Wednesday, August 17, 2016

SAITM වසා දමනු !

සයිටම් වසා දමනු !

මේ අද දවසේ වඩිපුරම ඇසෙන සටන් පාටය.

නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට කල යුත්තේ සයිටම් වසා දැමීමද රැක ගැනීමද? මේ අද කතිකාවට භාජනය වන සුලභ ප්‍රශ්නයක් හා ප්‍රශ්නය නගන්නවුටම නොවැටහෙන හෝ නොවැටහෙනවා සේ රඟන ප්‍රශ්නයක්.

ඇත්තෙන්ම සයිටම් යනු කුමක්ද?
බොහෝ දෙනා සිතා සිටින පරිදි මෙය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නොව. මෙය පෞද්ගලික විශ්ව විද්‍යාලයකැයි කීම වඩා නිවැරදි වේ. මෙය මා දන්නා තරමින් ඉන්ජිනේරු පීඨයක් (තායිලන්තයේ ඒ අයි ටී ආයතනය සා සබැඳි ), කලමනාකරණ පීඨයක්, ජනමාධ්‍ය අධ්‍යයන පීඨයක් හා වෛද්‍ය පීඨයකින් සැදුම් ලත් විශ්ව විද්‍යාලයකි.

ජනතා විරෝධයක් එල්ල වන්නේ ඇයි?
මෙහි අන් කිසිදු පීඨයකට එරෙහිව උද්ගෝශනයක් හෝ තර්ජන ගර්ජන කිරීම් අප දකින්නේ නැත. ඒ එසේනම් අන් සියලු පීඨ ඉතා සාධාරණ හා හොඳයැයි සමාජය පිළි ගන්නා නිසාද? නැත එවන් පීඨ ඇති බවක් හෝ මේ බොහෝ නිදහස් අධ්‍යාපන කාමීන් නොදනී. එසේම ඒම පීට වලින් උපාධිලබා රජයේ වඩා වැදගත් තැන් වල මෙන්ම පෞද්ගලික අංශයේ ඉතා බැරෑරුම් වගකීම් වල යෙදෙන උපාධිධරයන් බොහෝ වෙති.

මේ අභියෝගය එල්ල වන්නේ වෛද්‍ය උපාධියට හා වෛද්‍ය පීඨයට පමණක් වීම මෙහි ඇති විසුලු ස්වරූපයයි.

මේ විරුද්ධ හඬ නගන්නේ කවුරුන්ද?
අපි සැවොම දන්න පරිදි ඇතැම් වෛද්‍ය වරුන්  මෙහි මූලිකත්වය ගෙන සිටීයි. එසේම විශ්ව විද්‍යාල අන්තරයත් කුරුට්ටෝත් මෙකී නොකී ශිශ්‍ය බලවේග මේ පිටුපස සිටිති.
ඔවුන් සැම වෛද්‍ය සිසුන් හෝ වෛද්‍ය වරුන්ද? නැත උන් නොදන්නවාට සයිටම් එකට අල්ලපු වත්තේ පිහිටි සිනෙක් මැරිටයිම් ආයතනය පුවත් පත් දැන්වීම් දමමින් ඉන්ජිනේරු, කලමණාකරන ආදී විව්ධ උපාදි පාටමාලා පවත්වා උපාධි පිරිනමයි. කිසිවෙකු මෙය දකින්නේ හෝ නැත. හේතුව එහි වෛද්‍ය පීඨයක් නැති කමයි.

නිදහස් අධ්‍යාපනය බිඳ වැටෙන්නේ වෛද්‍ය පීඨයකින් පමණද? යන ප්‍රශ්නය මේ හමුවේ මතු නොවන්නේ කාටද?

මේ ප්‍රශ්නය නිදහස් අධ්‍යාපනය, වෛද්‍ය පීඨයේ ප්‍රමිතිය (රාජ්‍ය වෛද්‍ය පීඨ වල ප්‍රමිතිය ගැන හිටපු උසස් අධ්‍යාපන ඇමති විසින්ම මෑතකදී පහදා දෙන ලදී ) රෝගීන්ගේ ආරක්ශාව වැනි කරුනු නිසාමද නැතහොත් වෙන අන් යම් විරුද්ධවාදීන් විසින් හංගන හේතුවක් නිසාදැයි අපට වටහා ගත හැකිය.

සුදුසු - නුසුදුසු සිසුන්
විරුද්ද වාදීන්ගේ තවත්  ප්‍රමුඛතම තර්කයක් වන්නේ සයිටම් ආයතනය මුදල් වලට නුසුදුසු සිසුන් බඳවාගෙන ඇති බවයි.
එසේනම් සුදුසු සිසුන් යනු කවරෙක්ද?
ශිශ්‍ය ක්‍රියාකාරීන් දක්වන හැටියට ඒ Z ස්කොර් අගය මත බඳවා ගන්න උන් පමණි. ඒත් ඇත්තෙන්ම එය මෙලෙස සලකා බැලිය හැකිය.
උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉහලම ලකුණු ලබා ගත් ශිශ්‍යයාගේ Z ස්කොර් අගයෙහි සිට, මොණරාගල හෝ මුලතිව් දිස්ත්‍රික්කයෙන් තේරී පත්වන අවසන් සිසුවා ගේ z ස්කෝර් අගය දක්වා සියළුම සිසුන් සුදුස්සන්ය. මේ අතරින් දිස්ත්‍රික් පදනමින් පිරිසක් තෝරා ගන්නේ ඉඩ පහසුකම් අනුවය.
එහෙත් ඇත්තෙන්ම මේ සුදුස්සන් අතුරින් වසරකට 1200 ක පමණ පිරිසක් ඉඩ නොලබයි.

දැන් මේ සුදුසු කම් ලබන එක්දහස් ගනනක් වූ සිසුන් අතරින් අවමයාට වඩා ලකුණු වැඩි උන් 1200 ක් පමණ නුසුදුස්සන් වෙති.
උන් පූන නූල බැඳීමට නුසුදුස්සන්ය.
සුදුස්සාගේ සහ නුසුදුස්සාගේ අතර අපූර්ව වූ වෙනස එයයි

සයිටම් ධනවතුනට පමණයි! 
මේ තවත් ප්‍රභල තර්කයකි.
ලොව පුරාම තිබෙන සියළු පෞද්ගලික විශ්ව විද්‍යාල වල හා රාජ්‍ය විශ්ව විද්‍යාල වල ශිෂ්‍යත්ව නොලබන සිසුන් ඉගෙනුම ලබන්නේ මුදල් ගෙවීමෙනි. එහෙත් ඒ සැවොම ධනවතුන්ගේ දරුවන් නොවෙති. දුප්පතුන්ගේ දරුවන් මේ ඉහල අධ්‍යාපනය ලබන්නේ එයට කැමැත්ත හා කැපවීම ඇති එකා මූල්‍ය ආයතන වල ආධාර උපකාර මතය. එනම් ශිෂ්‍ය ණය යෝජනා ක්‍රම වල පිහිටෙනි.
මේගැන සයිටම් විරෝධීන් කියන්නේ සයිටම් උපාදියට ණය නොදෙන බවකි. එහි ඇත්තේ පරම සත්‍යයකි. සයිටම් උපාධිය සමාජය ඉදිරියේ අභියෝගයට ලක් කරමින් වෛද්‍ය වරුන් හා සිසුන් කරමින් සිටින්නේ මේ ආකාරයට ණය පහසුකම් දීමට මූල්‍ය ආයතන පෙළඹීම වැලැක්වීමයි.
තම ආයෝජනය විශාල අභියෝගයකට මුහුණ දී ඇති විට ආයෝජකයෝ ඊට නොපෙලඹෙති. මෙමගින් කුප්‍රකට නිදහස් අධ්‍යාපන කාමීන් ඍජුවම මෙම ආයතනය ධනවතුන්ගේ දරුවන්ට පමණක් සීමා කරති. හැකියාව ඇති මධ්‍යම පාන්තික දරුවාට පවා වැට බඳිති.

සයිටම් වසා දැමුවහොත් නිදහස් අධ්‍යාපනය සුරැකේද?
එක් ජනප්‍රිය සටන් පාඨයක් පමණක් රටට අහිමිව යනු ඇත. එසේම ධනවතුන් නොවනා දහස් ගනනකට තිබූ අවස්ථාවක් ඇහිරී යනු ඇත.
ධනවතුන්ගේ දරුවන් චීනයට පැරණි සෝවියට් සමූහණ්ඩු රටවලට හෝ හැකි උන් එංගලන්තයට ඇමරිකාවට හෝ ගොස් වෛද්‍ය උපාධිය ලබනු ඇත.
එහෙත් එමගින් ලංකාවේ වෛද්‍ය වරුන් සුලභ වීමක් නොවනා නිසා වෛද්‍ය සංගම් හෝ ශිෂ්‍ය ව්‍යාපාර නිහඬව සිටිනු ඇත.

උසස් පෙළ නම් වූ ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වන සැවොම උපාධියක් ලබා ගැනීමේ පරම අයිතිය ඇතැයි පිළිගත නොහැකි අයෙක් වෙත්ද? එසේනම් ඒ කුමණ හේතුවක් මතද?
මේ ප්‍රශ්ණයට කිසිදා උත්තර නොලැබෙන බව සහතිකය.
එසේ සමත් වන උන්ගේන් 20% ක් පමණ රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ශිෂ්‍යත්ව ලබා නොමිලේ ඉගෙන ගැනීම කිසිදු අභියෝගයකින් තොරව සාධාරණය.
එසේම ඉතිරි 80% න් යම් ආකාරයකට මූල්‍ය පහසුකම් සලසා ගත හැකි උන් මුදල් ගෙවා රාජ්ය හෝ පෞද්ගලික ආයතනයකින් ඉගෙනීමෙහි හෝ උපාධියක් ලැබීමෙහි ඇති වරද කුමක්ද?

සයිටම් විරෝධීන් ඔවුන්ගේ පෝස්ටර් වල "සරසවි බඳවා ගැනීම ඉහල දමනු!" කියා වැකියක් යොදති මේ උන්ගේ සාධාරන බව ලොවට පෙන්වීමටයි, සාමාන්ය ජනය මුලා කිරීමටයි.

එහෙත් 

සියළු උසස් පෙල සමතුන්ගේ උපාධි අයිතිය සුරකිනු !


කියා පෝස්ටර් ගසන්නෙක් වෙත්ද?
මොවුන් අප දක්කන්නට සැරසෙන්නේ කොතැනටද?

10 comments:

  1. "නිදහස් අධ්‍යාපනය" යන්න බොහෝ දෙනෙක් විග්‍රහ කරන්නේ මුදල් නොගෙවා අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව යන අදහසින්. එහෙත් නිදහස් අධ්‍යාපනය යනු එයද ?

    නිදහස් අධ්‍යාපනය යන්නෙහි අදහස පිළිබඳ පොදු එකඟතාවයකින් තොරව මෙවැනි සංවාදයක් පල රහිත බවයි අපගේ අදහස.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කණිෂ්ක, මෙහි පැමිණ පිළිතුරක් පල කිරීමට ඔබ දක්වන දායකත්වයට.
      ඔබ කියන කාරනය සපුරා සත්‍යයයි. එහෙත් මේ රටේ බමුනු කුලයේ වෙදුන් හා ජනතාවගේ අයිතීන් සුරැකීමේ මුර දේවතා ඩියුටිය භාර ගත් සටන් කාමී ශිෂ්‍ය ව්‍යාපාරය පවතිනතාක් මේ කරුන ගැන ජාතික එකඟ තාවයක් නම් ඇති නොවේවි. එහෙත් මේ මුග්ද මතවාදයට එරෙහි කඳවුර එහි ශක්තිය හා මතවාදය වැඩි වැඩියෙන් කථිකාවට ලක් කිරීම වැදගත් බව මගේ අදහසයි.

      Delete
  2. මේ ගැන දීර්ඝ සංවාදයක යෙදීමේ අදහසක් තිබුණ මුත් ඊට වඩා ආචාර්‍ය නලින් ද සිල්වාගේ පහත ලිපි ඉදිරිපත් කිරීම මැනවැයි සිතමි.

    1. මාලබේ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයට පෙරවදනක්
    2. නිදහස් අධ්‍යාපනය ගැන සිතමු
    3. මාලබේට විරුද්ධ ඇයි?
    4. මාලබේට කළ යුත්ත

    ReplyDelete
    Replies
    1. ආචාර්‍ය නලින්ගේ මේ ගැන වූ අදහස් මා කියවා ඇත. මේ ලිපිත් ඉඩ ඇති ආකාරයට කියැවීමට බලාපොරොත්තු වෙමි. ඇතැම් විට මේ ලිපිත් මා කියවා තිබෙනවාද විය හැක.

      එතුමා මේ සයිටම් ප්‍රෂ්ණය ගැන ඉතා ධනාත්මකව අදහස් පල කර ඇති බවක් මා දුටුවෙමි. එසේම එතුමා සයිටම් වෛද්‍ය උපාධිධාරීන්හට ඇක්ට් 16 විභාගය පැවැත්වීමට යෝජනා කරයි.එය මතුපිටින් සාධාරණ තත්වයකි. එහෙත් මේ විභාගයද ජ්‍යේෂ්ට වෛද්‍ය මහාචාර්‍ය වරුන් ඇතුලු කිහිපදෙනෙකුගේ මුදල් උපයන සුරබිදෙනකි. ඔවුන් මේ සඳහා අතිරේක පන්ති පවත්වමින් අතිවිශාල මුදලක් උපයන බව කියති.
      එසේම මෙම විභාගයද සමත් කරන්නේ ප්‍රථිශතයක් වශයෙන් බවද මා අසා ඇත. එය එසේනම් ඒතුලින් ලංකාවේ වෛද්‍ය හිඟයට පිලියමක් දීම පෞද්ගලික විශ්ව විද්‍යාල 100 ක් ඇරඹුවද ඉටු නොවනු ඇත.
      ඒ වෙනුවට උපාධිය ලැබූ ඇක්ට් 16 හා සමාන නව විභාගය සමත් නොවූ දහස් ගනනක් වෛද්‍ය වරුන් රටේ සිටිනු ඇත.

      Delete
  3. වෛද්‍යවරුන්ගෙ බමුණු කුලය රැකගැනීම සදහායි මේ සටන.
    දැනුමේ ආධිපත්‍ය බිදින්න අවශ්‍යයි. රාජ්‍ය හෝ පෞද්ගලික වශයෙන් වෛද්‍ය විද්‍යාල බිහිකල යුතුයි.
    හැකිනම් කෝටි දෙකක් වන සමස්ත ජනගහනයම වෛද්‍යවරුන් කරනවානම් එයත් වැදගත්.හැම ළමයෙක්ම වෛද්‍යවරයෙක් වෙන්නනෙ යන්නෙ.
    උඩ වාක්‍ය දෙක උපහාසාත්මකව කීවත් ඇත්තටම විය යුත්තෙ වෘත්තීන් අතර ලොකු ගැප් එකක් නැතිවෙන ලෙස ප්‍රතිපත්ති හා උපායමාර්ග සකස් කිරීමයි.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ ස්තුතියි ඔබේ ප්‍රථිචාරයට,
      ඇත්තෙන්ම වෘත්තීන් අතර පරතරය නැති කිරීම කියන මතය ඔස්සේ වෛද්‍ය වෘත්තියට ඇති ගෞරවනීය පූජනීය තත්වය නැතිකර දැමීමට වුවමනාවක් මේ රටේ කිසිදු පුරවැසියෙකුට කිසිම දාක තියෙන්නට නැතිව ඇති.
      ඒ තත්වය වෛද්‍ය වෘත්තියට ලැබෙන්නේ එදා ගමේ වෙද මහතා කල ගරු සේවයට ලැබුනු ගෞරවයෙහි දිගුවක් ලෙසිනුයි.
      එහෙත් දැන් මේ ගෞරවය සුදුසුද කියන මාතෘකාව සාකච්චාවට එන්නේ වෛද්‍ය වෘත්තිකයන්ගේම වරදින් බවයි මම සිතන්නේ.

      Delete
    2. ඉතා හොඳ ලිපියක්. මධ්‍යස්ථ මතදාරියා ඉදිරිපත් කරල තියෙන අදහස් වලට එකඟයි. මේ ගැන චින්තන ධර්මදාස කිව්වා "අපේ රටේ දැනුම කියන්නෙ තක්කඩිකමක්" කියල. ඕක තමයි මේ විරෝධයට මූලිකම පදනම. තාර්කිකත්වයෙන් ගෙන එන සාධාරණ හේතූන් නෙමේ, තනිකර තක්කඩිකමයි, කුහක කමයි.

      Delete
    3. සන්ජය,
      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට
      ඇත්තෙන්ම "අපේ රටේ දැනුම කියන්නේ තක්කඩි කමක්" කියන එක හරි අපූරු අර්ථ දැක්වීමක්.
      හැබැයි ලෝක සම්මත දැනුම කියන්නේ කිසිසේත්ම තක්කඩිකමක් නෙවෙයි. අපි මෙතැනදී අපේ රටේ දැනුම කියන්නේ කුමක්ද හා ලෝක සම්මත දැනුම කියන්නේ කුමක්ද කියන එක පැහැදිලිවම වටහා ගත යුතුයි.
      මම දකින විදියට අපේ රටේ බොහෝ උගතුන් යැයි සම්මටහ් උදවිය දැනුමින් ඉතා දුප්පත් පිරිසක්. විශේශයෙන් විශ්ව විද්‍යාල වල කලා හා සාමාන්‍ය විද්‍යා උපාධි දරන බොහෝ දෙනා තමන්ගේ විශය දැනුමින් පවා හීනයි. ඒකට හේතුව විශ්ව විද්‍යාල වල අද්‍යාපනය ලබන හැටි, කණ්ඩායම් ක්‍රියා කාරකම් කරන හැටි, දේශන වලට සහභාගී වන හැටි, එසයින්මන්ට් පිටු ගනන් කොපි කරන හැටි. එකෙක් වෙනුවෙන් අනෙකෙක්න් වාර්ථා ලියන හැටි ආදිය ගැන දන්න උදවියට ඉතාම පැහැදිලියි.

      හැබැයි මම පැහැදිලිවම කියනවා පෞද්ගලික විශ්ව විද්යාල අතුරින් සැබෑ විශ්ව විද්‍යාල මට්ටමේ පවතින ඒවා වල තත්වය මෙහෙම නෙවෙයි ඒවායේ සෑම සිසුවෙකුම තමන්ගේ ක්‍රියාකාරකම් තමන් විසින්ම කල යුතු වෙනවා. ඒවගේම අඩුම තරමින් විකිපීඩියා වලින් කොපිකර හෝ ලියුවොත් ඒවාත් අලාගන්නා තාක්ශනය මේ විශ්ව විද්‍යාල සතුයි.

      අන්න ඒකයි වෙනස.
      ලංකාව තුලදී දැනුම තක්කඩි කමක් වීමට හේතුව.

      Delete