Wednesday, December 12, 2018

බුද්ධාගම කියන්නේ කිසිම කමකට නැති ආගමක්,


බුද්ධාගම කියන්නේ කිසිම කමකට නැති ආගමක්,
Image may contain: 1 person, sky, closeup and outdoor

බුදු හාමුදුරුවන්ගෙන් මොනව හරි ඉල්ලුවම ලැබෙන්නෙත් නෑලු. ඒ වුනාට දෙයියෝ ගොඩක් ඉන්නවා. ඒ දෙවියන්ට භාර වෙනවා. හරි ගියා කියලා ඔප්පු කරන්වා, ඒ වුනාට දෙවියෝ නිසාද හරිගියේ කියලා හිතා ගන්නත් බෑ.
බුදු හාමුදුරුවෝ ඔය ඔක්කොම දෙයියන්ට වඩා උසස් ලු. ඒත් දෙවිකෙනෙක් නෙවෙයිලු. ඉල්ලුවට කිසි දෙයක් දෙන්නෙත් නෑලු.
ඉතින් මොකටද එහෙම කෙනෙකුට වඳින්නේ? මේ බොරු ආගමක් අදහලා මට ඇති වැඩක් තියෙනවද?
ඔය මීට අවුරුදු 17කට 18කට උඩදී මම හිතපු හැටි.
මම උත්තරයක් හොයා ගත්තා, අඩු ගානේ සමාජ සම්බන්ධතා හරි දියුනු නිසා මම කතෝලික වෙනවා.
කතෝලික ආගම දන්නා යාළුවන්ගෙන් විස්තර ටිකක් හොයා ගත්තා. ඒ වෙනකොටත් බයිබලේ කරුනු ටික ටික දැනගෙන හිටියා. තව දුරටත් යොහෝවා කාරයින්ගේ පොතුයි, බයිබල් කරුනු ගැන ලියවුනු විවිධ ලිපි වගේ දේවල් හොයාගෙන කියවන්න ගත්තා. හැබැයි පියතුමෙක් මුන ගැහෙන්න නම් ගියේ නැහැ. මට එහෙම හිතුනේ නැහැ. ඊට කලින් මේක මොකක්ද කියලා හොයලා බලන්න තමයි ඕනේ කලේ.
කොහොම වුනත් බුද්ධාගම අත හැරලා කතෝලිකයෙක් වෙන්න බොහෝම ආසන්නෙට මම එතකොට ගිහින්.
ඔන්න ඔය කාලේ තමයි හිටි ගමන් කොහෙන් ආවද නොදන්න අළුත් හාමුදුරු කෙනෙක් ටී වී එකේ ධර්ම සාකච්චා පවත්වන්න පටන් ගත්තේ. මම ඒ වෙන කොට ධර්ම සාකච්චා කිය්න්නේ මොකද කියලවත් දැනගෙන හිටියේ නැහැ.
බුද්ධාගම වගේ බොරු ආගමක් ගැන මොනවද මෙයා මේ ලොකු කථා කියන්නේ කියලා බලන්න මම ඒ සාකච්චා බලන්න පටන් ගත්තා. ටිකෙන් ටික මට තෙරුනා බුද්ධාගමට නෙවෙයි මටයි වැරදිලා තියෙන්නේ කියලා. මටත් නොදැනිම මම් උදේ හවා ඒ හාමුදුරුවෝ කියපු කාරනා හිතන්න පටන් ගත්තා. තව තව බුදු දහම ගැන ලියවුනු පොත් හොයාගෙන කියවන්න පටන් ගත්තා . මෙතෙක් කල නොතේරුනු බොහෝ දේ තේරුම් යන්න පටන් ගත්තා. බයිබල් කියවිල්ල වගේ දේවල් මටත් නොදැනීම මග හැරිලා ගියා.
බුදු හාමුදුරුවෝ කියන්නේ කවුද කියන එක ටික ටික තේරුම්යන්න පටන් ගත්තා.
ඔන්න ඔය විදියට මම බුද්ධාගම අත හැරලා කතෝලික ආගම වැලඳ ගන්න ගිය ගමන බෞද්ධයෙකු වෙලා නැවතුනා.
ඔව් උන් වහන්සේගේ මග පෙන්වීම නිසා මම උපතින් ලැබූ බුද්ධාගම අත හැරියා. මම කට ඇරලා කියන්න පුළුවන් මට්ටමේ තෙරුවන් සරණ ගිය බෞද්ධයෙකු බවට පත් වුනා.
ඒ කියවීමේ පුරුද්ද තව තව වැඩුනා. බලාපොරොත්තු නොවුනු වෙලාවක සම්පූර්ණ ත්‍රිපිටකයේ බුද්ධ ජයන්ති පරිවර්ථනය පාලි සිංහල දෙකම සොෆ්ට් කොපියක් ලැබුනා. ඒ තමයි මට ජීවිතේටම කෙනෙකුගෙන් ලැබුනු වටිනාම දේ.
අවාසනා වන්ත විදියට අපිට උන් වහන්සේගේ ඇසුර අහිමි වුනා. ඒත් ඒ වෙනකොට උන් වහන්සේ අපිව ගොඩක් දුර ගෙනිහින් ඉවරයි. කොටින්ම පාර පෙන්වලා දීලා ඉවරයි. උන් වහන්සේගේ සහය නැතුවම ගමන යන්න තරමට පාර පෙන්වා දීලා ඉවරයි.
උන් වහන්සේ පැතූ බෝධියකින් නිවන් සුව ලබත්වා කියලා මම අදත් ප්‍රර්ථනා කරනවා.
අද දෙසැම්බර් මාසේ 12වැනිදා.
ගෞරවනීය ගංගොඩවිල සෝම හිමියන් අපිට අහිමි වුනු දවස.
සෝම හිමි අනුස්මරණ දිනය.....

6 comments:

  1. සම්පූර්ණ ත්‍රිපිටකයේ බුද්ධ ජයන්ති පරිවර්ථනය පාලි සිංහල දෙකම සොෆ්ට් කොපියක් ලැබුනේ කොහෙන්ද ?

    ReplyDelete
    Replies
    1. පාසලේ ආදි ශිෂ්‍ය බෞද්ධ සංගම් මහා සභා රැස්වීමකදී එක් අයෙක් එය ඩීවීඩී තැටි වලට කොපි කර ඔහුගේ වියදමින් රැස්ව සිටි හැමෝටම බෙදා දුන්නා.
      බොහෝ දෙනෙකුට ලැබුනා. ඒත් එය දැනට ඇත්තේ ඉතාම සීමිත පිරිසක් අත විය යුතුයැයි මා හිතනවා.

      Delete
  2. ඕස්ට්‍රේලියාවේ සිට ගරුතර සෝම හිමියන්ගේ ආගමනය (සෝමාගමනය) ලංකාවේ වර්තමාන බුද්ධාගමේ හැරවුම් ලක්‍ෂයක්. මා සිතන අයුරින් ගරුතර පානදුරේ අරියධම්ම හිමිපාණන්ට පසු සාමාන්‍ය සිංහලයන්ට ඇමතූ ප්‍රධානම බුද්ධ පුත්‍රයන් වහන්සේ සෝම ස්වාමින් වහන්සේ යි. උන් වහන්සේගෙන් වර්තමාන බුද්ධාගමට වූ විශාලම සේවය ලෙස මා දකින්නේ ධර්මපාල බෞද්ධයනුත් ඕල්කොට් බෞද්ධයනුත් එකතු කිරීමට උන් වහන්සේ ගත් වෑයමයි. එහිදී දෙපාර්ශවයටම compromising කිරීමට සිදු වුණා පමණක් නොව win-win තත්වය කරා යෑමට හැකියාවක් ලැබුණේත් නෑ. කෙසේ උවත් මා සේවයක් ලෙස හඳුනා ගන්නේ එසේ එක් කිරීම නොව එක් කිරීමට ගත් වෑයමේදී මේ දෙපාර්ශවයේම පිබිදීමක් ඇති වීමයි.

    දෙවනුව උන් වහන්සේ සිංහලයාගේ මේ රට කෙරේ ඇති අනන්‍ය උරුමය අන්‍ය ලබ්ධිකයින් විසින් විනාශ කිරීම සහ විකෘති කිරීමට එරෙහිව විශාල ජන බලයක් ගොඩ නැගුවා. පුරාවිද්‍යා චක්‍රවර්තිලා ඉන්නා මේ රටේ ගරුතර සෝම ස්වාමින් වහන්සේගෙන් උක්ත කරුණ අරභයා සිදු වූ සේවය වෙන කෙනෙකුගෙන් සිදු වූවා දැයි සැක සහිතයි. විශේෂයෙන් ඇමති අෂ්රෆ්ට එරෙහිව එළිපිට ගැටීමකට යාම උන් වහන්සේගේ නිර්භීත කම හුවා දක්වන්නක්. එහෙත් ඒ ව්‍යායාමයත් ජයග්‍රහණයකින් කෙළවර කර ගැනීමට උන් වහන්සේවත් උන් වහන්සේගේ මෘත කලේබරය අළෙවි කරමින් ගිය අනෙක් අයවළුන්වත් සමත් උනේ නෑ.

    සෝම ස්වාමින් වහන්සේ දේශපාලනය වෙත බැල්ම හෙළීම නරක ආදර්ශයක්. උන් වහන්සේ අපවත් වීමෙන් පසු ඒ රැල්ල උපස්ථම්භක කරගෙන අවස්ථාවාදීන් රැසක් තම අභිලාෂයන් ඉටු කර ගත්තා. විශේෂයෙන්ම උන් වහන්සේගේ මරණය ගැන මහජනතාවගේ සැකයට පාත්‍ර වූ පුද්ගලයින් බලයට ගෙන ඒම පිණිස පුරෝගාමී දායකත්වයක් (kick start) සැපයූයේ ඒ අවස්ථාවාදින් (එනම් ගල් ලෙන බිඳගෙන ගිය පිරිස) ම බව මහජනතාව දන්නා සත්‍යයක්.
    ගරුතර සෝම ස්වාමින් වහන්සේ දේශපාලනය වෙත ආශක්ත වීම පසුකාලීන ලාංකීය දේශපාලනය කෙරේ මෙතරම් තීරණාත්මක අයුරින් බලපාන බව උන් වහන්සේවත් ගිණි පිඹ පිඹ තැටි රත් කර දුන් සෝභිත උන්නාන්සේවත් සිතන්නට නැති කාරණයක්.

    ගරුතර ගංගොඩවිල සෝම ස්වාමින්ද්‍රයන් වහන්සේට පතනා බෝධියකින් නිර්වාණය සාක්‍ෂාත් වේවා !

    ReplyDelete
    Replies
    1. සත්‍ය වශයෙන්ම මා ඔබේ මේ අදහස හා එකඟ වෙනවා.
      උන් වහන්සේගේ පසුකාලීන දේශ්පාලන නැඹුරුව ඉතා අනපේක්ශිත හා අපේ අපේක්ශාවන් බිඳින සුළු කාරනයක් වූ ලෙසයි මට හැඟෙන්නේ.
      සියල්ල හේතු ඵල දහම අනුවම සිදු වුනා, සිදුවෙමින් පවතිනවා. අපිට හේතු සැකසිය හැක්කේ අප උදෙසාම පමණකැයි මට සිතෙනවා.

      Delete
  3. මමනම් වැඩිපුර අහන්නේ සිරිධම්ම හාමුදුරුවන්ගේ දේශනා.

    ReplyDelete
    Replies
    1. ඒ දේශනා මදක් භෞතිකවාදී බවකට බර පවක් මම දකිනවා. ඒත් ඉතා හොඳ මතකයක් සහිතව ත්‍රිපිටකයේ කරුණුම දේශනා කරන බව නම් ඇත්ත.

      Delete