු ළමයෙකු සමග සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට බිය බවත්, කාමය බරපතල පාපයක් නිසා එසේ කිරීමට මැලිවන බව කියමින්. මම ඒ ප්රශ්ණයට දැමූ පිළිතුරක් නිසා ඔහු මා හා කථාවකට එළඹුනා. කෙටි මෙසෙන්ජර් පණිවිඩ කිහිපයකට සීමා වූ ඒ සාකච්චාවෙන් කියැවුනේ බෝධි පූජා පින්කමකදී එක්තරා භික්ෂූන් වහන්සේ නමක විසින් කාමය බරපතල වරදක් ලෙස පැහැදිලි කල බවත් අනිවාර්යයෙන්ම අපාය ගාමි වන බව පැවසූ බවත් ඔහු කියා සිටියා. ඔහුට දුරකතන ඇමතුමකින් මා අමතන ලෙස කොතෙක් කීවත් ඔහු එයට පෙළඹුනේ නෑ. එයට හේතුව මට පැහැදිලි නෑ.
ඒ කෙසේ වෙතත් මේ ප්රශ්ණය එක් පුද්ගලයෙකුට ලඝුකොට සැලකිය නොහැකි බව මට වැටහුනේ අද උදයේ මාගේ පුතු මා හා පැවසූ පුවතක් නිසයි. මගේ පුතා මට කිව්වේ ජනප්රිය ටියුශන් ගුරුවරයෙකු මෑතකදී ටියුශන් දරුවන් රැසක් රුවන්වැලිසෑ මළුවට ගෙන ගොස් ඔවුන් සියල්ල රුවන් වැලි සෑයේ හිස් තබා ජීවිත කාලයටම තුන්වැනි සිල් පදය නොකඩන බවට පොරොන්දු ගෙන ඇති බවයි. මෙය මහා කේදවාචකයක ආරම්ඹයක් බව මම මේ කී ටික කියැවීමෙන්ම ඕනෑම සාමන්ය බුද්ධියක් ඇති අයෙකුට පැහැදිලි වෙනවා. අන්න ඒ නිසාම මම හිතුවා මේ ගැන මම පොදුවේ සාකච්චා කිරීම වඩා පලදායක බව.
අදාල සිදු වීම් වලට පාදක වී ඇත්තේ බෞද්ධ ඉගැන්වීම් ලෙස පෙන්වන යම් කිසි මතවාදයක් බැවින් මේ පැහැදිලි කිරීම බෞද්ධ පදනමකින්ම කිරීම වඩා සුදුසු වෙනවා.
තුන්වැනි සිල් පදය.
කාමේසු මිච්චා චාරා වේරමණී සික්ඛ්හාපදං සමාදියාමි
මෙහි අර්ථය ලෙස ගත හැක්කේ මිච්චා ආචාර ලෙස එන සම්මතයට පටහැනිව සීමාව ඉක්මවා කාමයෙහි යෙදීමෙන් වැලකීම නම් වූ ශික්ෂාපදය මා සමාදන් වෙමි. කියන අරුතයි.
මෙහිදී පළමුව අපි ශික්ෂාවක් සමාදන් වීම තේරුම් ගන්න ඕනේ.
ශික්ෂාවක් සමාදන් වීම කියන්නේ කෙනෙකු තමන් වැරදි යැයි පිළිගන්නා ක්රියාවක්, තවදුරටත් නොකරන බවට තමාටම පොරොන්දු වීමකි. මෙය අන් කිසිදු බලපෑමක් විසින් පාලනය කරන බවක් බුදු දහමේ කිසිසේත්ම සඳහන් නොවෙයි.
ඔබ යම් සිල් පදයක් සමාදන්ව ඇත්නම් ඔබ ඔබටම පැමිණි පොරොන්දුවක් ඇත. එසේ ඔබ පොරොන්දුවක් වන්නේ එම ක්රියාව වැරදි බව ඔබ පිළිගන්නා නිසා බැවින් එම පොරොන්දුව රැකීම හොඳයි.
කාමේසු මිච්චාචාර යනු කාමයෙහි හැසිරීමද කියන එක සොයා බැලීම ඉතාම වැදගත්.
බුදු දහම කාමයෙහි හැසිරීම වරදක් ලෙස කිසිදු තැනක කියනේ නැත. කාමභෝගී ගිහියාට කාමය සැපතක් ලෙස බුදු හිමියන් පෙන්වා දුන් තැන් ඔනේ තරම් ත්රිපිටකයෙන් උපුටා දීමට හැකිය. ඉතින් මේ සැපය විඳීම බුදු හිමියන් කිසි තැනක නිගරු කලේ නැත. අන්තප්පුර දැරූ රජුනට භහුභාර්යා සේවනයේ අවැඩක් ගැන බුදු හිමියන් කියූ බවට සඳහනක් නැත. සිද්ධාර් ථ කුමරු කුමාර කාලයේ 500 ක් කුමරියන් පිරිවරා රම්ය සුරම්ය සුභ මාලිගා වල උපරිම කම් සැප විඳි බව බෞද්ධ සාහිත්යය කියනවා නම්, සිද්ධාර් ථ කුමරු වයස 16 දී සම වයස් සුරූපිණියක වූ යශෝදරාවන් හා විවාහා වූ බව කියනවා නම්, ඔවුන් සිය කුළුඳුල් දරු උපත ලැබුවේ මහභිනික්මන දා එනම් මේ කුමරුන් හා කුමරිය 29 වැනි වියේදී යැයි කියනවා නම්, වසර 13 ක සියළු සැපයෙන් සපිරි කුමාර ජීවිතය තුල සිද්ධාර් ථ කුමරුන් ගත කලේ කුමනාකාර කාමභෝගී ජීවිතයක්දැයි ඕනෑම අයෙකුට වටහා ගත හැකිය. බෝසතුන් කලකිරීමට පත් වන්නේද මේ අධික කම්සැප විඳීම නිසාම බව තමයි ධර්මයේ කියැවෙන්නේ.
කාමභෝගී ගිහියෙකු ලෙස මේ අධික කම් සැප විඳීම බුද්ධත්වයට කොතැනක හෝ බාධා වුනාදැයි විමසා බැලිය යුතුයි. එවැන්නක කිසි තැනක කියැවෙන්නේ නැහැ.
එහෙත් ඇතැම් බෞද්ධ කල්ලි වාදී භික්ෂූන් මේවාට ඉතා දරුණු වැරදි අර් ථ කථන දෙන බව පෙනෙනවා. මේ වැරදි අර් ථ කථන නිසාම තරුණ පරපුර බරපතල ඉච්ඡාභංගත්වයකට (Frustration ) පත්වෙනවා.
කාම ආශවන් ඇති මිනිසුන්ව ඉපිද, කාමය බරපතල පවක් යැයි දැනගැනීමට ලැබීමෙන් ඉච්ඡාභංගත්වයකට පත් වීම ඉතාම සාධාරණයි. ඉතින් මේ මුග්ධ විකෘති කල්ලි වාදීන් කරමින් ඉන්නේ සමස්ථ ජාතියක් උන්මත්තකයන් කිරීමේ මහා අපරාධයකුයි. කාමයට බිය ඇති කිරීම සෑම අතින්ම පුදගලයෙකුගේ පෞරුෂ වර්ධනයට ඇති කරන්නේ ඉතාම ඍණාත්මක බලපෑම්කි. කාමයට ලිංගිකත්වයට බිය පුදගලයා තුල වර්ධනය වන්නේ සමාජ විරෝධී මනෝ භාවයන් වීමට බොහෝ දුරට ඉඩ පවතිය හැකිය. ඔවුන් අසංතෘප්ත පුදගලයන් වීමේ විශාල ඉඩක් ඇත. කාමය හෙවත් ලිංගිකත්වය යනු පුදගලයෙකුගේ අහර රුචිය වැනිම වූ තවත් එක ස්වභාවික රුචියක් පමණකි. එය බුදු දහම කිසි තැනක ප්රතික්ශේප කරන්නේ නැත. නමුත් බුද්ධිමත් පුදගලයා තුල අන් සෑම දෙයකට මෙන්ම ලිංගිකත්වය කෙරෙහිද හික්මීමක් පවතී. දියුණු මිනිසුන් ලෙස අප පිළිපැදිය යුත්තේ ඒ සමාජ සම්මත හික්මීමෙන් යුතු, තමාටත් අනෙකෙකුටත් හානි දායක නොවන ලිංගික ජීවිතයකි. එයට වැට කඩොලු බැඳීමක් හෝ, අපායක් පෙන්වා බිය කිරිමක් ශ්රේෂ්ට උත්තමයෙකු වූ බුදු හිමියන් කිසි තැනෙක සිදු කොට නොමැති බව මම වගකීමෙන් කියමි.
ගිහි විනය හා පැවිදි විනය පටලවා ගිහියන්ට පැවිදි බන දෙසන භික්ෂු ප්රතිරූපකයන් ගැන අනුකම්පා කිරීම හැර කල හැකි අන් යමක් නැත.
තරුණ ජීවිත මේ මිත්යාවෙන් ගලවා ගැනීම ඉතා වැදගත් කාලීන අවශ්යතාවයකි.
Nayanagith Perera
30.09.2022

Monday, June 13, 2022

මට මේ දවස් වල හරියට කේන්ති යනවා.....


සිතුවිළි 4





බොහෝ දෙනෙක්ගේ කට්න් මේ දිනවල පිට වෙන වචන ටිකක්. ඇයි මේ හැමෝම තරහින්. මොකද මේකට කරන්නේ.

සමහරු නම් කියනවා "මම පුදුම අමාරුවකින් තරහ පාලනය කර ගත්තේ. මගේ ඔළුවත් පුපුරන්න එනවා තරහ ගිය තරමට" කියලා.මේ වගේ අත්දැකීම් හැමෝටම වගේ නැති වෙන්න බෑ. කේන්ති යාම හැමෝටම පොදු දුර්වලතාවයක්. 

ඔව් මේ කෙන්ති යාම කියන්නේ එක විදියකට අපේ පවතින මානසික ස්වභාවය පිටතට පෙන්වන කන්නාඩියක් . අපිට කේන්ති යන්නේ ඇයි. කේන්ති යන්න බලපාන ප්‍රධාන හේතුව තමයි අපි කැමති විදියට දේවල් සිදු නොවීම. සමාජයක් ඉදිරියේ ලැජ්ජාවට පත් වීම, තම මතයට පොදු පිළිගැනීමක් නැති වීම වගේ තවත් හේතු ගනනාවකට මේ තත්වය බෙදා දක්වන්නත් පුළුවන්. පෞද්ගලිකව හිතලා බැළුවොත් අපි හැමෝටම පෙනෙයි අපිට කේන්ති යන්න   බලපාන විව්ධාකාර හේතු තියෙනවා කියලා.

අත්තටම ඇයි අපිට කේන්ති යන්නේ?

කේන්ති යන්නේත් මිනිස් මනසේ ස්වභාවික ක්‍රියාවලියක් නිසාම තමයි. ඔව් ඇත්ත කේන්ති යාම අපි දුර්වල කමක් කිව්වට ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවික පිහිටීම. මේ කේන්ති යාම නිසා අපි ගැටුමකට හෝ තර්ජනයකට මුහුණ දුන් විට අපිට ඒ අවස්ථාවට ප්‍රභල මැදිහත් වීමක් කරන්න අවශ්‍ය කායික මානසික ශක්තිය ලැබෙනවා. ඒ හරහා ප්‍රාථමික සත්ත්වයෙකුට තමන්ගේ ප්‍රථිවාදියාට ප්‍රභලව මුහුණ දෙන්න හැකියාවක් ලැබෙනවා පහර දීමක් කරන්න හෝ අනෙකාව මරා දමන්න තරම්. අපි කථාවටත් කියන්නේ මට ආව කේන්තියට ඌව මරාගෙන කන්න තිබුනා කියලා. අන්න ඒක තමයි ඇත්තටම කේන්තියේ සැබෑ අරුත. තමන්ට අභියෝග කරන ප්‍රථිවාදියාව විනාශ කරලා දාන්න ඕනේ කරන කායික මානසික සූදානමට තමයි අපි කේන්තිය කියලා කියන්නේ.

එහෙමනම් ඇයි දැන් අපි කේන්ති යාම දුර්වල කමක් කියලා කියන්නේ. මේ මිනිස්සු දැන් බොහෝම සංස්කෘතික ජීවන රටාවකට හුරු වෙලා. ඒ තුලින් මිනිස්සු බුද්ධිමත් හා දියුණු ජීවන රටාවක් ගොඩ නගා ගෙන. ඉතින් බුද්ධිමත්ව බැලුවාම මේ කේන්ති යාම කියන්නේ ප්‍රාථමික සත්ත්ව හැසිරීමක්. දියුණු බුද්ධිමත් සතුන් වන මිනිසුන්ට ඒක ගැලපෙන්නේ නැහැ. ඒත් අපිට කේන්ති යනවා. ඒ තමයි අපේ හැටි. ඉතින් අපි කොහොමද මේක වෙනස් කරන්නේ.

සමහරු පුරුදු වෙලා ඉන්නේ කේන්ති ගියාම මේ කේන්තිය දැඩිව පාලනය කර ගන්න. ඔවුන් කේන්තිය පිටතට නොපෙන්වා ඉන්න ලොකු වෙහෙසක් ගන්නවා. පස්සේ කියනවා මම පුදුම අමාරුවකින් කේන්ති පාලනය කර ගත්තේ තාමත් මගේ ඔළුව රිදෙනවා කේන්ති ගිය තරමට කියලා. අත්තෙන්ම මේ විදියට දැඩි ආයාසයකින් කේන්ති පාලනය කරන අය තමන්ටම ලොකු හානියක් කර ගන්නවා. මේ අධික කේන්ති යාම නිසා ඔබේ රුධිර පීඩනය ක්ෂණිකව ඉහල යනවා. ඔබේ ශරීර උශ්නත්වය ඉහල යනවා. ස්වසනය වේගවත් වෙනවා. මේ ඔක්කොම වෙන්නේ අපිට ප්‍රතිවාදියාට පහර දෙන්න කරන ශාරීරික සූදානමක් හැටියට. ඒත් ඇත්තටම අපිට ඒක කරන්න බැරි බව අපේ බුද්ධිය කියනවා. ඉතින් අපි අර සිදු වුනු ශාරීක සූදානම ඇතුලතින් දැඩිව තොල් විකාගෙන, දත් මිටි කමින් පාලනය කර ගන්නවා. මේ පාලනය කර ගැනීම නිසා අපේ සිදු වුනු ශාරීරික සූදානම භාවිතා වෙන්නේ නැහැ. අන්න එතැනදී අපේ ශරීරයේ ස්වභාවික සිදුවීම පලක් නැති සූදානමක් වෙනවා. එතකොට අර ගොඩ නැගුනු ශාරීරික උශ්නත්වය භාවිතා වෙන්නේ නැහැ. රුධිර පීඩනය වැඩි වූවාට හද ගැස්ම වැඩි වූවාට ශරීරය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ නිසා මේ ශාරීරික සූදානම ශරීරයට හානිදායක බවට පත් වෙනවා. 

කේන්ති පිට කලොත් ඔබ සමාජයීය වශයෙන් ගැටළු වලට මුහුණ දෙනවා. දැඩිව පාලනය කලොත් ශාරීරිකව ඔබට අනතුරක් වෙනවා.

දැන් අපි මොකද කරන්නේ. කේන්ති ගියාම පාලනය කිරීම ශරීරයට අහිතකර නම් අපිට ඉතිරි එකම විකල්පය කේන්ති නොගෙන සිටීමයි. කොහොමද කේන්ති නොගෙන ඉන්නේ? කේන්ති නොගෙන ඉන්න කවුරුවත් හිතලා කේන්ති ගන්නේ නැහැ. ඒක අවස්ථානුකූලව ඉබේ සිදු වන ක්‍රියාවක්.

කේන්ති නොගෙන ඉන්න නම් කේන්ති ඇති වෙන හේතු පාලනය කරන්න ඕනේ. ඔව් කේන්තිය නෙවෙයි කේන්ති ඇති වෙන හේතු පාලනය කරන්න ඕනේ. මේක කෙනෙක් පුහුණු කල යුතු කුසලතාවයක් කිව්වොත් වඩා නිවැරදියි. අපිට පුළුවන් නම් අනිත් මිනිස්සුන්ගේ ස්වභාවය තේරුම් ගන්න. එයාගේ හැටි ඔහොමමයි කියලා දන්නවානම් අපිට පුළුවන් ඒ අය එක්ක කරන ගණුදෙනු වඩා පරිස්සමින් කරන්න. වෙළෙන්දෝ අපෙන් කඩා වඩා ගන්නම සූදානම් කියලා දන්නවානම් මිලදී ගැනීමකදී වඩා ආරක්ෂාකාරී විය හැකියි. ඔබේ වටිනා දෙයකට හානි වුනොත් කේන්ති යනවා නම්, එක්කෝ මේ මොන වටිනා දේත් දවසක මට නැති වෙනවා කියලා ඒකේ අනිත්‍යය වටහා ගන්න ඕනේ, නත්නම් ඒ දේ ගැන වඩාත් අවධානයෙන් ආරක්ෂා කරන්න ඕනේ. 

ඔව් අපිට කේන්ති නොගෙන ඉන්න නම් වෙන්න ඕනේ පුළුවන් තරම් අපි මුහුණ දෙන හැම අභියෝගයකම ස්වභාවය තේරුම් අරන් අපි අවබෝධයෙන් ඒවාට මුහුණ දීම තමයි.
එතකොට ඇයි මේ දවස් වල හැමෝටම කෙන්ති යනවා වැඩි? අපිට එහෙම දෙයක් තේරෙනවා නේද? පුද්ගලිකව අපි හැමෝටමත් එහෙම කේන්ති යාමේ වැඩි බවක්  තියෙනවා  නේද? ඒකට හේතුව ඔය මුලින් කී කිසි දෙයක් නෙවෙයි, අපිට වටපිටාවෙන් බලපාන නොයෙකුත් හේතු නිසා.  හිතේ ඇතිවෙන අසහනකාරී මානසිකත්වය නිසා. ප්‍රශ්ණ වැඩි නිසා ඇති වෙන මානසික විවේකය අහිමි වීම නිසා. ඇත්තටම රටක සමස්ත ආර්තික කඩා වැටීමකදී මිනිසුන්ගේ සිතුවිලි වලත් ක්‍රමාණුකූල කඩා වැටීමක් සිදු වෙනවා. ඒක බොහෝ විට ඍජු හේතු නැතිව හුදු ප්‍රවෘත්ති හා කටකථා වල ගැබ් වෙන ඍණාත්මක තොරතුරු මත පදනම්ව වුනත් වෙන්න පුලුවන්. බලන්න අද අපිට අහන්න ලැබෙන්නේම හිත බර කරන පුවත් නේද? අන්න ඒක තමයි මේ මානසික අසහනකාරී තත්වය වර්ධනයට වගේම ඒකේ හේතුවක් ලෙස හට ගන්නා වැඩි කේන්ති යාමේ මූලික හේතුව.

මේ තත්වයේදී නම් අපිට කරන්න තියෙන මූලිකම දේ තමයි හැකි උපරිමයෙන් මේ ඍණාත්මක ප්‍රවෘත්ති වලින් ඈත්ව සිටීම. යම් පමණකට රටේ තොරතුරු දැන හිටියාම සාමන්‍ය පුර වැස්සියෙකුට හොඳටම ඇති. ඒ නිසා ප්‍රවෘත්ති වලින් ටිකක් හෝ ඈත් වෙන්න. ඒ වගේම සිතේ සතුට වඩවන පුරුදු වලට වැඩි වැඩියෙන් නැඹුරු වෙන්න. සිතේ සතුට වඩවන ක්‍රියා කාරකම් නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒක ගීතයක් ඇසීම, චිත්‍රපටියක් බැලීම වගේ විවිධ දේවල් වෙන්න පුළුවන් හැබැයි චිත්‍රපටි වලදී නම් අධික සටන් ජවනිකා, ඝාතන, විනාශකාරී සිදුවීම් රැගත් ඒවා නොබලා සිටීම වඩාත් හොඳයි (විශේෂයෙන් මේ වගේ තත්වයක් පවතින වෙලාවක).
තව අපිට පුළුවන් නම් වැඩි වේලාවක් අපි ප්‍රිය කරන මිතුරු ඇසුරක ඉන්න, සිත නිවන සුන්දර පරිසරයක පොඩි වෙලාවක් ගත කරන්න, ගහ කොල එක්ක, සුරතල් සතුන් එක්ක හෝ මාළු ටැංකියක් ලඟ පොඩි වේලාවක් දිනකට ගත කරන්න ඒවායින් අපේ සිතට ඇති වෙන සැනසිලිදායක හැඟීම නිසාම කේන්ති යාම වගේ සුන්දර නොවූ හැඟීම් අපෙන් ක්‍රමයෙන් ඈත් වෙනවා. ඉතින් මේ වගේ පුරුදු අපිට නැතත් සිතා මතා හෝ ගොඩ නගා ගන්නට පොඩි වෙහෙසක් ගමු. මේ ඒකට හොඳම වෙලාවයි. වෙන කිසිවක් නැතිනම් හැකි තරම් ඈත තියෙන පොල් ගහක උඩින්ම තියෙන කොලයක අග්ගිස්ස දෙස මිනිත්තු දහයක් බලාගෙන ඉන්න, ඒ ගැනම අවධානයෙන් බලාගෙන ඉන්න. ඔබට ලොකු නිවීමක් දැනේවි.

මේ කෙන්ති යන වෙලාවේ අපි හැකිතරම් කේන්ති නොගෙන ඉන්නට උත්සුක වෙමු. ඒක තමන්ටත් තමන් වටේ සිටින අයටත් ලොකු උදව්වක් වේවී.

Tuesday, November 16, 2021

ත්‍රී රෝද රථ නියාමන අධිකාරියක්!








මීට වසර කිහිපයකට පෙර කියාගත නොහැකි සිංහලෙන් වදන් ගැට ගසමින් බජට්ටුවක් ඉදිරිපත් කල එවක යහපාලන මුදල් ඇමතියෙකු ගැන පොඩි එකාගේ "ළියුම" ‍යයි මම දෙතිස් කථාවට ලිපියක් ලියූවෙමි.


මෙවර බජට්ටුව ගැන ඉතින් මා කිව යුත්තේ කුමක්දැයි නොදනිමි. බජට් කියවන ඇමතිලාගේ සිංහල භාෂණය යනු අපේ සමස්ත දේශපාලකයින්ගේ අවංක භාවය වැනිම වූ මහා පොදු සාධකයක් කොට සලකා මා ඒ පිළිබඳව කතා නොකිරීමට තීරණය කලෙමි.


ඒ වෙනුවට බජට් යෝජනාවක් ගැන කතා කල යුතුයැයි සිතුවෙමි..


මේවර බජට්ටුවේ කතාකල දේට වඩා නොකල දේ බොහෝ වූවා වගේම, කථා කල දෑ තුලින්ද අඩුම අවධානයක් ගත ත්‍රී රෝද රථ නියාමන අධිකාරියක් ගැන බලමු.


පළමුවෙන්ම මෙය අළුත් යෝජනාවක් නොවේ. 2019 වසරේදී මේ යෝජනාව ගැන එවකට ප්‍රවාහණ ඇමති වූ ක්‍රිකට් පමණක් දන්නා රණතුංග ඇමති වරයාද කතා කලේය. මෙවර එය බජට් යෝජනාවක් බවට පත් වී ඇති මුත් එයට යම් ප්‍රථිපාදන වෙන්කිරීමක් කොට ඇතිදැයි නොදනිමි.


ත්‍රීරෝද රථ නියාමන අධිකාරියක් සැබැවින්ම අපට අවශ්‍යද? මේ ව්‍යාපාරයේ නියුතු ලක්ශ හතකට වැඩි පිරිසක් සිටින බවත්, මේවා නොයෙකුත් ආකාරයේ සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා දායක කර ගන්නා බවත්, මේවායින් මගීන් සූරා කෑමට ලක් කරනා බවත්, ත්‍රී රොඅද රියැදුරන් ගේ සුභසාධනයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් බොහෝ තන්හී කියැවේ. 


නමුත් මගේ මූලික ප්‍රෂ්නය නම්, ත්‍රී රෝද රථය යනු සුවිශේශී කුලයක්ද? ඇයි ත්‍රී රෝද රථ සඳහා පමණක් නියාමණ අධිකාරියක්.

නියාමන අධිකාරියක් පත් කරනවානම් එහි අරමුණ කුමක්දැයි මේ යෝජනා කරන උන්දෑලාට වැටහීමක් වත් ඇතිද? මේ අධිකාරියක් පිහිටුවා කරන්නට හදන්නේ තවත් ගාස්තුවක් අයකර ගැනීමට මග සැලසීමටද? නැතිනම් තමන්ගේ හිතවතුන් පිරිසකට තවත් රජයේ රැකියා ටිකක් බිහි කරගැනීමටද? විය යුත්තේ එයද?


ඇත්තෙන්ම අද නියාමනයක් අවශ්‍යව ඇත්තේ සමස්ථ පෞද්ගලික මගී ප්‍රවාහණ කුලී රථ සේවා සඳහාය. මෙය නියාමනය විය යුත්තක්ම බව පිළිගනිමි. එහි අරමුණ විය යුත්තේ සමස්ථ කුලී රථ මගීන්ගේ ප්‍රවාහණ පහසුකම් ක්‍රමවත් කිරීම, හා පහසුකම් වැඩි වර්ධනය තුලින් මගියාගේ හා සේවා සපයන්නාගේ ජීවන තත්වය ඉහළ නැංවීමයි.


පාලකයින්ට වුවමනාවක් ඇත්නම්, මගී ප්‍රවාහණ කුලී රථ නියාමන අධිකාරියක් පිහිටුවිය හැකිය. ඒ මගින් ත්‍රී රෝද ඇතුළු සමස්ථ කුලී මගී රථ ලියාපදිංචි කල යුතුය. කුලී රථ සඳහා ආචාර ධර්ම පද්ධතියක් පැනවීම, රියදුරාගේ තොරතුරු මගියාට ප්‍රදර්ශණය කිරීම වැනි ධනාත්මක ක්‍රමවේදයන් හඳුන්වා දිය හැකිය.


ඒ වගේම ත්‍රී රෝදයෙන් කුඩා කාර් රථයකට "අප්ග්‍රේඩ්" වීමට කැමති ත්‍රී රෝද රියැදුරන් සඳහා අඩු බදු මුදලකට යටත්ව කුඩා කාර් රථ ලබා දීම කල හැකිය. ඒ මගින් ක්‍රමානුකූලව ත්‍රී රෝද රථ සංඛ්‍යාව අඩු කිරීමටද වැඩ කල හැකිය.


මේ ආදී තවත් බොහෝ යපත් දෑ මේ ඔස්සේ මගියාගේත් ත්‍රී රෝද රථ රියැදුරාගේත් යහපත පිණිස නියාමන අධිකාරියක් හරහා කල හැකිය.


එහෙත් මේ යෝජනාව යම් ලෙසකින් ක්‍රියාත්මක කිරීමට සැලසුනහොත්, ත්‍රී රෝද රියැදුරන්ගේ විරෝධතා පෙලපාලි බලාපොරොත්තු වීම ලක් දෙරණේ අද වැඩ සිදුවෙන ආකාරය අනුව වඩාත් සුදුසුය.


Friday, September 10, 2021

බුදු දහමට ආත්ම සංකල්පය කා වැද්දවීම

 බුදු දහමට ආත්ම  සංකල්පය කා වැද්දවීම

මේ කථාව බුදුන් දෙසූ දහම හා ගැලපෙන්නේ කෙසේදැයි විමසීම උදෙසා පමණි.




නයනේ - සිතුවිළි
මං හිතන්නේ මේ හාමුදුරුවෝ එක්ක වංගීස හාමුදුරුවෝ සාකච්චාවක් තිබ්බා නම් හොඳ වෙයි. වංගීස හාමුදුරුවෝ සියල්ල නැත වැනි මතයක හිඳිද්දී මේ හාමුදුරුවෝ සියල්ල ඇත වැනි මතයකයි සිටින්නේ. ඉතින් හොඳ සාකච්චාවක් දැක ගත හැකිවේවී
Hide 9 replies
Ajara Magga
මම කැමතියි අපිට ඕන මේක භික්ෂූන් වහන්සේලා සමග සාකච්ඡා කරන්න . මෙහෙම සාකච්ඡා කරද්දී කාටවත් මගාරින්න බෑ. එවිට සත්‍ය මතු වෙනවා.
නයනේ - සිතුවිළි
 @Ajara Magga  ඔව් වීඩියෝව බලලා මම මේ කමෙන්ට් එක දැම්මාට පසුවයි පහලට කමෙන්ට් කියවූයේ. ඔබ වහන්සේගේ ආවේගශීලී පිළිතුරු දෙස දුටු විට නම්, ඔබ වහන්සේ සැබැවින්ම ධර්ම මාර්ගයේ දැයි පැහැදිලි සැකයක් උපන්නා. කමක් නෑ එය පසෙකින් තිබියේවා. ආත්මය නැතැයි බුදුන් කිසි තැනෙක දෙසා වදාරා නැති බව ඔබ වහන්සේ කීවද, ආත්මය ඇතැයි බුදු හිමියන් කියූ තැනැක් පෙන්වා දිය හැකිද? සම්මුති ලෝකය තුල ආත්මය නම් වූ සංස්ඛාර ධර්මයක් (සංකල්පයක් ) ඇති බව ඔබ අප සැමට සාමාන්‍ය නුවනින් පවා වැටහෙන කාරණයක්. ඉතින් සර්වඥ්ඥ වූ බුදු කෙනෙකුන් එය නැතියැයි කියාවිද?
Show less
Ajara Magga
 @නයනේ - සිතුවිළි  එසේ කමෙන්ට් නොකලානම් මෙහි අර්ථය 👌වහන comments ගණනාවකින් මෙය පුරවලා, එවිට බලන අය හිතන්නේ මේ කියපු කාරණාව වැරදියි කියලා, 👉එසේ නොකළා නම් මෙහි කමෙන්ට් කරන්නෙත් මේ කියන කාරණාව වැරදි බව ඉලක්ක කරලා . ඒක නතර කරන්න තමයි ඒ ආකාරයෙන් පිළිතුරු දෙන්නේ, හේතුව කමෙන්ට් කරන සියල්ලෝ ම ධර්මය දැන ගැනීමේ sathya අරමුණෙන් කමෙන්ට් කරන අය නොව ☸️☸️👉😁 ඔහුන්ගේ පණ්ඩිත බව හා උනුත් දන්නවා යන්න පෙන්වීමට ඇති මානසික උවමනාව නිසා අදහස් දක්වන අයයි ☸️☸️ අවංකවම දැන ගැනීමේ අරමුණිනි ප්‍රශ්නයක් යොමු කලේ නම් ඒ සියල්ලටත් පිළිතුරු දීමද මගේ යුතුක් සේ සලකා පිළිතුරු දුන්නා. මෙය තොප්පිය හරි කාට උනත් දාගන්න පුළුවන් .
Show less
නයනේ - සිතුවිළි
 @Ajara Magga  ගරුතර හිමියනි, ඔබ වහන්සේට මාගේ ප්‍රශ්නයට පිලිතුර මග හැරී ගොස් ඇත්තේ මන්ද? පිළිතුරු දුන් ආකාරය පිළිබඳව මා නොතකන බව මා විසින්ම ඉහත කියා ඇත. ඒ නමුත් මා ඇසූ වැදගත් දහම් කරුනට ඔබ වහන්සේගේ පිලිතුර බලාපොරොත්තු වෙමි. දන්නවා යැයි පෙන්වීම ප්‍රශ්න ඇසීමෙන් කල නොහැකිය. නොදන්නා දේ දැන ගැනුම පිණිසම ප්‍රශ්ණ අසමි. ආත්මය සංස්ඛාර ධර්මයක්ද? ආත්මය උපාධානයකල හැකිදනොහැකිද?
Show less
Ajara Magga
 @නයනේ - සිතුවිළි  ආත්මය සංස්කාර ධර්මයන්ට අයිති දෙයක් නොවෙයි👈. නමුත් සත්කාර ධර්මයට අයිති නැති බව දැන ගැනීමටත් , 👉සංස්කාර ධර්මයන් 👌ගෝචර විය යුතුයි. ආත්මය උපාදන කළ නොහැකියි👈 . නමුත් ආත්මය, 👉වැරදි දැක්ම තුළ සියලු ධර්මයන්ට උපාදාන වීම ද නිවැරදි දැක්ම තුළ සියලු ධර්මයන්ට උපාදානය👍 නොවීමද සිදුවෙයි. එය සඳහා බලපාන්නේ පුද්ගලයා සතු දැක්මයි.
නයනේ - සිතුවිළි
 @Ajara Magga  ගරුතර ස්වාමීන් වහන්ස, මේ ප්‍රශ්ණ නැගීම හුදෙක් මාගේ වටහා ගැනීම පිණිසමයි. ආත්මය සංස්ඛාර ධර්මයක් නොවෙයි නම් එය අපට පරමාර්ථ ධර්මයක් ලෙස ගත හැකිද?
Ajara Magga
 @නයනේ - සිතුවිළි  අභිධර්මයේ සඳහන් අරුතින් පරමත්ථ ධර්මයක් ලෙස ගත නොහැති වුවත් , 👉පරම අර්ථය යන අරුතින් ගත්තට වරදකුත් නෑ කියල මට සිතෙනවා. ආත්මය යන්න සිහිනුවනින් යුතුව 👌දමනය කල යුතු අතර දමනය කරන අවස්ථාව තුළ වෙනස් වීමට භාජනය 👉නොවෙයි, නමුත් දමනයෙන් ගිලිහෙන්නෙ නම් ඒ අවස්ථාව තුළ 👉වෙනස් වීමට භාජනය වෙයි. ඒ නිසයි ස්ථාවර ආත්මයක් පනවන්න බැරි.
Show less
නයනේ - සිතුවිළි
 @Ajara Magga  අවසරයි ගරු තර හිමියනේ, දිගින් දිගට ප්‍රෂ්න නැගීම ගැන සමාවන්න. ආත්මය ස්ථාවර ලෙස පැනවිය නොහැකිනම්, එය අනිත්‍යයට යටත් බව සැලකිය හැකියි නේද? මගේ පැනයට පිළිතුරු දීම ඔබ වහන්සේගේ අභිමතය පරිදිම සිදු වේවා.
Ajara Magga
 @නයනේ - සිතුවිළි  ආත්මය වෙනස්වීමට භාජනය වන්නේ අනිත්‍ය ධර්මයන් 👉☸️තමාගේ යන 👌හැඟීමෙන් ගැනීම තුළ ය. මේ නිසා තමයි දුකට පත්වන්නේ. යමෙක්ට හැකිනම් වීරියෙන් යුතුව සිහිය උපදවා ගෙන පවත්වමින්, 👌ප්‍රඥාව භාවිතා කොට අනිත්‍ය ධර්මයන් ගේ අනිච්චතාවය දැක එම ධර්මයන් 👉තමාගේ යන හැඟීමෙන් ස්වායක්තව ප්‍රත්‍යක්ෂ කරන්න, ☸️එවිට ආත්මය වෙනස් වීමට භාජනය නොවන අතර ඒ හේතුවෙන් ඒකාන්ත සැපයක් ජනිත වී පැවතීම සිදුවේ. ඒ නිසයි නිවන සැපයක් සේ පෙන්වා දෙනු ලැබුවේ.
Show less

https://www.youtube.com/watch?v=DDMzbUhl1is&t=291s
      
ආත්මය වෙනස් වන්නේ තමාගේ යන හැඟීම නිසාලු.සිහි බුද්ධිය ඇත්තන්ගේ ප්‍රථිචාර සඳහා