Monday, August 28, 2017

බෞද්ධ සමාජයක ගබ්සාව ...?

ගබ්සාව...!
ආයෙත් සමාජ කතිකාවතක් බවට පත්වෙලා.

ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ මාතෘකාව ගැන අපූරුම බ්ලොග් සටහන් තියල තියෙන්නේ ඒ ගැන කථා කරන්න සුදුසුම පුද්ගලයෙකු වන පෞද්ගලික වෘත්තීය අත්දැකීම් ලැබා ඇති අනිත් කොන බ්ලොගය ලියන වෛද්‍ය තුමිය.

කැමැති නම් වෛද්‍ය තුමියකගේ අත්දැකීම් සහිත අනිත්කොන ලිපිය මෙතැනින් කියවන්න  -

මොකුත්ම කරන්න බෑ අම්මේ !


මම මේ ප්‍රශ්නය දකින්නේ වෙනත් කෝනයකින්. මේකට විරුද්ධ වෙන බොහෝ පිරිසක් සමාජය තුල මතුවී ඇති අතර ඔවුන් දන් දැන් සමාජ මතවාදයක් ගොඩ නැගීම උදෙසා බුදු දහම පාවිච්චියට ගන්නා තත්වයක් දකින්නට ලැබීම තමයි මගේ අවධානයට ලක් වන්නේ.

ගබ්සාව බුදු දහමට පට හැනියි 
මෙන්න මේක තමයි සරලම හේතුව.
එයට පැහැදිලි කිරීම් දක්වන උදවියගේ තර්ක ගැන මොහොතක් අවධානය යොමු කර බලමු.

ගබ්සාව ප්‍රාණ ඝාතයක්.
ඔව් මේක ධර්මය අනුව ඉතාම පැහැදිලි තත්වයක්. බුදු දහමේ මිනිසෙකුගේ වයස ගනනය කරන්නේ පිළිසිඳ ගැනීමේ සිටයි. භික්ෂුවක් උපසම්පදාව සඳහා සුදුසු වන්නේ සම්මත වයස 19යි මාස 9න් පසුයි එය 20 නොවෙයි.
එසේනම් කුමන තත්වයක හෝ කලලයක් විනාශ කිරීම එහි වැඩීම බාධා කිරීම ප්‍රනඝාත අකුසලයක් තමයි.

මේ ගැන විමසීමේදී මා සැලකිලිමත් වන කාරනය නම් අප කිසිවෙකුට හෝ සමස්ථ සමාජය ප්‍රාණ ඝාත අකුසලයෙන් වැලකීමේ වග්කීමක් පැවරී ඇතිද යන්නයි.
බුදු හිමියන් දෙස බැලුවහොත් උන් වහන්සේ සමස්ත මිනිස් ප්‍රජාව පවින් ගලවා ගන්නා ගැලවුම් කාරයෙකු ලෙස කිසිදින හඳුන්වා ගත්තේ නැහැ. එසේම බෞද්ධයැයි කියා ගන්න ප්‍රජාවක් හෝ පවින් මුක්ත කිරීමට උන්වහන්සේ ඉදිරිපත් වූයේ නැහැ. එසේ සමස්ත මිනිස් වර්ගයා හෝ බෞද්ධයැයි කියා ගන්නා ප්‍රජාවක් පවින් ගැලවීමේ වගකීමක් කිසිවෙකු වෙත පවරා ලූයේත් නැහැ.

ගිහි කල 999ක් මිනිස් ඝාතන කල අංගුලිමාලයන් හට ඒ පාපය නිර්වාන මාර්ඝයට පවා භාධක වූයේ නැහැ.

බුදු හිමියන් ගබ්සාවකට සහය පල කල භික්ෂුනියක්ට එය පාරාජිකා ඇවැතක් ලෙස දක්වා ලූ හෙයින් අප සමාජය මෙයට විරුද්ධ විය යුතු බව තවත් තර්කයක් ඉදිරිපත්ව තිබෙනවා මා දුටුවා.

එසේනම් ඒ කොතැනකදී කෙසේදයි සොයා බැලීම සැමට වැදගත් විය හැකියි.

බුදු හිමියන් භික්ෂූන් උදෙසා සතර පාරාජිකා ධර්මයකුත් භික්ෂුනීන් උදෙසා අශ්ඨ පාරාජිකා දර්මයකුත් පනවා තිබෙනවා.( පාරාජිකා යනු යම් කිසි මහණෙකු එම ඇවැත සිදු කලහොත් එය භික්ෂූත්වය කෙලෙසීමකි. අදාල පුද්ගලයා භික්ෂූත්වයෙන් පිරිහෙන අතර ඒ භවයේ නැවත භික්ෂූත්වයක් ලැබීමේ භාග්‍යය අහිමි වෙයි )
මේ පාරාජිකා දර්මයන් අතර මිනිස් ඝාතනය එක් පාරාජිකා ඇවැතක් ලෙසයි දැක්වෙන්නේ.

විනය පිටකයට අනුව එක් භික්ෂුණියක් තම දායිකාවකට යම් කිසි හේතුවක් නිසා ඇය ගැබ නසා ලීමට උපදෙස් දෙනවා. එසේ ගැබක් නසා ලූ බව දැන බුදු හිමියන් එසේ උපදෙස් දීම ඝාතනයකට ඍජු සම්බන්ධයක් ලෙස දක්වා එවැනි ක්‍රියාවක් පාරාජිකා ඇවැතක් වන මිනිස් ඝාතනය යටතේම දක්වනු ලබනවා.
මෙතැනදී මේ ගබ්සාව අති බරපතල ඇවැතක් ලෙස බුදු හිමියන් දක්වාලූයේ පැවිදි සමාජය අරඹයා බව අප සිහි තබා ගත යුතුය.

දැන් මේ උපාසක චණ්ඩාල ගෝත්‍රය විසින් කියන්නේ බුදු හිමියන් ගබ්සාව පාරාජිකාවක් ලෙස භික්ෂුනීන්ට දෙසා වදාල නිසා ගිහි සමාජය ඉන් වැලකිය යුතු බවකි.

එසේනම් අප අනෙකුත් පාරාජිකා ඇවැත් ගැන මදක් විමසා බලමු. භික්ෂු භික්ෂුනී පාරාජිකා වල පළමු පාරාජිකා ඇවැත දක්වා ඇත්තේ මෛතුන්‍ය පාරාජිකාවයි. එනම් භික්ෂු භික්ෂුනී දෙපිරිසම පැවිද්දට පත් මොහොතේ සිට අතිශය ලෞකික පැවැත්මක් වූ මෛතුන්‍ය ආශ්වාදයෙන් පූර්ණ ලෙසම වැලකිය යුතුය. යමෙකු එම මෛතුන්‍ය ආශ්වාද වින්දේ නම් ඔහු හෝ ඇය පාරාජිකා තත්වයට පත්වේ.

දැන් එතකොට බුදු හිමියන් පාරාජිකා ලෙස පැනැවූ නිසා බෞද්ධ සමාජය මෛතූන්‍යයෙන් වලකිනවාද? මෛතූන්‍යය අපරාධයක් ලෙස සලකනවාද?
එසේ වූවානම් වඩා හොඳය. එසේනම් ගබ්සාවට හේතු නැතිවී බෞද්ධ සමාජයෙන් ගබ්සාව තුරන් වනු ඇත. අපූරු විසඳුමකි.

භික්ෂු භික්ෂුනී සමාජය උදෙසා සුළු පරිමාන වූ හෝ සොරකමද පාරාජිකාවකි.

මග ඵල ලාභියෙකු නොවී එලෙස පෙනී සිටීමද පාරාජිකාවකි.

මේ ගබ්සාවට එරෙහිව හඬ නගන්නන් ජීවිතයට කිසිදු ප්‍රාණ ඝාතයක් නොකල වුන්ද? අඩු ගනනේ මෙතැන් සිට මැසි මදුරු ආදී අල්ප සත්ත්වයෙකු හෝ ඝාතනයෙන් වැලකීමට ප්‍රතිඥා දුන්නවුන්ද? මා නිර්භයව කියමි මම චේතනාන්විතව කිසිදු සත්ත්වයෙකු ඝාතනය නොකරන්නෙක්.

ගබ්සාව පිළිබඳව රජය එළඹ ඇති තීරණය අනුව විකලාංග ජාන විකෘති උපත්, හා දූශනය වීමෙන් ගැබ් ගත් වවස්ථා වලදී ගබ්සාවට ඉඩදී ඇතැයි මම සිතමි. ඒ ගැන නීතිමය තත්වය මා සොයා බලා නැත. එය එසේනම්, මේ තීරනය ගනු ලබන්නේ අදාල මව විසිනි. එය ඇයගේ අනාගත පැවැත්ම උදෙසා ඇය විසින්ම ගනු ලබන තීරණයක් වන අතර ප්‍රාණඝාත අකුසලයක බර දැනුවත්ව ගනුයේ ඇය විසින්මය. ඉතින් සමාජයක් ඒ අසරණියකට එරෙහිව හඬ නැගීම කොතරම් වූ අවැඩක්දැයි මේ සුචරිත වාදීන්ට නොපෙනෙන්නේ ඇයි. ඇය ප්‍රානගාතයක් කරමින් ගනනය කල අවධානමක් ගනියි නම්, එය අප කාගේවත් ගිනුමකට බැරවන පවක් අකුසලයක් නොවෙයි නම් ඇයි මේ සමාජ ප්‍රථිරෝධයක්.

ඇයගෙ ගැබ ගැන මෙන්ම ඇයගේ සසර ජීවිතය ගැනද අවධානම ගන්නේ ඇය විසින්මය. එය දැනුවත්වමය.

ඉතින් අප බෞද්ධ සමාජයක් ලෙස අගතිගාමීව අනුන් මත පින් පැටවීමෙන් වැලකී අපගේ සසර විමුක්තිය සොයා වෙහෙසෙමු.

ඊනියා සුචරිත වාදීන් අතින් කෙලෙසී පියවරුන් රහිත දරුවන් මෙලොවට බිහි කරන එතැන් පටන් සුචරිත වාදී සමාජයට බඩුවක් වන ඇයට ඉන් ගැලවීමට යම් අවධානමක් ගැනීමට රිසි නම් ඒ අවස්ථාව ඇය සතු විය යුතුය. එවන් ප්‍රාන ඝාතයකට හේතුවූ දැරිය කෙලෙසූ මිනිසා මේ ප්‍රණඝාත අකුසලයෙන් විනිර්මුක්තයැයි මා පිළිනොගනිමි

මගේ මතයට අභියෝග කරන ඕනෑම කෙනෙකුට ඊට ඉඩ ඇත