Sunday, July 24, 2016

ලොකු රටක්ද? පුංචි රටක්ද?

ඒ 1999 දී පමණ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාදිපති ධූරය දරණ යුද්ධය දිනපතා මල මිනී කොළඹට එවන යුගයේ දිනක්.
මම කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ මල් වෙළඳ ප්‍රදර්ශනයක ඉබාගාතේ ඇවිදිමින් සිටි වෙලාවක.
බොහෝම වැදගත් පෙනුමක් ඇති වයස්ගත දමිල මහතෙකු අහම්බෙන් මෙන් මා හා කථාවට වැටුනා. ඉතාම ව්‍යක්ත ඉංග්‍රීසි භාවිතයක් තිබූ ඔහු මා හා කථා කලේම ඉංග්‍රීසියෙන්. ඇතැම් විට ඔහු සිංහල බස නොදන්නෙකු විය හැකියැයි මට සිතුනා.
සරළ කතා බහකින් පසු ඔහු රටෙ තත්වය ගැන කථා කරමින්

මේ කොයිතරම් ලස්සන රටක්ද. අපිට ලෝකේ කොහේ හිටියත් මේ රටේදි දැනෙන සතුට ලබන්න බැහැ. ඒත් මේ රටට වෙලා තියෙන අවාසනා වන්ත තත්වය නිසා අපිට මේ රට අත් හරින්නට සිදු වුනා.
මගේ විමසුමට පිළිතුර් දෙමින් ඔහු මගේ ගෙවල් තිබුනේ උතුරේ. අපි ඒ ඔක්කොම අත හැරලා දැම්මා. එහෙ තියෙන අවාසනා වන්ත තත්වයත් එක්ක දරුවෙක් තියා ගන්නේ කොහොමද. දන් මගේ දරුවෝ ඔක්කොම ඉන්නේ කැනඩාවේ. ඒ අය දැන් ලොකු රස්සා කරනව මායි බිරිඳයිත් එහෙ ඉන්නේ  ඒත් අපිට දැනෙන්නේ අපි පිටස්තරයෝ කියලායි කියා ඔහුගේ දිවියේ දුක්බර පැත්ත ගැන නොදන්නා මා හා විවෘත්ත වුනා.
මගේ පිළිතුර වුනේ මේ රටට මේ තත්වය උදා කලේ ජාති බේදයකින් තොරව අපේ රටේ සිටි අවස්ථා වාදී දේශපාලකයින් බවයි. කොටින්ම බොහෝ දේශපාලකයින්ට අක්කරයක ඉඩ ප්‍රමාණයක වුව එය වෙනම රටක් ලෙස පිළිගැනේනම් තමා පිදීමට සැදී පැහැදුන ජනගහනයක් වෙත්නම් ඔවුන් එයට කැමැති බවයි. එසේම සාමාන්‍ය ජනයා වූ අපිට වටින්නේ වඩා විශාල දේශයක පුර වැසියන් වීම පමණයි කියායි.
ඒ ඇසූ ඔහු වික්ශිප්ත වූවා. මාහට පුතා කියා ඇමතූ ඔහු තමා කවුරුන්දැයි දන්නේදැයි මගෙන් විමසා සිටියා. මා මේ කථා කරන්නේ කවරෙකු සමග විය හැකිදැයි මා සිතුවේත් එවිටයි. තමා හඳුන්වා දෙමින් ඔහු.
ඔබ මා දැන සිටීනට ඉඩක් නැහැ. මා දේශපාලනයෙන් සමුගෙන දැන් දීර්ඝ කාලයක් ගත වෙලා. මා දමිල එක්සත් විමුක්ති පෙරමුණ යටතේ අමිර්තලිංගම් මහතාගේ නායකත්වයෙන්  ..... ආසනය නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රී වරයායි (ඔහුගේ නමත් සඳහන් කරමින් අවාසනාවකට මට එය දැන් මතක නැත ) . ඔබ කියන දෙය සම්පූර්ණයෙන්ම ඇත්ත බව මටත් දැන් හිතෙනවා. ඒ මොකද දැන් මම දේශපාලකයෙකු නොවෙයි එක් සාමාන්‍ය පුද්ගලයෙකු පමණක් නිසා. ඇත්තෙන්ම මේ බෙදී වෙන්වීම දේශපාලකයින්ගේ මිස සාමාන්‍ය ජනතාවගේ වුවමනාව නොවෙයි තමයි. ජනතාව ආරක්ෂා කල යුතු අය නිසා ජනතාව විනාශ වෙනවා.
තවත් බොහෝ දේ කතා කරමින් සිට අපි වෙන්ව ගියා. මා ඔහු ජීවිතයට දුටු මුල්ම හා අවසන් අවස්ථාව එයයි.

මගේ මේ අත්දැකීම ගැන ලියන්නට සිත් වුනේ ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ වෛද්‍ය රුවන් විසින් ලියා ඇති වාසවිලාන් ලිපියේ විසල් දමිල ගෘහය ගැන තොරතුරු කියවූ විටයි.


මේ ලිපිය ලියා යම් කාලයක් ගත වුනා. එය පල කිරීමට තරම් උනන්දුවක් ඇති වුනේ නැහැ. ඒත් කමක් නැහැ කියා දැන් පල කරන්නට සිතුවා.