Thursday, November 26, 2020

 ලංකාවේ එකලස් කල මෝටර් රථ අඩු මිලකට ?



ලංකාවේ විදේශමුදල් සංචිත ප්‍රශ්නය මත මෑතකාලීනව සියළු රථ වාහන ආනයන සහමුලින් නවතා දැමුනි.

ඊට පෙරදී අප රටේ වාහන වෙළඳපොළ පැවතියේ අතිශයින්ම අසාධාරණ මිල මට්ටමක් දක්වා වර්ධනය වී තිබුනි. එය  ඍජුවම සාමාන්‍ය පන්තියේ ජනයාට වාහනයක් මිලදී ගැනීම කල නොහැකි හෝ සියජීවිත කාලයටම ණය කරුවෙකු වීමේ මට්ටමට පත්ව තිබුනි.

කොටින්ම අප අසල්වැසි ඉන්දියාවේ ඇල්ටෝ කාර් රථයක් මිලදී ගන්නවාට වඩා මදක් වැඩි මුදලකට ත්‍රී රෝද රථයක් මිලදී ගැනීමට අපට සිදුවී තිබුනි.


මෑතක ඇතිවූ නව ප්‍රවනතා යටතේ එය සම්පූර්ණයෙන්ම ආනයන නවතා දැමීමක් දක්වා දිගු වූයෙන් තිබෙන වාහනය හෝ පාවිච්චි කල වාහනයක් මිලදී ගැනීමෙන් සැනසීමට කාහටත් සිදුවිය.


මේ තත්වය යටතේ රජය ඉතා ප්‍රගතිශීලී ඉදිරි පියවරක් තබමින් ලංකාව තුල වාහන එකලස් කිරීම දිරිගැන්වීමට තීරණය කර ඇති බව වාර්ථා වේ. මේ තුලින් ජනතාවට හොඳ බලාපොරොත්තුවකට ඉඩ මතුවේ.


මේ නව උත්සාහය යටතේ අයිඩියල් මෝටර්ස් නම් ලාංකික සමාගම ඉන්දියාවේ මහේන්ද්‍රා මෝටර්ස් ආයතනය සමග එකතුව ඔවුන්ගේ නවතම SUV රථයක් ලංකාවේ එකලස් කොට ලංකාවේම නිපදවූ උපාංග රැසක් සමගින් හඳුන්වා දීමට කටයුතු කොට ඇත.

බැලූ බැල්මට ඉතා හොඳ ආරම්බයකි.


එහෙත්, මේ ලංකාවේ එකලස් කලායැයි පැවසෙන රථය ඔවුන්ම පවසන ආකාරයෙන් අඩු මිල රථයකි. ඒ නිසාම එහි උපාංග හා තාක්ශනික නවතාවයන් එතරම් ආකර්ශනීය මට්ටමක නැත. මීට වසර දහයකට දොලහකට පෙර ජපන් වාහන වල තිබූ තාක්ශනික මට්ටම යන්තමින් පවත්වාගත් බවක් දැකිය හැකිය. මේ රථය මැනුවල් ගියර් පද්ධතියකින් සමන්විතය. එයද ඉතාම ප්‍රාථමික තත්වයකි.


ඒ සියල්ල අභිබවා, සමාගමට අනුව අඩු මිල රථයක් වූ මෙය ලංකාවේ එකලස් කිරීම, දේශීයව නිපදවූ උපාංග සහිත වීම යන නිර්නායකයන්ටද යටත්ව මිල කොට ඇත්තේ ලංකා රුපියල් මිලියන 3.4 ක් පමණ මිලකටය එනම් ලංකා රුපියල් ලක්ෂ 34ක් වැනි මිලකටය.


සාමාන්‍ය ජපන් කාර් රථයක් හා සැසඳීමේදී මෙය සැලකිය යුතු අඩු මිලකි. එහෙත් අප සසැඳිය යුත්තේ මේ හා සමාන වෙනත් රථ හා ඒවායේ ජාත්‍යන්තර මිළ සමගය.


මේ රථයේ මව් රට වූ ඉන්දියාවේදී එහි මිළ කෙබඳුද?


ඉන්දියාවේදී මේ රථය කුඩා වෙනස් කම් සහිත මාදිලි තුනකින් එලි දක්වා ඇත.

එහි මිල පරාසය වනුයේ ඉන්දියානු රුපියල් ලක්ෂ 5.66 සිට 6.65 දක්වාය. මේ ඉන්දියානු රුපියල් මිලියන නොව රුපියල් ලක්ෂ වලිනි.

ඉන්දියානු රුපියල් ලක්ෂ 6.65 හෙවත් 665,000.00 යනු දල වශයෙන් ලංකා රුපියල් 1,655,000.00 හෙවත් මිලියන 1.655 ක් වේ.


ඒ අනුව මේ රථයේ ලංකාවේ එකලස් කිරීමේදී මිල එහි මව් රටේ වෙළඳ පොල මිල මෙන් දෙගුනයකට මදක් වැඩිය.


මේ මිල ගොඩ නැගෙන්නේ, ලංකාවේ එකලස් කරද්දී පවා රජය විසින් අය කරන අධික බදු මුදලක් නිසාද, නැතහොත් ලංකාවේ වාහන මිල ඉහළ වීමේ වාසිය ගැනීමට නිශ්පාදකයා කෘතිමව මිල ඉහල දැමීමක්දැයි දන්නේ ලංකාවේ මේ රථ අලෙවි කරන සමාගම පමණක් විය හැකිය.


කෙසේ වෙතත් එතරම් විශාල මුදලකට, අඩු මිල වාහනයක් යැයි නිශ්පාදකයාම හඳුන්වන ප්‍රමිතියෙන් අඩු වාහනයක් දේශීය ගැණුම් කරුවා අතට පත් කිරීම චේතනාන්විතව ශ්‍රී ලාංකිකයාගේ ජීවන මට්ටම පහතින් තබා ගැනීමකි.


මේ අසාධාරණයේ වගකිව යුත්තෝ කවුරුන්ද?

4 comments:

  1. 2019 නිශ්පාදන කටයුතු ආරම්භ කල අයිඩියල් කර්මාන්තශාලාවට රුපියල් බිලියන 20 ක් වියදම් වී තුබෙනවා. උදාහරණයකට ඉන්දියාවේ කර්මාන්තශාලාවක වාහන 100 ක් නිශ්පාදනය කරනකොට ලංකාවේ නිශ්පාදනය වන්නේ වාහන 2 ක් විතර. එමනිසා කාර්මාන්තශාලාවේ සහ යන්ත්‍ර වල ක්ෂය වීම නිශ්පාදන වියදමෙන් පියවා ගන්න වෙනවා. ඒ නිසා වෙන්න පුළුවන්. මේකර්මාන්තශාලාව විවෘත කලේ වාහන ආනයනය නැවතීමට පෙර 2019 වර්ෂයේදී. මේ ගැන විස්තරය මේ පුවත්පත් රිපෝට් එකේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්, ඔබේ පිළිතුරට.
      මා ඔබගේ මතය පිළිගන්නවා, ලංකාවේදී ලැබිය හැකි සාපේක්ෂ අඩු අලෙවිය නිසා එය ඔවුන්ගේ ආයෝජනය පියවා ගැනීම කෙරෙහි අහිතකරව බලපානවා. එය මිල වැඩි වීමට හේතු වක් විය හැකියි. එමෙන්ම, ලංකාවේ අධික හා නොගැලපෙන බදු එයට එක් හේතුවක් බවත් මා දන්නවා.
      එනමුත් මේ සමාගම අඩු මිල වාහනයක් ලෙස ඔවුන්ම පිළිගන්නා වාහනයක් මෙතරම් මිලකට අලෙවි කිරීමට තැත් දැරීම නිසා එය මේ වාහනයේ අපේක්ශිත අලෙවි ඉලක්ක වලට ඍනාතමක බලපෑමක් වීමෙහි ඉඩක් මතුවිය හැකියි.

      Delete
  2. ආනයන නැවැත්වීමත් ඓඩියල් සහ මහේන්ද්‍රා සමාගම් අතර හවුල් ව්‍යාපාරයක් වන මේ ආයතනයත් අතර හේතු-ඵල සම්බන්ධයක් නැත. ඇති එකම සම්බන්දය ආනයන නැවත්වීම හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදනය පවත්වාගෙන යාමට අසීරු වී ඇත්නම් එයම පමණි. මෙකී හවුල් ව්‍යාපාරය නිෂ්පාදන ඇරඹීම කලින් ආණ්ඩුව කරා දිවෙයි - අඩු තරමින් ඒ ගැන ප්‍රවෘත්ති ඒ කාලය කරා දිවෙයි. මේ කර්මාන්තශාලාවේ මූලික සාකච්ඡා ඊටත් කලින් ආණ්ඩු කාලයට යනු ඇත. කුමාර වෙල්ගම ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකි.

    මේ වාහනයේ අධිමිල නම් බදු හේතුවෙන් සහ ඒ හේතුවෙන් පමණක් ඇති වූ එකකි. ඊට සමාගමේ වරදක් නැත.

    සිතුවිළි, වාහන ගැන මිස වෙනකක් ගැන සිතීමට නොහැකි තරම් ඔබේ හිත වාහන වලින්ම පිරී තිබෙන්නේ මන්ද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා ඔබේ වටිනා ප්‍රථිචාරයට.

      " සිතුවිළි, වාහන ගැන මිස වෙනකක් ගැන සිතීමට නොහැකි තරම් ඔබේ හිත වාහන වලින්ම පිරී තිබෙන්නේ මන්ද ? " මෙන්න මේ ප්‍රෂ්නයට මගේ පිළිතුර නම්, මා මේ කථා කරන්නේ වාහන ගැන නොවේ යන්නයි.
      මා වාහන හා ඒවායේ මිල යන සංකල්පය යොදා ගන්නේ මිණුම් දණ්ඩක් ලෙසයි. මා එය ඉතා පහසු මිණුම් දණ්ඩක් ලෙස සැලකුවද ඒ හරහා මගේ අදහස නම් කියවන්නාට නොයන බව ඉතා පැහැදිලියි.

      මාගේ මූලික අභිප්‍රාය, ලංකාවේ පාලකයන් විසින් කලින් කලට අළුත්කරනා බදු ප්‍රතිපත්ති මගින්, රටේ පොදු ජනයා (මා අයත් ජන කුලකය ) ගේ ජීවන තත්වය මත ඇති කරන බලපෑම ගැන සාකච්චාවට බඳුන් කිරීමයි.

      ලංකාවේ ප්‍රථිපත්ති සකසන්නන් විසින් දිගින් දිගටම ලාංකික ජනයාගේ ජීවන මට්ටම බලහත්කාරයෙන් පහත හේලා තැබීමේ ඇති අවාසනා වන්ත තත්වය කිසිවෙකුගේ සාකච්චාවට බඳුන් නොවීම හා මිනිසුන් ඒගැන දරුණු නිද්‍රාශීලීත්වයකින් පසුවීම ගැන මා වික්ශිප්ත වෙමි.

      Delete