

උපාසිකාවන් විසින් බොහෝ ගර්වයෙන් "සිටුවා" ඇති ස්වයංජාත වී.
ඡායාරූප උපුටා ගත්තේ සාරභූමි ගොවි සමූහයෙනි
මට මිතුරෙකුගෙන් දැන ගැනීමට ලැබුනේ එක්තරා ප්‍රකට භික්ෂුවක් (දැනට අපවත්වී ඇති ) තමන්ගේ බල මහිමය නිසා ස්වයංජාත හැල් වී පහල වූ බවත් මේ ඒවායැයි කියා යම්කිසි බීජ හතරක් තම දායකයින් වෙත බෙදා දුන් වගත්,
එම බීජ හතර රෝපණය කොට ගත් එම දායකයින් එයින් ලද බීජ ධාතු බෙදනවාක් මෙන් මහත් වූ ගෞරවයකින් බොහෝදෙනා අතරේ බෙදා ඇති බවකුත්ය.
මෙසේ දෙවැනි වටයේ බීජ ලද පින්වතුන් ඒවායෙන් තවත් බීජ බොහෝ දෙනා අතරේ බෙදා ඇති අතර, අදටත් තවත් පින්වන්ත උපාසක උපාසිකාවන් රැසක් මේ බීජ සොයමින් සැරි සරයි.
ඒ අතරේ සාර්ථකව පැල සාදාගත් උපාසක උපාසිකාවන්, ස්වයංජාත හැල් වී වලින් සහල් ගෙන බත් උයා එයින් බුදු හිමියන් වෙත බුද්ධ පූජා පවත්වා මහත් වූ පින් රැස් කරගෙන ඇත.
මේ ස්වයංජාත හැල් වී පහල වූයේ කෙසේද?
යම් කිසි අයෙකුගේ බල මහිමයෙන් එය පහල වූවානම්, එය අහේතුක ප්‍රාදූර්භූත වීමකි.
සියල්ල හේතුඵල දහමක් මත පැහැදිළි කරන බුදු හිමියන්ගේ දහමට මේ අහෙතුක ප්‍රාදූර්භූත වීම කොතෙක් දුරට ගැලපෙනවාදැයි සොයා බැලීම ඔබගේ කර්තව්‍යයකි.
එසේම මේ ස්වයංජාත හැල් වී එසේ හදිසියේ පහල වූවක් නම්,
එය මෙදක්වා විද්‍යාත්මක ශාක වර්ගීකරණයක ලැයිස්තු ගත වී නැති ශාකයක් විය යුතුමය.
එසේනම් මේ කියන ශාකය එවැන්නක් ද?
නැත, මේ අපේ පින්වත් උපාසක උපාසිකාවන් ස්වයංජාත හැල් වී යැයි වගාකරමින් සිටින්නෙ කුමක්ද
ඒ 1977 ට පෙර යුගයේ හාල් වලට සීමා පැනවී තිබුනු කාලයේ, මිනිසුන් අඩු ජල සැපයුමකින් වගා කල හැකි නිසා වගා කල දැනට ලෝකයේ බොහෝ දුරට සත්ත්ව ආහාර සඳහාම (පත්‍ර හා බීජ යන දෙකොටසම සත්ත්ව ආහාර සඳහා යොදා ගනී) වගා කරන "සෝගම්" නම් වූ තෘණ කුලයේ ධාන්‍ය භෝගයයි. සිංහලෙන් මෙය "ඉදල් ඉරිඟු" යන නාමයෙන් හඳුන්වයි
ඉතාම රළු ධාන්‍ය විශේශයක් වන මෙය මිනිස් පරිභෝජනයට ආකර්ශනීය වන්නක් නොවේ.
ස්වයංජාත හැල් වී බුදු දහමට ගැලපෙන්නේ කොතැනින්ද යන්නත් විමසා බැලිය යුතු කරුනකි.
මෙය සඳහන් වන්නේ බුදු හිමියන් දෙසා වදාල කරුනු ඇතුලත් සූත්‍ර දේශනාවක් වන,
සූත්‍ර පිටකයේ
දීඝ නිකායේ
පාථික වග්ගයෙහි
සිවුවැනි සූත්‍ර දේශනාව වූ
"අග්ගඤ්ඤ සූත්‍රයෙ"හිය.
ස්වයංජාත හැල් වී ගැන කථා කිරීමේදී මෙම සූත්‍ර දේශනාව ගැන විමසා බැලීම අනිවාර්ය අවශ්‍යතාවයකි.
අදාල සූත්‍ර දේශනාවේදී බුදු හිමියන්, නවක භික්ශූන් වූ බ්‍රහ්මන කුල තරුණයෙකු හා සංවාදයක යෙදෙයි.
එහෙදී බුදු හිමියන් විමසන්නේ තමන් උසස් යැයි ගර්වයකින් වෙසෙන බ්‍රාහ්මනයින් එම කුලය හැරදා සසුන් ගත වූ අය හට අවමන් නොකරතිදැයි කියායි.
එහෙදී බ්රාහ්මනයින්ගේ උසස් බව ට හේතු ලෙස දක්වන මහ බබුගේ මුඛයෙන් උපත ලද වුන් බව කියන කථාව එම තරුණයින් විසින් බුදු හිමියන් වෙත පවසා ලයි.
එයට පිළිතුරු සපයන බුදු හිමියන්, එය පහත අයුරින් අවඥාවට ලක් කරනු ලබති.
උපුටා ගැනීම - ත්‍රිපිටකය සිංහල පරිවර්ථනය (2500 බුද්ධ ජයන්තිය)
වාශිෂ්ඨයෙන්, බ්‍රාහ්මණයින්ගේ ඔසප් වූද, ගැබිනි වූද, වදන්නා වූද, කිරි පොවන්නා වූද බැමිණියෝ දක්නා ලැබෙත්.
ඒ බමුණෝ යෝනියෙන් උපන්නෝ වන්නාහු.
බ්‍රහ්මන වර්ණය (කුලය ) ශ්‍රේෂ්ටය, බ්‍රහ්මයාගේ දායාද වූ බ්‍රහ්මයාගේ ඖරස පුත්‍ර යැයි මෙසේ කියත්. එසේ කියන්නාහු බ්රහ්මයාටම නින්දා කරත්.
උපුටා ගැනීම අවසන්.
මෙසේ බ්රහ්මනයින් හෙලා දකින බුදු හිමියන්,
වාශිෂ්ඨයෙනි, මේ බ්‍රාහ්මනයෝ ඒකාන්තයෙන්ම පුරාණ කථාව (ලෝකෝත්පත්ති චර්යාවංශය ) සිහි නොකන්නාහු.
යයි පවසති.
ඉන් අනතුරුව තවත් පැහැදිලිකිරීම් වලින් පසු බුදු හිමියන්, මේ ලෝකෝත්පත්ති චර්යාවංශය නම් වූ පුරාන කථාව දේශනා කරයි.
මේ පුරාණ කථාව බුදු හිමියන්ගේ මුවින් කියැවුනය්හ් එය බුදු හිමියන්ගේ මතයක් නොවන බව අදාල සූත්‍රය මැනැවින් කියැවීමේදී පැහැදිලි වෙයි.
බුදු හිමියන්ගේ වදනින්ම මේ පුරාණ කථාවකි.
එසේ නම් එවක පැවති දැනුමකි.
මේ පුරාණ කථාව තුලදී එහි එක් තැනෙක
පොළොවෙන් ඉබේ පැන නැගි ඇට සහිත හැල් සහලක් වෙයි, එම සහලෙහි, කුඩු නැත, පොතු නැත, කපා ගත් තැන හිස් වෙන්නේ නැත. උදා බතට කපා ගත් තැන දිවා බතට යලි පැන නැගෙයි.
(ඉබේ හටගන්නා - ස්වයංජාත වෙයි )
මේ සහල මනසින් දූශිත වන මිනිසුන් විසින් එක් රැස් කිරීමට ගනියි. දිවා අහර පිණිස උදේ එක් වර රැගෙන යයි. මේ නිසා කුඩු ඇති විය, පොතු ඇති විය, කැපූතැන නැවත පැන නොනැගුනේය, පන්දුරු පන්දුරු ලෙස පැවතියේය.
මේ ලෙස ස්වයං ජාත බව පිරිහුනේය. හෙවත් අතුරුදන් වූයේය.
මෙසේ පිරිහීම නිසා දුක ජනිතවීම පාදක කොටගත් කථාව අවසන බුදු හිමියන්, කෙලෙස් නසා සත්‍යාවබෝධයෙහි අර්තයම පැහැදිලි කරමින් මේ පුරාණ කථාව නිමවා ලයි.
එසේනම් මේ පුරාන කතාව බුදු හිමියන්ගේ දේශනාවක් හෝ නොවන්නේමය. එය උන් වහන්සේ විසින් උපුටා දක්වන දැනුමක් පමණකි.
එවන් විටෙක, දැන් මේ පහල වී ඇති ස්වයංජාත හැල් සහල් සොයා යන්නන් යමින් සිටින්නේ කොතැනකටද?
ඔවුන් ගේ ස්වයංජාත සහල් ඉබේ පැනැ නැගෙන්නේ නැත.
කපා ගත් කල නැවත පිරෙන්නේ නැත.
කුඩුද පොතුද සහිතය.
අහෝ නැවත ජනිත වූ ස්වයංජාතයෙහි තතු.
සියල්ල හේතු ඵල දහමක් තුලින් පැහැදිලි කල බුදු හිමියන් හේතු රහිතව පැනැනැගි ස්වයංජාත හැල් වර්ගයක් ගැන දෙසූ බව මුන් පිළිගනිති.
ඒ සහල භික්ෂුවකගේ බලමහිමයෙන් නැවත උපන් බව සිතති.
එසේ පහල වූ සහල විද්‍යාත්මක වර්ගීකරනයකට මෙතෙක් හසූ වී නැති නවතම ශාක විශේශයක්දැයි නොසොයති.
ගසක් වවා බීජ ගෙන නැවත වවා බීජ ගන්නා ගසකට ස්වයංජාත යැයි කියති.
මෙවන් වූ මුග්දයන් රැලක් තමන් බුදුන් සරණ ගිය උපාසකයින් ලෙසද හඳුන්වා ගනිති.
එසේ බීජ බෙදා දුන්නායැයි කියැවෙන භික්ශුව ගැන මා කිසිත් නොකියමි.
හේතු දෙකක් නිසා.
1. ඒ චීවරයක් දරා සිටින භික්ෂුවක නිසා
2. එම භික්ෂුව දැනට අපවත්වී ඇති නිසා.
මේ ලිපිය වාදයට නොව. සිහි නුවනැත්තන්ට කියවා තවත් තොරතුරු සොයා වටහා ගන්නටය.
අග්ගඤ්ඤ සූත්‍රය පිළිබඳ මගේ දැනුම අවධි කල මා කලණ මිතුරු කථා 32 බ්ලොගයේ කතා කතු තුමාට පින් පතමි.