Thursday, November 26, 2020

 ලංකාවේ එකලස් කල මෝටර් රථ අඩු මිලකට ?



ලංකාවේ විදේශමුදල් සංචිත ප්‍රශ්නය මත මෑතකාලීනව සියළු රථ වාහන ආනයන සහමුලින් නවතා දැමුනි.

ඊට පෙරදී අප රටේ වාහන වෙළඳපොළ පැවතියේ අතිශයින්ම අසාධාරණ මිල මට්ටමක් දක්වා වර්ධනය වී තිබුනි. එය  ඍජුවම සාමාන්‍ය පන්තියේ ජනයාට වාහනයක් මිලදී ගැනීම කල නොහැකි හෝ සියජීවිත කාලයටම ණය කරුවෙකු වීමේ මට්ටමට පත්ව තිබුනි.

කොටින්ම අප අසල්වැසි ඉන්දියාවේ ඇල්ටෝ කාර් රථයක් මිලදී ගන්නවාට වඩා මදක් වැඩි මුදලකට ත්‍රී රෝද රථයක් මිලදී ගැනීමට අපට සිදුවී තිබුනි.


මෑතක ඇතිවූ නව ප්‍රවනතා යටතේ එය සම්පූර්ණයෙන්ම ආනයන නවතා දැමීමක් දක්වා දිගු වූයෙන් තිබෙන වාහනය හෝ පාවිච්චි කල වාහනයක් මිලදී ගැනීමෙන් සැනසීමට කාහටත් සිදුවිය.


මේ තත්වය යටතේ රජය ඉතා ප්‍රගතිශීලී ඉදිරි පියවරක් තබමින් ලංකාව තුල වාහන එකලස් කිරීම දිරිගැන්වීමට තීරණය කර ඇති බව වාර්ථා වේ. මේ තුලින් ජනතාවට හොඳ බලාපොරොත්තුවකට ඉඩ මතුවේ.


මේ නව උත්සාහය යටතේ අයිඩියල් මෝටර්ස් නම් ලාංකික සමාගම ඉන්දියාවේ මහේන්ද්‍රා මෝටර්ස් ආයතනය සමග එකතුව ඔවුන්ගේ නවතම SUV රථයක් ලංකාවේ එකලස් කොට ලංකාවේම නිපදවූ උපාංග රැසක් සමගින් හඳුන්වා දීමට කටයුතු කොට ඇත.

බැලූ බැල්මට ඉතා හොඳ ආරම්බයකි.


එහෙත්, මේ ලංකාවේ එකලස් කලායැයි පැවසෙන රථය ඔවුන්ම පවසන ආකාරයෙන් අඩු මිල රථයකි. ඒ නිසාම එහි උපාංග හා තාක්ශනික නවතාවයන් එතරම් ආකර්ශනීය මට්ටමක නැත. මීට වසර දහයකට දොලහකට පෙර ජපන් වාහන වල තිබූ තාක්ශනික මට්ටම යන්තමින් පවත්වාගත් බවක් දැකිය හැකිය. මේ රථය මැනුවල් ගියර් පද්ධතියකින් සමන්විතය. එයද ඉතාම ප්‍රාථමික තත්වයකි.


ඒ සියල්ල අභිබවා, සමාගමට අනුව අඩු මිල රථයක් වූ මෙය ලංකාවේ එකලස් කිරීම, දේශීයව නිපදවූ උපාංග සහිත වීම යන නිර්නායකයන්ටද යටත්ව මිල කොට ඇත්තේ ලංකා රුපියල් මිලියන 3.4 ක් පමණ මිලකටය එනම් ලංකා රුපියල් ලක්ෂ 34ක් වැනි මිලකටය.


සාමාන්‍ය ජපන් කාර් රථයක් හා සැසඳීමේදී මෙය සැලකිය යුතු අඩු මිලකි. එහෙත් අප සසැඳිය යුත්තේ මේ හා සමාන වෙනත් රථ හා ඒවායේ ජාත්‍යන්තර මිළ සමගය.


මේ රථයේ මව් රට වූ ඉන්දියාවේදී එහි මිළ කෙබඳුද?


ඉන්දියාවේදී මේ රථය කුඩා වෙනස් කම් සහිත මාදිලි තුනකින් එලි දක්වා ඇත.

එහි මිල පරාසය වනුයේ ඉන්දියානු රුපියල් ලක්ෂ 5.66 සිට 6.65 දක්වාය. මේ ඉන්දියානු රුපියල් මිලියන නොව රුපියල් ලක්ෂ වලිනි.

ඉන්දියානු රුපියල් ලක්ෂ 6.65 හෙවත් 665,000.00 යනු දල වශයෙන් ලංකා රුපියල් 1,655,000.00 හෙවත් මිලියන 1.655 ක් වේ.


ඒ අනුව මේ රථයේ ලංකාවේ එකලස් කිරීමේදී මිල එහි මව් රටේ වෙළඳ පොල මිල මෙන් දෙගුනයකට මදක් වැඩිය.


මේ මිල ගොඩ නැගෙන්නේ, ලංකාවේ එකලස් කරද්දී පවා රජය විසින් අය කරන අධික බදු මුදලක් නිසාද, නැතහොත් ලංකාවේ වාහන මිල ඉහළ වීමේ වාසිය ගැනීමට නිශ්පාදකයා කෘතිමව මිල ඉහල දැමීමක්දැයි දන්නේ ලංකාවේ මේ රථ අලෙවි කරන සමාගම පමණක් විය හැකිය.


කෙසේ වෙතත් එතරම් විශාල මුදලකට, අඩු මිල වාහනයක් යැයි නිශ්පාදකයාම හඳුන්වන ප්‍රමිතියෙන් අඩු වාහනයක් දේශීය ගැණුම් කරුවා අතට පත් කිරීම චේතනාන්විතව ශ්‍රී ලාංකිකයාගේ ජීවන මට්ටම පහතින් තබා ගැනීමකි.


මේ අසාධාරණයේ වගකිව යුත්තෝ කවුරුන්ද?