Wednesday, September 7, 2016

කසාද මිනිහට අයිතියක් නැද්ද ගෑනිට වෙඩි තියන්න !

කසාද මිනිහට අයිතියක් නැද්ද ගෑනිට වෙඩි තියන්න !

මෑත කාලයේ ජනමාධ්‍ය වල බොහෝ සාකච්චාවට ලක් වුනු සැමියෙකු විසින් තම බිරිඳට වෙඩි තබා මරා දැමීමට තැත් කිරීමේ  කාරනය තුලින් මට වෙනස් කථාවක් මතක් වුනා. මේක මීට අවුරුදු 15 කට විතර කලින් මම මුහුන දුන් අත්දැකීමක්.

එවකට මා රාජකාරි කල පෞද්ගලික ආයතනයේ මගේ ලේකම්වරිය ලෙස සේවය කල තරුණිය එවකට තම විවාහයෙන් වෙන්ව මව සමග ජීවත් වූ තැනැත්තියක්. ඉතා කාර්‍ය ශූර තරුණියක වූ ඇයගේ පෞද්ගලික ජීවිතය ගැන මා ඊට වඩා යමක් දැන සිටියේ නැහැ.
ඉතා කැපවීමෙන් තම රාජකාරි ඉටුකල ඇය, දිනපතාම මෙන් රැකියාවට පැමිණියේ මාගේ අංශයේම සෙවය කල අලෙවි නිළධාරියෙකුගේ රාජකාරි රථයෙන් ඔහු හා අසල කාර්‍යාලයක සේවය කල ඔහුගේ බිරිඳද සමගින්.

එක් දිනක් උදයේ මා අසුනේ රැඳී සිටියදී හදිසියෙන් මෙන් දුවගෙන ආ පෙර කී අලෙවි නිළධාරියා සියල්ලන් තැති ගන්වන පුවතක් කියා සිටියා. ඔහු සුපුරුදු පරිදි ඔහුගේ බිරිඳ කාර්‍යාලය අසලින් බස්සවා අපගේ කාර්‍යාලය ඉදිරියෙන් ලේකම් වරිය බස්සවා රතය අයිනට කර නවත්වනවාත් සමගම අසල නවතා තිබූ ත්‍රීරෝද රියකින් ඉදිරියට පැමිණි තරුණයන් තිදෙනෙක් අර ලේකම්වරිය බලහත්කාරයෙන් ඇද ත්‍රිරෝද රියට දමාගෙන පලා ගොස් ඇත.
වාසනාවකට මගේ අලෙවි නිලධාරියා ඒ තිදෙනා අතර සිටි ඇයගේ වෙන්ව සිටින සැමියා හඳුනාගෙන ඇත.

ඒ අවස්ථාවේ මාගේ උපදෙස් මත වහාම මා ඇයව රැගෙන පැමිණි අය හා තවත් අලෙවිඅංශයේ තරුණයෙකු ආසන්නම පොලිස් ස්ථානය වෙත පිටත් කර හැරියේ රැගෙන පැමිණි අයගේත් පැහැර ගැනීමට ලක් වූ තරුණියගේත් ආරක්ශාව වෙනුවෙනුයි.
ඔවුන් ගොස් පොලීසියට මෙය පැමිණිලු කල විට පොලීසිය අසා ඇත්තේ රැගෙන ගියේ සැමියා විසින් බව හඳුනා ගත්තාද යනුයි.
ඒ සැමියා බව පැවසූ විට එසේනම් අපිට කරන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ටත් ප්‍රශ්ණයක් නැහැ ඒගොල්ලන්ගේ පවුලේ ප්‍රශ්ණය ඒගොල්ලෝ බේරාගනියි කියා පැමිනිලි කිරීමට ගිය පිරිස හරවා එවා තිබුනා.

කිරීමට කිසිවක් නොවුනු හා එකට රාජකාරි කල මිතුරියකගේ හදිසි ආපදාවෙන් කැලැඹුනු ආයතනයේ පිරිස ලෙස වහාම මේ ගැන ඇයගේ මවට හා ඤාතීන්ට දැනුම් දී ඔවුන්ව පැහැරගැනුම සිදුවූ ප්‍රදේශයට අයත් පොලිස් ස්ථානයට යොමු කිරීමට කටයුතු කළා.

මේ තරුණිය සැමියාගෙන් වෙන්වීමට නීත්‍යානුකූලව කටයුතු කරමින් සිටි බවත්, පැහැර ගැනුම කල සැමියා කිසියම් වූ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වූ කාලකන්නියෙකු බවත් ඇයගේ ඤාතීන්ගෙන් අප පිරිස පසුව දැනගෙන තිබුනා.

මේ සමස්ථ සිදුවීම අප සමාජයේ එදිනෙදා සිදුවන දහසකුත් එකක් පවුල් ආරවුල් සමග බැලීමේදී හුදු තවත් එක් සිදුවීමක් මිස කථා කිරීමට තරම් වූ වැදගත් සිදු වීමක් නොවෙයි.
එහෙත් අදටත් මේ සිදුවීම මගේ මනසේ රැඳී පවතින්නේ එකම එක හේතුවක් නිසයි. ඒ අදාල අවස්තාවේ පොලීසියේ හැසිරීම හා එම තරුණිය මිහුණ දුන් අති භයංකාර අනාරක්ෂිත තත්වය.
ඇය කෙරෙහි ද්වේශයෙන් ඊර්ශ්‍යාවෙන් හා ක්‍රෝදයෙන් පසුවූ සමාජ තත්වය අතින් ඇයට නොගැලපෙන එම අවාසනාවන්ත මිනිසා ඇයගේ ජීවිතයට අනතුරක් කලා නම්, ඇයට ඇසිඩ් ප්‍රහාරයකින් වැනි යමකින් හානි කලානම්, දරුනු ලෙස වදදී අඩන්තේට්ටම් කලා නම්,  යම් අයුරකින් ඇය හා මේ උන්මත්තකයා ලිංගික ඇසුරක් ඇවැත්වූවා නම්, ඔහු වසර ගනනාවක් ඇගෙන් වෙන්ව සිටීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්වය කෙබඳු විය හැකිද එයින් ඇයට ඇති වන සෞඛ්‍යමය අවධානම කොතෙක්ද? එය සාපරාධී ස්ත්‍රී දූශනයක් නොවන්නේද?
එවැනි අවධානමකින් ගැලවීමට ඇයට පුද්ගලයෙකු සතු අයිතියක් නොවන්නේද?
ඇයගේ ඉච්චාවෙන් තොර බලහත් කාරයක් හමුවේ ඇයගේ අයිතීන් හා ජීවිතය ආරක්ශා කර දීම පොලීසිය සතු වගකීමක් නොවන්නේද?

අදාල දිනයේ ඇගේ අරමුණ වූ රැකියාවට වාර්තා කිරීම බලහත්කාරයෙන් වැලකීමට අදාල දිනය වනවිටත් නීතියෙන් අවලංගු නොවූ සැමියා වූ පමණින් ඔහු සතු බලයක් වෙත්ද?
පොලීසිය ගරු කලේ එවන් වූ අයිතියකටද?

පුද්ගලයෙකු තමන්ගේ ඉච්චාවෙන් තොරව බලහත්කාරයෙන් රැගෙන යාමට හා රඳවා තබා ගැනීමට විවාහ නීතිය බලය සපයන්නේද?
එය එසේනම්
ගැහැණිය යනු අපේ නීතියට අනුවත් සැමෙයාගේ යටතේ ජීවත් වන දෙවැනි අන්තියේ පුරවැසියෙකු විය යුතුයි නේද?

අද වන විට සමාජය අස්වාභාවික ලිංගික රුචියන් ඇති පුද්ගලයින්ගේ අයිතීන් ගැන පවා කථා කරති. එහෙත් සැබැවින්ම ගැහැණිය සතුව නීතිමය ආරක්ෂාවක් වෙත්ද?

තත්වය එබඳු නම් කසාද මිණිහා ගෑනිට වෙඩි තිබ්බාම මොකද?



Thursday, August 25, 2016

බස් ගැමුණු හා පෞද්ගලික අධ්‍යාපනය



දින කිහිපයකට පෙර රත්නපුර ප්‍රදේශයේදී පැවති සයිටම් දෙමාපිය සංසදය මෙහෙයවූ සාකච්චා සභාවක හටගත් අනුමත කල නොහැකි ගැටුම්කාරී තත්වය මේ ප්‍රශ්ණය තවත් ව්‍යාකූල කල බවක් පෙනේ.

බස් හිමියන්ගේ අයිතිවාසි කම් වෙනුවෙන් පෙනී සිටීම ගැන ප්‍රසිද්දියක් උසුලන ගැමුණු විජරත්න මහතා සයිටම් දෙමාපිය සංසදයේ සභාපති ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටීම මෙම සිදු වීමෙහි එක් ප්‍රධාන ප්‍රථිපලයක් වී ඇත.  මෙම සිදුවීම සමාජයීය වශයෙන් බලපාන්නේ කෙසේද යන්න වෙනමම සාකච්චා කල යුතු තත්වයකි. මේ කාරනය පෞද්ගලික අධ්‍යාපනයට ධනාත්මකව මෙන්ම ඍනාත්මකවද බලපෑමක් වී ඇත.

එදින සිදු වූයේ කුමක්දැයි අපට තවමත් ජන මාධ්‍යය ඔස්සේ පැහැදිලි චිත්‍රයක් ලැබී නැත.
එහෙත් දැනගන්නට ඇති කරුනු අනුව (රූපවාහිනී මාධ්‍යයේ ප්‍රවෘත්ති හා වෙබ් අඩවි වාර්ථා ) එදින සයිටම් දෙමාපිය සංසදය නම් වූ සංවිධානයක් මගින් සමාජය දැනුවත් කිරීමේ කථිකාවතක් රත්නපුරයේදී පවත්වා ඇත. මෙයට සහභාගී වූවෝ ආරාධිතයන්ද? නැතහොත් එය විවෘත්ත සාකච්චාවක්ද යන්නත් පැහැදිලි නැත.

කෙසේ වෙතත් එයට සහභාගී වී ඇති පිරිස අසාමාන්‍ය බවක් පෙනේ.
එහිදී කථිකයන් ලෙස සයිටම් දමාපිය සංසදයේ සාමාජිකයින්ට පරිභාහිරව දබර අමිල නම් විශ්ව විද්‍යාල ආචාර්‍ය ප්‍රභල දේශපාලන ක්‍රියාධර ස්වාමීන් වහන්සේද, පුරවැසි බලය සංවිධානයේ ප්‍රධානීන්ද සහභාගී වූ බව පෙනේ.
එසේම මෙහි සභාවෙහි දෙමාපිය සංසදයෙහි සාමාජිකයයින් හා අන්තරයේ හෝ කුරුට්ටන් හෝ අන් යම් කණ්ඩායමක් නියෝජනය කරන සබරගමු වි.වි සිසුන්ද  සිට ඇත. ඔවුන් ආරාධිතයන් වූවාද අනාරාධිතවම පැමින සහභාගී වූවාද යන්න පැහැදිලි නැත.

සිදුවීම උද්ගත වී ඇත්තේ දඹර අමිල ස්වාමීන් වහන්සේගේ කථාව අවසානයත් සමගය. එහිදී නැගී සිටින සිසුවෙකු සභාව නොතකා තමන් සභා මධ්‍යයෙහි සිට කථාවක් පැවැත්වීමට පටන් ගනී. ඒ සමගම උරණ වන දෙමාපියන් මේ තරුණයා හා ඔහුගේ සගයා හෝ සගයන් සභාවෙන් වහාම ඉවත් කර දමයි.
මෙහිදි අප බැලිය යුතු කාරනා කිහිපයක් ඇත.
ඔවුන් කඩාකප්පල් කිරීමට දැඹර අමිල හිමියන්ගේ කථාව වසන් වනතුරු සිටියේ මන්ද?
එය කිසියම් පූර්ව සැලැස්මක්ද?
එසේ අනපේක්ශිතව සිදු වූ කඩාකප්පල් කිරීම මත සයිටම් දෙමා පියන් එතරම් කලබල වූයේ මන්ද?
වැඩිහිටියන් ලෙස ඔවුන්හට එය වඩා සාමකාමී ලෙස කර ගැනීමට ඉඩක් නොවුනිද?
වි වි සිසුන් සාමකාමිව මෙහෙයවීම කල නොහැකකැයි යමෙකු කීවොත් එය පූර්වාදර්ශ සහිතව විවි සිසුන් විසින්ම සනාත කොට ඇත්තකි.
කරුණු කෙසේ පෙල ගැසුනද දෙමාපියන්ගේ හැසිරීම එතරම් දැඩි හා කලබල කාරී වීම අනුමත කල නොහැක්කකි.

මේ සාකච්චාව අවසන නටපු නැතුමකුත් නැත බෙරේ පළුවකුත් නැත කීවාක් මෙන් සියල්ල උඩු යටිකුරු වී ඇත.

රටේ සමස්ථ සිසු ප්‍රජාව වෙනුවෙන් සියළු පුද්ගලයින්හට එක් එක් බමුණු කුල වල අන පනත් වලට යටත් නොවී නිදහසේ තමන් කැමැති විෂය ධාරාවක් ඔස්සේ උසස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු විය යුතුය. දුප්පත් දක්ෂ සිසුවාට දුප්පත් කම භාධාවක් කර නොගෙන ශිශ්‍යත්වයකින් හෝ බැංකු මූල‍ය ප්‍රථිපාදන හරහා හෝ තම ඉම් සොයා යාමට ඉඩ හසර විවෘත්ත විය යුතුය.

දැනට වැඩිම අභියෝගයට ලක් වී ඇති සයිටම් ආයතනයේ දෙමාපිය සංගම් මේ ජාතික ප්‍රශ්ණය කථිකාවක් බවට පත් කිරීමට උත්සහ දරන්නේ නම් එය ඉතා යහපත් ක්‍රියාවකි. එහෙත් එය දැඩි හික්මීමකින් හා අවබෝධයකින් කල යුත්තකි.
දැලි පිහියෙන් කිරිකෑමක් සේ ප්‍රවේසමෙන් කල යුත්තකි.
ආණ්ඩුවට තග දමා බස් ගාස්තු වැඩිකරනා සේ කල හැක්කක් නම් නොවනු ඇත.

මේ ගැන තවත් වෙනස් අයුරකින් බැලූ අපගේ බ්ලොග් කරුවෙකු මා උපුටා දක්වමි. ඔහුගේ මතයද විමසා බැලීමට සුදුසුය.
ඉලංගකෝන්



Wednesday, August 17, 2016

SAITM වසා දමනු !

සයිටම් වසා දමනු !

මේ අද දවසේ වඩිපුරම ඇසෙන සටන් පාටය.

නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට කල යුත්තේ සයිටම් වසා දැමීමද රැක ගැනීමද? මේ අද කතිකාවට භාජනය වන සුලභ ප්‍රශ්නයක් හා ප්‍රශ්නය නගන්නවුටම නොවැටහෙන හෝ නොවැටහෙනවා සේ රඟන ප්‍රශ්නයක්.

ඇත්තෙන්ම සයිටම් යනු කුමක්ද?
බොහෝ දෙනා සිතා සිටින පරිදි මෙය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නොව. මෙය පෞද්ගලික විශ්ව විද්‍යාලයකැයි කීම වඩා නිවැරදි වේ. මෙය මා දන්නා තරමින් ඉන්ජිනේරු පීඨයක් (තායිලන්තයේ ඒ අයි ටී ආයතනය සා සබැඳි ), කලමනාකරණ පීඨයක්, ජනමාධ්‍ය අධ්‍යයන පීඨයක් හා වෛද්‍ය පීඨයකින් සැදුම් ලත් විශ්ව විද්‍යාලයකි.

ජනතා විරෝධයක් එල්ල වන්නේ ඇයි?
මෙහි අන් කිසිදු පීඨයකට එරෙහිව උද්ගෝශනයක් හෝ තර්ජන ගර්ජන කිරීම් අප දකින්නේ නැත. ඒ එසේනම් අන් සියලු පීඨ ඉතා සාධාරණ හා හොඳයැයි සමාජය පිළි ගන්නා නිසාද? නැත එවන් පීඨ ඇති බවක් හෝ මේ බොහෝ නිදහස් අධ්‍යාපන කාමීන් නොදනී. එසේම ඒම පීට වලින් උපාධිලබා රජයේ වඩා වැදගත් තැන් වල මෙන්ම පෞද්ගලික අංශයේ ඉතා බැරෑරුම් වගකීම් වල යෙදෙන උපාධිධරයන් බොහෝ වෙති.

මේ අභියෝගය එල්ල වන්නේ වෛද්‍ය උපාධියට හා වෛද්‍ය පීඨයට පමණක් වීම මෙහි ඇති විසුලු ස්වරූපයයි.

මේ විරුද්ධ හඬ නගන්නේ කවුරුන්ද?
අපි සැවොම දන්න පරිදි ඇතැම් වෛද්‍ය වරුන්  මෙහි මූලිකත්වය ගෙන සිටීයි. එසේම විශ්ව විද්‍යාල අන්තරයත් කුරුට්ටෝත් මෙකී නොකී ශිශ්‍ය බලවේග මේ පිටුපස සිටිති.
ඔවුන් සැම වෛද්‍ය සිසුන් හෝ වෛද්‍ය වරුන්ද? නැත උන් නොදන්නවාට සයිටම් එකට අල්ලපු වත්තේ පිහිටි සිනෙක් මැරිටයිම් ආයතනය පුවත් පත් දැන්වීම් දමමින් ඉන්ජිනේරු, කලමණාකරන ආදී විව්ධ උපාදි පාටමාලා පවත්වා උපාධි පිරිනමයි. කිසිවෙකු මෙය දකින්නේ හෝ නැත. හේතුව එහි වෛද්‍ය පීඨයක් නැති කමයි.

නිදහස් අධ්‍යාපනය බිඳ වැටෙන්නේ වෛද්‍ය පීඨයකින් පමණද? යන ප්‍රශ්නය මේ හමුවේ මතු නොවන්නේ කාටද?

මේ ප්‍රශ්නය නිදහස් අධ්‍යාපනය, වෛද්‍ය පීඨයේ ප්‍රමිතිය (රාජ්‍ය වෛද්‍ය පීඨ වල ප්‍රමිතිය ගැන හිටපු උසස් අධ්‍යාපන ඇමති විසින්ම මෑතකදී පහදා දෙන ලදී ) රෝගීන්ගේ ආරක්ශාව වැනි කරුනු නිසාමද නැතහොත් වෙන අන් යම් විරුද්ධවාදීන් විසින් හංගන හේතුවක් නිසාදැයි අපට වටහා ගත හැකිය.

සුදුසු - නුසුදුසු සිසුන්
විරුද්ද වාදීන්ගේ තවත්  ප්‍රමුඛතම තර්කයක් වන්නේ සයිටම් ආයතනය මුදල් වලට නුසුදුසු සිසුන් බඳවාගෙන ඇති බවයි.
එසේනම් සුදුසු සිසුන් යනු කවරෙක්ද?
ශිශ්‍ය ක්‍රියාකාරීන් දක්වන හැටියට ඒ Z ස්කොර් අගය මත බඳවා ගන්න උන් පමණි. ඒත් ඇත්තෙන්ම එය මෙලෙස සලකා බැලිය හැකිය.
උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉහලම ලකුණු ලබා ගත් ශිශ්‍යයාගේ Z ස්කොර් අගයෙහි සිට, මොණරාගල හෝ මුලතිව් දිස්ත්‍රික්කයෙන් තේරී පත්වන අවසන් සිසුවා ගේ z ස්කෝර් අගය දක්වා සියළුම සිසුන් සුදුස්සන්ය. මේ අතරින් දිස්ත්‍රික් පදනමින් පිරිසක් තෝරා ගන්නේ ඉඩ පහසුකම් අනුවය.
එහෙත් ඇත්තෙන්ම මේ සුදුස්සන් අතුරින් වසරකට 1200 ක පමණ පිරිසක් ඉඩ නොලබයි.

දැන් මේ සුදුසු කම් ලබන එක්දහස් ගනනක් වූ සිසුන් අතරින් අවමයාට වඩා ලකුණු වැඩි උන් 1200 ක් පමණ නුසුදුස්සන් වෙති.
උන් පූන නූල බැඳීමට නුසුදුස්සන්ය.
සුදුස්සාගේ සහ නුසුදුස්සාගේ අතර අපූර්ව වූ වෙනස එයයි

සයිටම් ධනවතුනට පමණයි! 
මේ තවත් ප්‍රභල තර්කයකි.
ලොව පුරාම තිබෙන සියළු පෞද්ගලික විශ්ව විද්‍යාල වල හා රාජ්‍ය විශ්ව විද්‍යාල වල ශිෂ්‍යත්ව නොලබන සිසුන් ඉගෙනුම ලබන්නේ මුදල් ගෙවීමෙනි. එහෙත් ඒ සැවොම ධනවතුන්ගේ දරුවන් නොවෙති. දුප්පතුන්ගේ දරුවන් මේ ඉහල අධ්‍යාපනය ලබන්නේ එයට කැමැත්ත හා කැපවීම ඇති එකා මූල්‍ය ආයතන වල ආධාර උපකාර මතය. එනම් ශිෂ්‍ය ණය යෝජනා ක්‍රම වල පිහිටෙනි.
මේගැන සයිටම් විරෝධීන් කියන්නේ සයිටම් උපාදියට ණය නොදෙන බවකි. එහි ඇත්තේ පරම සත්‍යයකි. සයිටම් උපාධිය සමාජය ඉදිරියේ අභියෝගයට ලක් කරමින් වෛද්‍ය වරුන් හා සිසුන් කරමින් සිටින්නේ මේ ආකාරයට ණය පහසුකම් දීමට මූල්‍ය ආයතන පෙළඹීම වැලැක්වීමයි.
තම ආයෝජනය විශාල අභියෝගයකට මුහුණ දී ඇති විට ආයෝජකයෝ ඊට නොපෙලඹෙති. මෙමගින් කුප්‍රකට නිදහස් අධ්‍යාපන කාමීන් ඍජුවම මෙම ආයතනය ධනවතුන්ගේ දරුවන්ට පමණක් සීමා කරති. හැකියාව ඇති මධ්‍යම පාන්තික දරුවාට පවා වැට බඳිති.

සයිටම් වසා දැමුවහොත් නිදහස් අධ්‍යාපනය සුරැකේද?
එක් ජනප්‍රිය සටන් පාඨයක් පමණක් රටට අහිමිව යනු ඇත. එසේම ධනවතුන් නොවනා දහස් ගනනකට තිබූ අවස්ථාවක් ඇහිරී යනු ඇත.
ධනවතුන්ගේ දරුවන් චීනයට පැරණි සෝවියට් සමූහණ්ඩු රටවලට හෝ හැකි උන් එංගලන්තයට ඇමරිකාවට හෝ ගොස් වෛද්‍ය උපාධිය ලබනු ඇත.
එහෙත් එමගින් ලංකාවේ වෛද්‍ය වරුන් සුලභ වීමක් නොවනා නිසා වෛද්‍ය සංගම් හෝ ශිෂ්‍ය ව්‍යාපාර නිහඬව සිටිනු ඇත.

උසස් පෙළ නම් වූ ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වන සැවොම උපාධියක් ලබා ගැනීමේ පරම අයිතිය ඇතැයි පිළිගත නොහැකි අයෙක් වෙත්ද? එසේනම් ඒ කුමණ හේතුවක් මතද?
මේ ප්‍රශ්ණයට කිසිදා උත්තර නොලැබෙන බව සහතිකය.
එසේ සමත් වන උන්ගේන් 20% ක් පමණ රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ශිෂ්‍යත්ව ලබා නොමිලේ ඉගෙන ගැනීම කිසිදු අභියෝගයකින් තොරව සාධාරණය.
එසේම ඉතිරි 80% න් යම් ආකාරයකට මූල්‍ය පහසුකම් සලසා ගත හැකි උන් මුදල් ගෙවා රාජ්ය හෝ පෞද්ගලික ආයතනයකින් ඉගෙනීමෙහි හෝ උපාධියක් ලැබීමෙහි ඇති වරද කුමක්ද?

සයිටම් විරෝධීන් ඔවුන්ගේ පෝස්ටර් වල "සරසවි බඳවා ගැනීම ඉහල දමනු!" කියා වැකියක් යොදති මේ උන්ගේ සාධාරන බව ලොවට පෙන්වීමටයි, සාමාන්ය ජනය මුලා කිරීමටයි.

එහෙත් 

සියළු උසස් පෙල සමතුන්ගේ උපාධි අයිතිය සුරකිනු !


කියා පෝස්ටර් ගසන්නෙක් වෙත්ද?
මොවුන් අප දක්කන්නට සැරසෙන්නේ කොතැනටද?

Monday, August 8, 2016

කර්මය

මේ කර්මය කියන කාරනය ගැන ලියනවානම් ටිකක් දිගට ලියන්න වෙනවා.
මේ වගේ මනෝ ව්‍යාධික තත්වයක් කෙනෙකුට හට ගැනීම කර්මය නිසාම සිදුවිය හැකියි. ඒ කොහොමද කියනවානම්,


ට්‍රන්සිල්වේනියාවෙහි

අස්වාභාවික චර්‍යාවන් සහ කර්මය හා ක්ලේෂ

යන ලිපිය ගැන මගේ අදහස් දැක්වීම මෙසේ ලියා තබමි.


මේ මිහි පිට ඇති සෑම සියළු දෙයක්ම අපිට භෞත රසායනික පද්ධති ලෙස හඳුන්වන්න පුළුවන්. නූතන විද්‍යාව උගත් අය මේකට එකඟ වේවි. එසේ හැඳින්විය නොහැක්කක් මේ විශ්වය තුල ඇත්නම් ඒ කුමක්දැයි යමෙකුට මා වෙත පේන්වා දිය හැකියි.
මේ භෞත රසායනික පද්ධති වලට නොයෙකුත් හේතූන් බලපෑමෙන් විවිධාකාර වූ වෙනස් වීම් වලට ඒවා ලක් වෙනවා.

අපි උදාහරනයක් ලෙස තණකොල බීජ දෙකක් ගනිමු.
එකක් තෙතමනය ඇති සාර පසක වැටෙනවා.
අනෙක මහ ආර මැද තාර වල ඇති පැල්මක් මත වැටෙනවා.

මේ දෙකම ස්වභාවිකව පැලවෙලා වැඩෙන්න ගියවිට පසේ වැටුනු පැලය ඉතා සරුවට වැඩෙන අතර තාර පාරේ වූ පැල්මේ වැටුනු පැලය එක් දල්ලක් ලියලන විට රථ රෝදයකට සිඳී යනවා. මෙය දිගින් දිගටම වූවත් මේ පැලය ඉතා අසීරුවෙන් දිවිය පවත්වා ගන්නවා.
දැන් මේ පැල දෙකින් එකකට කර්මය බල පෑවා යැයි අපට කිව හැකිද? නැහැ ඒ භාහිර හේතුන්ගේ බලපෑමක්.

තවත් උදාහරණයක් ගෙන බලමු.
යමෙක් යකඩ බටයක් කපා එහි කොටස් දෙකෙන් පුටු දෙකක් සාදනවා. මේ පුටු දෙකෙන් එකක් මුහුදුබඩ නිවසකටත්, අනෙක නාගරික දියුණු නිවසකටත් විකුනනවා. මාස කිහිපයක් ඇවෑමෙන් මුහුදු බඩ පවතින පුටුව මලකඩ අල්ලා පොතු ගැලවී විනාශ වීමට පටන් ගන්නවා. අනෙක් පුටුව නිරුපද්‍රිතව පවතිනවා.
දැන් මේ දෙකෙන් එක පුටුවකට කර්මය බලපෑවාද? නැත එය හෙතූන්ගේ බලපෑමෙන් සිදු වූ ක්‍රියාවක්.

එසේනම් කර්මය බලපාන්නේ කාටද, කුමකටද?


කර්මය බලපාන්නේ සත්ත්වයින්ට, සත්ත්වයින් සතුව අර ඉහත කී භෞත රසායනික පද්ධතියක් වූ රූපයට (සිරුරට ) අමතරව සිතක් පවතිනවා.
දැන් යම් කිසි සතෙකුට ඉහත ත්ණකොල ගස් දෙකට වූ බලපෑම වූවායැයි සිතමු. මෙතැනදී පීඩාවට පත් වූ සත්ත්වයා තමන් හට උරුම වූ දුක්කයන් හා වේදනාවන් ගැන විඳවීමට පටන් ගන්නවා. මේ විඳ වීම සිදුවන්නේ කොතැනින්ද? ඒ සත්ත්වයාගේ සිතයි. යමෙකුගේ සිත හේතුපල ධර්මයන්ට මුහුණ දෙන ආකාරය අනුව කර්මය ඵල දීම සිදු වන බවක් තමයි මා දකින්නේ.
මානසික විකෘති භාවයකට අප්තවන පුදග්ලයෙකු ඒ නිසාම නොයෙකුත් පීඩාවන්ට වේදනාවන්ට ලක් වනවා. අන්න ඒ ලක් වීම තුලයි කර්මය ක්‍රියාත්මක වීම සිදු වන්නේ.
ශරීර අංගෝපාංග ඌන වූ ඇතැම් උන් සතුටින් සිටින්නේත්, සියල්ල සම්පූර්ණ ධනවත් නිරෝගී උන් චිත්ත පීඩාවෙන් සිටින්නේත් කර්මය නිසා විය යුතුයි නේද?

ඖෂධ මගින් මනෝ ව්‍යාධිකයා සුවපත් වීමේදී වන්නේ රෝගයට හේතුව වූ භෞත රසායනික ක්‍රියා වලියට පිළියම් යෙදීමයි. එලෙස හේතුව ඉවත් වූ කල ව්‍යාධික තත්වය වෙනස් විය යුතුයි. එසේ වූ කල සත්ත්වයාගේ විඳවීම ගිලිහී යනවා. එනම් සත්ත්වයා කර්ම ගෙවීමෙන් මිදුනු බවක් අප දකිනවා. එහෙත් ඇත්තෙන්ම සාමාජික වශයෙන් එය එසේද? මනෝ ව්‍යාධියකින් මිදුනු පුද්ගලයෙකුට සතුට හා චිත්ත විවේකය සැබැවින්ම ලැබෙනවාද? මෙය සිතා බැලිය යුතු කාරනයක් නොවන්නේද?

බුදු දහමට අනුව අපට වීර්‍ය තුලින් යම් පමණකට කර්මය පාලනය කල හැකි බල වේගයක්. එනම් සිහියෙන් කටයුතු කිරීම මගින් කර්මය පාලනය කල හැකි වෙනවා. ඒත් සිහිය විකල් වූ විට? පාලනය කිරීමේ ශක්තියම ගිලිහී යනවා එය හරියට HIV මගින් ශරීරයේ ආර්ක්ශක පද්ධතිය බිඳ වට්ටනවා වැනි තත්වයක්.

සියල්ල සිදු වන්නේ කර්මය අනුව යැයි පැවසීම නම් නිසැකවම මධ්‍යස්ත කියා ඇති පරිදි ජෛන ඉගැන්වීමක්.

Sunday, July 24, 2016

ලොකු රටක්ද? පුංචි රටක්ද?

ඒ 1999 දී පමණ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාදිපති ධූරය දරණ යුද්ධය දිනපතා මල මිනී කොළඹට එවන යුගයේ දිනක්.
මම කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ මල් වෙළඳ ප්‍රදර්ශනයක ඉබාගාතේ ඇවිදිමින් සිටි වෙලාවක.
බොහෝම වැදගත් පෙනුමක් ඇති වයස්ගත දමිල මහතෙකු අහම්බෙන් මෙන් මා හා කථාවට වැටුනා. ඉතාම ව්‍යක්ත ඉංග්‍රීසි භාවිතයක් තිබූ ඔහු මා හා කථා කලේම ඉංග්‍රීසියෙන්. ඇතැම් විට ඔහු සිංහල බස නොදන්නෙකු විය හැකියැයි මට සිතුනා.
සරළ කතා බහකින් පසු ඔහු රටෙ තත්වය ගැන කථා කරමින්

මේ කොයිතරම් ලස්සන රටක්ද. අපිට ලෝකේ කොහේ හිටියත් මේ රටේදි දැනෙන සතුට ලබන්න බැහැ. ඒත් මේ රටට වෙලා තියෙන අවාසනා වන්ත තත්වය නිසා අපිට මේ රට අත් හරින්නට සිදු වුනා.
මගේ විමසුමට පිළිතුර් දෙමින් ඔහු මගේ ගෙවල් තිබුනේ උතුරේ. අපි ඒ ඔක්කොම අත හැරලා දැම්මා. එහෙ තියෙන අවාසනා වන්ත තත්වයත් එක්ක දරුවෙක් තියා ගන්නේ කොහොමද. දන් මගේ දරුවෝ ඔක්කොම ඉන්නේ කැනඩාවේ. ඒ අය දැන් ලොකු රස්සා කරනව මායි බිරිඳයිත් එහෙ ඉන්නේ  ඒත් අපිට දැනෙන්නේ අපි පිටස්තරයෝ කියලායි කියා ඔහුගේ දිවියේ දුක්බර පැත්ත ගැන නොදන්නා මා හා විවෘත්ත වුනා.
මගේ පිළිතුර වුනේ මේ රටට මේ තත්වය උදා කලේ ජාති බේදයකින් තොරව අපේ රටේ සිටි අවස්ථා වාදී දේශපාලකයින් බවයි. කොටින්ම බොහෝ දේශපාලකයින්ට අක්කරයක ඉඩ ප්‍රමාණයක වුව එය වෙනම රටක් ලෙස පිළිගැනේනම් තමා පිදීමට සැදී පැහැදුන ජනගහනයක් වෙත්නම් ඔවුන් එයට කැමැති බවයි. එසේම සාමාන්‍ය ජනයා වූ අපිට වටින්නේ වඩා විශාල දේශයක පුර වැසියන් වීම පමණයි කියායි.
ඒ ඇසූ ඔහු වික්ශිප්ත වූවා. මාහට පුතා කියා ඇමතූ ඔහු තමා කවුරුන්දැයි දන්නේදැයි මගෙන් විමසා සිටියා. මා මේ කථා කරන්නේ කවරෙකු සමග විය හැකිදැයි මා සිතුවේත් එවිටයි. තමා හඳුන්වා දෙමින් ඔහු.
ඔබ මා දැන සිටීනට ඉඩක් නැහැ. මා දේශපාලනයෙන් සමුගෙන දැන් දීර්ඝ කාලයක් ගත වෙලා. මා දමිල එක්සත් විමුක්ති පෙරමුණ යටතේ අමිර්තලිංගම් මහතාගේ නායකත්වයෙන්  ..... ආසනය නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රී වරයායි (ඔහුගේ නමත් සඳහන් කරමින් අවාසනාවකට මට එය දැන් මතක නැත ) . ඔබ කියන දෙය සම්පූර්ණයෙන්ම ඇත්ත බව මටත් දැන් හිතෙනවා. ඒ මොකද දැන් මම දේශපාලකයෙකු නොවෙයි එක් සාමාන්‍ය පුද්ගලයෙකු පමණක් නිසා. ඇත්තෙන්ම මේ බෙදී වෙන්වීම දේශපාලකයින්ගේ මිස සාමාන්‍ය ජනතාවගේ වුවමනාව නොවෙයි තමයි. ජනතාව ආරක්ෂා කල යුතු අය නිසා ජනතාව විනාශ වෙනවා.
තවත් බොහෝ දේ කතා කරමින් සිට අපි වෙන්ව ගියා. මා ඔහු ජීවිතයට දුටු මුල්ම හා අවසන් අවස්ථාව එයයි.

මගේ මේ අත්දැකීම ගැන ලියන්නට සිත් වුනේ ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ වෛද්‍ය රුවන් විසින් ලියා ඇති වාසවිලාන් ලිපියේ විසල් දමිල ගෘහය ගැන තොරතුරු කියවූ විටයි.


මේ ලිපිය ලියා යම් කාලයක් ගත වුනා. එය පල කිරීමට තරම් උනන්දුවක් ඇති වුනේ නැහැ. ඒත් කමක් නැහැ කියා දැන් පල කරන්නට සිතුවා.

Thursday, June 30, 2016

වැට් බද්ද නිසා කාලා හමාරද "2" - කන්න වෙන්නේ වැට් තමයි !

 


ජාතික රූපවාහිනියේ අද දින 2016 ජූනි 30 දින, විකාශනය වූ වැට් බද්ද පිළිබඳ සාකච්චාව නිසා මට ආයෙත් වැට් ගැනම ලිපියක් ලියන්න සිදු වුනා
සහභාගී වූවෝ
බදු නිළධාරිනියන් දෙදෙනෙකි
ආචාර්‍ය වරයෙකි
සාකච්චාව මෙහෙය වූයේ ප්‍රවීණ මාධ්‍යවේදී ශන් විජේතුංග මහතාය.

මෙය කියවන අයෙකුට මා අංශක 180 කින් අනෙක් පස හැරී මෙය ලීවාදැයි සිතුනහොත් ඒ ගැන පුදුම නොවන්න.

වැට් බද්දෙන් මුදා හැර ඇති භාණ්ඩ හා සේවා ලැයිස්තුව මෙතැනින් බලා ගන්න

බදු නිලධාරිනියන්ගේ දැක්ම
අවාසනාවකි, සුපුරුදු පරිදි බදු නිළධාරිනියන් දෙදෙනා කොහොම හරි මිනිස්සුන්ගේ ඔළුව හෝදලා හරි බදු එකතු කරගන්නම් කියා පැමිණි බව මොනවට පැහැදිලි විය. ඔවුන් කිසිදු අවස්ථාවක ප්‍රශ්න නැගූ උන්ගේ ප්‍රශ්නය හා එහි පසුබිම වටහා නොගත්තා නොව ඊට උත්සහයක් වත් නොදරමින් තම මතය වෙනුවෙන් කොන්දේසි විරහිතව සිටි වගක් දක්නා ලදී.

උද්ගෝශන කරන්නේ නොදන්නා කමට...
මේ අපේ බදු නිලධාරිනියන් දෙදෙනා කල අපූරු නව සොයාගැනීමක් ගැනය. ඔවුන් දෙදෙනා කියන්නේ මේ වෙළඳ ව්‍යාපාරිකයන් ගන් මට්ටමින් වීති බසිමින් උද්ගෝෂණ ව්‍යාපාර වල නිරත වන්නේ බදු සංශෝධන පිළිබඳ නොදැනුවත් නිසා බවයි. 
මේ උද්ගෝෂ්ණ පවත්වන්නේ දීර්ග කාලයක් වෙළඳ ව්‍යාපාර වල යෙදී සිටි උන් බවද, ඔවුන් තම ව්‍යාපාර හා ඒවාට ඇතිවියහැකි බලපෑම් ගැන දැනුවත් පුද්ගලයින් බවද  ප්‍රකාශ කරමින් ශාන් විජෙතුංග මාධ්‍ය වේදියා ඉතා පැහැදිලිව මේ ප්‍රකාශයට එරෙහි වීම පැසසිය යුතුය. 

වැට් බදු යනු සංකීර්ණ බදු ව්‍යහයක්...!
මෙයත් අපේ එක් බදු නිලධාරිනියකගේ ප්‍රකාශයකි. මෙවන් ප්‍රකාශයක් හරහා ඔවුන් බලා පොරොත්තු වන්නේ කුමක්ද? මේ බදු ගැන කෑ ගැහුවට උඹලට මේවා තේරෙන්නේ නැහැ. මේවා තේරෙන්නේ අපි වගේ උගත් වැදගත් උදවියට විතරයි යන්න නොවෙයිද?
ඇත්තෙන්ම බදු ක්‍රමයක් ජනතාවට නොවැටහෙන තරම් සංකීර්ණ නම් එයට වග කිව යුත්තෝ කවුද? එය එසේ විය හැකිද?
බදු නිලධාරිනියන් මේ පෙන්වූයේ කුමක්ද කියා වටහා ගැනීමට තරම් ජනතාව බුද්ධිමත්ය.

එහෙත් පැහැදිලිවම කිව යුත්තේ ජනතාව මෝඩයින් නොවන බවත් බදු ක්‍රමය ගැන උනන්දු මිනිසුන් මේ ක්‍රමයේ ඇති සියුම් තැන් පවා හොඳින් ග්‍රහනය කර ගැනීමට තරම් දැනුවත් හා බුද්ධිමත් බවත්ය. 


ජනතාව ගොනාට ඇන්දීමට සැරසෙන උන්ට වටහා ගත නොහැකි තරමට ජනතාව සංකීර්න බව උන් වටහා ගත යුතුය.

චන්දිමාල්ගේ ප්‍රශ්ණය:
චන්දිමාල් නම් මහතෙකු අපූරු පැනයක් ඉදිරිපත් කලේය.  ඒ ප්‍රකට පාවහන් සමාගමක අලෙවි නියෝජිතයෙකු වන ඒ මහතා පාවහන් සමාගම මගින් වැට් නිසා අළුතින් වැඩි කල මිලද ඇතුලත්ව විකුනන මිලෙන් තමාත් වැට් බද්දක් ගෙවීමට සිදු වීම නිසා තම ලාබය අහිමි වීම ගැන ය.
බදු නිළධාරිනියන් ඒ අනුව පුන පුනා පහදා දුන්නේ චන්දිමාල් මහතා වැට් සඳහා ලියාපදිංචි වීමෙන් අනතුරුව විකුනන භාණ්ඩයට අදාල වැට් මුදල භාණ්ඩයේ මිලට එකතු කොට පාරිභෝගිකයාගෙන් ලබාගෙන බදු දෙපාර්ථමේන්තුව වෙත ගෙවිය යුතු බවය.
අහෝ මෙවන් බදු දෙපාර්ථමේන්තුවක් !
මෙම ප්‍රශ්ණයට අදාල සැබෑ යාන්ත්‍රනය අපි විමසා බලමු

මෙහිදී චන්දිමාල් මහතා අදාල පාවහන් සමාගමේ අලෙවි නියෝජිතයෙකි.
සමාගම ඔහුට පාවහන් ලබා දීමේදී එම පාවහන් වලට අදාලව උපරිම සිල්ලර මිලක් සඳහන් කොට එම මිලට අනුරූපව 15% පමණ ලාභාංශයක් වෙළඳ නියෝජිතයාට ලැබෙන පරිදි තොග මිලක් නියම කොට නියෝජිතයා වෙත භාණ්ඩ ලබා දෙනුලබයි.
දැන් චන්දිමාල් මහතාද වැට් සඳහා ලියා පදිංචි වී ඇතැයි උපකල්පනය කලොත්,
සමාගම මගින් චන්දිමාල් මහතා වෙත ඉදිරිපත් කරන බිල් පතෙහි අදාල පාවහන් වල වටිනා කම හා එයට අදාල වැට් මුදල සඳහන් වෙයි.
එසේම පාවහන් වල උපරිම සිල්ලර මිලක් පාරිභෝගික ආරක්ෂන පනතට අනුරූපව සටහන් වෙයි.
චන්දිමාල් මහතා ඉහත බදු නිලධාරිනියන්ගේ උපදෙස් අනුව වැඩ කරනවානම්? ඔහු අදාල සිල්ලර මිල මත 15% ක වැට් ප්‍රමානයක් පාරිභෝගිකයාගෙන් අය කල යුතුය.
එසේනම් අනෙක් පසින් ඔහු උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් භාණ්ඩ විකිනීමෙන් පාරිභෝගික ආරක්ෂණ පනත උල්ලංගනය කල යුතුය.
පාරිභෝගික ආරක්ශන පනත තුල  රැඳෙනවානම් ඔහුට සිදු වන්නේ භාණ්ඩයෙහි සඳහන් උපරිම සිල්ලර මිලට භාණ්ඩය විකුනා න්  විකුනූ මුදලින් 15%ක් ගනනය කොට ඉන් මුලින් සැපයුම් කරුගේ බිල්පත හරහා ගෙවූ වැට් බදු මුදල අඩු කර ඉතිරිය ගෙවීමටයි.
මෙම ගනනය කිරීම කර බලන විට ඇත්තෙන්ම චන්දිමාල් මහතා ගෙවන්නේ ඔහුගේ මෙතෙක් ලැබූ ලාභ කොටස වූ 15% වෙළඳ කොමිස් මුදලින් 15% කි. ඒ අනුව ඔහු මෙතෙක් ලැබූ ලාභය පෙර තිබූ තත්වයෙන් 85%ක් දක්වා පහත වැටේ.
ඒ අනුව චන්දිමාල් මහතා නැගූ පැනය කොතරම් තාර්කික දැයි බදු යාන්ත්‍රනය හා ව්‍යාපාර ගැන අංශුමාත්‍ර දැනුමක් ඇත්තෙකුට පවා වැටහිය යුතුය.
මෙය ඒ උගත් බදු නිළධාරිනියන් දෙදෙනාට නොවැටහුනාද නැතහොත් නොවැටහුනා සේ රඟපෑවාදැයි දන්නේ ඔවුන් දෙදෙනා හා උඩ ඉන්නා දෙවියන් (එහෙම අය ඉන්නවානම් ) පමණක් විය යුතුය.

වැට් බද්ද අතීතයට බල පාන්නේ නැහැ.....

මේ මෙම සාකච්චාව පුරාවට බදු නිළධාරිනියන් දෙදෙනා උලුප්පා දැක්වූ තර්කයකි. මේ අපූරු කතාවකි.
මේ හරහා ඔවුන් උත්සහ දැරුවේ ව්‍යාපාරිකයින් වැට් සඳහා ලියා පදිංචි කරවා ගැනීමට පෙළඹවීමට බව පෙනේ. එහෙත් ඒ තුල වන ඍනාත්මක පැත්ත ඔවුන් නොදුටුවේ මන්ද? දැන දැනම හැංගුවාද?

වැට් බද්ද සඳහා X නම් වෙළඳ සමාගම අද දින ලියා පදිංචි වූවා යැයි සලකමු.
මේ ලියාපදිංචිය ලැබීමට ඔහු මසකට රු මිලියනය ඉක්මවූ පිරිවැටුමක් පසුගිය තුන් මසක් තුල ලබා තිබිය යුතුය. එනම් ඒ තුන් මස තුල ඔහු මිලියන් 3 ක වෙළඳාමක් අඩුම වශයෙන් කර තිබිය යුතුය.
එසේනම් මසකදී රු මිලියන 1ක් වෙළඳාම් කරන වෙළඳ සැලක කොපමණ භාණ්ඩ තොගයක් පවත්වා ගත යුතුද?
අවම වශයෙන් මෙම තොගයෙහි වටිනා කම රු මිලියන 5ක් ලෙස උපකල්පනය කරමු.
දැන් කුමක් වෙයිද?
ලියාපදිංචිය ලද අද දිනයේ සිට ඔහු අළුතින් වෙළඳ සැලට ගන්නා භාණ්ඩ සඳහා වැට් බිල් පතක් ලැබුවද නොලැබුවද වැට් ගෙවූ සේ සලකා කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම්ය. මෙය යහපත් ප්‍රවණතාවයකි. වෙළෙන්දා වෙත කරන ධනාත්මක පෙළඹවීමකි.
එසේම අද දිනයේ සිට අලෙවි කරනා සෑම රුපියලකටම 15% ක වැට් බදු මුදලක් X විසින් බදු දෙපාර්ථමේන්තුවට ගෙවිය යුතුය.
මෙය කියවන ඔබට දැන් මෙහි ඇති ගැටළුව පෙනෙනවාද?
අද දිනයේ ලියාඅදිංචිය ලැබූ  X මීට පෙර මිලදී ගෙන තිබූ තොග වලට පවා අද සිට අලෙවි කිරීමේදී වැට් ගෙවිය යුතුය.
ඒ වුවත් ඒ සඳහා ඔහුට මිලදී ගැනීම වලට අදාලව වැට් හිලව් කිරීමක් කිරීමට ඉඩක් නැත. මන්ද එම භාණ්ඩ මිලදී ගන්නා විට ඔහු වැට් සඳහා ලියා පදිංචි වී සිටියෙකු නොවනා නිසාය.
දැන් X ත්මා සතුව තිබූ මිලියන 5ක භාණ්ඩ තොගය සඳහා ඒවා විකුනන අකාරය අනුව නිකන්ම 15%ක් ගෙවිය යුතුය.
ඇතැම් බහු ජාතික සමාගම් වලින් බෙදා හරින ප්‍රකට වෙළඳ නාමයන් සහිත භාණ්ඩ වල ලාභාංශය ඇතැම් විට 5% සිට 15% දක්වා පමණකි.
එසේ වූ විට X මේ බදු ලෙස ගෙවන්නේ ඇතැම් විට මුළු ලාභයමය. නැතිනම් මුලු ලාභයටම ත්වත් කීයක් හරි අතින් එකතු කරය.
දල වශයෙන් X සතුව තිබූ තොගයෙහි වටිනා කම මිලියන 5ක් වූවා නම් ඔහු ලබන අලාභය ඉන් 15% ක් හෙවත් රු 750,000.00 කි.
මෙය මෙසේ නොවෙනවායැයි පැහැදිලි කිරීමක් බදු නිළධාරිනියන් වෙතින් නොවූ නිසා එය එසේමයැයි පිළිගැනීම වරදක් නොවනු ඇති.

වැට් සඳහා ලියාපදිංචි නොවූ සැපයුම් කරුවන්.....

මේ බදු නිළධාරිනියන් ඉතා උත්කර්ශවත් ලෙස උපුටා දැක්වූ නව වැට් නීතියෙහි ඇති ජනතා හිතවාදී යෙදුමකි.
ඔව් එය එසේමයැයි මාද පිළිගනිමි.
එහෙත් එය වැට් හරහා එන බමුණු කුලය රැකීමෙහි කොන්දේසි වලට බලනොපාන බව ඔවුන් විසින්ම අවධාරනය කොට දක්වන ලදී.

නව වැට් නීතිය අනුව තොග හා සිල්ලර වෙළඳාමෙහි සැපයුම් කරුවෙකු වැට් සඳහා ලියා පදිංචි නොවූවකු වුවත් ඔහුගෙන් මිලදී ගත් භාණ්ඩ සඳහා වැටි මූලිකව ගෙවා ඇති ලෙස සැලකීමට වෙළෙන්දාට අවසර ලැබේ. මේ හරහා සුළු සැපයුම් කරු හෙවත් වත්තේ කෙසෙල් කැන කඩයට විකුණන අප්පුහාමි සුරැකීමක් කොට ඇත. එය ඇත්තෙන්ම පැසසිය යුත්තකි.

අතිශයින්ම   ........... ට පමණයි !
එහෙත් සාකච්චාවට සහභාගී වූ බදු නිළධාරිනියන් දෙදෙනාට අනුව මේ කොන්දේසිය අදාල වන්නේ අතිශයින්ම ..... අතිශයින්ම තොග හා සිල්ලර වෙළඳාමට පමණි.
ඇයි මේ අතිශයින්ම එක ව්‍යාපරික ක්ශේත්‍රයකට පමණක් වූ සැලකිල්ල?
තොග හා සිල්ලර වෙළඳාමෙන් පරිභාහිර සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් මේ වෙළඳ සමාජයේ සාමාජිකයින් නොවේද? මේ රටේ සමාන අයිති වාසිකම් ඇති පුර වැසියන් නොවේද?
නැත උන් සමාන පුරවැසියන්ම තමයි ඒත්.....
ඇයි ඒත්..?
ඔවු උන් යම් දිනෙක මහා පරිමාන වෙළඳ බමුණු කුලයට අභියෝග කිරීමට ඉඩ ඇති භයානක සත්ත්ව කොටසකි.
අර ඉහතින් කී අප්පුහාමි ඒ වගේ භයානක නැත. අනේ ඒ අහින්සක මනුස්සයා බමුණු කුලයට තබා බකමූණෙකුටවත් අභියෝග කරන්නේ නැත.

ඒ අනුව සුළු හා මධ්‍ය සැපයුම් කරුට වැට් නැති නිසා මහා පරිමාණ සමාගම් වලට හා රාජ්ය ටෙන්ඩර් වලට සැපයීම් කිරීම වලක්වා ඇත. එවන් දේ සුදුසු සුදුස්සන්ටම පමණදැයි අපි නොදන්නෙමු. එහෙත් මේ හරහා බමුණු කුලය වෙත අභියෝග කිරීමට සුළු හා මධ්‍ය පරිමාන සැපයුම් කරුවන්ට ඉඩක් නම් තබා නැත.
වැට් බදු ගෙවා ආනයන කරන සුළු ආනයන කරුවෙකු, වැට් බිල් දීමට අපොහොසත් නිසා නෙරපෙන විට වැට් ලියාපදිංචි මහා පරිමාන ආනයන කරු එකම පිරිවැයක් දරා වැට් වෙනම පෙන්වන බිලක් මගින් සැපයුම් කිරීමෙන් ගැනුම් කරුට ලාබදායක කොන්දේසි නිසා ඔහු සුරැකේ සුළු පරිමාණ සැපයුම් කරු ව්‍යාපාරයෙන් නෙරැපේ.
ආනයන කරුවෙකුට තම අභිමතය පරිදි (පිරිවැටුම් සීමාව නොසෑහෙන විටකදී ) වැට් සඳහා ලියාපදිංචි වීමටත්. ලියා පදිංචි වීමෙන් අනතුරුව සරිලන පිරිවැටුමක් නොමැතිනම් වැට් කලමනාකරන ගාස්තුවක් ඔවුන්ගෙන් අයකර ගැනීමටත් බදු දෙපාර්ථමේන්තුව නිහත මානී නොවන්නේ ඇයි?
මාසෙකට මිලියනයක්වත් පිරිවැටුමක් නැති එකා වෙළෙන්දෙක්? උන්ට ගැලපෙන නීති හදලා කාට වැඩක් ඇත්ද?
එහෙම වෙන්න ඇති අපේ ලොකු ලොක්කෝ හිතන්නේ. ඒ අපිට හිතෙන හැටි.

වැට් බදු ක්‍රමය යනු යකෙකු රාක්ෂයෙකු නොවන බව මෙන්ම එසේ නොවිය යුතු බවද මා දැඩිව විශ්වස කරමි. වත්මන් ලෝකයේ පවතින යථාර්ථය තුල රාජ්ය බදු යනු අපිට පිටු දැකිය නොහැකි ක්‍රමය හා බද්ධ වූ සංකල්පයකි. එවන් වූ බදු ක්‍රම තුල වැට් බද්ද යනු ඉතාමත් ක්‍රමික හා පැහැදිලි මෙන්ම සමස්ථ සමාජයම ඉතා නිවැරදි පරිමාවෙන් බදු ක්‍රමය හා දායක කරගත හැකි බදු ක්‍රමයකි.


එහෙත් ශ්‍රී ලාංකික බදු දෙපාර්ථමෙන්තුව මෙතෙක් කල් මෙම බදු හරහා කල අසමජ්ජාති සූරා කෑම හා දුප්පතා සදාකල් දුප්පතෙකු ව තැබීමට බදු ක්‍රමය භාවිතා කිරීම දැන්වත් නවතා දැමිය යුතුය.!!!



ජාතික රූපවාහිනියේ සකච්චා මණ්ඩපය ගැන .
මේ සමස්ථ සාකච්චාව තුල එයට සහභාගී වූ ආචාර්ය වරයා තමන් ජනතා ප්‍රශ්න වටහා ගත්තෙකු බවත් රජය නිවැරදි බවත්. කිරීමට අන් යමක් නැති වුවත් රජය විකල්ප සෙවිය යුතු බවත්, මේ සියල්ලට හේතුව පෙර රජයේ ලාබදායක නොවන ව්යාපෘති බව  ව්‍යංගයෙන් කීමත් හැර කිසිදු හරවත් දෙයක් දායක කලේ නම් නැත.


සාකච්චාව මෙහෙය වූ ශාන් විජේතුංග මහතා ජනතාව වෙනුවෙන් නැගිය යුතු ප්‍රශ්නය පුන පුනා ඉදිරිපත් කිරීමට සැරසුනද එය වටහා ගැනීමට සමතෙකු සභාවෙහි සිටියේද නැත.

Wednesday, June 15, 2016

බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති " ලංකාවෙදී "

අද මගේ පැරණි පාසැල් මිත්‍රයෙක් මුහුණු පොතේ බෙදා හැරලා (ශෙයාර් කරලා) තිබුනා අපූරු පෝස්ට් එකක්.
ඒකට අනුව අපේ මිත්‍රයා කියනවා ශිව උපන්නෙත් ලංකාවේය. බුදු හිමියන් උපන්නේත් ලංකාවේය, අපේ තියෙන ගොන්කමට බුදු හිමියන්ව ඉන්දියාවට පාවා දීලාය කියලා.
ඉතින් මේ කථාවෙ මූලය කොතැනද වගකිව යුත්තෝ කවුද කියලා අපි හැමෝම දන්නවානේ.

අපේ මිත්‍රයා බොහෝම දැඩි විශ්වාසයකින් මේ ගැන ප්‍රකාශ කරන්නේ.

ඇත්තටම බුදු හිමියන් උපන්නේ කොහේද? මේ ප්‍රශ්නය ට පිළිතුරු සෙවීම නිවනට මගද? ඇයි මිනිසුන් මේ තරම් වුවමනාවකින් මෙවන් වූ මතවාද ගැන ගැටෙන්නේ?
අන්න ඒකයි අපි පහදා ගත යුතු පැනය.

බුදු හිමියන් දෙසූ දහම ජීවමානව ඇසුරු කරන්නට ලැබුනු මිනිසෙකු එම දහමින් එක් අංශු මාත්‍රයක් හෝ පහදා ගැනීමට වෙහෙසෙනවානම් ? විය යුත්තේ එයම නොවෙයිද?

බුදුන් උපන් තැන නොදැන නිවන් ලැබිය නොහැකියැයි බුදු හිමියන් කියා ඇත්තේ කොතැනද?

අද හාමුදුර්වරුන් බුද්ධ රූප වලට වඳින්නේ ඇයිදැයි මා දන්නවාදැයි මගේ මිත්‍රයා පෙරලා මගෙන් විමසුවද මා ඒ ගැන දන්නේ නැති බවම සත්ත්‍යයයි. එහෙත් ඒ දැන ගැනුම කුමකටද?
එය නිවන් මග පහදනවාද?
නැත මා එසේ සිතන්නේ නැත, භික්ෂූන් පිළිම වඳිනවානම්, ඒ උන් වහන්සේලාගේ දැක්මේ තරම මිස අන් කුමක්ද?
දැක්ම ධර්මාවබෝධය වැඩෙන විට උන් වහන්සේලා ගේ ක්‍රියාවන් වෙනස් විය යුතුය. ඒත් ඒ කුමන දිසාවකටදැයි ධර්මාවබෝධය නොලද මා කියන්නේ කෙලෙසකින්ද?

තමන් දන්න එක් භික්ෂුවක් පමණක් නිවැරදියැයිද, ඒ බනම පමණක් සැබෑ බුදු බනයැයිද අපේ මිනිසුන් අදහන්නේ ඇයි. ඒ එම දේශනා තර්කයට ගලපා දෙසන නිසා නොවෙයිද?
තර්කය තුලින් සත්‍යය මතුවන බවක් බුදු හිමියන් කීවාද?

නැත උන් වහන්සේ කීවේ මැදුම් පිළිවෙත තුලින් එය මතුකරගන්නා ක්‍රමවේදයයි.

ජීවමාන දහම ඇසුරින් බුදුන් උපන් තැන පසෙක ලා, බුදුන් දැකිය හැකි බව මේ මිනිසුන්ට පසක් වන්නේ කවදාද?

උන් උන්ගේ මිත්‍යාව ලොවට වපුරමින් මේ රැස් කරන අකුසලයෙහි බර උන් නොදකින්නේද?

අනුන් ගැන වෙහෙසීම පසෙක ලා අපි අපි ගැනම වෙහෙසීම වැදගත් නිසා මා ඔහු හා නොගැටෙමි. බුදුන් උපන් තැන සෙවීම නිවනට මග නොවනා වග පමණක් කියා නිහඬ වෙමි.

Sunday, May 8, 2016

වැට් බද්ද නිසා කාලා හමාරද?




ව්‍යාපාර පිරිවැටුම් බද්ද ඇතුළු තවත් බොහෝමයක් වූ බදු එකම බදු ක්‍රමයකට යටත් කිරීමටත් බදු ක්‍රමය වඩාත් සරල හා ඍජු කිරීමටත් කලකට පෙර හඳුන්වා දුන් වැට් බද්ද ඇත්තෙන්ම පසු ගිය කාලයේ භාවිතා වූයේ එම අරමුනින්මද යන්න විමසා බැලිය යුතු කාලය පැමිණ ඇතැයි සිතමි.
එහෙත් මේ බදු ක්‍රම ඇතුළු ආර්ථික කරුනු විග්‍රහ කිරීමට මා ආර්තික විශය පිළිබඳ විශේෂ්ඥ දැනුමක් ලද්දෙකු නොවන බව කල් තියා කීම වඩා යෝග්‍යය. මේ කරුන ගැන මා සාකච්චාවට එළැඹෙන්නේ රටේ ආර්ථික ප්‍රවාහය තුල ගැවසෙන තවත් එක් හුදී ජනයෙකු ලෙස පමණි.

වැට් බදු ක්‍රමය සමස්ථ රටේ ආර්ථිකය පාලනය කිරීමට රජයක් සතු අපූරු මෙහෙයුම් පද්ධතියකි. මේ ක්‍රමය තුළින් රටේ බොහෝ කුඩා වෙළඳ සැල දක්වා රජයට බදු එකතු කිරීමේ මධ්‍යස්ථාන බවට අමතර පිරිවැයකින් තොරව පත්කර ගත හැකි සංකල්පයකි. එමගින් රටේ ආර්ථිකය තුල සංසරණය වන භාණ්ඩයක් හෝ සේවාවක් එය උපන් තැනදි තිබූ අගයෙහි සිට අවසානයෙහි පරිභෝජනය කොට අවසන් වනතෙක් පියවරින් පියවර අගය එකතුවීමක් වන සෑම අවස්ථාවකදීම එම එකතු වූ අගයට සමාන්තර වූ බදු කොටසක් රජය වෙත බදු ගෙවන්නා විසින්ම ගනනය කොට ගෙවා දමන අපූරු සංකල්පයකි.
මෙහිදී ඉතාම කුඩා ව්‍යාපාරික කොටස අවසන් පරිභෝජනයට සමාන කොට නොතකා හැරීම මගින් සමාජයේ පහළම ස්ථරයේ බදු අත් හැර දැමීමක් වර්ථමානයෙහි සිදු කරනු ලබයි.
මෙය බැලූ බැල්මට ඉතා සමාජ හිතවාදී පියවරකි. දුප්පතුන්ට කරනා සහනයකි. එහෙත් ඇත්තෙන්ම එය එසේද?

ව්‍යාපාරිකයන්හට වැට් බද්දෙහි බලපෑම..

වැට් බද්දෙහි සාකච්චාවට ගත යුතුම තැන එතැනයි. මෙයට වසර කිහිපයකට පෙර රජය විසින් මාසික පිරිවැටුම රු ලක්ෂ 15 නොඉක්මවන ව්‍යාපාර වැට් බදු සඳහා ලියපදිංචි කිරීමෙන් මුදා හැරිණි (මුදා හැරිණි කීවාට වඩා ලියාපදිංචිය තහනම් කෙරිනි කීම වඩා යෝග්‍ය වේ ). මේ තීරණය එවකට සිටි කුප්‍රකට මුදල් ලේකම් වරයාගේ ඍජු අවශ්‍යතාවය මත සිදුවූ බවට කථා පැවතිනි. එහි සත්‍ය අසත්‍යතාවය කීමට අපි නොදනිමු. එහෙත් එහි ප්‍රථිපලය පිළිබඳ විමසා බැලීමට අපට අයිතියක් ඇත.
මේ තීරනය නිසා පිරිවැටුම ලක්ෂ 15 නොඉක්මවන කුඩා ව්‍යාපාරයන් මින් මතුවට ක්‍රමයෙන් වැඩී විසල් ව්‍යාපාරවලට අභියෝග කරන්නන් බවට පත් වීමේ අභියෝගය විසල් ව්‍යාපාරිකයන්හට ස්ථාවරව විසඳා දීමක් සිදු විය.

ඒ අනුව කුඩා ව්‍යාපාරිකයන්හට තමන් වැට් ගෙවීමක් කලද එය නැවත අයකරගත නොහැකි අතර තමන්ගේ පාරිභෝගිකයා වැට ලියාපදිංචි අයෙකු වුවත් ඔහුගෙන් වැට් අයකරගැනීමේ හැකියාවෙන් නෙරපා හැරීමක් සිදුවිය.
එම නිසා වැට් බද්ද භාණ්ඩ වල මිලට අතුලත් කර බිල් නිකුත් කරන කුඩා ව්‍යාපාරිකයා වෙනුවට විසල් ව්‍යාපාරිකයින් සැමවිටම වැට් බද්ද වෙනම අයකරගැනීමට සමත් අයම තමන්ගේ සැපයුම් කරුවන් ලෙස තෝරා ගන්නා ලදී. එමගින් කුඩා ව්යාපාරිකයන්හට තිබූ අවස්තාද බිඳ හෙලීම මගින් ඔවුන් කිසිදාක අපේක්ෂිත 15 ලක්ශයේ පිරිවැටුම් සීමාව ලඟා කර නොගැනීම මගින් සදා කුඩා ව්‍යාපාරිකයෙකුගේ මට්ටමට පහත හෙලන ලදී.
යම් කිසි ව්‍යාපාරිකයෙකු උපරිම වෙහෙස වී 15 ලක්ෂයේ පිරිවැටුම් සීමා ලඟා කර ගෙන වැට් සඳහා ලියා පදිංචි වූවානම්, එතැන් සිට ඔහු කරනු ලබන සෑම අලවි කිරීමකදීම 15% ක වැට් බද්දක් රජයට ගෙවිය යුතු වේ. මෙහි වරදක් නැත ක්‍රමය එයයි. එහෙත් ලියාපදිංචියට පෙර එම ව්‍යාපාරිකයා ආනයනය කල යම් තොගයක් වෙයි නම් ඔහු එයට දැනටමත් ගෙවා ඇති වැට් බදු මුදල නැවත අය කර ගැනීමට ඉඩක් නොලැබේ. එම භාණ්ඩ වැට් බදු නොගෙවා ලබා ගත් භාණ්ඩ ලෙස රජය විසින් සලකනු ලබයි. එවිට මෙම තොග වලින් කරනු ලබන වෙළඳාම සඳහා අලුතින් 15% ක් ගෙවීමට සිදු වීමේන් සමස්තයක් ලෙස මෙම තොගයට 30%ක වැට් බද්දක් ගෙවීමට සිදු වේ.
අපට පිළිගත හැකි සීමාව තුල කිසිදු ආනයන කරුවෙකු 30% ක් තරම් අධික ලාභ කොටසක් තම ආනයන මත නො පටවයි. එම නිසා අළුතින් වැට් බදු සඳහා දායක වන ව්‍යාපාරිකයෙකු දැනට තමන් සතු සමස්ත (නොවිකුනා ඇති ) ආනයනිත තොග සඳහා 30% ක වැට් මුදලක් රජයට ගෙවීමට සිදු වේ. මෙවන් වූ අලාභයක් සහිතව ව්‍යාපාරයක් කරගෙන යෑම කොතරම් දුරකට ප්‍රායෝගිකදයි ඕනෑම අයෙකුට වැටහෙනු ඇත.
අවසන් ප්‍රතිපලය වන්නේ වැට් සීමාවට පැමිණි ආනයන කරුද හැකි තුරුම්පුවක් ගසා වැට් ලියා පදිංචි වීමෙන් වැලකී තම ව්‍යාපාරය සුළුවෙන් කරගෙන යෑමට උනන්දු වීමයි.
මෙමගින් නියත ලෙසම වැඩි දියුනු විය හැකි සුළු ව්‍යාපාර වැඩි දියුනු වීමට ඉඩ අහුරා මැඩ පැවැතවීමක් සිදු කෙරේ.

මෙය පැහැදිලිවම කුමන්ත්‍රනයකි. එහි ප්‍රථිපලය සාමාන්‍ය ජනයා අතර මුදල් ගැවසීම දුර්වල වී, සමස්ත ආර්ථිකයම නිසල වී එක තැන පල් වන ස්වරූපයක් ඇති වීමයි. රටේ කොතරම් විසල් ව්යාපෘති ක්‍රියාත්මක වූවද ජනතාව අත මුදල් නොගැවසෙන බවට වූ චෝදනාවට මෙය එක් ප්‍රභල සාධකයක් විය හැකිය.

ඒ සියල්ල අතරේ වත්මන් රජය විසින් එම බදු සඳහා වූ පිරිවැටුම් සීමාව ලක්ෂ 15 සිට 10 දක්වා අඩු කිරීමක් මෑතක සිදුවූ වැට් සංශෙධනය හරහා ගෙන ඒමෙන් මදක් ඉදිරි පියවරක් තබා ඇති බවක් පෙනේ. එහෙත් මෙය කලින් පහර දී පා දෙකම බිඳ දමා සිටි එකෙකුට කිහිලි කරුවක් දීමක් වැන්නකි. දැන් කිහිලි කරුවෙන් පලක් නැත දිය යුත්තේ රෝද පුටුවකි.
එනම් වැට් සඳහා වූ පිවැටුම් සීමාව මසකට ලක්ෂ 5 දක්වා පහත හෙලිය යුතුය. එසේම ඕනෑම ආනයන කරුවෙකුට තම අභිමතය පරිදි වැට් සඳහා ලියා පදිංචි වීමේ අවස්ථාව උදා කර දිය යුතුය. ඒ මගින් අති විශාල ලෙස වැඩි වන වැට් ලිපිගොනු තොගය කලමනාකරණය කිරීම රජයට අවාසියක් වන බැවින් යම් වැට් ලියා පදිංචි සමාගමක් හෝ ආනයන කරුවෙකු අවම පිරිවැටුම් සීමාව වූ ලක්ෂ 5 පවත්වා නොගන්නා විටකදී වැට් බදු කලමනාකරන ගාස්තුවක් රජයට අයකර ගත හැකිය.

මේ මගින් රටේ සෑම පුර වැසියෙකුටම ව්යාපාර ලෝකය තුලදී සමාන අවස්තා ලබා දිය හැකි අතර, රජයේ බදු එකතු කිරීම් වඩා පහත මට්ටමකදී අමතර පිරිවැයකින් තෝරව කර ගත හැකි වනු ඇත. සියළු ලොකු කුඩා සමාගම් එකම බදු චක්‍රයක් තුල ක්‍රියාත්මක වීමෙන් බදු ක්‍රමය මෙන්ම රටේ මුදල් සංසරනයද වඩා ක්‍රමවත් හා සෞඛ්‍ය සම්පන්න වනු ඇත.



Friday, May 6, 2016

සිතුවිළි වෙනස් වෙලා!

බ්ලොග් කියා දෙයක් ගැන නොදැන සිටි යුගයේ වෙබ් සයිට් වල කොමෙන්ටු දැමීමට ගොස් හඳුනාගත් ජෝසප් මිතුරාගේ මග පෙන්වීමෙන් කතා 32 නමින් බ්ලොගයක් වන බවත්, එහි කතෲ "කේ" නමින් හැඳින්වෙන්නෙකු බවත් ඔහු හා සාකච්චාවෙන් බොහෝ ධර්ම කරුනු පහදා ගත හැකි බවත් දැන ගතිමි.

ඒ මා බ්ලොග් කියා දෙයක් ගැන දැනගත් මුල් අවස්තාවයි.

එසේ මග පෙන්වීමෙන් කථා 32 හා සම්බන්ධ වූ මා පලමුවරට 2012 නොවැම්බර් මස ඇනෝ කෙනෙකු ලෙස සිතුවිළි නමින් කොමෙන්ට් කිරීම ඇරබිනි.
පසුව "කේ" නමින් පෙනීසිටි කතා 32 හි කණිෂ්ක මිතුරා විසින් මාහට ඔහුගේ බ්ලොගයෙහි කැමැති ඕනෑම වේලාවක කැමති මාතෘකාවක් ඔස්සේ මගේම අදහස් රැගත් ලිපි පල කිරීමට අවකාශ සලසා දුන්නද මා එයින් ප්‍රයෝජන නොගතිමි. ලිපි හා කතා කිහිපයක් පමණක් ම විසින් පල කරනු ලැබිනි.

කණිෂ්කගේ මේ සුහද තාවය හා බුද්ධිමත් භාවය නිසා මා බොහෝ දේ උගත්තෙමි. ඒ ගැන ඔහුට කෘතඥතාවය පල කිරීම යුතු කමකි. එසේම මා ඔහු වෙත හඳුන්වා දුන් කලන මිතුරු ජෝසප් කෙසේ අමතක කරන්නද?

කෙසේ හෝ අවසානයේ මගේම බ්ලොගයක් පවත්වා ගැනීම ගැන මට යම් අදහසක් ඇති විය. එය වසර ගනාවක් තිස්සේ සිතේ පැවතී අවසානයේ මෙසේ ආරම්බයක් සනිටුහන් කරමින් එය ට මුල පුරමි.
මෙහි ලියැවීමට නියමිත වන්නේ මගේ සිතෙන්ම ජනිත වන මගේ සිතුවිළි ම බැවින් ඒවායේ අඩුපාඩු පෙන්වා දීමට යමෙකු ඉදිරිපත්වේනම් මා එය අගය කරමි.

බ්ලොග් අඩවි වලත්, ප්‍රවෘත්ති වෙබ් අඩවි වලත්, සිතිවිළි නමින් පෙනී සිටි මා මෙතැන් සිට නයනේ යන නමින් ලිපි හා ප්‍රථිචාර පල කරමි.