Tuesday, March 28, 2017

ගන්ධබ්බයා කවුද?



ප්‍රකට බ්ලොග් රචක කොළඹ ගමයා හි අජිත් විසින් රචිත පුනර්භවය හා අන්තරාභවය ගැන ඔහු විසින් කරන ලද හැදෑරීමක් පදනම් වූ අන්තරා භවිකයෙකු ගැන කියැවුනු ලිපි පෙල තුල මා විසින් ඔහු හා වැඩිදුරට සාකච්චාවක යෙදුනි. එනමුත් මගේ දායකත්වය හිටි අඩියේ නවතා දැමීමට සිදු වීම නිසා ඒ මාතෘකාව ගැන මා දරන අදහස් මෙසේ සටහන් කොට තැබීම මැනැවැයි සිතුනු නිසා මේ ලිපිය සකස් කරමි.

පළමුවෙන්ම අපි මේ වචන පැහැදිලි කර ගත යුතුය
අන්තරාභවිකයා යනුවෙන් කීවිට එය ඉතා පැහැදිලිව භවයන් දෙකක් අතර සරන්නෙකු හෙවත්    භවයකින් නික්මුනු එහෙත් භවයක් නොලද්දෙකු වෙයි. එහෙත් මෙහි පුද්ගල භාවයක් පැහැදිලිවම කියැවෙන බව වටහා ගත යුතුය.
නොයෙකුත් පර්යේශණ මගින් ඇතැමුන් මේ අන්තරාභවිකයා සමග ගනුදෙනු කරනා බව සාක්ෂි සාධක සමග ඉදිරිපත් වෙයි.

දැනට අපි මේ සාකච්චාවට බඳුන් වන අන්තරාභවිකයා සතු පුද්ගල භාවය හෙවත් මතකයක් සහිත, සිතුවිළි පහල කරන, පුරුදු සහිත තත්වය පමණක් ධාරනය කර ගනිමු.

දැණ් ගන්ධබ්බයා යනු කවරෙකුදැයි විමසා බලමු.
ගන්ධබ්බ යන වදන ඉහතින් අර්ථ දැක්වූ අන්තරාභවිකයා යන සංකල්පය හා ගැලපෙන අරුතකින් මහායානයේ යෙදෙන බව බොහෝ තැන් වල මාද කියවා ඇත්තෙමි. එය පාදක කරගෙන අජිත් විසින් ඔහුගේ රචනා වලද මේ වචනය යොදාගෙන තිබුනි.
මෙය බුදු දහමේ කියැවෙන ආකාරය එය බව කියා පෑමට අජිත් විසින් මා හට ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා වල ද මේ ගන්ධබ්බ සංකල්පය කියැවෙන බව හා එයට උදාහරණ ලෙස මහා තණ්හාය සංඛය සූත්‍රය ද උපුටා දක්වන ලදී.

එහෙත් එම අදාල සූත්‍රයෙහි කියැවෙන "ගන්ධබ්බ" යන වදනින් ඉහත මා දක්වන ලද ආකාරයේ අන්තරාභවිකයෙකු අරුත් ගැන්වෙන්නේ කෙසේදැයි ඔහු පැහැදිලි කලේ නැත.

මෙය වදනක් නිවැරදිව අරුත් නොගන්වා දෙදෙනෙකු එකම වදනට අරුත් දෙකක් දරමින් කරනා ලද පුහු වාදයක් බවට පත් වූයේ මෙතැනිනි.

ගන්ධබ්බ යන වචනය මෙතැනින් ඉදිරියට භාවිතයට නොගත යුතු යැයි මා සිතමි ඒ වෙනුවට වඩා එකඟ විය හැකි යෙදුමක් වන අන්තරාභවිකයා යන යෙදුම මා භවිතා කරන්නට කැමැත්තෙමි.

අන්තරාභවයක් ගැන කථා කිරීමට අප භවය හඳුනා සිටිය යුතුය
භවය හඳුනා ගැනීමට සත්ත්වයා හඳුනා සිටිය යුතුය.
සත්ත්වයාගෙන් තොර වූ භවයක් ගැන කතා කිරීම අභව්ය කාරනයකි.

සත්ත්වයා යන සංකල්පය බුදු දහමෙහි හැඳින්වෙන්නේ ස්ඛන්ධයන් පහක එකතුවක් ලෙසිනි..
සෑම සත්ත්වයෙකුටම ස්ඛන්ද පහක්ම තිබිය යුතුද කිය එහිදී අතුරු පැනයක් පැන නැගුනු මුත් එය එසේම විය යුතුයැයි මා සිතමි.
මේ ස්ඛන්ධ පහ යනු
* සත්ත්වයාගේ සමස්ථ භෞතික ස්කන්ධය වූ රූපය.
(භෞතික වාදීව සිතන විට අපට සත්ත්වයා තුල හඳුනා ගත හැක්කේ මෙයම පමණි, ඉන් ඔබ්බෙහි කිසිවක් නැත )
* සත්ත්වයා පරිසරය හා ගැටීමේදී එයට දක්වන සංවේදී භාවය වන වේදනාව. (මෙය නාම ධර්මයක් හෙවත් නාමික වූ ස්ඛන්ධයකී,"සංකල්පයකි")
* තෙවැනි ස්ඛන්ධය වූ සංඤ්ඤාවෙහි පවතිනුයේ වේදනාවන් තුල ඇති පණිවුඩයයි. එය සත්ත්වයාගේ මතකය හා බැඳී පවතින්නකි. සත්ත්වයා සතු ඉගෙනුම නැමති හැකියාවද මෙයයි. (මෙයද නාම ධර්මයකි )
* සංඛාරය යනුවෙන් හඳුන්වන සිව්වැනි ස්ඛන්දය විසින් කියැවෙන්නේ විවිධ වූ සංඤ්ඤා එක් කර ඒවා ඇසුරින් වඩා සංකීර්ණ වූ සංකල්පයන් ගොඩනගා ගැනීමයි. අප අවට ඇති පරිසරය අනුව අප සිටින ස්ථානය ගැන අදහසක් ඇති කර ගැනීම වැනි.
* මේ සියල්ලට අමතරව ඇත්තේ විඤ්ඤානය යන පස් වැනි ස්ඛන්ධයයි. මෙය බොහෝ දෙනා ආත්මය වැනි පවතින සංකල්පයක් ලෙස වරදවා වටහාගැනීමක් කර ඇත. එසේම මරණයෙන් පසු  නැවත උපතක් සඳහා මියගිය තැනැත්තාගේ සිට අළුත් සත්ත්වයාගේ සිරුරට ඇතුළුවන ඒකකයක් ලෙසද වරදවා වටහා ගනිති.
එහෙත් ඇත්තෙන්ම විඤ්ඤානය යනු යම් කිසි වේදනාවකට යාවන සංඤ්ඤාව පදනම්ව ගොඩනැගෙන සංස්ඛාරය හඳුනා ගැනීමයි.

මෙය දහමෙහි ඉගැන්වෙන අයුරු ඉතාම කෙටි ක්ෂණයක් තුලදී යම් කිසි එක් සංස්ඛාරයක් හඳුනා ගැනීමෙන් කෙළවර වේ. එහෙත් අඛන්ඩව එකක් පසු පස එකක් ලෙසින් විඤ්ඤානයන් බිහි වෙමින් අනන්ත සංඛ්‍යාවක් වූ සංස්ඛාරයන් හඳුනා ගනියි.
මෙය අඛන්ඩ ක්‍රියාවලියකි..

ඒ අනුව දැන් අප සොයා බැලිය යුත්තේ සත්ත්වයා යනුවෙන් පවතින්නේ කුමක්ද යන්නයි.
රූපය යන සංකල්පය අද වන විට නූතන විද්‍යාවන්ගෙන්ද මනාව පැහැදිලි කල හැකි නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින් සංකල්පයකි. සිරුර සැදී ඇති පදනම රසායනික පරමාණු ලෙස ගත හොත්, කිසිදු පරමාණුවකට එහි උප පරමානුක අංශුන් ස්ථාවර නැති නිසා මෙය නිරන්තරවම වෙනස් වෙමින් පවතින එකම සැකිල්ලක් බව වටහා ගත හැකිය.

සියළු නාම ස්ඛන්ධයන් යනු රූපය මත ඇති වන භාහිර බල පෑම් නිසා ක්ෂනයක් පිණිස හටගෙන වියැකී යන නාමික සංකල්පයන්ය. එසේ වූ කල සත්ත්වයා යනුවෙන් වූ පවතින සංකල්පය කුමක්දැයි සිතා බැලිය යුතු වේ.

මේ මොහොතේ පවතින සත්ත්වයා යනු මේ මොහොතේ ඇති යම් කිසි සංස්ඛාරයක් විඤ්ඤානය කරන හා ඊට අනුරූප වූ සිතුවිල්ලක් පහල කරන පෙර විඤ්ඤානය මරා දමා සිතුවිල්ලට අනුරූප විඤ්ඤානයකින් සිතුවිල්ල ග්‍රහනය කරගන්නා සංකල්පයකි.
ඒ අනුව සත්ත්වයා යනු හුදු වර්ථමානයම (ක්ෂ්ණයක් පමණවත් නැති මේ දැන් පමණක්ම ) බව වටහා ගත හැකිය.

සත්ත්වයා තුළ ඇති පැවැත්මක් ලෙස අප වරදවා ගන්නේ මතකයයි. මතකයට අමතරව පුරුදු නම් වූ තවත් කොටසක් ඇත. සත්ත්වයෙකු තුල පුද්ගල භාවයක් හට ගනුයේ මේ ආකාර වූ මතකය හා පුරුදු නිසාවෙනි.

යම් කිසි පුද්ගලයෙකු තුල මතකය හා පුරුදු නොරැඳේද, ඔහු තුළ පැවතිය හැකි පුද්ගල භාවය කුමක්ද? එවන් වූ සත්ත්වයෙකු ක්ෂනයක් පාසා වෙනස් වන කිසිදු පැවැත්මක් නැති එකෙකු බව වැටහෙනු ඇත.

ඒ අනුව කුඩා කල සිටි මා දැන් සිටින මා නොවේයැයි කියන කියමන් වඩා හොඳින් වැටහෙනු ඇත. කුඩා කල සිටි මා හා දැන් සිටින මා අතර වූ එකම සම්බන්ධය නම් මතකය හා පුරුදු පම්ණි.
එසේනම් මේ දැන් සිටින මාද මීට මොහොතකට පෙර සිටි මාගේ මරණයෙන් පසු පැවැත්මයි.

දැන් අපි නැවත අන්තරාභවිකයා කෙරෙහි එලැඹීමට පෙර, භවය හඳුනා ගනිමු.
භවය යන සංකල්පය වඩා හොඳින් පැහැදිලි කෙරෙන්නේ පටිච්ච සමුප්පාදය තුලිනි.
ඒ කෙසේද යත්. (පටිච්ච සමුප්පාදයෙන් අවශ්‍ය කොටස පමණක් උපුටා දක්වමි.)

වේදනා පච්චයා තණ්හා
තණ්හා පච්චයා උපාදානං
උපාදාන පච්චයා භව
භව පච්චයා ජාති

එනම්
වේදනාව (අප ඉහතින සාකහ්චා කල ) නිසා තණ්හාව ඇති වේ,
තණ්හාව නිසා උපාදානය ඇතිවේ (දැඩිව අල්වා ගැනීම / ග්‍රහනයට ගැනීම )
උපාදානය නිසා භවය (පැවැත්ම ) ඇති වේ.
භවය (පැවැත්ම ) නිසා ජාතිය (උපත ) ඇති වේ.

මේ අනුව භවය යනු උපාධානය නිසාම හටගන්න දෙයක් ලෙස දහමෙහි ඉගැන්වේ. ඒ කෙසේදැයි බැලුවහොත්, එක් සංස්කාරයක් ග්‍රහණය කරගන්නා සත්ත්වයා එය අත් හරින්නේ තවත් සංස්ඛාරයක් ග්‍රහණය කර ගනිමිනි. මේ ආකාරයෙන් සත්ත්ව විඤ්ඤානය ක්ෂනයක් පාසා එකක් හැර අනෙකක් ලෙස උපාදානය කිරීම නිසා සත්ත්වයාට භවය හෙවත් පැවැත්මක් පිළිබඳ සංකල්පය ඇති වේ. (මේ භවය යනු කාලයට සමාන වදනක් ලෙස මා ඇතැම් විට දකිමි ඒ ගැන වැඩි දුරට විස්තර කීරීම දැනට අපහසුය )

දැන් අපි අන්තරාභවිකයා දෙසට හැරෙමු.

මෙතැනදී භවය යන්නට වෙනත් අරුතක් දෙන බව දැකිය හැකිය.
එනම් මෙහිදී සත්ත්වයාගේ එක් භෞතික ජීවිතයක් (මවු කුසක පිළිසිඳීමේ සිට මරණය දක්වා ) භවයක් ලෙස සැලකෙයි. මෙය අපි පොදු වහරේදී පෙර භවය, මේ භවය, මතු භවය ආදී ලෙසින් භාවිත වේ. මේ අදහස හුදෙක්ම පෙර ආත්මය මේ ආත්මය ආදී වශයෙන් යෙදෙන විට අදහස් කරන ආත්මය යන සංකල්පයට සමාන වෙයි. මෙය බුද්ධ කාලයට පසු වෙනත් මත වාද නිසා ගොඩ නැගුනක් විය හැකිය. මෙය මාගෙ උපකලපනයක් පමණි.
මේ අරුතින් භවය ගත් කල මේ භවයෙන් නික්මෙන සත්ත්වයා හට මීලඟ භවයකට පිවිසීමට සිදු වේ.
එසේ වූ කල එයාකාර වූ භව දෙකක් අතර හිදැසක් (යම් කිසි කාලයක් ඇතැයි සිතීම මෙවන් මතවාද බිහි වීමට හේතුවයි.
දැන් අපි භවයන් දෙකක් අතර තත්වයක් ගැන සිතමු.
එක් භවයකින් නික්මෙන සත්ත්වයෙකු (නික්මෙන්නෙ කුමක්දැයි මට වටහා ගත නොහැකිය ) වෙනත් භවයකට පිවිසීමට පෙර තත්වයක් ලෙස මෙය වටහා ගත යුතුය. දැන් මෙතැන සත්ත්වයා වෙනත් භවයකට පිවිස නැති නිසා එතැන සත්ත්වයෙකු නැත. එනම් රූපයක් නැත, රූපයක් නැති තැන වේදනා ලැබීමට පරිසරය හා ගැටෙන්නට දෙයක් නැත, වේදනා නැති කල සංඤ්ඤා නූපදී, සංඤ්ඤා නොමැති කල සංස්ඛාරයන් උපදින්නට ද බැරිය. එසේ වූ කල විඤ්ඤානයක් හට ගන්නේ කුමක් අරභයාද? එයත් විය නොහැකිය.
මේ සියල්ල එසේ නම් භවයකින් තොරව වෙසෙන අවස්ථාවක, එහි සිතුවිලි පහල කරන්නේ කවුරුන්ද? මෙය සමස්ථයක් ලෙසම අභව්ය කථාන්දරයකි.
එසේ මරණින් පසු කෙනෙකු සිතුවිළි පහල කරයිනම්, මතකය දරයි නම් එතන භවයක් ඇත. එනම් මේ භවය යනු උපතක සිට මරනය දක්වා කාලය යන සංකල්පය තුල මේ භවිකයෙකු මිස අන්තරා භවිකයෙකු නොවිය යුතුය.

බුදු දහමේ උගන්වන පුණර්භවය යනු මරණින් පසු උපත හෙවත් පුණරුත්පත්තියට යෙදෙන වෙනස් වූ නමක් නොවන්නේය. පුණර් භවය යනු අර්ත දැක්විය යුත්තේ පුණර්(නැවත නැවතත්  ) භවය (පැවතීම ) යනුවෙනි. එනම් සත්ත්වයා තුල තෘශ්නාව උපාධානය කිරීම පවතින තාක් සත්ත්වයා විසින් භවය තනමින් පවතියි. එය නැවත නැවතත් කරමින් පැවතීම මරණය හා සම්බන්ධ නොවෙයි. සත්ත්වයා එක් උපතක සිට මරණය අතර තුරද නිරන්තරයෙන් පුණර් භවයට මුහුණ දෙන අතර එය හුදු භෞතික මරණයකින් කෙලෙවර නොවේ. එය අඛණ්ඩ වූ ක්‍රියා දාමයකි. සත්ත්වයා නිරතුරුව පුණර්භවයක් ලබන නිසාවෙන්ම අන්තර භවිකයෙකු ගැන කථා කීරීම නිශ්පලය.

අවසානයේ සූත්‍ර දේශ්නා වල එන "ගන්ධබ්බයා" අන්තරාභවිකයෙකු නොවේ යැයි මා වටහා ගනිමි.

මේ ලිපිය ඔස්සේ මා ප්‍රකාශ කරන්නේ මා වටහා ගන්නා ආකාරය මිස අනෙකුන් එසේ වටහා ගත යුතු බවක් නොවනා වග අවධාරණය කර සිටිමි.


Wednesday, March 22, 2017

සමරිසියන්ගේ සන්තර්පනය පිණිස පන්සලට අවලාද නැගීම...!

සමරිසි කියන වචනයම සිංහල බසට අළුත් වචනයකි. අප පාසැල් කාලයේ හෝ ඉන් අනතුරුවත් මේ මෑතක් වන තුරු මෙවන් වදනක් ගැන අසා නොතිබුනි.

එහෙත් දැන් අපට ඒ ගැන කථා කිරීමට පොළඹවන සුලු පරිසරයක් හා බල කිරීමක් සිදුව ඇත.

මේ ගැන මා යමක් ලිවිය යුතුයැයි සිතුනේ කලක් තිස්සේ බ්ලොග් ලෝකයේ විවිධා කාරයෙන් මේ ගැන සාකච්චා වන අයුරු දැකීමෙන් හා මා බ්ලොග් ඇසුරට පත් වීමට පෙර සිටම, විවිධ ප්‍රවෘත්ති වෙබ් අඩවි තුලින් පවා මෙවන් මාතෘකාවක් දුටු සැනින් එයට පන්සල හා බුදු දහම ගාවා ගෙන කරන අසික්ශිත විවේචන  දැක ඇති නිසාවෙනි.

ඇත්තෙන්ම බුදු දහ්ම සමරිසි බව පිළිගන්නවාද? බැහැර කරනවාද?
බැහැර කිරීමක් හෝ අනුමත කිරීමක් සැබැවින්ම නැත. (ඇතැමෙක් එය බැහැර කිරීමක් ලෙසද තවකෙකු අනුමත කිරීමක් ලෙසද ගෙන වාද කිරීමට මෙයද හේතුවකි ),
සියළු ආකාර ලිංගික සන්තර්පනයන්, කායික ආශාවන් සැතපවීමකි. එය සම විශම යැයි බෙදා දැක්වීම හරසුන් ක්‍රියාවකි. ආශවන් සැතපවීමක් යනු සැතපවීමකි. බුදු දහම මගින් ලෝකෝත්තර සුවයක් සොයන්නන්හට මෙවන් වූ සියළු ආකාර සැතපවීම් වලින් මිදීමට උගන්වනු ලබයි. එසේනම් ගිහියන්හට?
ගිහියන්හට විඳිනා වූ සුවයක් තමාටත් අනුනටත් හානි නොවන පරිදි විඳීමටත්, කොයි ආකාර විඳීමක් වුව පමණ ඉක්මවා යාම නිසා පිරිහීමට හේතු වන බවත් කියා තමන්ට අවැසි ඉලක්කය කුමක්ද? ඒ අනුව හැසිරීමට මග කියා දී ඇත. කිසිදු තහනමක් හෝ වර්ග කිරීමක් ඇත්තේ නැත යැයි ඉඳුරා කිව හැකිය.

ගිහි උපාසකයින්හට බුදු හිමියන් පංචසීලයක් පිළිපැදීමට යෝජනා කරයි. උන් වහන්සේ එහි තෙවැනි සිල් පදය ලෙස කාමේසු මිච්චාචාරා යනුවෙන් සිල් පදයක්ද එක් කොට ඇත. මේ කථා කරන කාමය යනු ලිංගිකත්වයද?
මා හේතු යුක්තව එසේ නොසිතමි. කාම යන වදනට විව්ධ අරුත් ගැන්විය හැකි වුවත් දහම තුල එය භාවිතා වන්නේ ඉතා පුළුල් අරුතකිනි. දහමේහි එන කම සම්පත්තීන් යනු පංච ඉන්ද්‍රියයන් සැතපවීමෙහි මගයි. ඒ අනුව පංච කාමයම අදි පරිබෝජනය කිරීම, පමණ නොදැන ඇසුරු කිරීම නුසුදුසු ලෙස බුදු හිමියන් දක්වා ඇති ලෙස අපිට පිළිගත හැකිය.
මතුපිටින් ඉතා සරළ එහෙත් හරයෙන් බැලූ විට බුද්ධිමතාට ඉතා බරපතල මෙවන් වූ සීලයක් රැකීමට යෝජනා කරන බුදු හිමියන්, උන්වහන්සේගේ ශ්‍රාවක භික්ෂු පරපුර වෙත පැවතියේ කෙසේදැයි සොයා බැලීම ඉතා වටනේය.

කාමය හෝ ලිංගිකත්වය යන කරුණු භික්ෂු සංඝයා විශයෙහි බලනොපාන අත්ශයින්ම ග්‍රාම්‍ය වූ පුහුදුන් (පෘතග්ජන ) හැසිරීමකි. නිර්වාන මාර්ගය අයැද සියළු ගිහි සම්පත් හැර පියා සසුන් මගට පිවිසෙන පැවිද්දාට අමුතුවෙන් මෙවන් වූ ග්‍රාම්ය හැසිරීම් අයෝග්‍ය බව කීමට බුදු හිමියන් වෙර දරා නැත.
එහෙත් බුද්ධත්වයෙන් විසි වසරකට පසු උන්වහන්සේ ප්‍රාථිමෝක්ෂය (භික්ෂු සීලය ) දේශනා කිරීමේදී ඒ අවස්ථාවේ නොයෙක් ලාමක භික්ෂූන් අතින් මෙවන් වූ භික්ෂුත්වයට නොගැලපෙන ලාමක ක්‍රියා සිදුවීමට හා ඒවා බුදු හිමියන් වෙත වාර්ථා වීමට පටන් ගෙන තිබී ඇත.

එසේ වූ කල බුදු හිමියන් ඉතා පැහැදිලිවම විව්ධාකාරයෙන්, එකදු හිදැසක් නොතබා ස්ත්‍රී, පුරුශ, තිරිසන්, අමනුශ්‍යා ආදී ඕනෑම කොටසකට අයත් වන සත්ත්වයෙකු සමග පවත්වන ලිංගික ඇසුරක් පාරාජිකා අකුසලයක් ලෙස අරුත් ගන්වා ඇත. එසේ වූ කල යම් වූ පැවිද්දෙකු එවන් වූ ඇසුරක් පැවැත්වූයේද? ඔහු හෝ ඇය එසැනින් භික්ෂූත්වයෙන් පිරිහේ. තව දුරටත් භික්ෂුවක යන ආමන්ත්‍රනයට සුදුසු නොවේ. ගිහියන්ගෙන් වැඳුම් ලැබීමට සුදුසු නොවේ. යම් ස්ත්‍රී හෝ පුරුෂ පැවිද්දෙකු වින්දනයක් ලබන අරමුනින් ස්වයං හැසිරීමක නිරත් වූයේද? එය පාරාජිකාවක් නොවුනත් ඉතා බරපතල ඇවතකි. භික්ෂු සමූහයා අභිමුවෙහි පාපොච්චාරනයක් කොට නිවැරදි වන බවට සපත කොට නිවැරදි කර ගත යුතු ඇවැතකි.

දහම අනුව පංචස්කන්ධයකින් සැදි සත්ත්වයාගේ එම පංචස්කන්ධයම මොහොතින් මොහොත මැරෙමින් උපදින සංකල්පයකි.
සත්ත්වයා සත්ත්වයෙකු ලෙස හඳුනා ගන්නේ හා සත්ත්වයෙකුගේ පැවත්මක් අප දැක ගන්නේ හුදෙක්ම සත්ත්වයාගේ තුල ඇති මතකය හා පුරුදු හේතුවෙනි.
මතකය හා පුරුදු නොවුනා නම් සෑම සත්ත්වයෙකුම එක් මොහොතක පමණක් පවතින සංකල්පයකි.

විඳීම් වලදී සත්ත්වයා ඇබ්බැහි වලට යන්නේත්, එකම විඳීම නැවත නැවත සොයන්නේත් වරක් විඳි සත්ත්වයා මතකය ඇසුරින් විඳීම සැපවත් ලෙස ගැනීමත් එම විඳීම දැන් සිටින සත්ත්වයා විඳ නැති වීමත් නිසාවෙනි.

මේ තත්වය මත යමෙකු සමලිංගිකත්වය පන්සල හා ගලපා දැක්වීමට වෙර දැරීම හුදු මිත්‍යාවකි.
එහෙත් පන්සල් පරිසරය තුල සිටින සියළු භික්ෂූන් ප්‍රාථිමෝක්ෂය අකුරට සුරකින් සිල්වතුන් යැයි මා කිසි විට නොකියමි.
එසේනම්?
යම් කිසි භික්ෂුවක් පාරාජිකාවකට පැමිණ එය සඟවාගෙන වෙසෙයිද?
යම් කිසි භික්ෂුවක් වෙනත් අවශේස ඇවැතක් සඟවාගෙන වෙසෙයිද?
මෙවන් වූ පුද්ගලයෙකු නිසැකවම භික්ෂු ප්‍රථිරූපකයෙකි, හෙවත් භික්ෂුවක් ලෙස වෙස් ගෙන සිටිනා වූ මිනිසෙකි. එවන් වූ මුග්ද පුද්ගලයින් අද වන් සමාජයක ඕනෑ තරම් සිටිය හැකි වුවද, එය පාදක කොටගෙන භික්ෂූන් අවමානයට ලක් කිරීම නුසුදුසු ක්‍රියාවකි.
සියළු දුක් නසා නිවන් මගට පිවිසීමට වරම් ඉල්ලා පැවිදි දිවියට පිළිපන් භික්ෂුවකගෙන් එවන් වරදක් සිදු වනුයේම නැත.

ගිහි සමාජය තුල වෙසෙන නොයෙකුත් දෘශ්ටීන් දරන ලාමක මිනිසු තුල සම විශම ආදී නොයෙකුත් ආකාර පාංච කාම සම්පත්තීන් වීන්දීම් ඇත. එය ස්වභාවිකය. සත්ත්වයා විඳීම සැපයක් ලෙස ගැනීම සත්ත්ව ගතියකි. මිනිසාගේ සිට සිතුවිළි පහල කරනා වූ සෑම සත්ත්වයෙකුම මේ ලක්ෂණ පෙන්වති.
එහෙත් නිවන් අරමුණෙහි වෙසෙන භික්ෂුව එසේ නැත. !



Tuesday, September 6, 2016

කසාද මිනිහට අයිතියක් නැද්ද ගෑනිට වෙඩි තියන්න !

කසාද මිනිහට අයිතියක් නැද්ද ගෑනිට වෙඩි තියන්න !

මෑත කාලයේ ජනමාධ්‍ය වල බොහෝ සාකච්චාවට ලක් වුනු සැමියෙකු විසින් තම බිරිඳට වෙඩි තබා මරා දැමීමට තැත් කිරීමේ  කාරනය තුලින් මට වෙනස් කථාවක් මතක් වුනා. මේක මීට අවුරුදු 15 කට විතර කලින් මම මුහුන දුන් අත්දැකීමක්.

එවකට මා රාජකාරි කල පෞද්ගලික ආයතනයේ මගේ ලේකම්වරිය ලෙස සේවය කල තරුණිය එවකට තම විවාහයෙන් වෙන්ව මව සමග ජීවත් වූ තැනැත්තියක්. ඉතා කාර්‍ය ශූර තරුණියක වූ ඇයගේ පෞද්ගලික ජීවිතය ගැන මා ඊට වඩා යමක් දැන සිටියේ නැහැ.
ඉතා කැපවීමෙන් තම රාජකාරි ඉටුකල ඇය, දිනපතාම මෙන් රැකියාවට පැමිණියේ මාගේ අංශයේම සෙවය කල අලෙවි නිළධාරියෙකුගේ රාජකාරි රථයෙන් ඔහු හා අසල කාර්‍යාලයක සේවය කල ඔහුගේ බිරිඳද සමගින්.

එක් දිනක් උදයේ මා අසුනේ රැඳී සිටියදී හදිසියෙන් මෙන් දුවගෙන ආ පෙර කී අලෙවි නිළධාරියා සියල්ලන් තැති ගන්වන පුවතක් කියා සිටියා. ඔහු සුපුරුදු පරිදි ඔහුගේ බිරිඳ කාර්‍යාලය අසලින් බස්සවා අපගේ කාර්‍යාලය ඉදිරියෙන් ලේකම් වරිය බස්සවා රතය අයිනට කර නවත්වනවාත් සමගම අසල නවතා තිබූ ත්‍රීරෝද රියකින් ඉදිරියට පැමිණි තරුණයන් තිදෙනෙක් අර ලේකම්වරිය බලහත්කාරයෙන් ඇද ත්‍රිරෝද රියට දමාගෙන පලා ගොස් ඇත.
වාසනාවකට මගේ අලෙවි නිලධාරියා ඒ තිදෙනා අතර සිටි ඇයගේ වෙන්ව සිටින සැමියා හඳුනාගෙන ඇත.

ඒ අවස්ථාවේ මාගේ උපදෙස් මත වහාම මා ඇයව රැගෙන පැමිණි අය හා තවත් අලෙවිඅංශයේ තරුණයෙකු ආසන්නම පොලිස් ස්ථානය වෙත පිටත් කර හැරියේ රැගෙන පැමිණි අයගේත් පැහැර ගැනීමට ලක් වූ තරුණියගේත් ආරක්ශාව වෙනුවෙනුයි.
ඔවුන් ගොස් පොලීසියට මෙය පැමිණිලු කල විට පොලීසිය අසා ඇත්තේ රැගෙන ගියේ සැමියා විසින් බව හඳුනා ගත්තාද යනුයි.
ඒ සැමියා බව පැවසූ විට එසේනම් අපිට කරන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ටත් ප්‍රශ්ණයක් නැහැ ඒගොල්ලන්ගේ පවුලේ ප්‍රශ්ණය ඒගොල්ලෝ බේරාගනියි කියා පැමිනිලි කිරීමට ගිය පිරිස හරවා එවා තිබුනා.

කිරීමට කිසිවක් නොවුනු හා එකට රාජකාරි කල මිතුරියකගේ හදිසි ආපදාවෙන් කැලැඹුනු ආයතනයේ පිරිස ලෙස වහාම මේ ගැන ඇයගේ මවට හා ඤාතීන්ට දැනුම් දී ඔවුන්ව පැහැරගැනුම සිදුවූ ප්‍රදේශයට අයත් පොලිස් ස්ථානයට යොමු කිරීමට කටයුතු කළා.

මේ තරුණිය සැමියාගෙන් වෙන්වීමට නීත්‍යානුකූලව කටයුතු කරමින් සිටි බවත්, පැහැර ගැනුම කල සැමියා කිසියම් වූ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වූ කාලකන්නියෙකු බවත් ඇයගේ ඤාතීන්ගෙන් අප පිරිස පසුව දැනගෙන තිබුනා.

මේ සමස්ථ සිදුවීම අප සමාජයේ එදිනෙදා සිදුවන දහසකුත් එකක් පවුල් ආරවුල් සමග බැලීමේදී හුදු තවත් එක් සිදුවීමක් මිස කථා කිරීමට තරම් වූ වැදගත් සිදු වීමක් නොවෙයි.
එහෙත් අදටත් මේ සිදුවීම මගේ මනසේ රැඳී පවතින්නේ එකම එක හේතුවක් නිසයි. ඒ අදාල අවස්තාවේ පොලීසියේ හැසිරීම හා එම තරුණිය මිහුණ දුන් අති භයංකාර අනාරක්ෂිත තත්වය.
ඇය කෙරෙහි ද්වේශයෙන් ඊර්ශ්‍යාවෙන් හා ක්‍රෝදයෙන් පසුවූ සමාජ තත්වය අතින් ඇයට නොගැලපෙන එම අවාසනාවන්ත මිනිසා ඇයගේ ජීවිතයට අනතුරක් කලා නම්, ඇයට ඇසිඩ් ප්‍රහාරයකින් වැනි යමකින් හානි කලානම්, දරුනු ලෙස වදදී අඩන්තේට්ටම් කලා නම්,  යම් අයුරකින් ඇය හා මේ උන්මත්තකයා ලිංගික ඇසුරක් ඇවැත්වූවා නම්, ඔහු වසර ගනනාවක් ඇගෙන් වෙන්ව සිටීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්වය කෙබඳු විය හැකිද එයින් ඇයට ඇති වන සෞඛ්‍යමය අවධානම කොතෙක්ද? එය සාපරාධී ස්ත්‍රී දූශනයක් නොවන්නේද?
එවැනි අවධානමකින් ගැලවීමට ඇයට පුද්ගලයෙකු සතු අයිතියක් නොවන්නේද?
ඇයගේ ඉච්චාවෙන් තොර බලහත් කාරයක් හමුවේ ඇයගේ අයිතීන් හා ජීවිතය ආරක්ශා කර දීම පොලීසිය සතු වගකීමක් නොවන්නේද?

අදාල දිනයේ ඇගේ අරමුණ වූ රැකියාවට වාර්තා කිරීම බලහත්කාරයෙන් වැලකීමට අදාල දිනය වනවිටත් නීතියෙන් අවලංගු නොවූ සැමියා වූ පමණින් ඔහු සතු බලයක් වෙත්ද?
පොලීසිය ගරු කලේ එවන් වූ අයිතියකටද?

පුද්ගලයෙකු තමන්ගේ ඉච්චාවෙන් තොරව බලහත්කාරයෙන් රැගෙන යාමට හා රඳවා තබා ගැනීමට විවාහ නීතිය බලය සපයන්නේද?
එය එසේනම්
ගැහැණිය යනු අපේ නීතියට අනුවත් සැමෙයාගේ යටතේ ජීවත් වන දෙවැනි අන්තියේ පුරවැසියෙකු විය යුතුයි නේද?

අද වන විට සමාජය අස්වාභාවික ලිංගික රුචියන් ඇති පුද්ගලයින්ගේ අයිතීන් ගැන පවා කථා කරති. එහෙත් සැබැවින්ම ගැහැණිය සතුව නීතිමය ආරක්ෂාවක් වෙත්ද?

තත්වය එබඳු නම් කසාද මිණිහා ගෑනිට වෙඩි තිබ්බාම මොකද?



Thursday, August 25, 2016

බස් ගැමුණු හා පෞද්ගලික අධ්‍යාපනය



දින කිහිපයකට පෙර රත්නපුර ප්‍රදේශයේදී පැවති සයිටම් දෙමාපිය සංසදය මෙහෙයවූ සාකච්චා සභාවක හටගත් අනුමත කල නොහැකි ගැටුම්කාරී තත්වය මේ ප්‍රශ්ණය තවත් ව්‍යාකූල කල බවක් පෙනේ.

බස් හිමියන්ගේ අයිතිවාසි කම් වෙනුවෙන් පෙනී සිටීම ගැන ප්‍රසිද්දියක් උසුලන ගැමුණු විජරත්න මහතා සයිටම් දෙමාපිය සංසදයේ සභාපති ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටීම මෙම සිදු වීමෙහි එක් ප්‍රධාන ප්‍රථිපලයක් වී ඇත.  මෙම සිදුවීම සමාජයීය වශයෙන් බලපාන්නේ කෙසේද යන්න වෙනමම සාකච්චා කල යුතු තත්වයකි. මේ කාරනය පෞද්ගලික අධ්‍යාපනයට ධනාත්මකව මෙන්ම ඍනාත්මකවද බලපෑමක් වී ඇත.

එදින සිදු වූයේ කුමක්දැයි අපට තවමත් ජන මාධ්‍යය ඔස්සේ පැහැදිලි චිත්‍රයක් ලැබී නැත.
එහෙත් දැනගන්නට ඇති කරුනු අනුව (රූපවාහිනී මාධ්‍යයේ ප්‍රවෘත්ති හා වෙබ් අඩවි වාර්ථා ) එදින සයිටම් දෙමාපිය සංසදය නම් වූ සංවිධානයක් මගින් සමාජය දැනුවත් කිරීමේ කථිකාවතක් රත්නපුරයේදී පවත්වා ඇත. මෙයට සහභාගී වූවෝ ආරාධිතයන්ද? නැතහොත් එය විවෘත්ත සාකච්චාවක්ද යන්නත් පැහැදිලි නැත.

කෙසේ වෙතත් එයට සහභාගී වී ඇති පිරිස අසාමාන්‍ය බවක් පෙනේ.
එහිදී කථිකයන් ලෙස සයිටම් දමාපිය සංසදයේ සාමාජිකයින්ට පරිභාහිරව දබර අමිල නම් විශ්ව විද්‍යාල ආචාර්‍ය ප්‍රභල දේශපාලන ක්‍රියාධර ස්වාමීන් වහන්සේද, පුරවැසි බලය සංවිධානයේ ප්‍රධානීන්ද සහභාගී වූ බව පෙනේ.
එසේම මෙහි සභාවෙහි දෙමාපිය සංසදයෙහි සාමාජිකයයින් හා අන්තරයේ හෝ කුරුට්ටන් හෝ අන් යම් කණ්ඩායමක් නියෝජනය කරන සබරගමු වි.වි සිසුන්ද  සිට ඇත. ඔවුන් ආරාධිතයන් වූවාද අනාරාධිතවම පැමින සහභාගී වූවාද යන්න පැහැදිලි නැත.

සිදුවීම උද්ගත වී ඇත්තේ දඹර අමිල ස්වාමීන් වහන්සේගේ කථාව අවසානයත් සමගය. එහිදී නැගී සිටින සිසුවෙකු සභාව නොතකා තමන් සභා මධ්‍යයෙහි සිට කථාවක් පැවැත්වීමට පටන් ගනී. ඒ සමගම උරණ වන දෙමාපියන් මේ තරුණයා හා ඔහුගේ සගයා හෝ සගයන් සභාවෙන් වහාම ඉවත් කර දමයි.
මෙහිදි අප බැලිය යුතු කාරනා කිහිපයක් ඇත.
ඔවුන් කඩාකප්පල් කිරීමට දැඹර අමිල හිමියන්ගේ කථාව වසන් වනතුරු සිටියේ මන්ද?
එය කිසියම් පූර්ව සැලැස්මක්ද?
එසේ අනපේක්ශිතව සිදු වූ කඩාකප්පල් කිරීම මත සයිටම් දෙමා පියන් එතරම් කලබල වූයේ මන්ද?
වැඩිහිටියන් ලෙස ඔවුන්හට එය වඩා සාමකාමී ලෙස කර ගැනීමට ඉඩක් නොවුනිද?
වි වි සිසුන් සාමකාමිව මෙහෙයවීම කල නොහැකකැයි යමෙකු කීවොත් එය පූර්වාදර්ශ සහිතව විවි සිසුන් විසින්ම සනාත කොට ඇත්තකි.
කරුණු කෙසේ පෙල ගැසුනද දෙමාපියන්ගේ හැසිරීම එතරම් දැඩි හා කලබල කාරී වීම අනුමත කල නොහැක්කකි.

මේ සාකච්චාව අවසන නටපු නැතුමකුත් නැත බෙරේ පළුවකුත් නැත කීවාක් මෙන් සියල්ල උඩු යටිකුරු වී ඇත.

රටේ සමස්ථ සිසු ප්‍රජාව වෙනුවෙන් සියළු පුද්ගලයින්හට එක් එක් බමුණු කුල වල අන පනත් වලට යටත් නොවී නිදහසේ තමන් කැමැති විෂය ධාරාවක් ඔස්සේ උසස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු විය යුතුය. දුප්පත් දක්ෂ සිසුවාට දුප්පත් කම භාධාවක් කර නොගෙන ශිශ්‍යත්වයකින් හෝ බැංකු මූල‍ය ප්‍රථිපාදන හරහා හෝ තම ඉම් සොයා යාමට ඉඩ හසර විවෘත්ත විය යුතුය.

දැනට වැඩිම අභියෝගයට ලක් වී ඇති සයිටම් ආයතනයේ දෙමාපිය සංගම් මේ ජාතික ප්‍රශ්ණය කථිකාවක් බවට පත් කිරීමට උත්සහ දරන්නේ නම් එය ඉතා යහපත් ක්‍රියාවකි. එහෙත් එය දැඩි හික්මීමකින් හා අවබෝධයකින් කල යුත්තකි.
දැලි පිහියෙන් කිරිකෑමක් සේ ප්‍රවේසමෙන් කල යුත්තකි.
ආණ්ඩුවට තග දමා බස් ගාස්තු වැඩිකරනා සේ කල හැක්කක් නම් නොවනු ඇත.

මේ ගැන තවත් වෙනස් අයුරකින් බැලූ අපගේ බ්ලොග් කරුවෙකු මා උපුටා දක්වමි. ඔහුගේ මතයද විමසා බැලීමට සුදුසුය.
ඉලංගකෝන්



Wednesday, August 17, 2016

SAITM වසා දමනු !

සයිටම් වසා දමනු !

මේ අද දවසේ වඩිපුරම ඇසෙන සටන් පාටය.

නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට කල යුත්තේ සයිටම් වසා දැමීමද රැක ගැනීමද? මේ අද කතිකාවට භාජනය වන සුලභ ප්‍රශ්නයක් හා ප්‍රශ්නය නගන්නවුටම නොවැටහෙන හෝ නොවැටහෙනවා සේ රඟන ප්‍රශ්නයක්.

ඇත්තෙන්ම සයිටම් යනු කුමක්ද?
බොහෝ දෙනා සිතා සිටින පරිදි මෙය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නොව. මෙය පෞද්ගලික විශ්ව විද්‍යාලයකැයි කීම වඩා නිවැරදි වේ. මෙය මා දන්නා තරමින් ඉන්ජිනේරු පීඨයක් (තායිලන්තයේ ඒ අයි ටී ආයතනය සා සබැඳි ), කලමනාකරණ පීඨයක්, ජනමාධ්‍ය අධ්‍යයන පීඨයක් හා වෛද්‍ය පීඨයකින් සැදුම් ලත් විශ්ව විද්‍යාලයකි.

ජනතා විරෝධයක් එල්ල වන්නේ ඇයි?
මෙහි අන් කිසිදු පීඨයකට එරෙහිව උද්ගෝශනයක් හෝ තර්ජන ගර්ජන කිරීම් අප දකින්නේ නැත. ඒ එසේනම් අන් සියලු පීඨ ඉතා සාධාරණ හා හොඳයැයි සමාජය පිළි ගන්නා නිසාද? නැත එවන් පීඨ ඇති බවක් හෝ මේ බොහෝ නිදහස් අධ්‍යාපන කාමීන් නොදනී. එසේම ඒම පීට වලින් උපාධිලබා රජයේ වඩා වැදගත් තැන් වල මෙන්ම පෞද්ගලික අංශයේ ඉතා බැරෑරුම් වගකීම් වල යෙදෙන උපාධිධරයන් බොහෝ වෙති.

මේ අභියෝගය එල්ල වන්නේ වෛද්‍ය උපාධියට හා වෛද්‍ය පීඨයට පමණක් වීම මෙහි ඇති විසුලු ස්වරූපයයි.

මේ විරුද්ධ හඬ නගන්නේ කවුරුන්ද?
අපි සැවොම දන්න පරිදි ඇතැම් වෛද්‍ය වරුන්  මෙහි මූලිකත්වය ගෙන සිටීයි. එසේම විශ්ව විද්‍යාල අන්තරයත් කුරුට්ටෝත් මෙකී නොකී ශිශ්‍ය බලවේග මේ පිටුපස සිටිති.
ඔවුන් සැම වෛද්‍ය සිසුන් හෝ වෛද්‍ය වරුන්ද? නැත උන් නොදන්නවාට සයිටම් එකට අල්ලපු වත්තේ පිහිටි සිනෙක් මැරිටයිම් ආයතනය පුවත් පත් දැන්වීම් දමමින් ඉන්ජිනේරු, කලමණාකරන ආදී විව්ධ උපාදි පාටමාලා පවත්වා උපාධි පිරිනමයි. කිසිවෙකු මෙය දකින්නේ හෝ නැත. හේතුව එහි වෛද්‍ය පීඨයක් නැති කමයි.

නිදහස් අධ්‍යාපනය බිඳ වැටෙන්නේ වෛද්‍ය පීඨයකින් පමණද? යන ප්‍රශ්නය මේ හමුවේ මතු නොවන්නේ කාටද?

මේ ප්‍රශ්නය නිදහස් අධ්‍යාපනය, වෛද්‍ය පීඨයේ ප්‍රමිතිය (රාජ්‍ය වෛද්‍ය පීඨ වල ප්‍රමිතිය ගැන හිටපු උසස් අධ්‍යාපන ඇමති විසින්ම මෑතකදී පහදා දෙන ලදී ) රෝගීන්ගේ ආරක්ශාව වැනි කරුනු නිසාමද නැතහොත් වෙන අන් යම් විරුද්ධවාදීන් විසින් හංගන හේතුවක් නිසාදැයි අපට වටහා ගත හැකිය.

සුදුසු - නුසුදුසු සිසුන්
විරුද්ද වාදීන්ගේ තවත්  ප්‍රමුඛතම තර්කයක් වන්නේ සයිටම් ආයතනය මුදල් වලට නුසුදුසු සිසුන් බඳවාගෙන ඇති බවයි.
එසේනම් සුදුසු සිසුන් යනු කවරෙක්ද?
ශිශ්‍ය ක්‍රියාකාරීන් දක්වන හැටියට ඒ Z ස්කොර් අගය මත බඳවා ගන්න උන් පමණි. ඒත් ඇත්තෙන්ම එය මෙලෙස සලකා බැලිය හැකිය.
උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉහලම ලකුණු ලබා ගත් ශිශ්‍යයාගේ Z ස්කොර් අගයෙහි සිට, මොණරාගල හෝ මුලතිව් දිස්ත්‍රික්කයෙන් තේරී පත්වන අවසන් සිසුවා ගේ z ස්කෝර් අගය දක්වා සියළුම සිසුන් සුදුස්සන්ය. මේ අතරින් දිස්ත්‍රික් පදනමින් පිරිසක් තෝරා ගන්නේ ඉඩ පහසුකම් අනුවය.
එහෙත් ඇත්තෙන්ම මේ සුදුස්සන් අතුරින් වසරකට 1200 ක පමණ පිරිසක් ඉඩ නොලබයි.

දැන් මේ සුදුසු කම් ලබන එක්දහස් ගනනක් වූ සිසුන් අතරින් අවමයාට වඩා ලකුණු වැඩි උන් 1200 ක් පමණ නුසුදුස්සන් වෙති.
උන් පූන නූල බැඳීමට නුසුදුස්සන්ය.
සුදුස්සාගේ සහ නුසුදුස්සාගේ අතර අපූර්ව වූ වෙනස එයයි

සයිටම් ධනවතුනට පමණයි! 
මේ තවත් ප්‍රභල තර්කයකි.
ලොව පුරාම තිබෙන සියළු පෞද්ගලික විශ්ව විද්‍යාල වල හා රාජ්‍ය විශ්ව විද්‍යාල වල ශිෂ්‍යත්ව නොලබන සිසුන් ඉගෙනුම ලබන්නේ මුදල් ගෙවීමෙනි. එහෙත් ඒ සැවොම ධනවතුන්ගේ දරුවන් නොවෙති. දුප්පතුන්ගේ දරුවන් මේ ඉහල අධ්‍යාපනය ලබන්නේ එයට කැමැත්ත හා කැපවීම ඇති එකා මූල්‍ය ආයතන වල ආධාර උපකාර මතය. එනම් ශිෂ්‍ය ණය යෝජනා ක්‍රම වල පිහිටෙනි.
මේගැන සයිටම් විරෝධීන් කියන්නේ සයිටම් උපාදියට ණය නොදෙන බවකි. එහි ඇත්තේ පරම සත්‍යයකි. සයිටම් උපාධිය සමාජය ඉදිරියේ අභියෝගයට ලක් කරමින් වෛද්‍ය වරුන් හා සිසුන් කරමින් සිටින්නේ මේ ආකාරයට ණය පහසුකම් දීමට මූල්‍ය ආයතන පෙළඹීම වැලැක්වීමයි.
තම ආයෝජනය විශාල අභියෝගයකට මුහුණ දී ඇති විට ආයෝජකයෝ ඊට නොපෙලඹෙති. මෙමගින් කුප්‍රකට නිදහස් අධ්‍යාපන කාමීන් ඍජුවම මෙම ආයතනය ධනවතුන්ගේ දරුවන්ට පමණක් සීමා කරති. හැකියාව ඇති මධ්‍යම පාන්තික දරුවාට පවා වැට බඳිති.

සයිටම් වසා දැමුවහොත් නිදහස් අධ්‍යාපනය සුරැකේද?
එක් ජනප්‍රිය සටන් පාඨයක් පමණක් රටට අහිමිව යනු ඇත. එසේම ධනවතුන් නොවනා දහස් ගනනකට තිබූ අවස්ථාවක් ඇහිරී යනු ඇත.
ධනවතුන්ගේ දරුවන් චීනයට පැරණි සෝවියට් සමූහණ්ඩු රටවලට හෝ හැකි උන් එංගලන්තයට ඇමරිකාවට හෝ ගොස් වෛද්‍ය උපාධිය ලබනු ඇත.
එහෙත් එමගින් ලංකාවේ වෛද්‍ය වරුන් සුලභ වීමක් නොවනා නිසා වෛද්‍ය සංගම් හෝ ශිෂ්‍ය ව්‍යාපාර නිහඬව සිටිනු ඇත.

උසස් පෙළ නම් වූ ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වන සැවොම උපාධියක් ලබා ගැනීමේ පරම අයිතිය ඇතැයි පිළිගත නොහැකි අයෙක් වෙත්ද? එසේනම් ඒ කුමණ හේතුවක් මතද?
මේ ප්‍රශ්ණයට කිසිදා උත්තර නොලැබෙන බව සහතිකය.
එසේ සමත් වන උන්ගේන් 20% ක් පමණ රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ශිෂ්‍යත්ව ලබා නොමිලේ ඉගෙන ගැනීම කිසිදු අභියෝගයකින් තොරව සාධාරණය.
එසේම ඉතිරි 80% න් යම් ආකාරයකට මූල්‍ය පහසුකම් සලසා ගත හැකි උන් මුදල් ගෙවා රාජ්ය හෝ පෞද්ගලික ආයතනයකින් ඉගෙනීමෙහි හෝ උපාධියක් ලැබීමෙහි ඇති වරද කුමක්ද?

සයිටම් විරෝධීන් ඔවුන්ගේ පෝස්ටර් වල "සරසවි බඳවා ගැනීම ඉහල දමනු!" කියා වැකියක් යොදති මේ උන්ගේ සාධාරන බව ලොවට පෙන්වීමටයි, සාමාන්ය ජනය මුලා කිරීමටයි.

එහෙත් 

සියළු උසස් පෙල සමතුන්ගේ උපාධි අයිතිය සුරකිනු !


කියා පෝස්ටර් ගසන්නෙක් වෙත්ද?
මොවුන් අප දක්කන්නට සැරසෙන්නේ කොතැනටද?

Monday, August 8, 2016

කර්මය

මේ කර්මය කියන කාරනය ගැන ලියනවානම් ටිකක් දිගට ලියන්න වෙනවා.
මේ වගේ මනෝ ව්‍යාධික තත්වයක් කෙනෙකුට හට ගැනීම කර්මය නිසාම සිදුවිය හැකියි. ඒ කොහොමද කියනවානම්,


ට්‍රන්සිල්වේනියාවෙහි

අස්වාභාවික චර්‍යාවන් සහ කර්මය හා ක්ලේෂ

යන ලිපිය ගැන මගේ අදහස් දැක්වීම මෙසේ ලියා තබමි.


මේ මිහි පිට ඇති සෑම සියළු දෙයක්ම අපිට භෞත රසායනික පද්ධති ලෙස හඳුන්වන්න පුළුවන්. නූතන විද්‍යාව උගත් අය මේකට එකඟ වේවි. එසේ හැඳින්විය නොහැක්කක් මේ විශ්වය තුල ඇත්නම් ඒ කුමක්දැයි යමෙකුට මා වෙත පේන්වා දිය හැකියි.
මේ භෞත රසායනික පද්ධති වලට නොයෙකුත් හේතූන් බලපෑමෙන් විවිධාකාර වූ වෙනස් වීම් වලට ඒවා ලක් වෙනවා.

අපි උදාහරනයක් ලෙස තණකොල බීජ දෙකක් ගනිමු.
එකක් තෙතමනය ඇති සාර පසක වැටෙනවා.
අනෙක මහ ආර මැද තාර වල ඇති පැල්මක් මත වැටෙනවා.

මේ දෙකම ස්වභාවිකව පැලවෙලා වැඩෙන්න ගියවිට පසේ වැටුනු පැලය ඉතා සරුවට වැඩෙන අතර තාර පාරේ වූ පැල්මේ වැටුනු පැලය එක් දල්ලක් ලියලන විට රථ රෝදයකට සිඳී යනවා. මෙය දිගින් දිගටම වූවත් මේ පැලය ඉතා අසීරුවෙන් දිවිය පවත්වා ගන්නවා.
දැන් මේ පැල දෙකින් එකකට කර්මය බල පෑවා යැයි අපට කිව හැකිද? නැහැ ඒ භාහිර හේතුන්ගේ බලපෑමක්.

තවත් උදාහරණයක් ගෙන බලමු.
යමෙක් යකඩ බටයක් කපා එහි කොටස් දෙකෙන් පුටු දෙකක් සාදනවා. මේ පුටු දෙකෙන් එකක් මුහුදුබඩ නිවසකටත්, අනෙක නාගරික දියුණු නිවසකටත් විකුනනවා. මාස කිහිපයක් ඇවෑමෙන් මුහුදු බඩ පවතින පුටුව මලකඩ අල්ලා පොතු ගැලවී විනාශ වීමට පටන් ගන්නවා. අනෙක් පුටුව නිරුපද්‍රිතව පවතිනවා.
දැන් මේ දෙකෙන් එක පුටුවකට කර්මය බලපෑවාද? නැත එය හෙතූන්ගේ බලපෑමෙන් සිදු වූ ක්‍රියාවක්.

එසේනම් කර්මය බලපාන්නේ කාටද, කුමකටද?


කර්මය බලපාන්නේ සත්ත්වයින්ට, සත්ත්වයින් සතුව අර ඉහත කී භෞත රසායනික පද්ධතියක් වූ රූපයට (සිරුරට ) අමතරව සිතක් පවතිනවා.
දැන් යම් කිසි සතෙකුට ඉහත ත්ණකොල ගස් දෙකට වූ බලපෑම වූවායැයි සිතමු. මෙතැනදී පීඩාවට පත් වූ සත්ත්වයා තමන් හට උරුම වූ දුක්කයන් හා වේදනාවන් ගැන විඳවීමට පටන් ගන්නවා. මේ විඳ වීම සිදුවන්නේ කොතැනින්ද? ඒ සත්ත්වයාගේ සිතයි. යමෙකුගේ සිත හේතුපල ධර්මයන්ට මුහුණ දෙන ආකාරය අනුව කර්මය ඵල දීම සිදු වන බවක් තමයි මා දකින්නේ.
මානසික විකෘති භාවයකට අප්තවන පුදග්ලයෙකු ඒ නිසාම නොයෙකුත් පීඩාවන්ට වේදනාවන්ට ලක් වනවා. අන්න ඒ ලක් වීම තුලයි කර්මය ක්‍රියාත්මක වීම සිදු වන්නේ.
ශරීර අංගෝපාංග ඌන වූ ඇතැම් උන් සතුටින් සිටින්නේත්, සියල්ල සම්පූර්ණ ධනවත් නිරෝගී උන් චිත්ත පීඩාවෙන් සිටින්නේත් කර්මය නිසා විය යුතුයි නේද?

ඖෂධ මගින් මනෝ ව්‍යාධිකයා සුවපත් වීමේදී වන්නේ රෝගයට හේතුව වූ භෞත රසායනික ක්‍රියා වලියට පිළියම් යෙදීමයි. එලෙස හේතුව ඉවත් වූ කල ව්‍යාධික තත්වය වෙනස් විය යුතුයි. එසේ වූ කල සත්ත්වයාගේ විඳවීම ගිලිහී යනවා. එනම් සත්ත්වයා කර්ම ගෙවීමෙන් මිදුනු බවක් අප දකිනවා. එහෙත් ඇත්තෙන්ම සාමාජික වශයෙන් එය එසේද? මනෝ ව්‍යාධියකින් මිදුනු පුද්ගලයෙකුට සතුට හා චිත්ත විවේකය සැබැවින්ම ලැබෙනවාද? මෙය සිතා බැලිය යුතු කාරනයක් නොවන්නේද?

බුදු දහමට අනුව අපට වීර්‍ය තුලින් යම් පමණකට කර්මය පාලනය කල හැකි බල වේගයක්. එනම් සිහියෙන් කටයුතු කිරීම මගින් කර්මය පාලනය කල හැකි වෙනවා. ඒත් සිහිය විකල් වූ විට? පාලනය කිරීමේ ශක්තියම ගිලිහී යනවා එය හරියට HIV මගින් ශරීරයේ ආර්ක්ශක පද්ධතිය බිඳ වට්ටනවා වැනි තත්වයක්.

සියල්ල සිදු වන්නේ කර්මය අනුව යැයි පැවසීම නම් නිසැකවම මධ්‍යස්ත කියා ඇති පරිදි ජෛන ඉගැන්වීමක්.

Sunday, July 24, 2016

ලොකු රටක්ද? පුංචි රටක්ද?

ඒ 1999 දී පමණ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාදිපති ධූරය දරණ යුද්ධය දිනපතා මල මිනී කොළඹට එවන යුගයේ දිනක්.
මම කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ මල් වෙළඳ ප්‍රදර්ශනයක ඉබාගාතේ ඇවිදිමින් සිටි වෙලාවක.
බොහෝම වැදගත් පෙනුමක් ඇති වයස්ගත දමිල මහතෙකු අහම්බෙන් මෙන් මා හා කථාවට වැටුනා. ඉතාම ව්‍යක්ත ඉංග්‍රීසි භාවිතයක් තිබූ ඔහු මා හා කථා කලේම ඉංග්‍රීසියෙන්. ඇතැම් විට ඔහු සිංහල බස නොදන්නෙකු විය හැකියැයි මට සිතුනා.
සරළ කතා බහකින් පසු ඔහු රටෙ තත්වය ගැන කථා කරමින්

මේ කොයිතරම් ලස්සන රටක්ද. අපිට ලෝකේ කොහේ හිටියත් මේ රටේදි දැනෙන සතුට ලබන්න බැහැ. ඒත් මේ රටට වෙලා තියෙන අවාසනා වන්ත තත්වය නිසා අපිට මේ රට අත් හරින්නට සිදු වුනා.
මගේ විමසුමට පිළිතුර් දෙමින් ඔහු මගේ ගෙවල් තිබුනේ උතුරේ. අපි ඒ ඔක්කොම අත හැරලා දැම්මා. එහෙ තියෙන අවාසනා වන්ත තත්වයත් එක්ක දරුවෙක් තියා ගන්නේ කොහොමද. දන් මගේ දරුවෝ ඔක්කොම ඉන්නේ කැනඩාවේ. ඒ අය දැන් ලොකු රස්සා කරනව මායි බිරිඳයිත් එහෙ ඉන්නේ  ඒත් අපිට දැනෙන්නේ අපි පිටස්තරයෝ කියලායි කියා ඔහුගේ දිවියේ දුක්බර පැත්ත ගැන නොදන්නා මා හා විවෘත්ත වුනා.
මගේ පිළිතුර වුනේ මේ රටට මේ තත්වය උදා කලේ ජාති බේදයකින් තොරව අපේ රටේ සිටි අවස්ථා වාදී දේශපාලකයින් බවයි. කොටින්ම බොහෝ දේශපාලකයින්ට අක්කරයක ඉඩ ප්‍රමාණයක වුව එය වෙනම රටක් ලෙස පිළිගැනේනම් තමා පිදීමට සැදී පැහැදුන ජනගහනයක් වෙත්නම් ඔවුන් එයට කැමැති බවයි. එසේම සාමාන්‍ය ජනයා වූ අපිට වටින්නේ වඩා විශාල දේශයක පුර වැසියන් වීම පමණයි කියායි.
ඒ ඇසූ ඔහු වික්ශිප්ත වූවා. මාහට පුතා කියා ඇමතූ ඔහු තමා කවුරුන්දැයි දන්නේදැයි මගෙන් විමසා සිටියා. මා මේ කථා කරන්නේ කවරෙකු සමග විය හැකිදැයි මා සිතුවේත් එවිටයි. තමා හඳුන්වා දෙමින් ඔහු.
ඔබ මා දැන සිටීනට ඉඩක් නැහැ. මා දේශපාලනයෙන් සමුගෙන දැන් දීර්ඝ කාලයක් ගත වෙලා. මා දමිල එක්සත් විමුක්ති පෙරමුණ යටතේ අමිර්තලිංගම් මහතාගේ නායකත්වයෙන්  ..... ආසනය නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රී වරයායි (ඔහුගේ නමත් සඳහන් කරමින් අවාසනාවකට මට එය දැන් මතක නැත ) . ඔබ කියන දෙය සම්පූර්ණයෙන්ම ඇත්ත බව මටත් දැන් හිතෙනවා. ඒ මොකද දැන් මම දේශපාලකයෙකු නොවෙයි එක් සාමාන්‍ය පුද්ගලයෙකු පමණක් නිසා. ඇත්තෙන්ම මේ බෙදී වෙන්වීම දේශපාලකයින්ගේ මිස සාමාන්‍ය ජනතාවගේ වුවමනාව නොවෙයි තමයි. ජනතාව ආරක්ෂා කල යුතු අය නිසා ජනතාව විනාශ වෙනවා.
තවත් බොහෝ දේ කතා කරමින් සිට අපි වෙන්ව ගියා. මා ඔහු ජීවිතයට දුටු මුල්ම හා අවසන් අවස්ථාව එයයි.

මගේ මේ අත්දැකීම ගැන ලියන්නට සිත් වුනේ ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ වෛද්‍ය රුවන් විසින් ලියා ඇති වාසවිලාන් ලිපියේ විසල් දමිල ගෘහය ගැන තොරතුරු කියවූ විටයි.


මේ ලිපිය ලියා යම් කාලයක් ගත වුනා. එය පල කිරීමට තරම් උනන්දුවක් ඇති වුනේ නැහැ. ඒත් කමක් නැහැ කියා දැන් පල කරන්නට සිතුවා.