Tuesday, November 16, 2021

ත්‍රී රෝද රථ නියාමන අධිකාරියක්!








මීට වසර කිහිපයකට පෙර කියාගත නොහැකි සිංහලෙන් වදන් ගැට ගසමින් බජට්ටුවක් ඉදිරිපත් කල එවක යහපාලන මුදල් ඇමතියෙකු ගැන පොඩි එකාගේ "ළියුම" ‍යයි මම දෙතිස් කථාවට ලිපියක් ලියූවෙමි.


මෙවර බජට්ටුව ගැන ඉතින් මා කිව යුත්තේ කුමක්දැයි නොදනිමි. බජට් කියවන ඇමතිලාගේ සිංහල භාෂණය යනු අපේ සමස්ත දේශපාලකයින්ගේ අවංක භාවය වැනිම වූ මහා පොදු සාධකයක් කොට සලකා මා ඒ පිළිබඳව කතා නොකිරීමට තීරණය කලෙමි.


ඒ වෙනුවට බජට් යෝජනාවක් ගැන කතා කල යුතුයැයි සිතුවෙමි..


මේවර බජට්ටුවේ කතාකල දේට වඩා නොකල දේ බොහෝ වූවා වගේම, කථා කල දෑ තුලින්ද අඩුම අවධානයක් ගත ත්‍රී රෝද රථ නියාමන අධිකාරියක් ගැන බලමු.


පළමුවෙන්ම මෙය අළුත් යෝජනාවක් නොවේ. 2019 වසරේදී මේ යෝජනාව ගැන එවකට ප්‍රවාහණ ඇමති වූ ක්‍රිකට් පමණක් දන්නා රණතුංග ඇමති වරයාද කතා කලේය. මෙවර එය බජට් යෝජනාවක් බවට පත් වී ඇති මුත් එයට යම් ප්‍රථිපාදන වෙන්කිරීමක් කොට ඇතිදැයි නොදනිමි.


ත්‍රීරෝද රථ නියාමන අධිකාරියක් සැබැවින්ම අපට අවශ්‍යද? මේ ව්‍යාපාරයේ නියුතු ලක්ශ හතකට වැඩි පිරිසක් සිටින බවත්, මේවා නොයෙකුත් ආකාරයේ සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා දායක කර ගන්නා බවත්, මේවායින් මගීන් සූරා කෑමට ලක් කරනා බවත්, ත්‍රී රොඅද රියැදුරන් ගේ සුභසාධනයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් බොහෝ තන්හී කියැවේ. 


නමුත් මගේ මූලික ප්‍රෂ්නය නම්, ත්‍රී රෝද රථය යනු සුවිශේශී කුලයක්ද? ඇයි ත්‍රී රෝද රථ සඳහා පමණක් නියාමණ අධිකාරියක්.

නියාමන අධිකාරියක් පත් කරනවානම් එහි අරමුණ කුමක්දැයි මේ යෝජනා කරන උන්දෑලාට වැටහීමක් වත් ඇතිද? මේ අධිකාරියක් පිහිටුවා කරන්නට හදන්නේ තවත් ගාස්තුවක් අයකර ගැනීමට මග සැලසීමටද? නැතිනම් තමන්ගේ හිතවතුන් පිරිසකට තවත් රජයේ රැකියා ටිකක් බිහි කරගැනීමටද? විය යුත්තේ එයද?


ඇත්තෙන්ම අද නියාමනයක් අවශ්‍යව ඇත්තේ සමස්ථ පෞද්ගලික මගී ප්‍රවාහණ කුලී රථ සේවා සඳහාය. මෙය නියාමනය විය යුත්තක්ම බව පිළිගනිමි. එහි අරමුණ විය යුත්තේ සමස්ථ කුලී රථ මගීන්ගේ ප්‍රවාහණ පහසුකම් ක්‍රමවත් කිරීම, හා පහසුකම් වැඩි වර්ධනය තුලින් මගියාගේ හා සේවා සපයන්නාගේ ජීවන තත්වය ඉහළ නැංවීමයි.


පාලකයින්ට වුවමනාවක් ඇත්නම්, මගී ප්‍රවාහණ කුලී රථ නියාමන අධිකාරියක් පිහිටුවිය හැකිය. ඒ මගින් ත්‍රී රෝද ඇතුළු සමස්ථ කුලී මගී රථ ලියාපදිංචි කල යුතුය. කුලී රථ සඳහා ආචාර ධර්ම පද්ධතියක් පැනවීම, රියදුරාගේ තොරතුරු මගියාට ප්‍රදර්ශණය කිරීම වැනි ධනාත්මක ක්‍රමවේදයන් හඳුන්වා දිය හැකිය.


ඒ වගේම ත්‍රී රෝදයෙන් කුඩා කාර් රථයකට "අප්ග්‍රේඩ්" වීමට කැමති ත්‍රී රෝද රියැදුරන් සඳහා අඩු බදු මුදලකට යටත්ව කුඩා කාර් රථ ලබා දීම කල හැකිය. ඒ මගින් ක්‍රමානුකූලව ත්‍රී රෝද රථ සංඛ්‍යාව අඩු කිරීමටද වැඩ කල හැකිය.


මේ ආදී තවත් බොහෝ යපත් දෑ මේ ඔස්සේ මගියාගේත් ත්‍රී රෝද රථ රියැදුරාගේත් යහපත පිණිස නියාමන අධිකාරියක් හරහා කල හැකිය.


එහෙත් මේ යෝජනාව යම් ලෙසකින් ක්‍රියාත්මක කිරීමට සැලසුනහොත්, ත්‍රී රෝද රියැදුරන්ගේ විරෝධතා පෙලපාලි බලාපොරොත්තු වීම ලක් දෙරණේ අද වැඩ සිදුවෙන ආකාරය අනුව වඩාත් සුදුසුය.