Wednesday, March 22, 2017

සමරිසියන්ගේ සන්තර්පනය පිණිස පන්සලට අවලාද නැගීම...!

සමරිසි කියන වචනයම සිංහල බසට අළුත් වචනයකි. අප පාසැල් කාලයේ හෝ ඉන් අනතුරුවත් මේ මෑතක් වන තුරු මෙවන් වදනක් ගැන අසා නොතිබුනි.

එහෙත් දැන් අපට ඒ ගැන කථා කිරීමට පොළඹවන සුලු පරිසරයක් හා බල කිරීමක් සිදුව ඇත.

මේ ගැන මා යමක් ලිවිය යුතුයැයි සිතුනේ කලක් තිස්සේ බ්ලොග් ලෝකයේ විවිධා කාරයෙන් මේ ගැන සාකච්චා වන අයුරු දැකීමෙන් හා මා බ්ලොග් ඇසුරට පත් වීමට පෙර සිටම, විවිධ ප්‍රවෘත්ති වෙබ් අඩවි තුලින් පවා මෙවන් මාතෘකාවක් දුටු සැනින් එයට පන්සල හා බුදු දහම ගාවා ගෙන කරන අසික්ශිත විවේචන  දැක ඇති නිසාවෙනි.

ඇත්තෙන්ම බුදු දහ්ම සමරිසි බව පිළිගන්නවාද? බැහැර කරනවාද?
බැහැර කිරීමක් හෝ අනුමත කිරීමක් සැබැවින්ම නැත. (ඇතැමෙක් එය බැහැර කිරීමක් ලෙසද තවකෙකු අනුමත කිරීමක් ලෙසද ගෙන වාද කිරීමට මෙයද හේතුවකි ),
සියළු ආකාර ලිංගික සන්තර්පනයන්, කායික ආශාවන් සැතපවීමකි. එය සම විශම යැයි බෙදා දැක්වීම හරසුන් ක්‍රියාවකි. ආශවන් සැතපවීමක් යනු සැතපවීමකි. බුදු දහම මගින් ලෝකෝත්තර සුවයක් සොයන්නන්හට මෙවන් වූ සියළු ආකාර සැතපවීම් වලින් මිදීමට උගන්වනු ලබයි. එසේනම් ගිහියන්හට?
ගිහියන්හට විඳිනා වූ සුවයක් තමාටත් අනුනටත් හානි නොවන පරිදි විඳීමටත්, කොයි ආකාර විඳීමක් වුව පමණ ඉක්මවා යාම නිසා පිරිහීමට හේතු වන බවත් කියා තමන්ට අවැසි ඉලක්කය කුමක්ද? ඒ අනුව හැසිරීමට මග කියා දී ඇත. කිසිදු තහනමක් හෝ වර්ග කිරීමක් ඇත්තේ නැත යැයි ඉඳුරා කිව හැකිය.

ගිහි උපාසකයින්හට බුදු හිමියන් පංචසීලයක් පිළිපැදීමට යෝජනා කරයි. උන් වහන්සේ එහි තෙවැනි සිල් පදය ලෙස කාමේසු මිච්චාචාරා යනුවෙන් සිල් පදයක්ද එක් කොට ඇත. මේ කථා කරන කාමය යනු ලිංගිකත්වයද?
මා හේතු යුක්තව එසේ නොසිතමි. කාම යන වදනට විව්ධ අරුත් ගැන්විය හැකි වුවත් දහම තුල එය භාවිතා වන්නේ ඉතා පුළුල් අරුතකිනි. දහමේහි එන කම සම්පත්තීන් යනු පංච ඉන්ද්‍රියයන් සැතපවීමෙහි මගයි. ඒ අනුව පංච කාමයම අදි පරිබෝජනය කිරීම, පමණ නොදැන ඇසුරු කිරීම නුසුදුසු ලෙස බුදු හිමියන් දක්වා ඇති ලෙස අපිට පිළිගත හැකිය.
මතුපිටින් ඉතා සරළ එහෙත් හරයෙන් බැලූ විට බුද්ධිමතාට ඉතා බරපතල මෙවන් වූ සීලයක් රැකීමට යෝජනා කරන බුදු හිමියන්, උන්වහන්සේගේ ශ්‍රාවක භික්ෂු පරපුර වෙත පැවතියේ කෙසේදැයි සොයා බැලීම ඉතා වටනේය.

කාමය හෝ ලිංගිකත්වය යන කරුණු භික්ෂු සංඝයා විශයෙහි බලනොපාන අත්ශයින්ම ග්‍රාම්‍ය වූ පුහුදුන් (පෘතග්ජන ) හැසිරීමකි. නිර්වාන මාර්ගය අයැද සියළු ගිහි සම්පත් හැර පියා සසුන් මගට පිවිසෙන පැවිද්දාට අමුතුවෙන් මෙවන් වූ ග්‍රාම්ය හැසිරීම් අයෝග්‍ය බව කීමට බුදු හිමියන් වෙර දරා නැත.
එහෙත් බුද්ධත්වයෙන් විසි වසරකට පසු උන්වහන්සේ ප්‍රාථිමෝක්ෂය (භික්ෂු සීලය ) දේශනා කිරීමේදී ඒ අවස්ථාවේ නොයෙක් ලාමක භික්ෂූන් අතින් මෙවන් වූ භික්ෂුත්වයට නොගැලපෙන ලාමක ක්‍රියා සිදුවීමට හා ඒවා බුදු හිමියන් වෙත වාර්ථා වීමට පටන් ගෙන තිබී ඇත.

එසේ වූ කල බුදු හිමියන් ඉතා පැහැදිලිවම විව්ධාකාරයෙන්, එකදු හිදැසක් නොතබා ස්ත්‍රී, පුරුශ, තිරිසන්, අමනුශ්‍යා ආදී ඕනෑම කොටසකට අයත් වන සත්ත්වයෙකු සමග පවත්වන ලිංගික ඇසුරක් පාරාජිකා අකුසලයක් ලෙස අරුත් ගන්වා ඇත. එසේ වූ කල යම් වූ පැවිද්දෙකු එවන් වූ ඇසුරක් පැවැත්වූයේද? ඔහු හෝ ඇය එසැනින් භික්ෂූත්වයෙන් පිරිහේ. තව දුරටත් භික්ෂුවක යන ආමන්ත්‍රනයට සුදුසු නොවේ. ගිහියන්ගෙන් වැඳුම් ලැබීමට සුදුසු නොවේ. යම් ස්ත්‍රී හෝ පුරුෂ පැවිද්දෙකු වින්දනයක් ලබන අරමුනින් ස්වයං හැසිරීමක නිරත් වූයේද? එය පාරාජිකාවක් නොවුනත් ඉතා බරපතල ඇවතකි. භික්ෂු සමූහයා අභිමුවෙහි පාපොච්චාරනයක් කොට නිවැරදි වන බවට සපත කොට නිවැරදි කර ගත යුතු ඇවැතකි.

දහම අනුව පංචස්කන්ධයකින් සැදි සත්ත්වයාගේ එම පංචස්කන්ධයම මොහොතින් මොහොත මැරෙමින් උපදින සංකල්පයකි.
සත්ත්වයා සත්ත්වයෙකු ලෙස හඳුනා ගන්නේ හා සත්ත්වයෙකුගේ පැවත්මක් අප දැක ගන්නේ හුදෙක්ම සත්ත්වයාගේ තුල ඇති මතකය හා පුරුදු හේතුවෙනි.
මතකය හා පුරුදු නොවුනා නම් සෑම සත්ත්වයෙකුම එක් මොහොතක පමණක් පවතින සංකල්පයකි.

විඳීම් වලදී සත්ත්වයා ඇබ්බැහි වලට යන්නේත්, එකම විඳීම නැවත නැවත සොයන්නේත් වරක් විඳි සත්ත්වයා මතකය ඇසුරින් විඳීම සැපවත් ලෙස ගැනීමත් එම විඳීම දැන් සිටින සත්ත්වයා විඳ නැති වීමත් නිසාවෙනි.

මේ තත්වය මත යමෙකු සමලිංගිකත්වය පන්සල හා ගලපා දැක්වීමට වෙර දැරීම හුදු මිත්‍යාවකි.
එහෙත් පන්සල් පරිසරය තුල සිටින සියළු භික්ෂූන් ප්‍රාථිමෝක්ෂය අකුරට සුරකින් සිල්වතුන් යැයි මා කිසි විට නොකියමි.
එසේනම්?
යම් කිසි භික්ෂුවක් පාරාජිකාවකට පැමිණ එය සඟවාගෙන වෙසෙයිද?
යම් කිසි භික්ෂුවක් වෙනත් අවශේස ඇවැතක් සඟවාගෙන වෙසෙයිද?
මෙවන් වූ පුද්ගලයෙකු නිසැකවම භික්ෂු ප්‍රථිරූපකයෙකි, හෙවත් භික්ෂුවක් ලෙස වෙස් ගෙන සිටිනා වූ මිනිසෙකි. එවන් වූ මුග්ද පුද්ගලයින් අද වන් සමාජයක ඕනෑ තරම් සිටිය හැකි වුවද, එය පාදක කොටගෙන භික්ෂූන් අවමානයට ලක් කිරීම නුසුදුසු ක්‍රියාවකි.
සියළු දුක් නසා නිවන් මගට පිවිසීමට වරම් ඉල්ලා පැවිදි දිවියට පිළිපන් භික්ෂුවකගෙන් එවන් වරදක් සිදු වනුයේම නැත.

ගිහි සමාජය තුල වෙසෙන නොයෙකුත් දෘශ්ටීන් දරන ලාමක මිනිසු තුල සම විශම ආදී නොයෙකුත් ආකාර පාංච කාම සම්පත්තීන් වීන්දීම් ඇත. එය ස්වභාවිකය. සත්ත්වයා විඳීම සැපයක් ලෙස ගැනීම සත්ත්ව ගතියකි. මිනිසාගේ සිට සිතුවිළි පහල කරනා වූ සෑම සත්ත්වයෙකුම මේ ලක්ෂණ පෙන්වති.
එහෙත් නිවන් අරමුණෙහි වෙසෙන භික්ෂුව එසේ නැත. !



6 comments:

  1. හොද ලිපියක්. ස්තුතියි

    ReplyDelete
  2. ස්තුතියි,
    ඔබේ අගය කිරීම ශක්තියක්.

    ReplyDelete
  3. අපි හැමෝම සාමාන්‍ය මනුෂ්‍යෙයා් වන්නෙමු.... නේද???

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම! අපි හැමෝම සාමාන්‍ය "සත්ත්වයෝ" වන්නෙමු.
      ලෝභ, ද්වේශ, මෝහ මූලිකව සිතුවිලි පහල කරන්නෝ වෙමු.

      නිවන් මගට පිවිසෙන භික්ෂුව වනාහී මේ සාමාන්‍ය තත්වයේ ඇති අභාග්‍යය දැක ඉන් මිදීම සොයනු පිණිස අරමුණු ඇත්තෝ වන්නාහ.

      Delete
  4. මෙයට යමක් ලිවීමට හිතට ආවා. එය ලිව්වොත් අදහස සහ කමෙන්ට් එක hypocritic වන නිසා ලිවීමට හැකියාවක් නැහැ. හමුවූ දවසක කියන්නම්.

    ReplyDelete
    Replies
    1. ලිපිය කියවීම ගැන ඔබට ස්තුතියි ඉයන්.
      ඔබ බ්ලොග් ඔස්සේ කෙලින් මත දක්වන්නෙක්. ඔබේ අදහස කිව්වානම් මම වඩා කැමතියි.

      Delete