Monday, October 9, 2017

පාසැල් වියේ ප්‍රේමය.

සමාජයට විෂවූ පාසැල් වියේ ප්‍රේමය.

Image result for school uniform couple
පින්තූරය අන්තර්ජාලයෙන් ලබාගත්තකි

මුහුණු පොතේ සාකච්චාවන් කරන පාසැල් වියේ සිට යොවුන් විය දක්වා පරාසයක දරුවන් සිටින මව් පියවරුන් වූ මගේ මිතුරු මිතුරියන් පිරිසක් හා සාකච්චාවේදී මතු වූ කරුනු ඔස්සේ මේ ලිපිය සැකසුනු නිසා එය බ්ලොගයේ පල කල යුතුයැයි මට සිතුනා. 
පාසැල් වියේ ප්‍රේමය ගැන කථා කරන කොට අපි ඉතාම ප්‍රවේශමෙන් මෙහි ඇති මූලික කරුනු වටහා ගත යුතු වෙනවා.
පාසැල් වියේ ප්‍රේමයට නතු වන්නේ කවුරුන්ද?
වයස 10 සිට 19 දක්වා පශ්චාත් ළමා වියේ හා නව යොවුන් වියේ පුද්ගලයින්.
මේ වයස් සීමාව සැලකීමේදී පුද්ගල වර්ධනයේ ඉතා වැදගත් අවධියක් වන මේ කාල සීමාව තුල දරුවෙකු කායික මෙන්ම මානසික විපර්යාසයන් රැසකටම මුහුණ දෙනවා. මේ මාතෘකාව සාකච්චා කරන අපි, මෙන්න මේ කායික හා මානසික කරුනු ගැන බොහෝම සංවේදීව දරුවෙකුගේ දැක්මෙන් දැකිය යුතු වෙනවා.
මේ අවධියේ දරුවෙකු මුහුණ දෙන ප්‍රධානම ගැටලුව තමයි තමන්ගේ සිරුරේ වෙන වෙනස් කම්. අපේ වැනි සංවෘත්ත සමාජ ක්‍රමයක් තුල දරුවෙකු මේවා විසඳා ගැනීමට නොහැකි දේවල් එමෙන්ම දරාගත යුතු රහසිගත් අත්දැකීම් ලෙස පීඩා විඳිනවා. ඒවගේම විරුද්ධ ලිංගිකයන්ගේ වෙනස්වීම් ගැන කුතුහලයට පත් වෙනවා.
දරුවන් අභ්‍යන්තරයෙන් පෙලෙන මෙවන් කාරන අහම්බෙන් හෝ දැන ගත් විට වැඩිහිටිය පෙළඹෙන්නේ
මුන්ට මගුල් විසේ ඉහට ගහලා
ඇටෙන් පොත්තෙන් එන්න කලින් මගුල් විසේ
වැනි දරදඬු ප්‍රහාර එල්ල කිරීමටයි.
ඒ වගේම සලකා බැලිය යුතු කරුනක් තමයි මෙහි නීතිමය පාර්ශවය.
ලංකාවේ වලංගු නීතිය අනුව වයස දහ අට ඉක්මවූ ගැහැණු හෝ පිරිමි දරුවෙකු පුරවැසියෙකු වශයෙන් පිළිගනු ලබනවා.
රථවාහන පැදවීමේ බලපත්‍ර ලබා ගැනීමට
ඡන්ද ප්‍රකාශ කිරීමට
හා තම අභිමතය පරිදි විවාහයක් සිදු කර ගැනීමට
මොවුන් නෛතිකව අවසර ලාබීන්.
එහෙත් අපේ අධ්‍යාපන ක්‍රමය තුල පාසැල් අධ්‍යාපනය ලැබීම වයස දහ නවය දක්වා සිදු වෙනවා. මෙන්න මෙතැන පැහැදිලි ගැටළුවක් නිර්මානය කරනවා.
වයස දහ අට ඉක්මවූ පාසැල් පෙම්වතුන් යුවලක් සිටියොත් පොලීසිය ඔවුන් කුදලාගෙන ගොස් සියලු සමාජ අවමන් කොට මව් පියන්ට පවා අවමන් වන ආකාරයෙන් විශාල ගෝශාවක් නිර්මාණය කරනවා. සමාජය මෙය දකින්නේ නැහැදුනු කමක් ලෙසටයි. ඒත් ශාරීරිකව මෙන්ම නෛතිකවද මේ යුවල වැඩිහිටියන් බව සැමට අමතක වෙනවා පාසැල් නිල ඇඳුම නිසා.
සිදු වීමෙන් පසු අදාල තරුණිය සමාජය ඉදිරියේ වැදගත් පිරිමියෙකුට අත ගත නොහැකි අවමන් සහගත ගැහැණියකි. "අපෝ ඕකි කොල්ලෙක් එක්ක පාර්ක් එකේ ඉඳලා පොලිසියෙනුත් අල්ලන් ගියා" කිමම සෑහෙන චරිත සහතිකයකි.
මේ දරුවන්ගේ අභ්‍යන්තරය දැකීමට වැඩිහිටියන් බහුතරයකට නොහැකිය, නැතිනම් දැකීමට නොහැකි තරම් කුහකය.
මෙවැනි තත්ව වලින් මුදවා ආත්ම ශක්තියක් සහිත තරුණ පරපුරක් රටට උරුම කර දීමට නම් පළමුවෙන්ම කල යුත්තේ ජාත්‍යන්තරයෙහි සිදු වනවා මෙන් පාසැල් අධ්‍යාපනය වයස 17 හී අවසන් වන ලෙසට අධ්‍යාපන ක්‍රමය ප්‍රථිසංස්කරනය කිරීමයි.
එසේම තම යෞවන විය අමතක වූ වැඩි හිටියන්හට එය මතක් කරදීමේ වැඩ මුළු පැවැත්වීමයි.
යම් කිසි සංවිධානයකට මැදිහත් වී වුවද මෙය සා පෙල දරුවන්ගේ දෙමාපියන් ඉලක්ක කර සිදු කල හැකිය.
මේ කථාව හරහා දරුවන්ට වල් බූරු නිදහසක් ලබා දී අයාලේ යාමට ඉඩ දීමක් මම අදහස් කරන්නේ නෑ. සීමා පැනවීම් හා ඉලක්කයන් කරා මෙහෙයවීම් ඉතා සූක්ශමව අවබෝධයෙන්ම කල යුතුයි.
ඒවගේම ගෙදරින් දෙමාපියන්ගෙන් හොඳ ආදරයක් ලබන දරුවන් පිටස්තර ආදරයක් සොයා යාමට පෙළඹීම් ඉතා අඩුබව ප්‍රකට කරුනක්. එහි ඇත්තක් තියෙනවා. ඒත් නිසි වයසේදීත් සහකරුවෙකු/සහකාරියක සොයා ගැනීමට නොපෙළැඹී දෙමාපියන් මත රැඳීමට උත්සහ කිරීමේ අවධානමකුත් එහි තියෙනවා.
මෙවා ඉතා බුද්ධිමතව හා සූක්ෂමව විසඳිය යුතු තත්වයන් ලෙසයි මම දකින්නේ.
සාකච්චාවට විවෘත්තයි