Thursday, December 7, 2017

ප්‍රභාකරන් වගේ යකෙකුට මෛත්‍රී කරන්නේ කොහොමද?



හාමුදුරු වරු මෛත්‍රිය ගැන උගන්වන කොට කියනවා සකල ලෝක වාසීන්ම අරමුණු කරගෙන මෛත්‍රී කරන්න කියලා. එක් එක අය අරගෙන මෛත්‍රී කරන්න කියලා.

බුදු හාමුදුරුවෝ කරණීය මෙත්ත සූත්‍රයේදී කියනවා, එක දරුවෙක් ඇති මවක් ඇයගේ දරුවාට මෛත්‍රී කරනවා වගේ සකල ලෝක සත්ත්වයාටම මෛත්‍රී කරන්න කියලා.

ඒත් බොහෝ උපාසක උපාසිකා වන්ට මේ වැඩෙ කියන තරම් පහසු නෑ. ලෝකෙට මෛත්‍රී කරන්න ගියාම මතක් වෙන්නේ තරහ කාරයෝ. තමන්ට අපහාස කල උන්, තමන්ගේ දරුවන්ගේ දියුනුවට බාධා කල උන්, තමන්ගේ මතයට එරෙහිව ගැටෙන උන්, තමන්ගේ ජාතියට ආගමට වින කරන උන්, වගේ නොයෙකුත් (උන්ට මෛත්‍රී කරන්නේ කොහොමද කියන කුලකයට අයිති) චරිත.

යුද්ධය ප්‍රභලව පැවති සමයේ දිනක් (කොළඹ හා අනෙක් නගර ආස්‍රිතව බස් වල කෝච්චි වල බුරුතු පිටින් අහින්සකයින් මැරෙන කාලයේ,දින පතා පත්තර පිටු පුරා මියගිය පාසැල් සිසු දරුවන්ගේ දෙමාපියන්ගේ මල මිනී බදා හඬාවැටෙන පින්තූරු පලවන යුගයේ), රූපවාහිනියේ දහම් ගැටළු වැඩසටහනකදී එක් මවක් හාමුදුරුවන්ගෙන් කෙලින්ම විම්සා සිටියා "හාමුදුරුවනේ රටේ වෙන දේවල් වල හැටියට අපි කොහොමද ප්‍රභාකරන් වගේ ම්ලේච්චයෙකුට මෛත්‍රී කරන්නේ" කියලා.

එදා තත්වය අනුවනම් මේක හරිම උභතෝකෝටික ප්‍රෂ්නයක්.

මට මතක හැටියට එදා ඒ හාමුදුරුවනුත් ඒ ප්‍රෂ්නයට සාරථක පිළිතුරක් දී ගැනීමේ අසාර්ථක වුනා. ඒත් මනුස්සයෙක් කියල හිතලා මෛත්‍රී කරන්න් කියලා හාමුදුරුවන් ප්‍රශ්නයෙන් ලිස්සල ගියා.

ඇත්තටම අපිට ඒ වගේ දැඩිව අපේ පිළිකුලට වෛරයට පාත්‍ර වෙන ආකාරයේ පුද්ගල චරිතයකට මෛත්‍රී කල හැකිද?
එසේනම් ඒ කොහොමද?

මෙන්න මේ ප්‍රශ්නය ඉහත මම උපමා කරගත් පුදගල චරිතය ඉවත් කරලා සොයා බලන්න ඕනේ.

ඇතැමුන් කියන ලෙස උපේක්ශාවෙන් බැලීමෙන් (ආදරයෙන් හා ද්වේශයෙන් තොරව ) ද මේ වගේ කෙනෙකුට මෛත්‍රී කරන්නේ. ද්වේශයෙන් තොරව බැලිය හැකිනම් තවත් මෛත්‍රියක් මොකටද?
ඉතින් එතැනට එන්නේ කොහොමද?

මට නම් මේක කල නොහැකි දෙයක්. ඔය කියන විදියට ඕනෙම කෙනෙකුට මෛත්‍රී කරන්නේ කොහොමද.

මෙන්න මෙහෙමයි මම ඒ ප්‍රෂ්ණෙට පිළිතුරු සොයා ගත්තේ.

අපි මෛත්‍රී කරන්වා කියල කරන්නේ මොකක්ද.

මම නිදුක් වෙම්වා
මම නිරෝගී වෙම්වා
මම සුවපත් වෙම්වා
මම නිවන් දකිම්වා

කියලා ඇස් වහගෙන ජප කරලා ඉවර වෙලා

සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා
සියළු සත්ත්වයෝ නිරෝගි වෙත්වා
සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා
සියළු සත්ත්වයෝ නිවන් දකිත්වා

කියලාත් ජප කරනවා.

ඒත් ප්‍රායෝගිකව අපි දන්නවා
සියළු සත්ත්වයෝ නිදුක් වෙන්නේවත්, නිරෝගී වෙන්නේවත්, සුවපත් වෙන්නේ වත් ඒ වගේම නිවන් දකින්නේවත් නැතෙයි කියන කාරනය.

මෙක පහැදිලි කරගන්න අපි "සිරිපාල මුදලාලි" කියල චරිතයක් ගනිමු.
දැන් මේ සිරිපාල මුදලාලි අරමුණු කරල අපි කියනවා " සිර්‍රිපාල මුදලාලි නිදුක් වෙත්වා" කියලා. ඔන්න ඔතැනදී සිරිපාල මුදලාලි නිදුක් වෙන්නට නම්, ඔහු තුල දුක පවතින්නට ඕනෑ. දුකක් දොම්නසක් පසුතැවීමක් අසහනයක් නැති මිනිසෙක් ලෝකයේ නැති බව ඕනෑම කෙනෙකුට වැටහෙනවානේ. ඉතින් අපි ඔහු තුල ඇති දුක් මොනවාදැයි උපකල්පනය කල හැකියි එවිට අපිට අපි දන්නා සීමාව තුල ඔහුගේ යම් යම් දුබලතා දුක් පීඩා වැටහෙන්නට ගන්නවා.

ඔහු තුළ තිබිය හැකියි ඔහු දුකට පත්කරවන හෙතු කාරනා රැසක්. අපි ඒ එක් එක් කාරනය ඔහුට දුකට හේතු වී ඇත්තේ කෙසේද? ඔහු ඒ දුක නිසා කොතරම් පීඩාවක් ලබනවාද ආදී වශයෙන් යම් අනුමාන උපකල්පනයක් කල හැකි වෙනවා.
ඒ දුකින් මිදීමට ඔහුට කල හැකි දේ සහ ඊට ඇති ඉඩ ප්‍රස්ථා අපිට පෙනෙනවා. ඒත් ඒවා මග හැරී ඇති හේතුනුත් අපිට පෙනෙනවා.

ඊලඟට බලමු "සිරිපාල මුදලාලි නිරෝගි වෙත්වා" කියන කොට.
ඒත් එහෙම නේද, දැන් අපිට පෙනෙනවා ඔහු තුල ඇතී  හෝ තිබිය හැකි පීඩා කාරී තත්වයන් රෝගී භාවයන්. ඉතින් ඔහු ඒවාට ලක් වී ඇති හේතූන් , ඒවායින් මිදීම වලකන හේතූන්.

මේ විදියට අපිට මේ සමස්ත ජප කිරීමම හේතු පහදමින් දීර්ග භාවනාවක් කිරීමට හැකියි.

එතකොට මේ භාවනාවේ ප්‍රථිපලය ?

මෙහෙම දිගින් දිගට සීතීමෙන් අපි  අනෙක් අරමුණු ගත පුද්ගලයා තුල ඇති අඩු පාඩු දුබලතා හා පීඩා හොඳින් වටහා ගන්නවා. ඒ ඔස්සේ ඔහු, අප කෙරෙහි දක්වන විරෝධී හැසිරීම වල හේතූන් පැහැදිලි වෙනවා. දැන් අපි ඒ පුද්ගලයාගේ භාවයන් සමග ගනුදෙනු කරන්නේ නැහැ. අපි ගනුදෙනු කරන්නේ ඔහුගේ භාවයන් වලට ඇති හේතුන් සමගයි. ඔහුටම ජය ගත නොහැකි හේතූන් සමගයි.

අපි අමුතුවෙන් ඔහු දිහා මෛත්‍රීයෙන් හෝ උපෙක්ශාවෙන් බැලීමක් දැන් අවශ්‍ය නැහැ. ඒ අපි දැනටම ඔහුව ගැඹුරින් දැක් ඇති නිසා. දැන් ඔහු සමාජය ඉදිරියේ දක්වන භාවයන් එසේ නොවුනාම් පුදුමයි කියන තත්වය දක්වා අපි ඔහුව වටහා ගන්නවා.
ඉන් පසු අපිට ඔහු කෙරෙහි වෛරයක් ද්වේශයක් නම් ඇති වන්නේම නැහැ. අපි එක්කො ඔහුගෙන වන පීඩ වැලකීමට ඔහුව මග හරිනවා. නැතිනම් ඔහු සමග සුහදව හැසිරෙනවා. සුහද හැසිරීමකට දැන් නම් බාධා නැහැ (ඔහුගෙන් අපිට අන්තුරක් නැතිනම් ).

ඔන්න ඔහොමයි මම මෛත්‍රී කිරීම ප්‍රායෝගිකව දුටුවෙ.

මේක කියවන හැමට මෛත්‍රී සිත් පහල වේවා.!
ඔව් පරලොව ගිය ඒ අසරනයා ප්‍රභාකරන් කෙරෙහිත් !
ඒ අන්තවාදී දැක්මම දරමින් එය ඉදිරියට ගෙන යන්නට තැත් දරන අනෙක් සියළු අසරනයින් කෙරෙහිත් !

Friday, November 24, 2017

දුම්රිය අනතුරු.


දුම් රියක් ලොරි දෙකක හා මෝටර් රථයක ගැටුනු පුවතක් දින කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේදී වාර්තා වුනා.

වාසනාවකට ජීවිත හානි සිදු නොවුනත් එතැනදී සිදුවූ අනතුර ඉතා භයානක අනතුරක් වගේම මගේ දැක්මේ හැටියට රියදුරන්ට වැරදි පැටවිය නොහැකි සිදු වීමක්.

මම එහෙම කියන්නේ ඔය තැනදීම මීට ටික කලකට පෙර ඔයහා සමාන ආසන්න අවස්ථාවකට මාද මුහුණ දී ඇති නිසයි.

මා මුහුණ දුන් අත්දැකීම

එදා මා රථය පදවමින් සිටියේ වත්තල දෙස සිට කිරිබත්ගොඩ දෙසට හුනුපිටිය මාර්ගයේ. ඉතා අධික රත වාහන තද බධයක් තිබුනු වෙලාවේ දුම් රිය හරස් මග විවෘත්තවයි තිබුනේ. මා ගමන් කල දෙසට ගමන් කරන වාහන රැසක් ඒ ඔස්සේ දුම් රිය හරස් මගට ඇතුළු වුනත් ඉදිරිය අවහිර වී තිබූ නිසා කිසිදු වාහනයකට එක එල්ලේ දුම් රිය හරස් න්මග පසු කොට යාමේ හැකියාවක් වුනේ නැහැ. ඉතා මන්ද ගාමීව සියල්ලන් ගමන් කරමින් සිටිනා අතර එක් වරම සීනු නාද කරමින් ගේට්ටු වැසී ගියා.
ඉතා පුළුල් දුම් රිය හරස් මගක් අඌ එහි මාත් මට පිටුපසින් තව වාහන කිහිපයකුත් දුම් රිය පීලි මද හරියේ නතර වී සිටියා මිස ඉදිරියට යාමට හැකියාවක් වූයේ නැහැ. මට ඉදිරියෙන් තිබූ විශාල වාහනයක් පවා තිබිනේ දුම් රිය පීලි මතයි.
දුම් රිය මග මත සිටි සියලු රියැදුරන් නලා හඬවමින් ඉදිරියේ උන් වාහන උනන්දු කරවූවද ඉතා හෙමින් වාහන සෙලවෙමින් තමයි තුබුනේ.
කෙසේ හෝ දුම් රියක් පැමිනීමට පෙර මාගේ වාහනය අවසන් පීලෙන්ද ඉදිරියට ඉතා ස්වල්ප ලෙස ගැනීමට හැකි වූ මුත් මට පිටුපසින් තවත් කාර් රතයක් හා කුඩා ජීප් රථයක් දුම් රිය පීලි මත රැඳී තිබුනා. ඔවුන් නොකඩවා නලා නාද කරත් ඉදිරියේ සිටි කිසිවෙකුට තවත් ඉදිරියට යාමේ ඉඩක් නම් වූයේ නැහැ.
ඒ අතරේ මාර්ගයේ මැදින් වෙන්වන ලෙස පොලිස් කෝන් (රතු පැහැති ) තබා වෙන්කොට තිබූ අතර මාර්ගයේ ප්‍රථිවිරුද්ධ දිශාවට හොඳින් ඉඩ තිබුනා.
වැඩි දුර නොහිතා මා කෙලින්ම පොලිස් කෝන් අතරින් මගේ රථය පාරේ වැරදි පැත්තට ඇතුලු කලා ඒ සැනින් පිටුපසින් වූ වාහන දෙකම ලැබුනු සුළු ඉඩ ප්‍රයෝජනයට් ගෙන දුම් රිය මගෙන් ඉවත් වුනා.

දැන් තමයි කථාව.
මම දැන් පාරේ වැරදි පැත්තේ මට හරි පැත්තට දාගන්න විදියක් නැහැ. මෙහෙම හිර වෙලා ඉන්න අතරේ ඔන්න හිටි ගමන් රැස් විහිදමින් බැබලෙමින් පොලිස් නිලධාරි තුමෙක් මගේ දිහාවට එනවා. දුර සිටම වීදුරුව පහත දාන්නට මට සන් කල ඔහු කෙලින්ම ආචාරස්ශීලී ලීලාවෙන් මගේ ඇඟට කඩා පැන්න. කෝන් තියල පාර බෙදල තියෙනව පේන්නේ නැද්ද කොහෙද මේ යන්නේ කියලා ආචාර ශීලීව විමසුවා. මම ඉතින් කල හැකි දෙයක් නැති නිසා මම කල දෙය කිව්වා.
එතකොට නිලදාරී උත්තමයා කියනවා ඒවා බලා ගන්න තමයි අපි ඉන්නේ එහෙම කියල පාරෙ වැරදි පැත්තෙ යන්න බෑ ලයිසන් එක දෙනව මෙහාට කියලා ආදරයෙන් කියා සිටියා.

හරි තමුසෙට පුළුවන් දෙයක් කරනව මමත් මේක අතහරින්නේ නැහැ කියල හිතාගෙන මම ලයිසන් එක උන්දැට දුන්න.
මම හිර වුනු තැනම හිරවෙලා ඉඳී (අනිත් වාහනත් හිර වෙලාම තමයි තවම ) රැස් විහිදෙන නිලධාරි තුමා වාහන අස්සෙන් ඉදිරියට ගියා. දැන් මගේ ලයිසන් එකට වුනු දේවත් මම දන්නේ නෑ. මට කොලයක් දුන්නෙත් නෑ මුකුත් නෑ.
එහෙමම වාහන හිරවෙලා තුබුනා විනාඩි දහයක් විතර ඔය අතරේ මගේ අවධානයට ලක් නොවී දුම් රියත් යන්න ඇති.
මෙන්න නිලධාරිතුමා අයෙත් මතු වුනා වාහන අස්සෙන්. මම බලා පොරොත්තු වුනා දන් මට දඩ කොලයක් දේවී කියලා. හැබැයි ඒ වෙනකොට තත්වය වෙනස් වෙලා. වාහනත් සෙමින් ගමන් කරන්නට පටන් ගෙන. මගේ ලඟට ආ උන්දෑ වචනයක් වත් නොකියා කවුලුව තුලින් ලයිසන් එක මට දීලා කෝන් එකක් අයින් කරල මට යන්න කිව්වා.

ඊයේ පෙරේදා සිදු වුනු දරුනු අනතුර වෙලාවේ රියදුරන්ටයි දුම් රිය රියදුරන්ටයි ඔක්කොටම වරද පැටවූ මහා බල පරාක්‍රමයෙන් හෙබි දුම් රිය ගේට්ටු කරුනම් එදිනත් මා දුටුවේ නම් නැහැ.

ඔන්න ඔහොමයි අපි පාරේ යන්නේ.

මේ කථාව ඔස්සේ ශ්‍රී ලංකාවේ මාර්ග වල පරිපාලන තත්වය ගැන අපිට හිතන්න ගොඩක් කරුනු තියෙනවා.
මේ තරමට මාර්ග අනතුරු සීමා වී තියෙන්නේත් රියදුරන්ගේ අවධානයෙන් යුතු ක්‍රියා කලාපය නිසා බවයි මම හිතන්නේ.

මේක තව බොහෝ දුරට කථා කල හැකි මාතෘකාවක් වෙනවා.

Wednesday, November 22, 2017

සමූහ දූශනයට ලක්වූ තරුණිය



සමූහ දූශනයකට ලක්වූ තරුණියක ගැන මගේ අවධානයට එන්නේ මේ දිනවල රූපවාහිනී නාලිකාවක ප්‍රචාරය වන ටෙලියක් නිසායි. අහම්බෙන් මේ ටෙලියේ කොටස් දෙක තුනක් නැරබීමට ලැබුනා.
එහි එක් චරිතයක් වන්නේ තම පෙම්වතා ඉදිරියේදීම සමූහ දූශනයකට ලක් වූ තරුණියක්. මැරයින්ගෙන් පහරකා අඩපනව සිටි පෙම්වතා ඒ අවස්ථාවේ තමා ගලවා නොගැනීම නිසා පෙම්වතාට වෛර කරන තරුණියක්.

නාට්‍යයක ඉදිරිපත් කිරීම කියන කෝනයෙන් බැලූකල මෙහි ඉදිරිපත් කිරීම් කරනා නළු නිලියන් සාමාන්‍ය ටෙලි නාට්ට්‍ය මටාමේදී ඉතා සාර්ථක රංගනයන් ඉදිරිපත් කිරීමට සමත් වෙනවා.

ඒනමුත් මා මෙහිදී අවදානයට ලක් කරන්නේ මෙවන් තේමාවක් නාට්‍යයකට යොදා ගැනීම මගින් නාට්‍ය කරුවා බලා පොරොත්තු වන්නේ කුමක්දැයි සොයා බැලීමටයි.

මේ චරිතය ගොඩනැගීම තුල ඔවුන් ඉතා ගැඹුරින් එම තරුණියගේ මානසික වියවුල් භාවය විදහා දැක්වීමට සමත් වෙනවා. ඒත් එතුලින් ඇති කල හැකි සමාජ බලපෑම ඔවුන් පූර්ණව නොසලකා හැර ඇති බවකුයි මා දකින්නේ.

සමාජ වගකීමක් ඇති නිර්මාන කරුවෙකු නම්, තමන් ප්‍රති නිර්මානය කරන චරිතය අයත් සැබෑ කුලකයක් සමාජය තුල වෙසෙන බව වටහා ගත යුතු වනවා වගේම මේ ඔස්සේ ඔවුන් වෙත ලබා දෙන පණිවුඩය කවරාකාරදැයි වටහා ගත යුතු වෙනවා.
එනමුත් මෙහිදී දැඩි මානසික ව්‍යාකූල තාවයකින් පෙලෙන මෙම තරුණිය නිසා සැබෑවේදී එවන් අත්දැකීමක් ලැබුවෙකු නැවත එම මුල් මානසිකත්වය කරා යොමු වී එහි පීඩාව එදා ලැබුවාටත් වඩා දැඩිව පුණරාවර්ජනය කර ගැනීමකට ලක් විය හැකියි. එලෙස අතීතයේ වලදැමූ මතකයක් පීඩාකාරී මතකයක් පුණරාවර්ජනය වීම තුල පුද්ගලයෙකුගේ අද දවසට ඇතිකල හැකි බලපෑම කවරාකාරදැයි අපට පහසුවෙන් උපකල්පනය කිරීමෙහි හැකියාවක් නැහැ. එවැන්නක් දිව යාහැකි දුර පිළිබඳ අනාවැකි පැවසිය හැක්කෙකු නැහැ.

මේ කථාවෙහි තරුණිය මුහුන දෙන ආකාරයේ බරපතල අපයෝජනයකට ලක්වන පුද්ගලයෙකු ඉන් පසු පත්වන මානසික වියවුල, ඒ ගැන ගැඹුරෙන් සිතා නැති හෝ තමා උපමා කොට සිතා නැතියෙකුට වටහා ගත නොහැකි මට්ටමේ පීඩාකාරි අතිදැකීමකි. එවන් තැනැත්තෙකු අනායාසයෙන්ම තම සිරුර පිළිකුල් කිරීමකට පෙළැඹෙනවා. ඒත් ඒ පිළිකුල ඉවත දැමිය නොහැක්කක්. අසූචි තැවරුනු ඇඳුමක් ගලවා දැමිය නොහැකි අවස්ථාවක්. මේ ඔවුන් පත්වන බරපතල මානසික වියවුලයි.

එහෙත් කෙතරම් බරපතල මානසික වියවුලක් වුවද කාලයෙන් හා උපදේශන මගින් ක්‍රමයෙන් වියැකී යනවා. ඒත් එවන් වියැකුනු මතකයන් මෙවැනි කථා මගින් ඉතා බරපතල ලෙස පීඩා විඳින චරිතයන් තුලින් පුනරූපනය කිරීමෙන් නැවත අවදි කරවනවා.

මේ නාට්‍ය කරුවා විනාශකර දමන්නේ මානසික උපදේශනයන් වල මාස ගනනක් වෙහෙසක් විය හැකියි. කෙනෙකුගේ මුලුමහත් ජීවිතයක් හෝ අනාගතයක් විය හැකියි.
කලා කරුවාට නිර්මාන කිරීමේ නිදහස අවශ්‍යයි. එය අපි අවිවාදයෙන් පිළිගත යුතුයි එහෙත් කලා කරුවා තමාගේ සීමාව හඳුනා නොගැනීම තුලින් අනෙකුන්ගේ ජීවිත අවධානමෙහි හෙලනවානම්......?



Tuesday, October 10, 2017

පාසැල් වියේ ප්‍රේමය.

සමාජයට විෂවූ පාසැල් වියේ ප්‍රේමය.

Image result for school uniform couple
පින්තූරය අන්තර්ජාලයෙන් ලබාගත්තකි

මුහුණු පොතේ සාකච්චාවන් කරන පාසැල් වියේ සිට යොවුන් විය දක්වා පරාසයක දරුවන් සිටින මව් පියවරුන් වූ මගේ මිතුරු මිතුරියන් පිරිසක් හා සාකච්චාවේදී මතු වූ කරුනු ඔස්සේ මේ ලිපිය සැකසුනු නිසා එය බ්ලොගයේ පල කල යුතුයැයි මට සිතුනා. 
පාසැල් වියේ ප්‍රේමය ගැන කථා කරන කොට අපි ඉතාම ප්‍රවේශමෙන් මෙහි ඇති මූලික කරුනු වටහා ගත යුතු වෙනවා.
පාසැල් වියේ ප්‍රේමයට නතු වන්නේ කවුරුන්ද?
වයස 10 සිට 19 දක්වා පශ්චාත් ළමා වියේ හා නව යොවුන් වියේ පුද්ගලයින්.
මේ වයස් සීමාව සැලකීමේදී පුද්ගල වර්ධනයේ ඉතා වැදගත් අවධියක් වන මේ කාල සීමාව තුල දරුවෙකු කායික මෙන්ම මානසික විපර්යාසයන් රැසකටම මුහුණ දෙනවා. මේ මාතෘකාව සාකච්චා කරන අපි, මෙන්න මේ කායික හා මානසික කරුනු ගැන බොහෝම සංවේදීව දරුවෙකුගේ දැක්මෙන් දැකිය යුතු වෙනවා.
මේ අවධියේ දරුවෙකු මුහුණ දෙන ප්‍රධානම ගැටලුව තමයි තමන්ගේ සිරුරේ වෙන වෙනස් කම්. අපේ වැනි සංවෘත්ත සමාජ ක්‍රමයක් තුල දරුවෙකු මේවා විසඳා ගැනීමට නොහැකි දේවල් එමෙන්ම දරාගත යුතු රහසිගත් අත්දැකීම් ලෙස පීඩා විඳිනවා. ඒවගේම විරුද්ධ ලිංගිකයන්ගේ වෙනස්වීම් ගැන කුතුහලයට පත් වෙනවා.
දරුවන් අභ්‍යන්තරයෙන් පෙලෙන මෙවන් කාරන අහම්බෙන් හෝ දැන ගත් විට වැඩිහිටිය පෙළඹෙන්නේ
මුන්ට මගුල් විසේ ඉහට ගහලා
ඇටෙන් පොත්තෙන් එන්න කලින් මගුල් විසේ
වැනි දරදඬු ප්‍රහාර එල්ල කිරීමටයි.
ඒ වගේම සලකා බැලිය යුතු කරුනක් තමයි මෙහි නීතිමය පාර්ශවය.
ලංකාවේ වලංගු නීතිය අනුව වයස දහ අට ඉක්මවූ ගැහැණු හෝ පිරිමි දරුවෙකු පුරවැසියෙකු වශයෙන් පිළිගනු ලබනවා.
රථවාහන පැදවීමේ බලපත්‍ර ලබා ගැනීමට
ඡන්ද ප්‍රකාශ කිරීමට
හා තම අභිමතය පරිදි විවාහයක් සිදු කර ගැනීමට
මොවුන් නෛතිකව අවසර ලාබීන්.
එහෙත් අපේ අධ්‍යාපන ක්‍රමය තුල පාසැල් අධ්‍යාපනය ලැබීම වයස දහ නවය දක්වා සිදු වෙනවා. මෙන්න මෙතැන පැහැදිලි ගැටළුවක් නිර්මානය කරනවා.
වයස දහ අට ඉක්මවූ පාසැල් පෙම්වතුන් යුවලක් සිටියොත් පොලීසිය ඔවුන් කුදලාගෙන ගොස් සියලු සමාජ අවමන් කොට මව් පියන්ට පවා අවමන් වන ආකාරයෙන් විශාල ගෝශාවක් නිර්මාණය කරනවා. සමාජය මෙය දකින්නේ නැහැදුනු කමක් ලෙසටයි. ඒත් ශාරීරිකව මෙන්ම නෛතිකවද මේ යුවල වැඩිහිටියන් බව සැමට අමතක වෙනවා පාසැල් නිල ඇඳුම නිසා.
සිදු වීමෙන් පසු අදාල තරුණිය සමාජය ඉදිරියේ වැදගත් පිරිමියෙකුට අත ගත නොහැකි අවමන් සහගත ගැහැණියකි. "අපෝ ඕකි කොල්ලෙක් එක්ක පාර්ක් එකේ ඉඳලා පොලිසියෙනුත් අල්ලන් ගියා" කිමම සෑහෙන චරිත සහතිකයකි.
මේ දරුවන්ගේ අභ්‍යන්තරය දැකීමට වැඩිහිටියන් බහුතරයකට නොහැකිය, නැතිනම් දැකීමට නොහැකි තරම් කුහකය.
මෙවැනි තත්ව වලින් මුදවා ආත්ම ශක්තියක් සහිත තරුණ පරපුරක් රටට උරුම කර දීමට නම් පළමුවෙන්ම කල යුත්තේ ජාත්‍යන්තරයෙහි සිදු වනවා මෙන් පාසැල් අධ්‍යාපනය වයස 17 හී අවසන් වන ලෙසට අධ්‍යාපන ක්‍රමය ප්‍රථිසංස්කරනය කිරීමයි.
එසේම තම යෞවන විය අමතක වූ වැඩි හිටියන්හට එය මතක් කරදීමේ වැඩ මුළු පැවැත්වීමයි.
යම් කිසි සංවිධානයකට මැදිහත් වී වුවද මෙය සා පෙල දරුවන්ගේ දෙමාපියන් ඉලක්ක කර සිදු කල හැකිය.
මේ කථාව හරහා දරුවන්ට වල් බූරු නිදහසක් ලබා දී අයාලේ යාමට ඉඩ දීමක් මම අදහස් කරන්නේ නෑ. සීමා පැනවීම් හා ඉලක්කයන් කරා මෙහෙයවීම් ඉතා සූක්ශමව අවබෝධයෙන්ම කල යුතුයි.
ඒවගේම ගෙදරින් දෙමාපියන්ගෙන් හොඳ ආදරයක් ලබන දරුවන් පිටස්තර ආදරයක් සොයා යාමට පෙළඹීම් ඉතා අඩුබව ප්‍රකට කරුනක්. එහි ඇත්තක් තියෙනවා. ඒත් නිසි වයසේදීත් සහකරුවෙකු/සහකාරියක සොයා ගැනීමට නොපෙළැඹී දෙමාපියන් මත රැඳීමට උත්සහ කිරීමේ අවධානමකුත් එහි තියෙනවා.
මෙවා ඉතා බුද්ධිමතව හා සූක්ෂමව විසඳිය යුතු තත්වයන් ලෙසයි මම දකින්නේ.
සාකච්චාවට විවෘත්තයි

Tuesday, August 29, 2017

බෞද්ධ සමාජයක ගබ්සාව ...?

ගබ්සාව...!
ආයෙත් සමාජ කතිකාවතක් බවට පත්වෙලා.

ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ මාතෘකාව ගැන අපූරුම බ්ලොග් සටහන් තියල තියෙන්නේ ඒ ගැන කථා කරන්න සුදුසුම පුද්ගලයෙකු වන පෞද්ගලික වෘත්තීය අත්දැකීම් ලැබා ඇති අනිත් කොන බ්ලොගය ලියන වෛද්‍ය තුමිය.

කැමැති නම් වෛද්‍ය තුමියකගේ අත්දැකීම් සහිත අනිත්කොන ලිපිය මෙතැනින් කියවන්න  -

මොකුත්ම කරන්න බෑ අම්මේ !


මම මේ ප්‍රශ්නය දකින්නේ වෙනත් කෝනයකින්. මේකට විරුද්ධ වෙන බොහෝ පිරිසක් සමාජය තුල මතුවී ඇති අතර ඔවුන් දන් දැන් සමාජ මතවාදයක් ගොඩ නැගීම උදෙසා බුදු දහම පාවිච්චියට ගන්නා තත්වයක් දකින්නට ලැබීම තමයි මගේ අවධානයට ලක් වන්නේ.

ගබ්සාව බුදු දහමට පට හැනියි 
මෙන්න මේක තමයි සරලම හේතුව.
එයට පැහැදිලි කිරීම් දක්වන උදවියගේ තර්ක ගැන මොහොතක් අවධානය යොමු කර බලමු.

ගබ්සාව ප්‍රාණ ඝාතයක්.
ඔව් මේක ධර්මය අනුව ඉතාම පැහැදිලි තත්වයක්. බුදු දහමේ මිනිසෙකුගේ වයස ගනනය කරන්නේ පිළිසිඳ ගැනීමේ සිටයි. භික්ෂුවක් උපසම්පදාව සඳහා සුදුසු වන්නේ සම්මත වයස 19යි මාස 9න් පසුයි එය 20 නොවෙයි.
එසේනම් කුමන තත්වයක හෝ කලලයක් විනාශ කිරීම එහි වැඩීම බාධා කිරීම ප්‍රනඝාත අකුසලයක් තමයි.

මේ ගැන විමසීමේදී මා සැලකිලිමත් වන කාරනය නම් අප කිසිවෙකුට හෝ සමස්ථ සමාජය ප්‍රාණ ඝාත අකුසලයෙන් වැලකීමේ වග්කීමක් පැවරී ඇතිද යන්නයි.
බුදු හිමියන් දෙස බැලුවහොත් උන් වහන්සේ සමස්ත මිනිස් ප්‍රජාව පවින් ගලවා ගන්නා ගැලවුම් කාරයෙකු ලෙස කිසිදින හඳුන්වා ගත්තේ නැහැ. එසේම බෞද්ධයැයි කියා ගන්න ප්‍රජාවක් හෝ පවින් මුක්ත කිරීමට උන්වහන්සේ ඉදිරිපත් වූයේ නැහැ. එසේ සමස්ත මිනිස් වර්ගයා හෝ බෞද්ධයැයි කියා ගන්නා ප්‍රජාවක් පවින් ගැලවීමේ වගකීමක් කිසිවෙකු වෙත පවරා ලූයේත් නැහැ.

ගිහි කල 999ක් මිනිස් ඝාතන කල අංගුලිමාලයන් හට ඒ පාපය නිර්වාන මාර්ඝයට පවා භාධක වූයේ නැහැ.

බුදු හිමියන් ගබ්සාවකට සහය පල කල භික්ෂුනියක්ට එය පාරාජිකා ඇවැතක් ලෙස දක්වා ලූ හෙයින් අප සමාජය මෙයට විරුද්ධ විය යුතු බව තවත් තර්කයක් ඉදිරිපත්ව තිබෙනවා මා දුටුවා.

එසේනම් ඒ කොතැනකදී කෙසේදයි සොයා බැලීම සැමට වැදගත් විය හැකියි.

බුදු හිමියන් භික්ෂූන් උදෙසා සතර පාරාජිකා ධර්මයකුත් භික්ෂුනීන් උදෙසා අශ්ඨ පාරාජිකා දර්මයකුත් පනවා තිබෙනවා.( පාරාජිකා යනු යම් කිසි මහණෙකු එම ඇවැත සිදු කලහොත් එය භික්ෂූත්වය කෙලෙසීමකි. අදාල පුද්ගලයා භික්ෂූත්වයෙන් පිරිහෙන අතර ඒ භවයේ නැවත භික්ෂූත්වයක් ලැබීමේ භාග්‍යය අහිමි වෙයි )
මේ පාරාජිකා දර්මයන් අතර මිනිස් ඝාතනය එක් පාරාජිකා ඇවැතක් ලෙසයි දැක්වෙන්නේ.

විනය පිටකයට අනුව එක් භික්ෂුණියක් තම දායිකාවකට යම් කිසි හේතුවක් නිසා ඇය ගැබ නසා ලීමට උපදෙස් දෙනවා. එසේ ගැබක් නසා ලූ බව දැන බුදු හිමියන් එසේ උපදෙස් දීම ඝාතනයකට ඍජු සම්බන්ධයක් ලෙස දක්වා එවැනි ක්‍රියාවක් පාරාජිකා ඇවැතක් වන මිනිස් ඝාතනය යටතේම දක්වනු ලබනවා.
මෙතැනදී මේ ගබ්සාව අති බරපතල ඇවැතක් ලෙස බුදු හිමියන් දක්වාලූයේ පැවිදි සමාජය අරඹයා බව අප සිහි තබා ගත යුතුය.

දැන් මේ උපාසක චණ්ඩාල ගෝත්‍රය විසින් කියන්නේ බුදු හිමියන් ගබ්සාව පාරාජිකාවක් ලෙස භික්ෂුනීන්ට දෙසා වදාල නිසා ගිහි සමාජය ඉන් වැලකිය යුතු බවකි.

එසේනම් අප අනෙකුත් පාරාජිකා ඇවැත් ගැන මදක් විමසා බලමු. භික්ෂු භික්ෂුනී පාරාජිකා වල පළමු පාරාජිකා ඇවැත දක්වා ඇත්තේ මෛතුන්‍ය පාරාජිකාවයි. එනම් භික්ෂු භික්ෂුනී දෙපිරිසම පැවිද්දට පත් මොහොතේ සිට අතිශය ලෞකික පැවැත්මක් වූ මෛතුන්‍ය ආශ්වාදයෙන් පූර්ණ ලෙසම වැලකිය යුතුය. යමෙකු එම මෛතුන්‍ය ආශ්වාද වින්දේ නම් ඔහු හෝ ඇය පාරාජිකා තත්වයට පත්වේ.

දැන් එතකොට බුදු හිමියන් පාරාජිකා ලෙස පැනැවූ නිසා බෞද්ධ සමාජය මෛතූන්‍යයෙන් වලකිනවාද? මෛතූන්‍යය අපරාධයක් ලෙස සලකනවාද?
එසේ වූවානම් වඩා හොඳය. එසේනම් ගබ්සාවට හේතු නැතිවී බෞද්ධ සමාජයෙන් ගබ්සාව තුරන් වනු ඇත. අපූරු විසඳුමකි.

භික්ෂු භික්ෂුනී සමාජය උදෙසා සුළු පරිමාන වූ හෝ සොරකමද පාරාජිකාවකි.

මග ඵල ලාභියෙකු නොවී එලෙස පෙනී සිටීමද පාරාජිකාවකි.

මේ ගබ්සාවට එරෙහිව හඬ නගන්නන් ජීවිතයට කිසිදු ප්‍රාණ ඝාතයක් නොකල වුන්ද? අඩු ගනනේ මෙතැන් සිට මැසි මදුරු ආදී අල්ප සත්ත්වයෙකු හෝ ඝාතනයෙන් වැලකීමට ප්‍රතිඥා දුන්නවුන්ද? මා නිර්භයව කියමි මම චේතනාන්විතව කිසිදු සත්ත්වයෙකු ඝාතනය නොකරන්නෙක්.

ගබ්සාව පිළිබඳව රජය එළඹ ඇති තීරණය අනුව විකලාංග ජාන විකෘති උපත්, හා දූශනය වීමෙන් ගැබ් ගත් වවස්ථා වලදී ගබ්සාවට ඉඩදී ඇතැයි මම සිතමි. ඒ ගැන නීතිමය තත්වය මා සොයා බලා නැත. එය එසේනම්, මේ තීරනය ගනු ලබන්නේ අදාල මව විසිනි. එය ඇයගේ අනාගත පැවැත්ම උදෙසා ඇය විසින්ම ගනු ලබන තීරණයක් වන අතර ප්‍රාණඝාත අකුසලයක බර දැනුවත්ව ගනුයේ ඇය විසින්මය. ඉතින් සමාජයක් ඒ අසරණියකට එරෙහිව හඬ නැගීම කොතරම් වූ අවැඩක්දැයි මේ සුචරිත වාදීන්ට නොපෙනෙන්නේ ඇයි. ඇය ප්‍රානගාතයක් කරමින් ගනනය කල අවධානමක් ගනියි නම්, එය අප කාගේවත් ගිනුමකට බැරවන පවක් අකුසලයක් නොවෙයි නම් ඇයි මේ සමාජ ප්‍රථිරෝධයක්.

ඇයගෙ ගැබ ගැන මෙන්ම ඇයගේ සසර ජීවිතය ගැනද අවධානම ගන්නේ ඇය විසින්මය. එය දැනුවත්වමය.

ඉතින් අප බෞද්ධ සමාජයක් ලෙස අගතිගාමීව අනුන් මත පින් පැටවීමෙන් වැලකී අපගේ සසර විමුක්තිය සොයා වෙහෙසෙමු.

ඊනියා සුචරිත වාදීන් අතින් කෙලෙසී පියවරුන් රහිත දරුවන් මෙලොවට බිහි කරන එතැන් පටන් සුචරිත වාදී සමාජයට බඩුවක් වන ඇයට ඉන් ගැලවීමට යම් අවධානමක් ගැනීමට රිසි නම් ඒ අවස්ථාව ඇය සතු විය යුතුය. එවන් ප්‍රාන ඝාතයකට හේතුවූ දැරිය කෙලෙසූ මිනිසා මේ ප්‍රණඝාත අකුසලයෙන් විනිර්මුක්තයැයි මා පිළිනොගනිමි

මගේ මතයට අභියෝග කරන ඕනෑම කෙනෙකුට ඊට ඉඩ ඇත

Sunday, July 16, 2017

දැයේ වාසනාවට "ස්වයංජාත හැල් වී" පහල වෙලා.......

මේ දිනවල සුප්‍රකට මාතෘකාවක් "ස්වයංජාත හැල් වී"

Image may contain: plant, tree, outdoor and natureImage may contain: plant, tree, outdoor and nature

උපාසිකාවන් විසින් බොහෝ ගර්වයෙන් "සිටුවා" ඇති ස්වයංජාත වී.

ඡායාරූප උපුටා ගත්තේ සාරභූමි ගොවි සමූහයෙනි


මට මිතුරෙකුගෙන් දැන ගැනීමට ලැබුනේ එක්තරා ප්‍රකට භික්ෂුවක් (දැනට අපවත්වී ඇති ) තමන්ගේ බල මහිමය නිසා ස්වයංජාත හැල් වී පහල වූ බවත් මේ ඒවායැයි කියා යම්කිසි බීජ හතරක් තම දායකයින් වෙත බෙදා දුන් වගත්,
එම බීජ හතර රෝපණය කොට ගත් එම දායකයින් එයින් ලද බීජ ධාතු බෙදනවාක් මෙන් මහත් වූ ගෞරවයකින් බොහෝදෙනා අතරේ බෙදා ඇති බවකුත්ය.

මෙසේ දෙවැනි වටයේ බීජ ලද පින්වතුන් ඒවායෙන් තවත් බීජ බොහෝ දෙනා අතරේ බෙදා ඇති අතර, අදටත් තවත් පින්වන්ත උපාසක උපාසිකාවන් රැසක් මේ බීජ සොයමින් සැරි සරයි.

ඒ අතරේ සාර්ථකව පැල සාදාගත් උපාසක උපාසිකාවන්, ස්වයංජාත හැල් වී වලින් සහල් ගෙන බත් උයා එයින් බුදු හිමියන් වෙත බුද්ධ පූජා පවත්වා මහත් වූ පින් රැස් කරගෙන ඇත.

මේ ස්වයංජාත හැල් වී පහල වූයේ කෙසේද?

යම් කිසි අයෙකුගේ බල මහිමයෙන් එය පහල වූවානම්, එය අහේතුක ප්‍රාදූර්භූත වීමකි.
සියල්ල හේතුඵල දහමක් මත පැහැදිළි කරන බුදු හිමියන්ගේ දහමට මේ අහෙතුක ප්‍රාදූර්භූත වීම කොතෙක් දුරට ගැලපෙනවාදැයි සොයා බැලීම ඔබගේ කර්තව්‍යයකි.

එසේම මේ ස්වයංජාත හැල් වී එසේ හදිසියේ පහල වූවක් නම්,
එය මෙදක්වා විද්‍යාත්මක ශාක වර්ගීකරණයක ලැයිස්තු ගත වී නැති ශාකයක් විය යුතුමය.
එසේනම් මේ කියන ශාකය එවැන්නක් ද?

නැත, මේ අපේ පින්වත් උපාසක උපාසිකාවන් ස්වයංජාත හැල් වී යැයි වගාකරමින් සිටින්නෙ කුමක්ද

ඒ 1977 ට පෙර යුගයේ හාල් වලට සීමා පැනවී තිබුනු කාලයේ, මිනිසුන් අඩු ජල සැපයුමකින් වගා කල හැකි නිසා වගා කල දැනට ලෝකයේ බොහෝ දුරට සත්ත්ව ආහාර සඳහාම (පත්‍ර හා බීජ යන දෙකොටසම සත්ත්ව ආහාර සඳහා යොදා ගනී) වගා කරන "සෝගම්" නම් වූ තෘණ කුලයේ ධාන්‍ය භෝගයයි. සිංහලෙන් මෙය "ඉදල් ඉරිඟු" යන නාමයෙන් හඳුන්වයි

ඉතාම රළු ධාන්‍ය විශේශයක් වන මෙය මිනිස් පරිභෝජනයට ආකර්ශනීය වන්නක් නොවේ.

ස්වයංජාත හැල් වී බුදු දහමට ගැලපෙන්නේ කොතැනින්ද යන්නත් විමසා බැලිය යුතු කරුනකි.

මෙය සඳහන් වන්නේ බුදු හිමියන් දෙසා වදාල කරුනු ඇතුලත් සූත්‍ර දේශනාවක් වන,
සූත්‍ර පිටකයේ
දීඝ නිකායේ
පාථික වග්ගයෙහි
සිවුවැනි සූත්‍ර දේශනාව වූ
"අග්ගඤ්ඤ සූත්‍රයෙ"හිය.

ස්වයංජාත හැල් වී ගැන කථා කිරීමේදී මෙම සූත්‍ර දේශනාව ගැන විමසා බැලීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි.

අදාල සූත්‍ර දේශනාවේදී බුදු හිමියන්, නවක භික්ශූන් වූ බ්‍රහ්මන කුල තරුණයෙකු හා සංවාදයක යෙදෙයි.
එහෙදී බුදු හිමියන් විමසන්නේ තමන් උසස් යැයි ගර්වයකින් වෙසෙන බ්‍රාහ්මනයින් එම කුලය හැරදා සසුන් ගත වූ අය හට අවමන් නොකරතිදැයි කියායි.

එහෙදී බ්‍රාහ්මනයින්ගේ උසස් බව ට හේතු ලෙස දක්වන මහ බබුගේ මුඛයෙන් උපත ලද වුන් බව කියන කථාව එම තරුණයින් විසින් බුදු හිමියන් වෙත පවසා ලයි.

එයට පිළිතුරු සපයන බුදු හිමියන්, එය පහත අයුරින් අවඥාවට ලක් කරනු ලබති.

උපුටා ගැනීම - ත්‍රිපිටකය සිංහල පරිවර්ථනය (2500 බුද්ධ ජයන්තිය)

වාශිෂ්ඨයෙන්, බ්‍රාහ්මණයින්ගේ ඔසප් වූද, ගැබිනි වූද, වදන්නා වූද, කිරි පොවන්නා වූද බැමිණියෝ දක්නා ලැබෙත්.
ඒ බමුණෝ යෝනියෙන් උපන්නෝ වන්නාහු.
බ්‍රහ්මන වර්ණය (කුලය ) ශ්‍රේෂ්ටය, බ්‍රහ්මයාගේ දායාද වූ බ්‍රහ්මයාගේ ඖරස පුත්‍ර යැයි මෙසේ කියත්. එසේ කියන්නාහු බ්‍රහ්මයාටම නින්දා කරත්.

උපුටා ගැනීම අවසන්.

මෙසේ බ්‍රහ්මනයින් හෙලා දකින බුදු හිමියන්,
වාශිෂ්ඨයෙනි, මේ බ්‍රාහ්මනයෝ ඒකාන්තයෙන්ම පුරාණ කථාව (ලෝකෝත්පත්ති චර්‍යාවංශය ) සිහි නොකන්නාහු.
යයි පවසති.

ඉන් අනතුරුව තවත් පැහැදිලිකිරීම් වලින් පසු බුදු හිමියන්, මේ ලෝකෝත්පත්ති චර්‍යාවංශය නම් වූ පුරාන කථාව දේශනා කරයි.
මේ පුරාණ කථාව බුදු හිමියන්ගේ මුවින් කියැවුනය්හ් එය බුදු හිමියන්ගේ මතයක් නොවන බව අදාල සූත්‍රය මැනැවින් කියැවීමේදී පැහැදිලි වෙයි.
බුදු හිමියන්ගේ වදනින්ම මේ පුරාණ කථාවකි.
එසේ නම් එවක පැවති දැනුමකි.

මේ පුරාණ කථාව තුලදී එහි එක් තැනෙක
පොළොවෙන් ඉබේ පැන නැගි ඇට සහිත හැල් සහලක් වෙයි, එම සහලෙහි, කුඩු නැත, පොතු නැත, කපා ගත් තැන හිස් වෙන්නේ නැත. උදා බතට කපා ගත් තැන දිවා බතට යලි පැන නැගෙයි.
(ඉබේ හටගන්නා - ස්වයංජාත වෙයි )

මේ සහල මනසින් දූශිත වන මිනිසුන් විසින් එක් රැස් කිරීමට ගනියි. දිවා අහර පිණිස උදේ එක් වර රැගෙන යයි. මේ නිසා කුඩු ඇති විය, පොතු ඇති විය, කැපූතැන නැවත පැන නොනැගුනේය, පන්දුරු පන්දුරු ලෙස පැවතියේය.
මේ ලෙස ස්වයං ජාත බව පිරිහුනේය. හෙවත් අතුරුදන් වූයේය.

මෙසේ පිරිහීම නිසා දුක ජනිතවීම පාදක කොටගත් කථාව අවසන බුදු හිමියන්, කෙලෙස් නසා සත්‍යාවබෝධයෙහි අර්තයම පැහැදිලි කරමින් මේ පුරාණ කථාව නිමවා ලයි.

එසේනම් මේ පුරාන කතාව බුදු හිමියන්ගේ දේශනාවක් හෝ නොවන්නේමය. එය උන් වහන්සේ විසින් උපුටා දක්වන දැනුමක් පමණකි.

එවන් විටෙක, දැන් මේ පහල වී ඇති ස්වයංජාත හැල් සහල් සොයා යන්නන් යමින් සිටින්නේ කොතැනකටද?
ඔවුන් ගේ ස්වයංජාත සහල් ඉබේ පැනැ නැගෙන්නේ නැත.
කපා ගත් කල නැවත පිරෙන්නේ නැත.
කුඩුද පොතුද සහිතය.

අහෝ නැවත ජනිත වූ ස්වයංජාතයෙහි තතු.

සියල්ල හේතු ඵල දහමක් තුලින් පැහැදිලි කල බුදු හිමියන් හේතු රහිතව පැනැනැගි ස්වයංජාත හැල් වර්ගයක් ගැන දෙසූ බව මුන් පිළිගනිති.
ඒ සහල භික්ෂුවකගේ බලමහිමයෙන් නැවත උපන් බව සිතති.

එසේ පහල වූ සහල විද්‍යාත්මක වර්ගීකරනයකට මෙතෙක් හසූ වී නැති නවතම ශාක විශේශයක්දැයි නොසොයති.

ගසක් වවා බීජ ගෙන නැවත වවා බීජ ගන්නා ගසකට ස්වයංජාත යැයි කියති.

මෙවන් වූ මුග්දයන් රැලක් තමන් බුදුන් සරණ ගිය උපාසකයින් ලෙසද හඳුන්වා ගනිති.

එසේ බීජ බෙදා දුන්නායැයි කියැවෙන භික්ශුව ගැන මා කිසිත් නොකියමි.
හේතු දෙකක් නිසා.
1. ඒ චීවරයක් දරා සිටින භික්ෂුවක නිසා
2. එම භික්ෂුව දැනට අපවත්වී ඇති නිසා.

මේ ලිපිය වාදයට නොව. සිහි නුවනැත්තන්ට කියවා තවත් තොරතුරු සොයා වටහා ගන්නටය.

අග්ගඤ්ඤ සූත්‍රය පිළිබඳ මගේ දැනුම අවධි කල මා කලණ මිතුරු කථා 32 බ්ලොගයේ කතා කතු තුමාට පින් පතමි.

Wednesday, July 5, 2017

වාහනයට පෙට්‍රල් ගැසුවෙමි.

Image result for fuel station

පින්තූරෙ අන්තර් ජාලයෙන් බාගත් එකක්

ලද අත්දැකීමක් වාහන පාවිච්චි කරන කාටත් වැදගත් නිසා මෙතැන ලියන්නට සිතුනා.

එහෙම හිතලා ලියන්න ආවාම කාලෙකින් බ්ලොග් පැත්තෙ නාව නිසා ලියන එක බ්ලොග් එකට ඇතුලු කරන්න කොහොමද මතක් කරගන්නත් ටික වෙලාවක් ගියා.

කථාව මෙහෙමයි.

මම නුගේගොඩ ඉඳන් නාවල පාරේ රාජගිරිය පැත්තට එන ගමන් වාහනයට පෙට්‍රල් ටිකක් ගහගන්න ඕනා වුනා.
එනකොට පාරේ හොඳට පේන්න තියෙන නාවල විවෘත්ත විශ්ව විද්‍යාලය අසල ඉන්ධන පිරවුම් හල දැකලා එතැනට ගියා වැඩේ කරගන්න.

මම ඉන්ධන පොම්පෙ ලඟ වාහනය නවත්තලා පැති වීදුරුව ඇරලා සේවකයාට කිව්වා දෙදාහක ගහන්න කියලා
මිනිහත් කිසි කථාවක් නැතිව පොම්පේ දෙදාහ සටහන් කරලා වාහනේ ඉන්ධන මූඩිය ඇරලා පොම්පෙදාලා පෙට්‍රල් ගැහැව්වා.

ස්වයංක්‍රීය ලීවරය දාලා වීදුරුවෙන් අත දාලා මුදලුත් ගත්තා. මම බිලක් ඉල්ලුව නිසා මිනිහ ටක් ගාලා ගිහින් බිලක් අරන් ඇවිත් හිට ගත්තේ කෙලින්ම මට පොම්පේ වැහෙන ආකාරයට.
එහෙම ඉඳන් මට බිල දික් කරලා මගෙන ඇහුවා මහත්තයා සල්ලි දුන්නද කියලා. (ඒ වචනේ ඇහැව්වෙම මගේ අවධානය ඉවතට ගන්න කියලා මට තේරුනේ පස්සෙයි )

එතකොටම කීක් කීක් කීක් කියල හඬවල් කීපයක් මට සේවකයාට පිටු පසින් ඇහුනා.

මට හොඳින් මතක තිබුනා සේවකයා ඇවිත් හිට ගන්න කොට මීටරයේ කියැවීම තිබුනේ එක් දහස් දෙසීයක පමණ මට්ටමේ.

සේවකයා ජනේලයෙන් ඉවත් වන විට මීටරයේ දෙදාහ වැටිලා පොම්පය නැවතිලා.

වරදක් සිදු වුනු බව මට එක විටම වැටහුනා.

මම සේවකයාගෙන ඇහුවා ඒ මොකක්ද වුනේ දෙදාහක් තෙල් වැදුනේ නැහැ කොහොමද පොම්පෙ නැවතුනේ කියලා.

එතකොට කලබල වුනු ඔහු එක වරම පොම්පයේ බොත්තමක් එබුවා එතකොට මීටරයේ නැවතුනු තැන කියැවීම එක් දහස් හාරසිය හතලිස් පහක් පෙන්නුම් කලා.

එවිට ඔහු වහාම පොම්පෙ නැවතිලා සර්, මම තව පන්සිය පණහක් ගහන්නම් කියලා ආයෙත් අලුතින් පන්සිය පණහක් ගැහැව්වා.

පස්සේ බලන කොට උපක්‍රමය තමයි
අදාල සේවකයා පොම්පේ වහලා සිට ගත්තාම, පිටුපසින් වෙනත් අයෙක් වහාම එහි බොත්තම් ඔබා පොම්පය නවතා එහි දෙදාහක් අගය සටහන් කිරීම.

ඉතින් එය නොදන මම ඉවත්ව ගියා නම් ඔවුන් රුපියල් පන්සිය පණහක අමතර ලාබයක් ලබනවා.

මෙය දැන සිටීම කාටත් වැදගත් නිසා මෙසේ සටහන් කර තිබ්බේ.

ඒත් ඉතින් මම ඒ වන්චාවට එරෙහිව එම සේවකයන් ගැන පාලකයින්ට පැමිණිලි කලේ නම් නැහැ.
එය කල යුතුද නැද්ද යන්න මට ගැටළුවක් වුනු නිසා කරබාගෙන එතැනින් පිටව ආවා.

Wednesday, May 17, 2017

ඇත්ත කියා අනුන්ගේ ජීවිත අවුල් කරනා අහින්සකයෝ....!

ඇත්ත නොකියනවා කියන්නේ බොරු කියනවා කීමද?


මීට වසර දහයකට පමණ පෙර මා කියැවූ නවකථාවක් මට සිහිවේ. ඒ ජයසේන ජයකොඩි මහතාගේ මනුස්සාත්ම නම් වූ කෘතියකි. එහි චරිත වල නම් ගම ආදිය මට දැන් මතක නැත. එහෙත් කථා සාරාංශය තුල

දුප්පත් ගැමි පරිසරයක වෙසෙන පවුලකි. උත්සහවන්ත ගොවියෙකු වූ සැමියා මැලේරියා හෝ යම්කිසි බරපතල රෝගයකට ලක්ව කාලයක් දුරවලවී අසරණ වෙයි.දරුවන් කුඩාය.  ඒ කාලයේ භාහිර පුද්ගලයෙකුගේ මැදිහත් වීම මත ගැහැණිය ඔහු හා කිහිප අවස්ථාවක් සඹඳතා ඇතිකර ගනී. රෝගී සැමියා කිසිවක් නොදනී.

දීර්ඝ කාලයක් ගත වේ භාහිර සඹඳතා නැත පවුල සාමාන්‍යය. දරුවන් වැඩිහිටිය පවුලට ආදායම් උපදවයි. සියල්ල සාමකාමීයි. මහළු මව මරණ මංචකයේ සිටිමින් ඉතා මහළු සැමියාහට තමන් ජීවිත කාලයක් හිතේ තද කරගෙන සිටි සැමියාට කල "ද්‍රෝහි කම" කොඳුරා කියා සමාව අයැද මිය යයි. තමා ජීවිත කාලය තුල සිහිනෙන් වත් නොසිතූ මේ "විශ්වාස ඝාතනය" ගැන ඇසීමෙන් වික්ශිප්ත වන මහල්ලා දැඩි නිහඬ බවක ගිලී හිඳ "ඇයි උඹ ඕක දැන් මට කීවෙ" කියා අසන විටත් මැහැල්ල මිය ගොස් අවසන්ය.
(ජයසේන ජයකොඩිගේ බොහෝ පොත්වල් ඔහු යොදාගන්නේ හොරණ ප්‍රදේශයෙහි ජීවත් වූ යම් ගැමි යෙකුගේ සත්‍යය වූ සිදුවීම් සාරාංශය කොටගෙන ඔහු විසින් ගොඩනගන කථාය )

මෙවැනි පෞද්ගලිකව දන්නා කථාද ඇති මුත් මෙහි ලිවීම නුසුදුසු යැයි සිතමි.
මා ලියා තිබූ කථාවද ඉවත් කරදමමි.

කල යුත්තේ කුමක්ද?

සත්ත්වයා ලෝකය ගොඩනගන්නේ තමන් ගේ ඉන්ද්‍රියයන් වල ග්‍රහණයට ලක් වන සංවේදන තුළිනි. කොටින්ම සත්ත්වයාගේ ග්‍රහණයට නතු නොවූ දෑ සත්ත්වයාගේ ලෝකය තුල නැත. සත්ත්වයා සිය ග්‍රහනයට ලැබෙන සංවේදන තුලින් සංස්කරණය කරමින් ලෝකය ගිඩ නගයි. එසේ සංස්කරනය කරමින් ගොඩ නොනැගූ කිසිවක් ලෝකයෙහි නැත.

අපට හිරු සඳු නොදැනේ එහෙත් එකිනෙකට වෙනස් වූ ආලෝකයන් දෙකක් දැනේ ඒ ආලෝකය දැනෙන ආකාරය අනුව සකසා ගෙන අපි අර ඉරය මේ හඳය ලෙස අපේ ලෝකය තුල වූ පරිසරය ගොඩ නගා ගනිමු. දරුවෙකු උපතේදීම හඳුනා ගන්නා අම්මා තාත්තා ආදී සංකල්ප සියල්ලම මෙසේය. අම්මාගේ රූපය ආලෝක සංඥ්ඥාවක් ලෙසින් හඳුනිමු. අම්මාගේ කටහඳ ශබ්දයක් ලෙසින් හඳුනුමු. ඇගේ පියවර රිද්මය හඬක් ලෙසින් හඳුනිමු. ඇගේ සුවඳ ආග්‍රාන සංවේදනයක් ලෙසින් හඳුනිමු. ඇගේ රූපයෙහි, හඬෙහි වෙනස් වීම් තුලින් ඇය සතුටින් දුකින් බව ග්‍රහනය කර ගනිමු. මේසේ අපි ලෝකයෙහි ඇති එක එක දේ ඒ හා සම්බන්ධ සංවේදනා තුලින් ග්‍රහණය කරමින් අති සංකීර්ණ වූ ලෝකයක් තනා ගනිමු. එසේ තනාගත් ලෝකය එසේ පවතින ලෝකයකැයි විශ්වාසයකින් බැඳී එහි නොයෙකුත් සෙල්ලම් පෙන්වමින් සිටිමු.

සත්ත්වයා ලෝකය තුල පැවැත්ම එයාකාරනම්....

අපේ ඇසට ලක් නොවූ නොදන්නා වූ දේ ගැන අපේ පැවැත්ම කෙබඳුද?
අපි නොදුටු, නොඇසූ, ගන්දයක් නොදැනුනු, රසක් නොදැනුනු, ස්පර්ශ නොවුනු දේ අපේ ලෝකයෙහි කෙසේවත් අඩංගු නොවුනු දැනුමය. මා ගෙදර නිසිටි කාලයෙහි මගේ අල්ලපු ගෙදර කවරෙකු සිටියේද කුමක් කථා වුනේද, කවුරුන් ආවා ගියේද වශයෙන් කිසිවක් මා නොදන්නා අතර එය මගේ ලෝකයෙහි මොමැති දේ වේ. ඒ ගැන සෙවිමෙන් පලක්ද නැති නිසා එයට කාලයක්ද නැති නිසා මා එයට නොවෙහෙසෙමි එය මගේ ලෝකයෙහි අංගයක් නොවෙයි. එහෙත් සම්මතය තුල මා උදේ ගෙදරින් යන විට එම නිවස තිබූ නිසා එවන් නිවසක් ඇති බව මගේ ලෝකයෙහි අංගයකි. ඒ තුල මිනිස් ක්‍රයාකාරකම් වන බවක් මීට පෙර මගේ ලෝකය දැන සිටි නිසා එහිතුල මිනිස් ක්‍රියා කාරකම් වන බවක් මගේ ලෝකයෙහි ඇත.

මා නැති අතරෙහි මගේ නිවස තුල සිදුවිය යුතු හා නොයුතු දේ ගැන මා තුල ඊට වඩා පැහැදිලි දැක්මක් හා විශ්වාසයක් ඇත. මේ විශ්වාසයෙහි පදනම කලින් එය සිදුවූ ආකාරය මත පදනම් වේ.

මගේ ලෝකය තුල යමක් සිදුවන ආකාරය පමණක් නොව යමක් සිදුවිය යුතු ආකාරය පවා අපි කලින් තීරණය කරන්නෙමු. එසේම යමක් සිදු වූ ආකාරය අප නොදන්නා විට එය සිදුවිය යුතුව තිබූ ආකාරයට එය සිදුවූ බව අපි සිතන්නෙමු. එසේ සිතූ කල අපේ ලෝකය තැනෙන්නේ එසේ අපි සිතාගන්නා කරුනු වලින් නොදන්නා කරුනු පුරවා ගැනීමෙනි.

අපි අතිශයින් විශ්වාස කරන කෙනෙකු ගේ පැවැත්ම සිදුවිය යුතු ආකාරය ගැන අපි තුල යම්කිසි සැලැස්මක් පූර්වයෙන් ගොඩනගාගෙන ඇත. අපි න්දකින නොදැනෙන තැනෙකදී ඒ විශ්වාස වන්තයා හැසිරෙන ආකාරය අපි සිතින් ගොඩනගා ගන්නෙමු. ඒ මගින් අප විශ්වාස වන්තයාගේ අප නොදන්නා කොටස අපි විසින්ම පුරවාගෙන ඒය අපේ ලෝකය කරගනිමු.

ඉහත මා දැක්වූ පළමු අවස්ථාවේදී මහල්ලාගේ ලෝකය සාමකාමීය. ඔහු ජීවිතය තුල විශ්වාස කල දෑ එලෙසින්ම පවතී. ඔහුගේ ජීවිත අරමුණු වූ ලෝකයට දරුවන්ට කල යුතු යුතුකම් ඉටුකොට ඔහු ජීවිතයෙහි අවසානය බලාපොරොත්තුවෙන් සිටින්නෙකි. ඔහුගේ ආදරබර විශ්වාස වන්ත බිරිඳ මහළුව දුබලව මරණ මංචකයේය. ඇයට ඉටුකිරීමට නොහැකි ඌ යම් යුතුකමක් වේද ලබා දිය නොහැකි වූ සැපයක් වේද ඒ ගැන සැමියෙකු ලෙස ඔහු පශ්චාත්තාපයෙහි සිටියි. එවන් මොහොතක ඔහු ගේ ලොවෙහි කිසි දිනෙක නොවූ සිදු වීමක් ඔහුගේ ලෝකයට ඇතුලු වීමෙන් ඔහු ලබන සැනසුමක් වේද?
ඒ දැනුම ඔහුගේ ලෝකයට පැමිණීමද නොපැමිණීමද වඩා යහපත්.
මැහැල්ලගේ පාර්ශවයෙන්, ඇය දැනුවත්ව පෙළඹවීමක් මත වරදක් සිදුකොට ඇත. ඇය එතැන සිට ජීවිත කාලයක් සැමියා ඇයට ආදරයෙන් සලකන වාරයක් පාසා ඒ ගැන පසුතැවෙමින් ජීවිතය ගෙවා දමා ඇත. එහෙත් අවසන් මොහොතේ ඇයට ඒ පශ්cචාත්තාපයෙන් මිදීමට අවැසිය. ඇයට මරණයට මුහුණ දීමට ශක්තියක් නැත. වංචාකාරී හැඟීම සිතට වද දේ. එම නිසා ඇය සැමියා ඉදිරියෙහි පාපොච්චාරණයක් කොට, සිත සැහැල්ලු කොටගෙන, මිය යන්නීය.

මගේ විග්‍රහයේ හැටියට ඇය සැබැවින්ම සැමියාට වරදක් කරන්නේ අන් සැමියෙකු පහස ලැබූ මොහොතේ නොව. මරණ මංචකයේදී කරන පාපොච්චාරණය මගින් තම ආත්ම විමුක්තිය පතා සැමියාගේ විමුක්තිය බිලි ගැනීමෙනි. ඇය කල වරද ඇය බොහෝ දුරට විඳවා ඇති බවක් පෙනේ. එහෙත් ඇය විමුක්තිය සොයන්නේ සැමියාගේ විමුක්තිය බිලිගැනීමෙනි.

ඔහුගේ ලෝකය තුල නොවූ දෑ නොමැති තාක් කල් එය නොමැතිය. එහෙත් ඇය විසින්ම එසේ පාපොච්චාරණය කිරීම මගින් දැන් එය ඔහුගේ ලෝකයෙහි දැනුමයි. එය එසේ වූ බව ඔහු පිළිගනියි. ඔහු රැවටීමකට හසු වී ඇත. එය නිවැරදි කරගැනීමට ඔහුට කාලයක් නැත. ඔහුගේ ලෝකය විනාශ වී ගොස් ඇත.

මා මෙහිදී මතු කිරීමට තැත් දරන්නේ සත්‍යවාදී වීම හොඳ වුවත්  තමාගේ විමුක්තිය පිණිස අනෙකාගේ (අහින්සකයෙකුගේ) විමුක්තිය බිලිගනිමින් සත්‍යවාදී වීමට වඩා තමා කල වරද තමාම විඳවමින් සිටීම යහපත් බවයි. එය පරාර්ථකාමී සැබෑ ආදරණීය ක්‍රියාවක් බවයි.



ඇත්ත කීමෙන් යමෙකු දුකෙහි වැටෙන බව දන්නවානම් එම ඇත්ත නොකියා සිටීමෙහි වරදක් නැතැයි මම සිතමි.
ඇත්ත කියා ගන්නට නොහැකිවීම නිසා වරද කල අහින්සකයා විඳවීමෙහිත් වරදක් නැතැයි මා සිතමි.


Friday, April 21, 2017

නිරාගමිකයා,බෞද්ධයා, හා උපාසකයා


ලංකාවේ සිංහල බෞද්ධ උගතුන් යම් කිසි ප්‍රමාණයක් දැන් දැන් නිරාගමිකයන් බවට පත් වන ප්‍රවණතාවයක් දැක ගැනීමට ඇත. 
Image result for atheism


මෙයට හේතු සොයා බැලීම කාලීන අවශ්‍යතාවයක් ලෙස මට සිතේ.
මෑතකාලීනව බොහෝ සාම්ප්‍රදායික බෞද්ධ පවුල් වලින් බිහි වන උගතුන් සිංහල බුද්ධාගම අත්හරිනවා පමණක් නොව පන්සලේ ඇති අපගාමී චර්‍යාවන් ආදිය මතුකරමින් බුද්ධාගම හරයක් නැති තවත් එක ආගමක් ලෙස හුවා දක්වමින් සිටිති.

මෙහිදී මා සලකන්නේ බුද්ධාගම සැබැවින්ම ආගමක්ද යන්න සොයා බැලිය යුතු බවයි.
ඊට ප්‍රතම සොයා බැලිය යුත්තේ ආගමක් යනු කුමක්ද යන්නයි. අවිඥ්ඥානිකව බොහෝ දෙනා ආගම් ගැන දැන සිටියත් ආගම් වෙනුවෙන් යුධ ප්‍රකාශ කලත් ආගමක් යනු කුමක්දැයි වටහා ගත්තෝ අල්පය.

ආගම
මේ වචනය සෑදුනු හැටි හෝ එය විවිධ භාශාවලින් යෙදෙන හැටි ගැන සෙවීමට මෙහිදී වෙහෙසිය යුතු නැත. අද වන විට ආගම යන සිංහල වදනත් "religion" යන ඉංග්‍රීසි වදනත් සියයට සියයක්ම එකම අරුතකින් භාවිතා කෙරේ.
ඒ අනුව ආගමක් (Religion) සතුව
ආගම් කතෲ වරයෙකු සිටීම
ආගමික සංස්ථාවක් පැවතීම
විශ්වාසයන් සමුදායක් පැවතීම
ඇදහීම් ක්‍රම හා පූජා විධි පැවතීම
අනිවාර්‍යයෙන් සුරැකිය යුතු සම්ප්‍රධායන් පැවතීම
දුක කියා පිහිට ඉල්ලා සිටීමේ අවස්ථාවක් තිබීම

වැනි සරළ පොදු ලක්ෂන රැසක් හඳුනා ගත හැකිය.

මගේ හඳුනා ගැනීමේ හැටියට සිංහල බෞද්ධයන්ගේ බුද්ධාගම සැබැවින්ම ආගමකි. එහි ඉහතසඳහන් සෑම සියළු ලක්ෂණයක්ම අඩංගුය.

නම් වශයෙන් හිංදු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, යුදෙව් ආදී ඕනෑම ආගමික විශ්වාස පද්ධතියක් තුල මේ සෑම ලක්ශනයක්ම එකම අයුරින් සමන්විතය. එහෙත් ඇදහිලි ක්‍රම හා සම්ප්‍රදායන් වල ඒ ඒ සංස්කෘතීන්ට අදාල වූ වෙනස්කම් පමණක් හඳුනා ගත හැකිය.

නූතන නිරාගමිකයන් බවට පත්වන බුද්ධාගම්කාර පවුල් වල උගත් දරුවන් ප්‍රභලවම ගැටෙන්නේ මෙන්න මේ කී බුදු දහම පාදකව පිහිටුවාගෙන ඇති ලෞකික ආගමික සංස්ථාවක් වන බුද්ධාගම සමගින්ය.

එලෙස මේ සාම්ප්‍රදායික ආගමක් වූ බුද්ධාගම හා ගැටෙන උගත් බුද්ධිමත් නව පරපුර (නව පරපුර කීවාට අප අයත් පනස් විය ඉක්මවූ උගතුන්ද මේ කුලකයට අයත් වේ ) ඒ තුලින් විවේචනයට ලක් කරන්නේ බුදු හිමියන්වය, බුදු හිමියන්ගේ දහමය.

මේ  අත්තෝනෝමතික විවේචනය මුලාවකි. බුදු දහමේ උගන්වන්නේ කුමක්දැයි නොදැන කරන විවේචනයකි.
ඔවුන් සැබැවින්ම, පුවත් පතක මාතෘකා පාඨ පමණක් කියවා අන්තර්ගතය සිතින් මවා ගමේ කඩ මණ්ඩියේ කයිවාරු ගසන්නන් වැනිය.

රේරුකානේ හිමියන්ගේ පොත්වලින් කඩල ගොටු ගැසීම.
Image result for rerukane chandawimala thero books

මේ මා ඉතා මෑතකදී කියවූ බ්ලොග් ලිපියක අන්තර්ගත වූ කාරනයකි. මේ ලිපි රචකයා කියන්නේ රේරුකානේ හිමියන්ගේ පොත් වලින් වැඩ්ක් ගත හැකි බවත් ඒවානම් කඩල ගොට්ටක් ගසා ගැනීමට හෝ අවශ්‍යනම් හදිස්සියකට ගන්ජා සුරුට්ටුවක් ඔතා ගැනීම වැනි වැඩකට බවයි.
මේ කියමන දකින් බුද්ධාගම් කාරයෙකු මෙයින් කැළඹීමකට පත්විය හැකිය. අපොයි අර යකා අපා ගත වෙන්නට හදනවා යැයි විස්සෝප වන්නට හැකිය. ආගම් අදහන්නන්  ගේ හැටි එසේය.

එහෙත් මා කියන්නට තනන්නේ මේ ආකාරයෙන් බරපතල විවේචනයක් එම පොත් කෙරෙහි එල්ල කරන බ්ලොග් රචක සහෘදයා එම පොතෙහි සඳහන් එකදු කරුනක් වත් විමර්ශන ශීලීව හෝ අඩු තරමින් තර්කානුකූලව බිඳ හෙලීමක් නොකරන බවයි. එසේනම්, ඔහු මෙවැනි කථාවක් කීමෙන් බලා පොරොත්තු වන්නේ කුමක්ද? පැහැදිලිවම ආගම් භක්තිකයන් උරණ කරවා ඒ තුලින් පොරක් වීමටත් නූතන බ්ලොග් චන්ඩින් අතර සම්මතයට ගරහන නිර්භීත බ්ලොග්  චන්ඩියෙකු ලෙස වැජබීමටත්ය.

අදාල ලිපිය හුදෙක් හිස් "චන්ඩි පාට්" එකක් බව කියා මා ප්‍රථිචාරයක් දැමුවද එයට කිසිදු පිළිතුරක් රචකයා ගෙන් මෙතුවක් ලැබී නැත.

පටලවා ගත් පංචස්කන්ධය
තවත් බ්ලොග් සාකච්චාවකදී සත්ත්වයෙකු වීමට නම් පංචස්කන්ධයක් දැරිය යුතුයැයි මා කියා සිටි විට නිරාගමිකයෙකු ලෙස පෙනී සිටින එම උගත් බ්ලොග් කරු පෙරලා විමසුවේ පංචස්කන්ධයක්ම අවශ්‍යයිද යන්නයි. එවිට මා ස්කන්ධ 5 සවිස්තරාත්මකව පෙන්වා දුන් කල ඔහු නිහඬ වෘතයකට පිවිසුනි. මින් මා වටහා ගත්තේ බොහෝ දෙනෙකු මෙන් ඔහුත් පංචස්කන්ධය යනු පංච ඉන්ද්‍රිය ලෙස වරදවා වටහා ගෙන උන් බවකි. බුදු දහම යනු තවත් එක ආගමකියි පෙන්වීමටත් බුද්ධාගමේ වැරදි හරහා බුදු දහමට ගැරහීමටත් වෙර දරන බොහෝ දෙනාගේ බුදු දහම පිළිබඳව වූ දැනුම එයාකාරය.


මෑතකදී ප්‍රවීන බ්ලොග් රචක අටම්පහුර කතුවරයා සල්ගාදු නමින් පන්සලක් ආස්‍රිත කථාවක් කෙටි කථාවක් ස්වරූපයෙන් එලි දැක්වීය. මේ කථා කරන්නේ බුද්ධාගමේ ආගමික ස්ථානයක් වූ පන්සලක් ඇසුරේ බුද්ධාගමේ නියෝජිතයන් වූ හාමුදුරු කෙනෙකුගේ චර්‍යාවයි. මෙය හිතලුවක් සේ බැහැර කිරීම හෝ බුද්ධාගමට අගෞරව කිරීමක් සේ ගත යුතු නැත. බුද්ධාගම යනු ගෞරවනීය විද්‍යාවක් හෝ දැනුම් පද්ධතියක් නොවන නිසා මෙවැනි කථා තුලින් බුද්ධාගම් කාරයින් ගැටුමට ලක් විය හැකිය. එහෙත් මේ යථාර්ත වාදී කථාවෙන් හාස්‍යයට ලක් කෙරෙන්නේ බුදු හිමියන් දෙසූ දහම නොවෙයි. වටහා ගත යුතු සත්‍යය එයයි.
මෙවැනි රචනා හරහා දහම  හාස්‍යයට ලක් කිරීමට තැත් දරන්නන් කෙරෙහි අනුකම්පා කිරීම හැර කල හැකි අනිකක් නැත.

_________________________

නැවත මුල් මාතෘකාවට එළැඹෙමින්, ඉහත සඳහන් කාරනා අනුව ආගමක් අරුත් දැකිවිය හැකිනම් ඒවා ප්‍රථික්ශේප කරන උදවිය නිරාගමිකයින් ලෙස හැඳින්වේ නම්, මාද නිරාගමිකයෙක්මි.

බුදු හිමියන්ගේ දහම පිළිගන්නා අයෙකු නිරාගමිකයෙකු විය හැක්කේ කෙසේද?

මෙය ඉතා ගැඹුරින් විමසා බැලිය යුත්තකි.
බුදු හිමියන්ගේ දහම යනු දැනුම් පද්ධතියකි. බුදු හිමියන්ම අගය කොට ඇති පරිදි එය ප්‍රායෝගිකව භාවිතා කිරීමෙන් අවබෝධ කොට ගත යුතු දැනුම් පද්ධතියකි.
එහි වැඳුම් පිදුම් කිරීමෙන් අවසන් ඵලය කරා එළැඹීමේ මගක් නැත.
යැදීම් නැත
ආශ්චර්‍යයන් නැත
සියල්ලටම වැඩියෙන් එහි මැවුම් කරුවෙකු නැත.
ඒ වෙනුවට ඉතා ගැඹුරු හේතු ඵල දහමක් ඇත.

ඉතින් මෙය ආගමක් වන්නේ කෙසේද?

ඒ අනුව බුදු හිමියන්ගේ දහම දැක ඇති, එය වටහා ගත යුත්තක් බව තේරුම් ගෙන එය ඇසුරු කරනා නිරාගමිකයෙකි.

දහම පිළිගන්නා තැනැත්තා පරිපූර්ණ ලෙස දහම අවබෝධ කල අයෙකු විය යුතු නැත. එහෙත් දහමෙහි ඇති යම්කිසි කොටස් වටහා ගැනීම තුලින් දහමේ හරවත් බව දැක තව දුරටත් එය වටහා ගැනීම සඳහා විමර්ශනය කරන පුද්ගලයා බුදු දහම පිළිගන්නෙකු වේ.

දැන් යමෙකුට මේ ආකාරයෙන් බුදු දහම දකින්නෙකු ආගම් භක්තිකයෙකු යැයි නම් කිරීමේ හැකියාවක් ඇතිද?



බුදු හිමියන්ගේ දහම තුල එදා බෞද්ධයන් හෝ බුද්ධාගම් කාරයින් සිටියේ නැත. බුද්ධාගම් කාරයින් සිටීමට බුදු හිමියන් ආගමක් දේහනා කලේද නැත.

උපාසකයා
බුදු හිමියන් වහන්සේ තමන් වටහා ගත් ලෝක ධර්මය හෙවත් වෙනත් ඈසකින් ලෝකය බැලීම හා ඒ තුලින් පරම වූ ලෝක සත්‍යය වටහා ගන්නා ආකාරය මිනිස් වර්ගයා හට කියා දෙනු ලැබීය.
එය දැනුම් පද්ධතියකි
විද්‍යාවකි.

එය සැකෙවින් වටහා ගෙන ඒ මගට පිවිසෙන මිනිසුන් උන් වහන්සේ හැඳින්වූයේ "උපාසක " යනුවෙනි.

මේ කියන්නේ සුදු රෙද්දක් හැඳ, මල් වට්ටියක් හිස තබාගෙන සිටින අනුන්ට අංචි අදින උපාසක ප්‍රථිරූපකයන් ගැන නොවෙයි.

නිරාගමිකයාත්, බෞද්ධයා හෙවත් බුද්ධාගම් කාරයාත්, උපාසකයාත් යනු එසේය.....

නිරාගමිකයා දෘශ්ඨිවාදියෙකු වන්නේ කෙසේදැයි ඉදිරි ලිපියකින් සාකච්චා කිරීමට බලා පොරොත්තු වෙමි.

මෙසේ මේ ලියන මා ජීවිතයේ කිසිදු දිනයක දහම් පාසැලකට පය නොතැබූ, මේ තාක් කල් ජීවිතයේ එකම එක වතාවක් හෝ (ළමා කාලයේදී වත් ) අටසිල් සමාදන් නොවූ පුද්ගලයෙකු බව කියවන උදවිය දැන ගැනීම වැදගත් වේ යැයි සිතමි.

Thursday, April 6, 2017

කෝටිපතියෙක් අහින්සක හිඟන්නෙක්ව හප්පලා මරලා !


මේ පහු ගිය දවස් වල ගොසිප් පුවත් වල බොහෝම ජනප්‍රියව කථා වුනු මාතෘකාවක්.
මේ මාතෘකාවෙන් චෝදනා ලබන පුද්ගලයා කෝටිපතියෙකු ලෙස දැක්වීම මගින්ම පොදු ජනතාවගේ විරුද්ධ වාදියෙකු අපරාධකාරයෙකු වැනි පූර්ව නිගමනයක් කියවන්නා තුල ඇති කිරීමට උත්සහ කිරීමක් දක්නට ලැබෙනවා.

අනතුර සිදුකල රථය යැයි "ගොසිප් ලංකා නිව්ස්" වෙබ් අඩවියෙහි පල වී තිබූ ඡායාරූපයක්.


ඊට අමතරව චුදිතයා තවත් උප කුලකයකට බෙදා දැක්වීමක් සඳහා අලුතින්ම මේ මාතෘකාවට ඔහුගේ නම මොහොමඩ් ලෙස දක්වා තිබෙනවා. අන්න ඒ නිසා දැන් පොදුවේ මොහොමඩ් ලාට එරෙහි පුද්ගලයින් මේ මිනී මරුවා එල්ලා දැමිය යුතුයි කියන තැනට පවා පත්ව තිබෙනවා.

එහෙත් මේ සමස්ථ සිදුවීම දෙස බැලීමේදී අපට පෙනෙන ආකාරයට මෙය චේතනාන්විතව සිදු කල ඝාතනයක් ලෙස හුවා දැක්වීමේ හැකියාවක් නැහැ. එහෙත් ඇතැම් විට අදාල චුදිතයා සැඟවීයාමට හේතු වූයේ එම අවස්ථාවේ ඔහු බීමතින් සිටි නිසා විය හැකියි. එහෙත් දැන් එම චෝදනාව ඔහු වෙත එල්ල වන්නේ නැහැ.

එනමුත් මේ රියැදුරා (ඔහු කෝටිපති ගනකාධිකාරී වරයෙකු  නොවෙයි රටේ ජනාධිපති වුවත් එය ඔහුගේ තරාතිරම පමණයි රිය පදවන විටදී ඔහු රියැදුරෙකි ) අනතුරක් කොට පලා යාමේ චෝදනාවෙනුත්, සාක්ෂි සඟවා ගැලවීමට තැත් කිරීමේ චෝදනාවෙනුත්, රිය අනතුරක් කොට මිනිසෙකු හට මරණය ගෙන දීමේ චෝදනාවෙනුත් ගැලැවෙන්නේ නැහැ. නීතිය ඉදිරියේ හිඟන්නාටත් ලැබෙනුයේ පොදුවේ මිනිසෙකු සතු අයිතිවාසිකම් මිස අන් වෙනස් වූ යමක් නොවෙයි.

මේ මිනිසෙකු මරණයට පත් වීමේ චෝදනාව නිසා දැන් අදාල රියැදුරා මේ වන විට දින 14ක රිමාන්ඩ් කාලයකට යටත් කොට අති වග ප්‍රවෘත්ති වාර්ථා කර ඇත.

එසේනම් දැන් බැලිය යුත්තේ මේ සිදුවීමේහි පසුබිමයි. අදාල අවස්ථාවේ මරනයට පත්වූ සිඟන්නා මාර්ගයෙහි කලේ කුමක්ද?
බොහෝ විට ඔහු බීමතින් හෝ අන් යම් මත්ද්‍රව්‍යයක බලපෑම මත මාර්ගයේ ඉබාගාතේ යමින් සිටියා විය හැකිය. (රාත්‍රියේ රථ වාහන පදවන ඕනෑම රියැදුරෙකු මෙවන් අවස්ථා වලට මුහුණ දී තිබිය යුතුය.) සිඟන්නන් හැඳ සිටින අඳුරු පැහැ කඩමාලු ඇඳුම් බොහෝ විට රාත්‍රියේ පහන් එළියෙන් රියැදුරෙකුට දර්ශණය වනවා ඉතාමත් අඩුය.
මේ පසු බිමෙන් බලනා විට රාජකාරි වල මුලු දිනයක් යෙදීමෙන් වෙහෙසවී රාත්‍රියේ රිය පදවන ඕනෑම රියැදුරෙකු අතින්  මෙවැනි වරදක් සිදු වීමේ ඉඩ ප්‍රස්ථාව ඉතාම විශාලය.
මෙවන් ප්‍රශ්ණයක් විග්‍රහ කිරීමේදී අදාල චුදිතයා දෙස බැලිය යුත්තේ "කෝටිපතියෙකු" "මොහොමඩ්" කෙනෙකු යන උප කුලක වලට ඔහු වර්ග කිරීමෙන් නොව, "රියැදුරෙකු" යන කුලකයට ඔහු වර්ග කිරීමෙන් පමණකි.
හෙට දිනයේදී මෙවන් වරදක් රාත්‍රියේ රිය පදවන ඕනෑම රියැදුරෙකු අතින් සිදුවිය හැකිය. ඒ රියැදුරා මෙය කියවන ඔබ හෝ ලියන මා නොවේයැයි කිසිවෙකුට සහතිකයක් දිය නොහැකිය.
ඒ ඔබ හෝ මා හෝ ඉහත සඳහන් චුදිත මොහොමඩ් හෝ වේවා ප්‍රතිපලය පළමුවෙන්ම දින 14ක රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමකි. ඔබ කොතරම් නිදොස් වුවත් එම ප්‍රථිපලයෙන් මිදීමට නොහැකිය. මීට මාස කිහිපයකට පෙර පුත්තලම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රියැදුරෙකු අතින්ද මාර්ගයේ සිටි සිඟන්නෙකු අනතුරට පත්ව මියගිය අතර රියැදුරා රිමාණ්ඩ් බන්ධනාගාර කිරීමකට යටත් විය. එහිදීද "ප්‍රයිවට් බස් කාරයෝ එලවන්නේ යක්කු වගේ, උන්ට උපරිම දඬුවම් දිය යුතුය" කියා සමාජය නිහඬ විය.

මා දකින ආකාරයට මේ ලෙස මාර්ගයේ අනාරක්ශිත ලෙස සිඟන්නන් ගැවසීම යනු රියැදුරන් මුහුණ දෙන අති බරපතල අභියෝගයකි.
කිසි සේත් වරදක් නොකර උපරිමයෙන් නීති ගරුකව රිය පදවන රියැදුරෙකු අතින් පවා හෙට දිනයේ මෙවැනි වරදක් වීමේ සම්භාවිතාවය ඉතා ඉහලය. මේ තත්වයට වග කිව යුත්තෝ කවුරුන්ද. මේ ගැන පවතින රජයට හෝ පොලීසියට චෝදනා එල්ල කරීම ඉතාම පහසුය.

එහෙත් ඇත්ත වශයෙන්ම මීට වගකිව යුත්තෝ පාරේ රිය පදවන ගමන් "පින්" කිරීමට උත්සහ දරණ තකතීරු රියැදුරන්ම මිස අනෙකෙකු නොවෙයි. බොහෝ දෙනා තමන්ටම මෙවන් අභාග්‍යයක් සිදු වන තුරු මේ යථාර්තය වටහා නොගැනීම අවාසනාවකි.
පාරේ ධාවනය වන වාහන වලින් සිඟන්නන්හට මුදල් දෙන අවස්ථා ඔබ කොතෙක් දක ඇතිද? මේ හඬ ගසන්නේ තමන්ගේම අභාග්‍යයට බව ඔවුන් නොදකිති. මේ පින පල දෙන්නේ හෙට දිනයේ රියැදුරෙකු (ඔබ හෝ මා හෝ රිය පදවන යමෙකු ) බන්ධනාගාර ගත කිරීමෙන් බව කිසිවෙකු නොදකී.

මේ සිදුවීම පාදක කරගෙන මේ ලිපිය කියවන යමෙකු වේද මා ඔබගෙන් ඉල්ලා සිටිනුයේ..
ඔබ පින් කිරීමට කැමැතිද ඒ සඳහා සුදුසු තැනක් තෝරා ගන්න. රථ වාහන ධාවනය වන මහා මාර්ගය පින් කරන තැනක් නොව, රටේ සම්මත නීති පද්ධතියකට යටත්ව ඔබගේ මගේ ගමන යාමට පමණක් ඉඩ පහසුකම් සලසා ඇති තැනකි.
නියමිත ස්ථානයේ ඊට අදාල කර්තව්‍යයේ පමණක් යෙදෙන්න.
තමන් හා අනුන් අනතුරේ නොහෙලන්න.





Saturday, April 1, 2017

කෙක්කෙන් හෝ කොක්කෙන් රැකගත යුතු ප්‍රජාතන්ත්‍රවාදය!

අප රටේ මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදය දකින ආකාරය හරිම අපූරු එකකි.

පෙර රජය සමයේ එහි පාක්ෂිකයන් දුටුවේ එය සම්පූර්ණ නොවූවත් ඉතා හොඳින් ප්‍රජාතන්ත්‍ර වාදය සුරැකෙන රජයක් ලෙසයි. එසේම එය බිඳ වැටුනහොත් අප දැනට බුක්ති විඳින ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් පවා අහිමිව යා හැකි බවකුයි.

එම නිසා කෙක්කෙන් හෝ කොක්කෙන් එම රජය රැක ගත යුතු බව එහි පාක්ෂිකයන් දැරූ පොදු මතයයි.

අද පවතින තත්වය.....
මේ රජයේ පාක්ෂිකයන්ට අනුව පෙර රජය පෙරලා දමා මෙම රජය ඉතා හොඳින් අපට ප්‍රජා තන්ත්‍ර වාදය ලබා දී ඇතැ දැන් අපි එය බුක්ති විඳින්නෝ වෙමු.
යම් එයකින් මේ රජය මැතිවරණයක් පරාජය වුවහොත් පෙර රජ කල ප්‍රජාතන්ත්‍ර විරෝධී රජය නැවත බලයට ඒවි.
එම නිසා ඡන්ද නොපවත්වා හෝ දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගත යූතුය.

මේ සංකල්ප දෙකේ වෙනසක් කිසිවෙකු දකීද?

මා දකින ප්‍රජාතන්ත්‍ර වාදය නම්
"යම් ප්‍රදේශයක බහුතරය මී හරකුන් නම් පාලකයා මී හරකෙකු විය යුතුය!"

මෙය වැලකීමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීය.

Tuesday, March 28, 2017

ගන්ධබ්බයා කවුද?



ප්‍රකට බ්ලොග් රචක කොළඹ ගමයා හි අජිත් විසින් රචිත පුනර්භවය හා අන්තරාභවය ගැන ඔහු විසින් කරන ලද හැදෑරීමක් පදනම් වූ අන්තරා භවිකයෙකු ගැන කියැවුනු ලිපි පෙල තුල මා විසින් ඔහු හා වැඩිදුරට සාකච්චාවක යෙදුනි. එනමුත් මගේ දායකත්වය හිටි අඩියේ නවතා දැමීමට සිදු වීම නිසා ඒ මාතෘකාව ගැන මා දරන අදහස් මෙසේ සටහන් කොට තැබීම මැනැවැයි සිතුනු නිසා මේ ලිපිය සකස් කරමි.

පළමුවෙන්ම අපි මේ වචන පැහැදිලි කර ගත යුතුය
අන්තරාභවිකයා යනුවෙන් කීවිට එය ඉතා පැහැදිලිව භවයන් දෙකක් අතර සරන්නෙකු හෙවත්    භවයකින් නික්මුනු එහෙත් භවයක් නොලද්දෙකු වෙයි. එහෙත් මෙහි පුද්ගල භාවයක් පැහැදිලිවම කියැවෙන බව වටහා ගත යුතුය.
නොයෙකුත් පර්යේශණ මගින් ඇතැමුන් මේ අන්තරාභවිකයා සමග ගනුදෙනු කරනා බව සාක්ෂි සාධක සමග ඉදිරිපත් වෙයි.

දැනට අපි මේ සාකච්චාවට බඳුන් වන අන්තරාභවිකයා සතු පුද්ගල භාවය හෙවත් මතකයක් සහිත, සිතුවිළි පහල කරන, පුරුදු සහිත තත්වය පමණක් ධාරනය කර ගනිමු.

දැණ් ගන්ධබ්බයා යනු කවරෙකුදැයි විමසා බලමු.
ගන්ධබ්බ යන වදන ඉහතින් අර්ථ දැක්වූ අන්තරාභවිකයා යන සංකල්පය හා ගැලපෙන අරුතකින් මහායානයේ යෙදෙන බව බොහෝ තැන් වල මාද කියවා ඇත්තෙමි. එය පාදක කරගෙන අජිත් විසින් ඔහුගේ රචනා වලද මේ වචනය යොදාගෙන තිබුනි.
මෙය බුදු දහමේ කියැවෙන ආකාරය එය බව කියා පෑමට අජිත් විසින් මා හට ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා වල ද මේ ගන්ධබ්බ සංකල්පය කියැවෙන බව හා එයට උදාහරණ ලෙස මහා තණ්හාය සංඛය සූත්‍රය ද උපුටා දක්වන ලදී.

එහෙත් එම අදාල සූත්‍රයෙහි කියැවෙන "ගන්ධබ්බ" යන වදනින් ඉහත මා දක්වන ලද ආකාරයේ අන්තරාභවිකයෙකු අරුත් ගැන්වෙන්නේ කෙසේදැයි ඔහු පැහැදිලි කලේ නැත.

මෙය වදනක් නිවැරදිව අරුත් නොගන්වා දෙදෙනෙකු එකම වදනට අරුත් දෙකක් දරමින් කරනා ලද පුහු වාදයක් බවට පත් වූයේ මෙතැනිනි.

ගන්ධබ්බ යන වචනය මෙතැනින් ඉදිරියට භාවිතයට නොගත යුතු යැයි මා සිතමි ඒ වෙනුවට වඩා එකඟ විය හැකි යෙදුමක් වන අන්තරාභවිකයා යන යෙදුම මා භවිතා කරන්නට කැමැත්තෙමි.

අන්තරාභවයක් ගැන කථා කිරීමට අප භවය හඳුනා සිටිය යුතුය
භවය හඳුනා ගැනීමට සත්ත්වයා හඳුනා සිටිය යුතුය.
සත්ත්වයාගෙන් තොර වූ භවයක් ගැන කතා කිරීම අභව්ය කාරනයකි.

සත්ත්වයා යන සංකල්පය බුදු දහමෙහි හැඳින්වෙන්නේ ස්ඛන්ධයන් පහක එකතුවක් ලෙසිනි..
සෑම සත්ත්වයෙකුටම ස්ඛන්ද පහක්ම තිබිය යුතුද කිය එහිදී අතුරු පැනයක් පැන නැගුනු මුත් එය එසේම විය යුතුයැයි මා සිතමි.
මේ ස්ඛන්ධ පහ යනු
* සත්ත්වයාගේ සමස්ථ භෞතික ස්කන්ධය වූ රූපය.
(භෞතික වාදීව සිතන විට අපට සත්ත්වයා තුල හඳුනා ගත හැක්කේ මෙයම පමණි, ඉන් ඔබ්බෙහි කිසිවක් නැත )
* සත්ත්වයා පරිසරය හා ගැටීමේදී එයට දක්වන සංවේදී භාවය වන වේදනාව. (මෙය නාම ධර්මයක් හෙවත් නාමික වූ ස්ඛන්ධයකී,"සංකල්පයකි")
* තෙවැනි ස්ඛන්ධය වූ සංඤ්ඤාවෙහි පවතිනුයේ වේදනාවන් තුල ඇති පණිවුඩයයි. එය සත්ත්වයාගේ මතකය හා බැඳී පවතින්නකි. සත්ත්වයා සතු ඉගෙනුම නැමති හැකියාවද මෙයයි. (මෙයද නාම ධර්මයකි )
* සංඛාරය යනුවෙන් හඳුන්වන සිව්වැනි ස්ඛන්දය විසින් කියැවෙන්නේ විවිධ වූ සංඤ්ඤා එක් කර ඒවා ඇසුරින් වඩා සංකීර්ණ වූ සංකල්පයන් ගොඩනගා ගැනීමයි. අප අවට ඇති පරිසරය අනුව අප සිටින ස්ථානය ගැන අදහසක් ඇති කර ගැනීම වැනි.
* මේ සියල්ලට අමතරව ඇත්තේ විඤ්ඤානය යන පස් වැනි ස්ඛන්ධයයි. මෙය බොහෝ දෙනා ආත්මය වැනි පවතින සංකල්පයක් ලෙස වරදවා වටහාගැනීමක් කර ඇත. එසේම මරණයෙන් පසු  නැවත උපතක් සඳහා මියගිය තැනැත්තාගේ සිට අළුත් සත්ත්වයාගේ සිරුරට ඇතුළුවන ඒකකයක් ලෙසද වරදවා වටහා ගනිති.
එහෙත් ඇත්තෙන්ම විඤ්ඤානය යනු යම් කිසි වේදනාවකට යාවන සංඤ්ඤාව පදනම්ව ගොඩනැගෙන සංස්ඛාරය හඳුනා ගැනීමයි.

මෙය දහමෙහි ඉගැන්වෙන අයුරු ඉතාම කෙටි ක්ෂණයක් තුලදී යම් කිසි එක් සංස්ඛාරයක් හඳුනා ගැනීමෙන් කෙළවර වේ. එහෙත් අඛන්ඩව එකක් පසු පස එකක් ලෙසින් විඤ්ඤානයන් බිහි වෙමින් අනන්ත සංඛ්‍යාවක් වූ සංස්ඛාරයන් හඳුනා ගනියි.
මෙය අඛන්ඩ ක්‍රියාවලියකි..

ඒ අනුව දැන් අප සොයා බැලිය යුත්තේ සත්ත්වයා යනුවෙන් පවතින්නේ කුමක්ද යන්නයි.
රූපය යන සංකල්පය අද වන විට නූතන විද්‍යාවන්ගෙන්ද මනාව පැහැදිලි කල හැකි නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින් සංකල්පයකි. සිරුර සැදී ඇති පදනම රසායනික පරමාණු ලෙස ගත හොත්, කිසිදු පරමාණුවකට එහි උප පරමානුක අංශුන් ස්ථාවර නැති නිසා මෙය නිරන්තරවම වෙනස් වෙමින් පවතින එකම සැකිල්ලක් බව වටහා ගත හැකිය.

සියළු නාම ස්ඛන්ධයන් යනු රූපය මත ඇති වන භාහිර බල පෑම් නිසා ක්ෂනයක් පිණිස හටගෙන වියැකී යන නාමික සංකල්පයන්ය. එසේ වූ කල සත්ත්වයා යනුවෙන් වූ පවතින සංකල්පය කුමක්දැයි සිතා බැලිය යුතු වේ.

මේ මොහොතේ පවතින සත්ත්වයා යනු මේ මොහොතේ ඇති යම් කිසි සංස්ඛාරයක් විඤ්ඤානය කරන හා ඊට අනුරූප වූ සිතුවිල්ලක් පහල කරන පෙර විඤ්ඤානය මරා දමා සිතුවිල්ලට අනුරූප විඤ්ඤානයකින් සිතුවිල්ල ග්‍රහනය කරගන්නා සංකල්පයකි.
ඒ අනුව සත්ත්වයා යනු හුදු වර්ථමානයම (ක්ෂ්ණයක් පමණවත් නැති මේ දැන් පමණක්ම ) බව වටහා ගත හැකිය.

සත්ත්වයා තුළ ඇති පැවැත්මක් ලෙස අප වරදවා ගන්නේ මතකයයි. මතකයට අමතරව පුරුදු නම් වූ තවත් කොටසක් ඇත. සත්ත්වයෙකු තුල පුද්ගල භාවයක් හට ගනුයේ මේ ආකාර වූ මතකය හා පුරුදු නිසාවෙනි.

යම් කිසි පුද්ගලයෙකු තුල මතකය හා පුරුදු නොරැඳේද, ඔහු තුළ පැවතිය හැකි පුද්ගල භාවය කුමක්ද? එවන් වූ සත්ත්වයෙකු ක්ෂනයක් පාසා වෙනස් වන කිසිදු පැවැත්මක් නැති එකෙකු බව වැටහෙනු ඇත.

ඒ අනුව කුඩා කල සිටි මා දැන් සිටින මා නොවේයැයි කියන කියමන් වඩා හොඳින් වැටහෙනු ඇත. කුඩා කල සිටි මා හා දැන් සිටින මා අතර වූ එකම සම්බන්ධය නම් මතකය හා පුරුදු පම්ණි.
එසේනම් මේ දැන් සිටින මාද මීට මොහොතකට පෙර සිටි මාගේ මරණයෙන් පසු පැවැත්මයි.

දැන් අපි නැවත අන්තරාභවිකයා කෙරෙහි එලැඹීමට පෙර, භවය හඳුනා ගනිමු.
භවය යන සංකල්පය වඩා හොඳින් පැහැදිලි කෙරෙන්නේ පටිච්ච සමුප්පාදය තුලිනි.
ඒ කෙසේද යත්. (පටිච්ච සමුප්පාදයෙන් අවශ්‍ය කොටස පමණක් උපුටා දක්වමි.)

වේදනා පච්චයා තණ්හා
තණ්හා පච්චයා උපාදානං
උපාදාන පච්චයා භව
භව පච්චයා ජාති

එනම්
වේදනාව (අප ඉහතින සාකහ්චා කල ) නිසා තණ්හාව ඇති වේ,
තණ්හාව නිසා උපාදානය ඇතිවේ (දැඩිව අල්වා ගැනීම / ග්‍රහනයට ගැනීම )
උපාදානය නිසා භවය (පැවැත්ම ) ඇති වේ.
භවය (පැවැත්ම ) නිසා ජාතිය (උපත ) ඇති වේ.

මේ අනුව භවය යනු උපාධානය නිසාම හටගන්න දෙයක් ලෙස දහමෙහි ඉගැන්වේ. ඒ කෙසේදැයි බැලුවහොත්, එක් සංස්කාරයක් ග්‍රහණය කරගන්නා සත්ත්වයා එය අත් හරින්නේ තවත් සංස්ඛාරයක් ග්‍රහණය කර ගනිමිනි. මේ ආකාරයෙන් සත්ත්ව විඤ්ඤානය ක්ෂනයක් පාසා එකක් හැර අනෙකක් ලෙස උපාදානය කිරීම නිසා සත්ත්වයාට භවය හෙවත් පැවැත්මක් පිළිබඳ සංකල්පය ඇති වේ. (මේ භවය යනු කාලයට සමාන වදනක් ලෙස මා ඇතැම් විට දකිමි ඒ ගැන වැඩි දුරට විස්තර කීරීම දැනට අපහසුය )

දැන් අපි අන්තරාභවිකයා දෙසට හැරෙමු.

මෙතැනදී භවය යන්නට වෙනත් අරුතක් දෙන බව දැකිය හැකිය.
එනම් මෙහිදී සත්ත්වයාගේ එක් භෞතික ජීවිතයක් (මවු කුසක පිළිසිඳීමේ සිට මරණය දක්වා ) භවයක් ලෙස සැලකෙයි. මෙය අපි පොදු වහරේදී පෙර භවය, මේ භවය, මතු භවය ආදී ලෙසින් භාවිත වේ. මේ අදහස හුදෙක්ම පෙර ආත්මය මේ ආත්මය ආදී වශයෙන් යෙදෙන විට අදහස් කරන ආත්මය යන සංකල්පයට සමාන වෙයි. මෙය බුද්ධ කාලයට පසු වෙනත් මත වාද නිසා ගොඩ නැගුනක් විය හැකිය. මෙය මාගෙ උපකලපනයක් පමණි.
මේ අරුතින් භවය ගත් කල මේ භවයෙන් නික්මෙන සත්ත්වයා හට මීලඟ භවයකට පිවිසීමට සිදු වේ.
එසේ වූ කල එයාකාර වූ භව දෙකක් අතර හිදැසක් (යම් කිසි කාලයක් ඇතැයි සිතීම මෙවන් මතවාද බිහි වීමට හේතුවයි.
දැන් අපි භවයන් දෙකක් අතර තත්වයක් ගැන සිතමු.
එක් භවයකින් නික්මෙන සත්ත්වයෙකු (නික්මෙන්නෙ කුමක්දැයි මට වටහා ගත නොහැකිය ) වෙනත් භවයකට පිවිසීමට පෙර තත්වයක් ලෙස මෙය වටහා ගත යුතුය. දැන් මෙතැන සත්ත්වයා වෙනත් භවයකට පිවිස නැති නිසා එතැන සත්ත්වයෙකු නැත. එනම් රූපයක් නැත, රූපයක් නැති තැන වේදනා ලැබීමට පරිසරය හා ගැටෙන්නට දෙයක් නැත, වේදනා නැති කල සංඤ්ඤා නූපදී, සංඤ්ඤා නොමැති කල සංස්ඛාරයන් උපදින්නට ද බැරිය. එසේ වූ කල විඤ්ඤානයක් හට ගන්නේ කුමක් අරභයාද? එයත් විය නොහැකිය.
මේ සියල්ල එසේ නම් භවයකින් තොරව වෙසෙන අවස්ථාවක, එහි සිතුවිලි පහල කරන්නේ කවුරුන්ද? මෙය සමස්ථයක් ලෙසම අභව්ය කථාන්දරයකි.
එසේ මරණින් පසු කෙනෙකු සිතුවිළි පහල කරයිනම්, මතකය දරයි නම් එතන භවයක් ඇත. එනම් මේ භවය යනු උපතක සිට මරනය දක්වා කාලය යන සංකල්පය තුල මේ භවිකයෙකු මිස අන්තරා භවිකයෙකු නොවිය යුතුය.

බුදු දහමේ උගන්වන පුණර්භවය යනු මරණින් පසු උපත හෙවත් පුණරුත්පත්තියට යෙදෙන වෙනස් වූ නමක් නොවන්නේය. පුණර් භවය යනු අර්ත දැක්විය යුත්තේ පුණර්(නැවත නැවතත්  ) භවය (පැවතීම ) යනුවෙනි. එනම් සත්ත්වයා තුල තෘශ්නාව උපාධානය කිරීම පවතින තාක් සත්ත්වයා විසින් භවය තනමින් පවතියි. එය නැවත නැවතත් කරමින් පැවතීම මරණය හා සම්බන්ධ නොවෙයි. සත්ත්වයා එක් උපතක සිට මරණය අතර තුරද නිරන්තරයෙන් පුණර් භවයට මුහුණ දෙන අතර එය හුදු භෞතික මරණයකින් කෙලෙවර නොවේ. එය අඛණ්ඩ වූ ක්‍රියා දාමයකි. සත්ත්වයා නිරතුරුව පුණර්භවයක් ලබන නිසාවෙන්ම අන්තර භවිකයෙකු ගැන කථා කීරීම නිශ්පලය.

අවසානයේ සූත්‍ර දේශ්නා වල එන "ගන්ධබ්බයා" අන්තරාභවිකයෙකු නොවේ යැයි මා වටහා ගනිමි.

මේ ලිපිය ඔස්සේ මා ප්‍රකාශ කරන්නේ මා වටහා ගන්නා ආකාරය මිස අනෙකුන් එසේ වටහා ගත යුතු බවක් නොවනා වග අවධාරණය කර සිටිමි.


Wednesday, March 22, 2017

සමරිසියන්ගේ සන්තර්පනය පිණිස පන්සලට අවලාද නැගීම...!

සමරිසි කියන වචනයම සිංහල බසට අළුත් වචනයකි. අප පාසැල් කාලයේ හෝ ඉන් අනතුරුවත් මේ මෑතක් වන තුරු මෙවන් වදනක් ගැන අසා නොතිබුනි.

එහෙත් දැන් අපට ඒ ගැන කථා කිරීමට පොළඹවන සුලු පරිසරයක් හා බල කිරීමක් සිදුව ඇත.

මේ ගැන මා යමක් ලිවිය යුතුයැයි සිතුනේ කලක් තිස්සේ බ්ලොග් ලෝකයේ විවිධා කාරයෙන් මේ ගැන සාකච්චා වන අයුරු දැකීමෙන් හා මා බ්ලොග් ඇසුරට පත් වීමට පෙර සිටම, විවිධ ප්‍රවෘත්ති වෙබ් අඩවි තුලින් පවා මෙවන් මාතෘකාවක් දුටු සැනින් එයට පන්සල හා බුදු දහම ගාවා ගෙන කරන අසික්ශිත විවේචන  දැක ඇති නිසාවෙනි.

ඇත්තෙන්ම බුදු දහ්ම සමරිසි බව පිළිගන්නවාද? බැහැර කරනවාද?
බැහැර කිරීමක් හෝ අනුමත කිරීමක් සැබැවින්ම නැත. (ඇතැමෙක් එය බැහැර කිරීමක් ලෙසද තවකෙකු අනුමත කිරීමක් ලෙසද ගෙන වාද කිරීමට මෙයද හේතුවකි ),
සියළු ආකාර ලිංගික සන්තර්පනයන්, කායික ආශාවන් සැතපවීමකි. එය සම විශම යැයි බෙදා දැක්වීම හරසුන් ක්‍රියාවකි. ආශවන් සැතපවීමක් යනු සැතපවීමකි. බුදු දහම මගින් ලෝකෝත්තර සුවයක් සොයන්නන්හට මෙවන් වූ සියළු ආකාර සැතපවීම් වලින් මිදීමට උගන්වනු ලබයි. එසේනම් ගිහියන්හට?
ගිහියන්හට විඳිනා වූ සුවයක් තමාටත් අනුනටත් හානි නොවන පරිදි විඳීමටත්, කොයි ආකාර විඳීමක් වුව පමණ ඉක්මවා යාම නිසා පිරිහීමට හේතු වන බවත් කියා තමන්ට අවැසි ඉලක්කය කුමක්ද? ඒ අනුව හැසිරීමට මග කියා දී ඇත. කිසිදු තහනමක් හෝ වර්ග කිරීමක් ඇත්තේ නැත යැයි ඉඳුරා කිව හැකිය.

ගිහි උපාසකයින්හට බුදු හිමියන් පංචසීලයක් පිළිපැදීමට යෝජනා කරයි. උන් වහන්සේ එහි තෙවැනි සිල් පදය ලෙස කාමේසු මිච්චාචාරා යනුවෙන් සිල් පදයක්ද එක් කොට ඇත. මේ කථා කරන කාමය යනු ලිංගිකත්වයද?
මා හේතු යුක්තව එසේ නොසිතමි. කාම යන වදනට විව්ධ අරුත් ගැන්විය හැකි වුවත් දහම තුල එය භාවිතා වන්නේ ඉතා පුළුල් අරුතකිනි. දහමේහි එන කම සම්පත්තීන් යනු පංච ඉන්ද්‍රියයන් සැතපවීමෙහි මගයි. ඒ අනුව පංච කාමයම අදි පරිබෝජනය කිරීම, පමණ නොදැන ඇසුරු කිරීම නුසුදුසු ලෙස බුදු හිමියන් දක්වා ඇති ලෙස අපිට පිළිගත හැකිය.
මතුපිටින් ඉතා සරළ එහෙත් හරයෙන් බැලූ විට බුද්ධිමතාට ඉතා බරපතල මෙවන් වූ සීලයක් රැකීමට යෝජනා කරන බුදු හිමියන්, උන්වහන්සේගේ ශ්‍රාවක භික්ෂු පරපුර වෙත පැවතියේ කෙසේදැයි සොයා බැලීම ඉතා වටනේය.

කාමය හෝ ලිංගිකත්වය යන කරුණු භික්ෂු සංඝයා විශයෙහි බලනොපාන අත්ශයින්ම ග්‍රාම්‍ය වූ පුහුදුන් (පෘතග්ජන ) හැසිරීමකි. නිර්වාන මාර්ගය අයැද සියළු ගිහි සම්පත් හැර පියා සසුන් මගට පිවිසෙන පැවිද්දාට අමුතුවෙන් මෙවන් වූ ග්‍රාම්ය හැසිරීම් අයෝග්‍ය බව කීමට බුදු හිමියන් වෙර දරා නැත.
එහෙත් බුද්ධත්වයෙන් විසි වසරකට පසු උන්වහන්සේ ප්‍රාථිමෝක්ෂය (භික්ෂු සීලය ) දේශනා කිරීමේදී ඒ අවස්ථාවේ නොයෙක් ලාමක භික්ෂූන් අතින් මෙවන් වූ භික්ෂුත්වයට නොගැලපෙන ලාමක ක්‍රියා සිදුවීමට හා ඒවා බුදු හිමියන් වෙත වාර්ථා වීමට පටන් ගෙන තිබී ඇත.

එසේ වූ කල බුදු හිමියන් ඉතා පැහැදිලිවම විව්ධාකාරයෙන්, එකදු හිදැසක් නොතබා ස්ත්‍රී, පුරුශ, තිරිසන්, අමනුශ්‍යා ආදී ඕනෑම කොටසකට අයත් වන සත්ත්වයෙකු සමග පවත්වන ලිංගික ඇසුරක් පාරාජිකා අකුසලයක් ලෙස අරුත් ගන්වා ඇත. එසේ වූ කල යම් වූ පැවිද්දෙකු එවන් වූ ඇසුරක් පැවැත්වූයේද? ඔහු හෝ ඇය එසැනින් භික්ෂූත්වයෙන් පිරිහේ. තව දුරටත් භික්ෂුවක යන ආමන්ත්‍රනයට සුදුසු නොවේ. ගිහියන්ගෙන් වැඳුම් ලැබීමට සුදුසු නොවේ. යම් ස්ත්‍රී හෝ පුරුෂ පැවිද්දෙකු වින්දනයක් ලබන අරමුනින් ස්වයං හැසිරීමක නිරත් වූයේද? එය පාරාජිකාවක් නොවුනත් ඉතා බරපතල ඇවතකි. භික්ෂු සමූහයා අභිමුවෙහි පාපොච්චාරනයක් කොට නිවැරදි වන බවට සපත කොට නිවැරදි කර ගත යුතු ඇවැතකි.

දහම අනුව පංචස්කන්ධයකින් සැදි සත්ත්වයාගේ එම පංචස්කන්ධයම මොහොතින් මොහොත මැරෙමින් උපදින සංකල්පයකි.
සත්ත්වයා සත්ත්වයෙකු ලෙස හඳුනා ගන්නේ හා සත්ත්වයෙකුගේ පැවත්මක් අප දැක ගන්නේ හුදෙක්ම සත්ත්වයාගේ තුල ඇති මතකය හා පුරුදු හේතුවෙනි.
මතකය හා පුරුදු නොවුනා නම් සෑම සත්ත්වයෙකුම එක් මොහොතක පමණක් පවතින සංකල්පයකි.

විඳීම් වලදී සත්ත්වයා ඇබ්බැහි වලට යන්නේත්, එකම විඳීම නැවත නැවත සොයන්නේත් වරක් විඳි සත්ත්වයා මතකය ඇසුරින් විඳීම සැපවත් ලෙස ගැනීමත් එම විඳීම දැන් සිටින සත්ත්වයා විඳ නැති වීමත් නිසාවෙනි.

මේ තත්වය මත යමෙකු සමලිංගිකත්වය පන්සල හා ගලපා දැක්වීමට වෙර දැරීම හුදු මිත්‍යාවකි.
එහෙත් පන්සල් පරිසරය තුල සිටින සියළු භික්ෂූන් ප්‍රාථිමෝක්ෂය අකුරට සුරකින් සිල්වතුන් යැයි මා කිසි විට නොකියමි.
එසේනම්?
යම් කිසි භික්ෂුවක් පාරාජිකාවකට පැමිණ එය සඟවාගෙන වෙසෙයිද?
යම් කිසි භික්ෂුවක් වෙනත් අවශේස ඇවැතක් සඟවාගෙන වෙසෙයිද?
මෙවන් වූ පුද්ගලයෙකු නිසැකවම භික්ෂු ප්‍රථිරූපකයෙකි, හෙවත් භික්ෂුවක් ලෙස වෙස් ගෙන සිටිනා වූ මිනිසෙකි. එවන් වූ මුග්ද පුද්ගලයින් අද වන් සමාජයක ඕනෑ තරම් සිටිය හැකි වුවද, එය පාදක කොටගෙන භික්ෂූන් අවමානයට ලක් කිරීම නුසුදුසු ක්‍රියාවකි.
සියළු දුක් නසා නිවන් මගට පිවිසීමට වරම් ඉල්ලා පැවිදි දිවියට පිළිපන් භික්ෂුවකගෙන් එවන් වරදක් සිදු වනුයේම නැත.

ගිහි සමාජය තුල වෙසෙන නොයෙකුත් දෘශ්ටීන් දරන ලාමක මිනිසු තුල සම විශම ආදී නොයෙකුත් ආකාර පාංච කාම සම්පත්තීන් වීන්දීම් ඇත. එය ස්වභාවිකය. සත්ත්වයා විඳීම සැපයක් ලෙස ගැනීම සත්ත්ව ගතියකි. මිනිසාගේ සිට සිතුවිළි පහල කරනා වූ සෑම සත්ත්වයෙකුම මේ ලක්ෂණ පෙන්වති.
එහෙත් නිවන් අරමුණෙහි වෙසෙන භික්ෂුව එසේ නැත. !