Wednesday, December 12, 2018

බුද්ධාගම කියන්නේ කිසිම කමකට නැති ආගමක්,


බුද්ධාගම කියන්නේ කිසිම කමකට නැති ආගමක්,
Image may contain: 1 person, sky, closeup and outdoor

බුදු හාමුදුරුවන්ගෙන් මොනව හරි ඉල්ලුවම ලැබෙන්නෙත් නෑලු. ඒ වුනාට දෙයියෝ ගොඩක් ඉන්නවා. ඒ දෙවියන්ට භාර වෙනවා. හරි ගියා කියලා ඔප්පු කරන්වා, ඒ වුනාට දෙවියෝ නිසාද හරිගියේ කියලා හිතා ගන්නත් බෑ.
බුදු හාමුදුරුවෝ ඔය ඔක්කොම දෙයියන්ට වඩා උසස් ලු. ඒත් දෙවිකෙනෙක් නෙවෙයිලු. ඉල්ලුවට කිසි දෙයක් දෙන්නෙත් නෑලු.
ඉතින් මොකටද එහෙම කෙනෙකුට වඳින්නේ? මේ බොරු ආගමක් අදහලා මට ඇති වැඩක් තියෙනවද?
ඔය මීට අවුරුදු 17කට 18කට උඩදී මම හිතපු හැටි.
මම උත්තරයක් හොයා ගත්තා, අඩු ගානේ සමාජ සම්බන්ධතා හරි දියුනු නිසා මම කතෝලික වෙනවා.
කතෝලික ආගම දන්නා යාළුවන්ගෙන් විස්තර ටිකක් හොයා ගත්තා. ඒ වෙනකොටත් බයිබලේ කරුනු ටික ටික දැනගෙන හිටියා. තව දුරටත් යොහෝවා කාරයින්ගේ පොතුයි, බයිබල් කරුනු ගැන ලියවුනු විවිධ ලිපි වගේ දේවල් හොයාගෙන කියවන්න ගත්තා. හැබැයි පියතුමෙක් මුන ගැහෙන්න නම් ගියේ නැහැ. මට එහෙම හිතුනේ නැහැ. ඊට කලින් මේක මොකක්ද කියලා හොයලා බලන්න තමයි ඕනේ කලේ.
කොහොම වුනත් බුද්ධාගම අත හැරලා කතෝලිකයෙක් වෙන්න බොහෝම ආසන්නෙට මම එතකොට ගිහින්.
ඔන්න ඔය කාලේ තමයි හිටි ගමන් කොහෙන් ආවද නොදන්න අළුත් හාමුදුරු කෙනෙක් ටී වී එකේ ධර්ම සාකච්චා පවත්වන්න පටන් ගත්තේ. මම ඒ වෙන කොට ධර්ම සාකච්චා කිය්න්නේ මොකද කියලවත් දැනගෙන හිටියේ නැහැ.
බුද්ධාගම වගේ බොරු ආගමක් ගැන මොනවද මෙයා මේ ලොකු කථා කියන්නේ කියලා බලන්න මම ඒ සාකච්චා බලන්න පටන් ගත්තා. ටිකෙන් ටික මට තෙරුනා බුද්ධාගමට නෙවෙයි මටයි වැරදිලා තියෙන්නේ කියලා. මටත් නොදැනිම මම් උදේ හවා ඒ හාමුදුරුවෝ කියපු කාරනා හිතන්න පටන් ගත්තා. තව තව බුදු දහම ගැන ලියවුනු පොත් හොයාගෙන කියවන්න පටන් ගත්තා . මෙතෙක් කල නොතේරුනු බොහෝ දේ තේරුම් යන්න පටන් ගත්තා. බයිබල් කියවිල්ල වගේ දේවල් මටත් නොදැනීම මග හැරිලා ගියා.
බුදු හාමුදුරුවෝ කියන්නේ කවුද කියන එක ටික ටික තේරුම්යන්න පටන් ගත්තා.
ඔන්න ඔය විදියට මම බුද්ධාගම අත හැරලා කතෝලික ආගම වැලඳ ගන්න ගිය ගමන බෞද්ධයෙකු වෙලා නැවතුනා.
ඔව් උන් වහන්සේගේ මග පෙන්වීම නිසා මම උපතින් ලැබූ බුද්ධාගම අත හැරියා. මම කට ඇරලා කියන්න පුළුවන් මට්ටමේ තෙරුවන් සරණ ගිය බෞද්ධයෙකු බවට පත් වුනා.
ඒ කියවීමේ පුරුද්ද තව තව වැඩුනා. බලාපොරොත්තු නොවුනු වෙලාවක සම්පූර්ණ ත්‍රිපිටකයේ බුද්ධ ජයන්ති පරිවර්ථනය පාලි සිංහල දෙකම සොෆ්ට් කොපියක් ලැබුනා. ඒ තමයි මට ජීවිතේටම කෙනෙකුගෙන් ලැබුනු වටිනාම දේ.
අවාසනා වන්ත විදියට අපිට උන් වහන්සේගේ ඇසුර අහිමි වුනා. ඒත් ඒ වෙනකොට උන් වහන්සේ අපිව ගොඩක් දුර ගෙනිහින් ඉවරයි. කොටින්ම පාර පෙන්වලා දීලා ඉවරයි. උන් වහන්සේගේ සහය නැතුවම ගමන යන්න තරමට පාර පෙන්වා දීලා ඉවරයි.
උන් වහන්සේ පැතූ බෝධියකින් නිවන් සුව ලබත්වා කියලා මම අදත් ප්‍රර්ථනා කරනවා.
අද දෙසැම්බර් මාසේ 12වැනිදා.
ගෞරවනීය ගංගොඩවිල සෝම හිමියන් අපිට අහිමි වුනු දවස.
සෝම හිමි අනුස්මරණ දිනය.....

Monday, October 29, 2018

නසෘදීන් සහ ශ්‍රී ලංකාවේ දේශපාලනය!!!

නසෘදීන් සහ ශ්‍රී ලංකාවේ දේශපාලනය!!!

ලාමක මිනිස් හැසිරීම් පෙන්වන දේශපාලන පිටිය??


ශ්‍රී ලංකා ඉතිහාසයේ පලමු වරට ජනාධිපති විසින් බලයෙන් පහ කරන ලද අගමැති වරයා, ව්‍යවස්ථා තරක ඉදිරිපත් කරමින් ධූරයේ රැඳී සිටින බව ප්‍රකාශ කරයි. මෙය නෛතික කෝනයෙන් සොයා බැලීමට අපට අයිතියක් නැත ඒ අප නීති විශාරදයින් නොවනා බැවිනි.

එහෙත් යුක්තියේ සාධාරණයේ ඇසින් එය විග්‍රහ කිරීමට බාධාවක්ද නැත.

මේ සිදුවීම දකිද්දී මට මෑතක එක්තරා ෆේස් බුක් ගෲපයක් කියැවූ නසෘදීන් ගේ කථාවක් සිහියට නැගුනි.

නසෘදීන් දිනක් තම මිතුරෙකු සොයා ගොස් තමාට ලොකු මුට්ටියක්  ටික දිනකට ලබා දිය හැකිදැයි විමසුවේලු.
මිතුරා ඔහුගේ ඉල්ලීම ඉටු කල බැවින් මිතුරාට ස්තුති කල නසෘදීන් මුට්ටියද රැගෙන ගියේය.

දින කිහිපයකින් මිතුරා හමුවට ගිය නසෘදීන්, මිතුරාගේ මුට්ටිය ඔහුට පෙරලා භාරදී තවත් කුඩා මුට්ටියක්ද ඔහුට දුන්නේලු. මේ මොකදැයි මිතුරා විමසූ විට නසෘදීන් ගේ පිළිතුර වූයේ " මා ලඟ තිබුයදී මේ මුට්ටිය පැටවෙකු දැම්මා. මුට්ටිය ඔබේ නිසා පැටවාත් සමගම ආපසු භාර දෙනවා" යන්නයි.මිතුරාට් ස්තුති කල නසෘදීන් යන්නට ගියේය.

ටික දිනකින් ආයේ පැමිණි නසෘදීන් මිතුරාගෙන් ලොකු මුට්ටිය දින කිහිපයකට ඉල්ලා ගෙන ගියේය.
මෙවර මිතුරා බොහෝ දිනක් බලා සිටියත් නසෘදීන් මුට්ටිය රැගෙන යලි ආවේ නැත.
අවසානයේ මිතුරා නසෘදීන් සොයා ගියේය.

මිතුරා දුටු නසෘදීන් කනගාටු දායක ලෙසින් ඔහු වෙත පැමින, මට ඔබට කියන්නට කනගාටු දායක පුවතක් තියෙනවා, මා ලඟ තිබියදී ඔබගේ මුට්ටිය මිය ගියා. ඒ ගැන කෙසේ ඔබට කියන්නදැයි මා සිතමින් සිටියේ කියා කීවේය.

උරණ වූ මිතුරා" ඔබ වංචා කරනවා, මුට්ටියක් මිය යන්නේ කෙසේද" යි විමසා සිටියේය.

පිළිතුරු ලෙස නසෘදීන් " එදා මුට්ටිය පැටවෙකු දැමුවායැ‍යි කී විට ඔබ ඒ ගැන විමතියට පත් වූයේ නැහැ නේද? ඔබ පැටවාවත් භාර ගත්තා නේද? එසේනම් දැන් මැරුණා යැයි කීවිට මා වංචා කරුවෙකියි පවසන්නේ ඇයිදැයි" විමසුවේය.

තමන්ට වාසි වන විට නීතිය යුක්තිය අමතක කිරීමත්
තමාට අවාසි සහගත විට නීතිය යුක්තිය කථා කිරීමත් මිනිස් ස්වභාවය වේ.

ලංකාවේ දේශපාලන භූමිය තුල අද අපි දකින්නේ මෙයම නේද?

Thursday, August 23, 2018

තිස් පහට (35) අඩු උන්ට ත්‍රී වීල් පැදවීම තහනම් කල යුතුය.

තිස් පහට (35) අඩු උන්ට ත්‍රී වීල් පැදවීම තහනම් කල යුතුය.
bajaj සඳහා පින්තුර ප්‍රතිඵල


මේ ඊයේ පෙරේදා ජනාධිපති තුමන් විසින් කටුගා දැමූ තවත් වැදගත් වැඩපිළිවෙලකි.
එහෙමවුනත් ඒ කටුගා දැමිල්ලට දොස් කියන්නටද බැරිය.
ඒ කොතනත් නිදා ගන්නා නිදි ඇමති විසින් කවුරුන් හෝ මැටි මෝලෙකු විසින් ලියා දුන් මරි මෝඩ පනතක් ආකාරයෙන් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති නිසාවෙනි.
දැන ගන්නට ඇති පරිදි මේ පනත මගින් වයස 35ට අඩු උන්ට මගී ප්‍රවාහණයේ යෙදීම තහනම් කොට ඇත. අරමුණ හොඳය වැඩ පිළිවෙල මීහරකෙකුවත් නොකර තරමේ ගොන් කමකි.

එක් වරම මෙය ක්‍රියාත්මක වුවානම්, දැනට ත්‍රීරෝද රථ, ඇල්ටෝ, නැනෝ ආදී ටැක්සි, පෞද්ගලික බස් රත පදවන රියැදුරන් දහස් ගනනක් එක් විටම තම රැකියාවට නුසුදුස්සන් වීම වැලැක්විය නොහැකිය. එසේ වූවානම් අර ඇමතියෙක් කියූ පරිදි එය තමන් කැමති වෘත්තියක නියැලීමේ අයිතියට වැට බැඳීමකි. (තමන් කැමති වෘත්තියක නියැලීම යනු ව්යැවස්ථාවෙන් ස්තාපිත අයිතියක්දැයි මම නම් නොදනිමි ).

ඒ කොහොම වෙතත්, මෙය වැදගත් වැඩකි.
කල යුතුම වැඩකි.

කල යුතුව තිබුනේ
දැනට මගී ප්‍රවාහනයේ යෙදී සිටිනා සියල්ලන්ම මාස තුනක් වැනි කෙටි කලක් තුල වහාම මගී ප්‍රවාහන රියදුරෙකු ලෙස රජයේ ලියා පදිංචියක් ලබා දීමයි.
එසේම මේ වැඩ පිළිවෙල ආරම්බයේදීම දැනට රියැදුරු බලපත් ලබා නැති අයට මගී ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම නැවැත්වීමයි.
එසේ වූවානම් දැනට මේ ක්ශේත්‍රයේ නියැලි සියල්ලෝ තම වෘත්තිය තුල ස්ථාවර වනු ඇත. මගී ප්‍රවාහන රියදුරෙකු යනු වෘත්තීය සුදුසුකම් ලත් වෘත්තිකයෙකු ලෙස හඳුනා ගැනෙනු ඇත.
මූලික ලියා පදිංචියෙන් පසු මගී ප්‍රවාහන ක්ශේත්‍රයට පිවිසෙන ඕනෑම නවකයෙකු හට කොන්දේසි මාලාවක් ඉදිරිපත් කිරීම කිසි සේත්ම ගැටළු කාරී නොවේ.
එහිදී
වයස  35 සපුරා තිබීම
අපරාධ ඝනයේ වැරදි වලට උසාවියෙන් දඬුවම් ලබා නොතිබීම.
සංවිධානාත්මක අපරාධ වලට හවුල් කරුවෙකුව නොසිටීම

වැනි අත්‍යාවශ්‍ය කොන්දේසි රැසක් යොදා නියම සුදුස්සන් පමණක් එම වෘත්තීය බලපත්‍රයට සුදුස්සන් කිරීම කල හැකිය.

එවැනි සංවිධිත වැඩ පිළිවෙලක් වූවානම්, කිසිදු ගැටළුවකින් තොරව වත්මන් මගී ප්‍රවාහණ රියදුරන් පවා මේ වැඩ පිළිවෙලට අනුග්‍රහ දක්වනවා ඇත. ඒ යම් කිසි කාලයක් උදෙසා තම වෘත්තියේ තරඟ කාරීත්වය පාලනය වන බැවිනි
(දොස්තරලාත් තරඟ කාරීත්වයට බයනම් ත්‍රී රෝද රියැදුරන් ගැන කවර කථාද )

එලෙසින්ම මේ වැඩ පිළිවෙල ආරම්ඹ වී පළමු වසර තුලදීම ලක්ෂ දෙකකට වැඩි තරුණ පිරිසක් රටේ අනිකුත් රැකියා අවස්ථා කෙරෙහි යොමුවීම සිදු වනු ඇත. එමගින් දැනට රටේ ඇති සේවක අර්බුධයටද ඉක්මන් විසඳුම් ලැබීම ඇරඹෙනු ඇති.

එවන් වටිනා වැඩ පිළිවෙලක් නිවැරදි කර ක්‍රියාත්මක කිරීම වෙනුවට සිදු වූයේ කටුගා දැමීමකි.
මේ ලංකාවයි.

Wednesday, July 11, 2018

සීනි බද්ද සහ ඇස්පාර්ටේම්

සීනි බද්ද සහ ඇස්පාර්ටේම්
Image result for coke zeroImage result for pepsi zero


මෑත කාලයේ සීනි අධි භාවිතයෙන් බෝ නොවන රෝග වැඩියැයි රජය විසින් සීනි භාවිතය අඩු කිරීමේ අරමුණින් යැයි සියළු පැණි බීම මත බද්දක් පැනවූ බව බොහෝ දෙනා දන්නා කරුනකි.
එයට අමතරව නොබෝ දිනකින් තවත් ඒ සමාන බද්දක් පැනැවීමට කටයුතු කරනා බවත් එම බද්ද යටතේ ටොෆී, චොකලට්, බිස්කට්, කේක් ආදී සියළු සීනි අඩංගු ආහාර අඩංගු වන බවත් පැවසේ. එහෙත් මේ ප්‍රවෘත්තිය හුදෙක් දැනට ආරංචි මාත්‍රයක් පමණක් බැවින් එහි සත්‍යාසත්‍ය භාවය නොදන්නා නිසා දැනට ඒ ගැන කථා නොකරමු.

මෙතැනදී ප්‍රධාන වශයෙන්ම සලකා බැලිය යුත්තේ සීනි භාවිතය දුර්මුඛ කිරීමේ සැබෑ අවසන් ප්‍රථිපලය කුමක්ද යනුයි.

දැනට අප දන්නා පරිදි සීනි භාවිතයේ වියදම් අධික නිසා සිසිල් බීම නිශ්පාදකයන් එයට විකල්ප පැණිරස කාරකය ලෙස ඇස්පාර්ටේම් නම් රසායනිකය භාවිතා කරන බව මේ පිළිබඳව දැනුමැත්තෝ දනිති.

මේ ඇස්පාර්ටේම් හා එහි ගුනාත්මක භාවය ගැන සලකා බැලීම දැන් කාලීන අවශ්‍යතාවයක් බවට ලංකාවේත් පත් වෙමින් තිබේ.
මෙතෙක් කල් ලංකාවේ ඇස්පාර්ටේම් නම් රසකාරකය භාවිතා වූයේ දියවැඩියා හෝ වෙනයම් සීනි අගුන රෝගීන් සඳහා වූ පැනිරස කාරකයක් ලෙසිනි. එය ෆාර්මසි වලින් පමණක් මිලදී ගත හැකි වූ රසකාරකයකි.එසේම එය සීනි වලට වඩා මිල වැඩි ආදේශකයක් නිසාද සාමාන්‍ය ජනයා කිසි දිනෙක මේ රසකාරකයට නිරාවරණය වූයේ නැත.

එහෙත් මෑතක පැනවූ සීනි බද්ද නිසා දැන් දැන් පොදු වෙළඳ පොලේ සීනි රහිත හෙවත් සීරෝ (ZERO) නමින් බොහෝ පැණි බීම වර්ග හඳුන්වා දෙමින් තිබේ.
මේවායේ ඇත්ත වශයෙන්ම සීනි බිඳකුදු අඩංගු නොවන අතර පැණි රසයෙහි කිසිදු අඩුවක් නැත. එවායේ ලේබලයේම සඳහන්ව ඇත්තේ "ඇස්පාර්ටේම්" රසකාරකය අඩංගු වන බවකි.
මේ හේතුවෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයා ඔවුන්ගේ කැමැත්තෙන් පරි භාහිරව මූල්‍යමය හේතුවක් නිසා ඇස්පාර්ටේම් භාවිතයට යොමු කරවා ඇතැයි කීවොත් එය වඩා නිවැරදි වේ.

ඉදිරියේදී ආරංචි ආකාර සීනි බද්දක් යම් හෙයකින් චොකොලට්, අයිස්ක්‍රීම්, බිස්කට්, කේක් ඇතුළු බේකරි නිශ්පාදන මත පැනවුවහොත්, මේ තත්වය වඩා පුළුල් වේ. ලාබ සීනි යොදාගෙන බදු ගෙවනවාට වඩා ඇස්පාර්ටේම් යොදා ගැනීම එවිට නිශ්පාදකයාට ලාභදායක වෙනු ඇත.
ඒ ඔස්සේ ජනතාව වැඩි වැඩියෙන් ඇස්පාර්ටේම් අනුභව කිරීමට පෙළඹෙනු ඇත.

ඒ නිසා ඇස්පාර්ටේම් පිළිබඳ යම් සොයා බැලීමක් කිරීමේ වැදගත් කම මතුවේ.
ඇස්පාර්ටේම් රසකාරකයෙහි මූලිකවම අඩංගු වනුයේ
ඇස්පාර්ටික් ඇසිඩ් නම් ඇමයිනෝ අම්ලය හා ෆීනයිලැලනයින් ඩයිපෙප්ටයිඩ් යන රසායනික ද්විත්වයයි.
ෆීනයිලැලනයින් ඩයිපෙප්ටයිඩ් රසායනිකය හැසීරීම අතින් දැනටම බොහෝ දෙනාගේ සැකයට භාජනය වී ඇති ග්ලූටමේට් කාණ්ඩයේ රසායනික වලට සමාන බව දැක්වේ. එම නිසා එහි ඇති සෞඛ්‍ය හිතකර භාවයද ප්‍රශ්නාර්ථයකි.
මේ රසායනිකය පැණි රසකාරකයක් ලෙස සීනි  මෙන් 200 ගුනයක් ප්‍රභල බව කියැවේ. එම නිසා ඉතා අඩු භාවිතයකින් කැලරි කිසිවක් ආහාරයට එක් නොකරමින් පැණි රස ගැන්විය හැකි ආදේශකයකි.

මේ ඇති ඉහත කී රසායනිකයන් ශරීරය තුලදී බිඳීමට ලක් වීමේන් ශක්තිය නිපදවන්නේ නැති වුවත් එම රසායනික ප්‍රථික්‍රියාවෙන් මෙතනෝල් අල්ප වශයෙන් නිපදවේ. මෙම මෙතනෝල් තව දුරටත් බිඳීමෙන් ෆොර්මැල්ඩිහයිඩ් (ෆොර්මලීන් ) නම් රසායනිකය සෑදෙන අතර එය හඳුනා ගත් කාර්සිනෝජනයක් හෙවත් පිළිකා කාරකයකි.

කෙසේ වෙතත් මේ ඇස්පාර්ටේම් රසකාරකය මීට බොහෝ කලකට පෙර ඇමරිකානු ආහාර හා ඖශධ පරිපාලනය (FDA) විසින් අනුමත කර ඇති අතර 2007 දී එය නැවත තහවුරු කොට ඇත. ඔවුනට අනුව
සිදු කර ඇති වැඩිදුර පරීක්ෂණ ඔස්සේ අස්පාර්ටේම් හා සිරුරේ වර්දක (ටියුමර්ස් ) හට ගනීම පිළිබඳ පැහැදිලි සබඳ තාවයක් හඳුනාගෙන නැති අතර ඒ නිසා මුලින් කර ඇති අනුමැතියෙහි වෙනසක් කිරීමට අනවශ්‍ය බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

එය එසේ වුවත් වෙනත් පරීක්ෂන් කණ්ඩායම් තම පරීක්ෂන ප්‍රථි පල ඔස්සේ පෙන්වා දෙන්නේ මීයන් ඇසුරින් සිදු කල පරීක්ෂන මගින් දිගින් දිගටම ඇපාර්ටේම් ලබා දුන් මීයන් බහුල වශයෙන් ටියුමර්ස් වර්ධනය වීමට බඳුන් වූ බවකි.

ඇස්පාර්ටේම් වෙත පක්ෂ පාතීව අදහස් දක්වන්නන් මෙහිදි පෙන්වා දෙන්නේ ඉතා ප්‍රභල පැණිරස කාරකයක් වන ඇස්පාර්ටේම් මිනිසුන් ආහාරයට ගත්තද දෛනික පරිභෝජනය වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණක් බැවින් එමගින් සෑදෙන මෙතනෝල් ප්‍රමානය මිනිස් සිරුරක බර සමග සැසඳීමේදී කිසි සේත්ම හානිකර තත්වයකට පත් නොවනා බවයි.

එසේම තවත් පර්යේශකයන් කියන්නේ මේය දිගින් දිගටම ශරීර ගත වීම නිසා එහි අහිතකර ප්‍රථිඵල කාලයත් සමග ඉතා දීර්ග කාලයකට පසු අත්දකීමට ලැබෙනු ඇති බවයි.

තව දුරටත් මා ඔබේ අවධානයට ලක් කරන්නට කැමති කරුනක් වේ.
ඇමරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලනය(FDA) හා යුරෝපයේ යුරෝපීය ආහාර සුරක්ෂිතතා අධිකාරිය(EFSA) විසින් අනුමත කර ඇති මේ රසකාරකය භාවිතා කර ඇති ආහාර දර්ව්‍ය ඇසුරුම් වල ළමයින්ට නුසුදුසුය කියා නිශ්පාදකයින් විසින් සඳහන් කිරීමට පෙළැඹී ඇත.
එනම් මෙය ඉතා දීර්ඝ කාලයක් භාවිතයෙන් අනිසි ප්‍රථිඵල ඇති කරවන බව ව්‍යංගයෙන් පිළිගනීමට ආහාර නිශ්පාදකයන් පවා එකඟවේ.

තව දුරටත් ඇස්පාර්ටේම් භාවිතයෙන්
හිස රුදා
කරකැවිල්ල හෝ ක්ලාන්ත ගතිය
ආහාර ජීරණ අපහසුතා
මානසිකතවය වෙනස් වීම්

හා වඩා බරපතල රෝග තත්ව වන
ඇල්සයිමර් රෝගය
උපත් සංකූලතා
පාර්කින්සන් රෝගය
අදී බරපතල තත්ව ගනනාවක් ඇති විය හැකි බව ඇමරිකානු පිළිකා අයතනය (Cancer.org) මගින් දක්වා ඇත.
එහෙත් මේවා පර්යේශන මගින් ඍජුවම සහිතක කොට නැති බවක් ඔවුන් සඳන් කලද ඒ ඔස්සේ ඇස්පාර්ටේම් අහින්සකයෙකු නොකිරීමට ඔවුන් වග බලා ගනී.

ඉතින් මෙවැනි තත්වයක් යටතේ නොබෝ දිනකින් ශ්‍රී ලාංකිකයන් නිරාවරණය වීමට නියමිත් අළුත් සගයා (Aspartame) මිතුරෙකුද නැතහොත් මිතුරු වෙසින් එන මාරයාගේ නියෝජිතයෙකුදැයි විමසීමෙන් බැලීම කාගේත් ශරීර සෞඛ්‍යයට හිතකර වනු ඇත.




Wednesday, July 4, 2018

ග්‍රාමීය ණය උගුලේ ජාතියම හිරවෙයිද?


ග්‍රාමීය ණය උගුලක් ගැණ කථිකාවතක් දැන් කාගෙත් ඇහැ ගැහිලා ඇති.
මෙය දැන් වසර කිහිපයක් පැරණි කථිකාවක් වුවත් තවමත් එය ඉතා උනුසුම් සිදු වීමක් ලෙස සමාජය වෙලා පැතිර යමින් තිබෙන සිදුවීමකි.

මොකක්ද මේ ග්‍රාමීය ණය උගුල.

දුප්පත් ග්‍රාමීය ජනතාවට විවිධ පෞද්ගලික ණය දෙන ආයතන, ලීසිං කොම්පැණි, හා ඇතැම් රාජ්ය නොවන සංවිධාන මගින් දැන් අරම්බ කර තියෙනවා සහන ණය යෝජනා ක්‍රම. මේ නය යෝජනා ක්‍රම වල මිනිසුන්ට ඉතාමත් ආකර්ෂනීය පහසුකම් සලසා තියෙනවා.
විශේශයෙන්ම ණයක් ගැනීමට ඇප කරුවන් හෝ ඇප සඳහා දේපල නැති දුප්පතුන්ට ඔවුන් කිසිදු ඇපයක් නැතිව ණය ලබා දෙනවා.
බැලූබැල්මට මේය ග්‍රාමීය ආර්ථිකය හා ගැමි ජනතාවගේ පරිභෝජන ශක්තිය වැඩි දියුනු කිරීමට හොඳ රුකුලක්.

එනමුත් මෙහි අභ්‍යන්තරයට පිවිසී බලන විට අපිට දකින්නට ලැබෙන්නේ වෙනත්ම කථාවක්. ඒ ගැන සමාජයේ සෑම තරාතිරමකම අවධානයට ලක් විය යුතු අති භයානක ගැටළුවක්.

මේ ගැටළුව නිර්මාණය වන්නේ ණය දීමේ ආරම්භයේ පටන්මයි.
ඔවුන් ඇප කරුවන් නැති ණය ලෙස හැඳින්වූවාට එක ණය කරුවෙකු සඳහා ව්‍යංගයෙන් ඇප කරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු සම්බන්ධ කරනවා.
මේ ණය ක්‍රම වල ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ගැහැණුන්. මතුපිට ඉලක්කය ග්‍රමීය වනිතාවන් සවිබල ගැන්වීම.

මේ සමාගම් වලින් යොදවා ඇති ණය දෙන නිලධාරීන් හෙවත් ඔවුන්ගේ සේල්ස් රෙප් වරුන් ණය ප්‍රවර්දනය සඳහා ගෙයින් ගෙට යන්නන්. ඔවුන් ණයක් ගැනීමට බලාපොරොත්තු වෙන අයෙකුගෙන් ඉල්ලන්නේ තමන් සමග ණය ගැනීමට තවත් දෙදෙනෙකු හෝ තිදෙනෙකු කැඳවා ගන්නා ලෙසයි.
මේ ක්‍රමය නිසා ඉතා පහසුවෙන් ලැබෙන ණය මුදල ගැනීමට නූගත් මිනිසුන් පහසුවෙන් පෙළැඹෙනවා. ඉන් පසු ඔවුන් සියළු ගිවිසුම් අත්සන් කර තිදෙනාගේ හෝ සිව් දෙනාගේ කණ්ඩායමටම එක් වර ණය මුදල නිකුත් කරනවා.
ඔවුන්  ණය වාරික නොවැරදිව ගෙවා යන තුරු ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. එහෙත්, යම් කිසි අර්බුධකාරී තත්වයක් නිසා එක අයෙකුගේ ගෙවීම කල නොහැකි වුනොත්, ඔවුන් එම ඩෙවීම අනෙක් සාමාජිකයින්ගෙනුත් අය කර ගැනීම ප්‍රතික්ශේප කරනවා. ඒ ඔස්සේ මුළු කණ්ඩායමම ප්‍රමාද ගාස්තු හා අමතර පොළී මුදලකට වග උත්තර කරුවන් බවට පත් වෙනවා.

එතැනින් ඇරඹෙන ගැටළුව, ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යනවා. ප්‍රමාද වී ගෙවූ විට ගිණුම් වල සටහන් වන්නේ ගෙවූ මුදලින් අඩක් පමණයි. අනෙක් අඩ ප්‍රමාද ගාස්තු හා දඩ පොළී වෙනුවෙන් කැපී ගිහින්. මෙසේ දෙතුන්  වරක් වූ විට ඉන් පසු ගෙවා දමන මුදල හුදෙක් පොළී සහ දඩ වලට සීමා වෙන බැවින් මාස් පතා ගෙවූවද මූලික ණය මුදල ගෙවීම සිදු වන්නේ නැහැ.

මේ ආකාරයට ගැටළුවෙහි පැටලෙන ගැහැණුන් ඉන් පසු ණය දෙන්න ආ ආදරණීය නිලධාරී මහතාගේ පෞද්ගලික ගොදුරු බවටත් පත් වී ඇති බවට වාර්ථා පල වෙනවා.

මේ ආකාරයට දිගින් දිගටම ගමෙන් ගමට මිනිසුන් ණය නිසා ජීවිතය බිඳ වැටීමක ලක් වෙමින් සිටිනවා.
මේමට්ටමට පැටලුනායින් පසු ඔවුන්ගේ ණය වගකීම් නිතැතින්ම ඔවුන්ගේ වත්කම් හා ආදායන් සීම ඉක්මවා ගොසින්. ඉතින් ඔවුනට එහි කිසිදු ගැලවීමකට මගක් නැහැ. එක්කෝ ජීවිතය ඇති තුරා නොගත් නයක් ගෙවීමට වෙනවා, නැතහොත් ඉඩ කඩම් ඇතිනම් විකුනා පාරට බහින්නට වෙනවා.

මේ ආකාරයට මේ ණය යෝජනා ක්‍රම ග්‍රාමීය සමාජය සවිබල ගැන්වීමකට වඩා ග්‍රාමීය සමාජය බිඳ වට්ටන් බවට පත් වෙමින් තියෙනවා.

ණය ගෙවා ගත නොහැකි මිනිසුන් වෙත ණය සමාගම් නිලධාරීන් පොලීසිය භාවිතා කරමින් තර්ජන හා බිය වැද්දීම් කරනා බවටත් ඇතැම් තැන් වලින් වාර්ථා වී තියෙනවා. එහෙත් නීතිඥ මතය නම් මෙවැනි ගැටළුවක් කෙරෙහි මැදිහත් වීමේ නෛතික බලයක් පොලීසිය සතු නොවනා බවයි.

එහෙත් මේ දුප්පත් නූගත් ග්‍රාමීය ජනතාව පොලිසිය සතු නෛතික සීමාවන් නොව පුර වැසියකු ලෙස තමන් සතු නෛතික බලය හෝ අයිතිවාසි කම් ගැන වත් නොදැනුවත් අහින්සකයින් වීම මේ දඩයක් කරුවන්ගේ ගොදුර පහසු ඉලක්කයක් කර තිබෙනවා.

දන් දැන් පෙනී යන ආකාරයට මේ ව්‍යසනය ග්‍රාමීය කෘශි ආර්ථිකය මත මහත් බරක් වෙමින් පවතී. ඒ ඔස්සේ ග්‍රාමීය ජනතාව කෘශි ආර්ථිකයෙන් ඉඅවතට තල්ලු වීමේ අවධානමක්ද, සමස්ත ප්‍රජාව බිඳ වැටීමේ අවධානමක්ද මතු වෙමින් තිබේ

මෙහෙම් ගියොත් රටකට අනාගතයක් තියේවිද?
ව්‍යාපාර සිදු කිරීමේ සදාචාර සීමාවන් ගැන රටේ වගකීමක් නැතිද?

Thursday, March 8, 2018

වඳ පෙති කොත්තු,


මෙහෙම කොත්තුවක් කන්න කාටවත් ඕනේ නැතුව ඇති ඇයි දෙයිය්යනේ කොත්තු කනවනම් මොන තරම් කොත්තු ජාති තියෙනවද
එලවලු බිත්තර, කුකුල් මස්, මාළු ඒ විතරයෑ දන් තියෙනවා ඌරු මස් එළු මස් ආදී මෙකී නොකී මස් වර්ග ඉස්සො දැල්ලො වගේ මුහුදු ආහාර ඊටත් වඩා ඩොල්පින් කොත්තුත් තියෙනවා ඔන්න

එතකොට වඳ පෙති කොත්තු කන්නේ වඳ වෙන්නද? නෑ නෑ ඕඩර් කරල වඳ පෙති කොත්තු කන්නේ නැහැ. සිංහල මිනිස්සු වඳ කරන්න මුස්ලිම් කඩ වලින් එහෙම එකක් දෙනවලු. 

ඒ අතරෙ වාදයක් යනව එහෙම බෙහෙතක් හොයා ගෙනත් නැහැ කියල තව සමහරු කියනවා අසවල් අසවල් බෙහෙත් ජාති වලින් එහෙම වඳ බාවය ඇති වෙනවයි කියලා.

ඇත්තටම වඳ පෙති දානවයි කියමු, ඔප්පු වෙලා නැති නිසා මේක තාම සැකයක් විතරනේ.
එහෙම සැකයක් ඇති වෙන්නේ ඇයි මූලිකම හේතුව ජාතින් අතර විශ්වාසය පළුදු වෙලා. ඒක ඉබේ වුනු දෙයක්ද? එහෙම වෙන්නත් බැහැ නේ. එක ජාතියක මිනිස්සු ඉන්න රටකට වෙනත් ජාතියක් ආ ගමන්ම බලන්නේ ඇකයෙන්නේ. ඒ සැකය දුරු වෙන්නේ ටික ටික කාලයත් එක්ක මිනිස්සු අතරේ වෙන නොයෙකුත් ගනුදෙනු එක්ක සැකය තිනී වෙලා තුනී වෙලා මැකිලා යනවා.
එතකොට අළුතින් සැකයක් උපදින්නේ. මෙක වෙන්නේ ඉතින් තනි අතින් අප්පුඩි ගහන්න බැහැ කිව්ව වගේ, සැකයට බාජනය වෙන උදවියගේ ම නොයෙකුත් මෝඩ අදූරදර්ශී වැඩ නිසාමනේ.

ඒ අතරේ අනෙක් පිරිසත් නොයෙකුත් හේතු නිසා මෙහෙම සැකයක් රෝපනය කරන්න බලාගෙන ඉන්නවා. ඒකට පෝර දාන දෙයක් සිදු වුනු ගමන් වැඩේ නැගල යනවා. ඔන්න ඉතින් ප්‍රචාරය යනකොට මුස්ලිම් කඩ වල කොත්තු වලට වඳ පෙති දානවා කියලා ඒක පිළිගන්න වගේම ප්‍රතික්ශේප කරන කොටසකුත් බිහි වෙනවා. ඒ වගේම එහෙම දෙයක් ඇහුනත් ඔළුවට යන්නෙත් නැති ගනනකට ගන්නෙත් නැති වගේ වගක් නැති බහුතරයක් තමයි ඉන්නේ.
ඉතින් ඔය වඳ පෙති දැමීමේ සාධාරන ඉඩක් තියෙනවාමයි කියමුකෝ. දැන් ඕක බල පාන්නේ කාටද? මුලින්ම ඕක ප්‍රශ්නයක් වෙන්නේ එහෙම දෙයක් ගැන සැකය උත්පන්න කල පිරිසට. ඉතින් ඔවුන් කල යුත්තේ එවැනි තැන් මග හැරීමනේ. මොකටද මුස්ලිම් කඩෙන් කොත්තු කන්න යන්නේ.

ඒ අතරේ නොදන්නා මිනිසුන්ට එවැනි වැරදි දෙයක් ආහාරයට දානවාමයි කියලා බරපතල විදියට හෙතු යුක්තව සැකයක් උපදිනවා නම් එයින් කෑම පාර්සල් තැන තැන ඇති කොත්තු කඩවලින් මිලදී ගත හැකියිනේ. අරගෙන වඳ පෙති කියලා සැක කරන රසායනික ඖශධ පිළිබඳව පරීක්ශන කල හැකියිනේ.
එහෙම තහවුරු වෙනවානම් අන්න වැඩේ හරි. එතනදී නීතිය සාධාරණව ඉටු වෙනවාද නැතිනම් පී එච් අයි මහත්තුරු හෝටල් වල කෑම තියෙද්දී ජරාව කනවාද කියලා බලා ගත්තහැකි වෙනවානේ.

ඒත් ඉතින් දැන් මේ මොකද වෙන්නේ.
වඳ පෙතී දැම්මයි කියල සැක කරන කඩේට ගිනි තියනවා. එහෙම කල බවට කෝ සාක්කි? 
විනාසයි නේද? 

කිසිදු සාක්කියක් නැහැ, ඒ මදිවට වඳ කොත්තු ගැන සැක උන්ම මුස්ලිම් කඩවලින් ගිහින් කොත්තු කනවා.
අනේ මන්දා මේවායේ තෙරුම මොකක්ද කියලා.

එක්කො සිංහලයෝ මෝඩයි. එහෙම නැත්නම් මේක වඳ පෙති කථාවක් හරහා ගෙනියන වෙනමම වැඩ පිළිවෙලක්. මට නම් හිතෙන්නේ ඔන්න ඔහොමයි.


Monday, February 12, 2018

මගරගමදී මොක්ද වුනේ......?


පලාත් පාලන මැතිවරනය කැඳවූ දිනයේ සිටම විවිදාකාර අනාවැකි විග්‍රහ ආදියෙන් බ්ලොග් පිටු පිරීගියේය.

බ්ලොග් කරුවන් අතර විශ්වාසයක් දිනා ගත් බ්ලොග් කරුවකු වන ඉකොනොමැට්ටා කවදත් දත්ත විශ්ලේෂනයට හා තර්කානුකූල මත වාද ඉදිරිපත් කිරීමට මනා පරිචයක් දක්වන්නේක් ලෙස ප්‍රකටය. මෙවර මැතිවරනය පාදක කරගෙන ඔහු විසින් ප්‍රථිපල ගනනය කරනා ආකාරය පිළිබඳ සියල්ලන් දැනුවත් කරමින් ලියූ ලිපියෙහි ප්‍රතිචාර ලෙස ඇනෝ වරයෙකු කියා තිබුනේ එ.ජා.ප. යේ නිල පුවත් පත කියෙව්වා වැනි හැඟීමක් ලද බවයි. මාද එය අනුමත කලෙමී හේතුව එදී ඔහු විසින් කරනු ලැබූ සියලුම අනුමාන එජාපයේ ජයග්‍රහනය මත පදනම්වම බැවිනි.

එහෙත් එයින් ඒ බ්ලොග් සටහන මගින් ගෙන ආ දැනුමට බාධාවක් නම් නොවුනේය.

එසේම තවත් අපේ ප්‍රිය බ්ලොග් රචකයන් බොහෝ දෙනෙකු මෙවර එ.ජා. ප. යේ පහසු ජයක් ගැන බලාපොරොත්තු තබමින් බොහෝ දෑ ලියා තිබුනේය.

මෙවර මා එකම එක අනාවැකියක් පමණක් දෙතිස් කථා බ්ලොගයේ මෙය සත්‍ය නොවේවා කියා පැතුමක් සමග සටහන් කොට තැබුවෙමි. ඒ අනාවැකිය මාගේ පැතුම විලසින්ම සත්‍ය නොවුනි. මා පමණක් නොව බොහෝ දෙනා විශ්වාස කල පරිදි ඡන්දයේ අවසන් ප්‍රථිපලයට බලපෑමක් කරන ආන්දෝලනාතමක ක්‍රියාවක ජනාදිඅපති වරයා නියැලුනේ නැත. නිහඬ කාලය නිහඬවම ගෙවී ගියෙය.

එයට අමතරව පලාත් මැතිවරණය ගැන ඉකොනොමැට්ටා ලියූ දෙවැනි ලිපියේදී මා තවත් අනුමානයක් කලේමි, එනම් එ.ජා. ප. යට තට ගත් දේ කටට දමා ගැනීමේ හැකියාවක් නැති බවයි. එය සනාත වී ඇත.

මේ සමස්ත මැතිවරන ක්‍රියා වලිය තුලම බොහෝ දෙනා නොදුටු කාරනය වන්නේ එජාපය විසින් පාවෙන ඡන්ද පදනම නොතකා හැරි ආකාරයයි.

2015 චන්ද සටනේදී එජාපය ප්‍රමුඛ කණ්ඩායම ඍජුවම පැවතු රජයට දූශණ චෝදනා එල්ල කලේය. එවිට මා විමසා සිටියේ ඔවුන් දූශනයෙන් තොර වන බවට සහතිකයක් දී තිබේද කියායි. කිස්දු දිනෙක අපි දූශනයෙන් තොර රජයක් පිහිටුවීමට කැපවනවා යන ප්‍රකාශයක් නොකිරීමට එදාද එම මැතිවරණ ව්‍යාපාරය තුල ඔවුන් ප්‍රවේශම් විය.
එය ඉකමවා  යමින් ජනවාරි 8 වැනිදා දූශන විරෝධී යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන් උදවියගේ සුලඟිල්ලේ තීන්ත පැල්ලම මැකී යන්නටත් පෙර මහ බැංකු බැඳුම්කර මගඩිය සිදු විය.

2015 ජනපති වරනයේ තීරනාත්මක සාදකයක් වූ 2012න් පසු ඡන්ද අයිතිය දින්නගත් තරුණ පිරිස යුද්ධයේ අමිහිරි මතකයන් ගැන එතරම් සංවේදී නොවීය අවුරුදු 20-22 තරුණයින්ට අවුරුදු 6කට පෙර සිදු වූ යුද්ධය යනු ඔවුන් කුඩාකල අතීතයේ කථාවකි. ඔවුන් ඊට වඩා 

  • අළුතින් රටට ඒමට නියමිත යුරෝපීය මෝටර් රථ කර්මාන්ත ශාලා ගැන සිහින මැවූහ.
  • නොමිලේ ලැබීමට යන වයි ෆයි පහසුකම නිසා සාක්කුවේ ඉතිරි වන මාසයකට රුපියලි 100-200 ක මුදල ගැන බලා පොරොත්තු තැබූහ.
  • විදෙස් ආයෝජනයෙන් අළුත් රැකියා බිහිවීම ගැන සිහින දැක්කෝය.
  • අම්මා විසින් ඉල්ලාගෙන බැංකුවේ තැබූ කරේ තිබුනු මාලය පොලී නොගෙවා ඇය නැවත බේරා දෙනු ඇතැයි සිහින මැවූහ.
  • ණය වී ගත්මෝටර් ස්යිකලය වෙනුවට මරුටියක්වත් ගත හැකියැයි සිහින මැවූහ.
  • රාජපක්ෂ උන්නැහේ පිටියට යාම නිසා හැමදාම පරදින ක්‍රිකට් ෆයිනල් මැච් දිනාගත හැකියැයි ෆැන්ටසි මැවූහ.


එහෙත් මැතිවරණයෙන් හයමසක් ගත වෙත්දී ඔවුන් ගොනාට ඇන්දවූ බව වටහා ගතහ. අම්මා තාත්තාට ලොකු කථා කියමින් අපේ කාලයට ගැලපෙන දේශපාලන භාවිතාව එජාපයයැයි කියා චන්දය දුන් තරුණ පිරිස වැඩිහිටියන්ගේ පැසුනු බව ඉදිරියේ කුජීත වූහ.

අන්න ඒ ලෙසින් එ.ජා.ප.යට පක්ශ වූ තරුණ බලය ගිලිහී ගියේය. එසේම 2015 ට 2018 දක්වා අළුතින් එකතු වූ තරුණ චන්ද කෙලින්ම එජාප විරෝධී මතයකට තල්ලු විය.

එ.ජා.පය දිනනවායැයි සැහැල්ලුවෙන් ගනන් හැදූ අයට මේ සාධක සලකා බැලීම අතපසුවීමකින් හෝ වුවමනාවෙන් මග හැරී තිබුනි.

බයියන් හා වහලුන්.
රාජපක්ෂ කඳවුර කෙරෙහි පක්ෂ වන්නවුන් එජාපය ප්‍රමුක බල වේග  හා ඩොලර් මත යැපෙන NGO නඩය විසින් හඳුන්වනුයේ බයියන් හා වහලුන් ලෙසිනි.

මේ වහල් මානසිකත්වය අප මැනැවින් දුටුවේ මෙවර එ.ජා.ප. ප්‍රචාරනය තුලිනි.
එජාප ය ඍජුවම ආරාධනා කලේ "අපි යූඑන්පී. අපි අපේ පක්ශය රැක ගනිමු. එය අපගේ යුතුකමයි" කියා ප්‍රචාරය කරමිනි.
එහෙත් වත්මන් පරපුරෙහි බහුතරයක් අපි එජාපය දිනවිය යුත්තේ ඇයි ? කියන පැනය ඇසීමට මැලි නොවෙති. මේ වහල් මානසිකත්වයෙන් අපි යූ එන් පී කියන මතයෙන් චන්දය දෙන්නන් යනු වඳවෙමින් පවතින කොට්ඨාශයකි.

එසේම ශ්‍රීලනිපයද මේ වහල් පිරිසට ආමන්ත්‍රණය කලේය. අපි අපේ ශ්‍රීලනිප ය රැක ගනිමු යන්න ඔවුන්ගේ තේමා පාටය විය. ඔවුනටද ඒ වහල් චින්තනය සාර්ථක වූයේ නැත.

මහරගමදී....
මහරගමට පොහොට්ටුවෙන් ඉදිරිපත් කල ලැයිස්තුව ප්‍රතික්ශේප විය. එය උසාවියෙන් ජයගත හැකියැයි එම කණ්ඩායම විශාල බලා පොරොත්තුවක් තැබීය. ඔවුන් ඒ බව පෝස්ටර් මගින් පවා ජනතාව දැනුවත් කලහ.
එහෙත් එය සාර්ථක නොවී ඉවතට විසි විය.

මහරගම ආසනය තුල පොහොට්ටුව වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන පුද්ගලයා මහරගම වාසීන්ගේ කැමැත්ත දිනා ගත්තෙකු නොවන විසුලු කාරයෙකි. නගර සභාව මෙහෙයවූ ඔහුගේ බිරින්දෑ ඊට එහා ගිය උද්දච්ච කාන්තාවකි.

අවසානයේ චන්දයට දින දහයකට පමන පෙර, පොදු ජන පෙරමුණ විසින් තීරනය කලේ තම අවලංගුවූ නාම යෝජනාව වෙනුවට මෝටර් සයිකලයකින් අයැදුම් කොට සිටි කණ්ඩායමකට සහය දැක්වීමට. ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීමට කාලය නොතිබුනු ඔවුන්,  රැස්වීම් මගින් පමණක් ජනතාව දනුවත් කෙරිනි.

ශ්‍රීලනිපයේන් මේම ප්‍රදේශය සංවිධානය කලේ බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රියයි. ඔහු මහරගම නගර සභාවෙහි හිටපු සභාපතිවරයාය. එජාපයෙන් සංවිධායක වූයේ පාටලී චම්පික ඇමති වරයාය. සිංහල බෞද්ධ චන්ද පදනක්මක් සහිත මහරගමට මේ හෙල උරුම නියෝජිතයා එජාපය කල අනගි තෝරා ගැනීමක් විය.

ශ්‍රීලනිපය මගින් පැවැත්වූ මහරගම අවසන් රැලියේදී තවත් අපූරු දෙයක් සිදු වුනේය. සභාව ඇමතූ මහ ඇමති වරයා. මහින්ද රාජපක්ෂ මෝටර් සයිකලයට චන්දය දෙන්නට කී බව එම රැස්වීමට පැමිණ සිටි ශ්‍රී ලංකා කාරයින්ට කීවේය.
එසේම සිරිසේන්ගේ මුහුණටම ජනාධි පති තුමනි ඔබ තුමා එවැන්නක් කලා නම් අපට  හිතට අමාරු නැතැයි කීවේය. ඒ කියන්නේ සිරිසේන යනු පාවා දෙන්නෙකු බව හැමෝම දන්නා බව ඔහු කීවේය.

අවසානයේ කිසිදු ප්‍රධාන පක්ශයක් නොවන මෝටර් සයිකලයක්. කිසිදු ආකර්ශනීය අපේක්ශකයෙකුගෙන් තොරව මුළු මහරගමම ජය ගත්තේය.

මෙයින් අප කියවා ගත යුතු දෙශපාලනයක් ඇතැයි මට සිතේ.

මෙතැනදී පැහැදිලිවම ජනතාව චන්දය ප්‍රකාශ කොට ඇත්තේ වත්මන් ජරය කෙරෙහි අප්‍රසාදයෙන් බව පිළිගත යුතුවේ. ඔවුන් මහින්ද කියන දේ කරන වහලුන් හෝ බයියන් විය නොහැකිය. මන්ද ඔවුන් පසුගිය මැති වරන වලදී මහින්ද පැරදූවන්ය. මෙතැනදී ඔවුන් එජාපයේ වහල් ආමන්ත්‍රනයත් ශ්‍රීලනිපයේ වහල් ආමන්ත්‍රයත් දෙගොල්ලන්ගේ අපි තරහයි දූශන විරෝදී නාටකයත් එක ගොඩට තබා පැරද්වූහ.
රාජ්‍ය බලය සහිත පිලට පමණක් ගම දියුනු කල හැකියැයි කිවූ එජාප මතය නොතකා හැරියේය.
ගම නියෝජනයට ආකර්ශනීය අපේක්ශකයන් නොසෙවූහ

මිනිසුන් චන්දය දුන්නේ මහින්ද කී නිසාමත් නොව,
බිඳ වටී ඇති සංවර්ධනයට  විරෝදය පෑමට.
බොරුවෙන් ගෙනයන පාලනයට විරෝදය පෑමට.
දේශීය සම්පත් විකුනා කෑමට විරෝධය දැක්වීමට
ඉන්දියානු බල පෑමට හා ව්යවස්තා මගඩියකින් රට බෙදීමේ වැඩ පිළිවෙලට විරෝධය පෑමට‍යයි මට සිතෙයි.
අවසාන මොහොතේ එංගලන්තයෙන් පැන නැගුනු රන විරු සාධකයද බලපෑමක් කලා යැයි සිතිය හැකිය.
(දැන් රාජ්‍ය ප්‍රථිපත්තියක් ලෙස සක්‍රීය හමුදා සේවයේ සිටින්නන් හෝ සිටියවුන් විදේශ සේවා වලට අනුයුක්ත කිරීම රජය විසින් වලකාලනු ඇත )

මහින්ද සාධකය දූශන විරෝදී නැත. එජාපයත් එසේම වන අතර දූශන විරෝධී හිත හොඳ චණ්ඩියා වී සිටින සිර්සේන ජනාධි පති වරයා වැජබෙන්නේ හොරු රැලක් වට කරගෙන බව නොදන්නෙකු නැත.
 ඉතින් දූශනය මෙතැන ප්‍රධාන වූ බවක් නොපෙනේ. ඊට වඩා සැලකිය යුතු අනෙක් කරුනු වලට මග පෑදී තිබේ.

එජාපයට අතට ගත් දේ කටට දමා ගැනීමට හැකියාවනම් නැත්තේමය.

Wednesday, January 24, 2018

ස්වයංජාත අස්වනු නෙලමු


Image may contain: night


ස්වයංජාත සහලක් ගැන අපි මීට කලකට පෙර කථා කලානේ ඔන්න දැන් ස්වයංජාත වැවූ උදවියගේ අස්වනු පැහෙන්න අරගෙන. දැන් තියෙන්නේ අස්වනු නෙලා ගන්නයි ඒ අස්වනු විකුනා ගන්නයි.

හැමටම කලින් මේ ස්වයංජාත ලංකාවට පහල වුනේ කොහොමද කියල සොයා බලමු.


එක් තැනෙක කියැවෙනවා පැරනි දාගැබක කැනීම් කිරීමේදී ඒ තුල මංජුසාවක තැන්පත් කොට තිබූ අවුරුදු දහස් ගනනක් පැරණි ධාන්‍ය වලින් මේ පැල හදා ගත්තා කියා. ඒත් ඒ ගැන සහතික කරන කිසිදු පුරා විද්‍යා වගකිව යුත්තෙකුගේ ප්‍රකාශයක් නම් සොයා ගන්නට නැහැ.

තවත් තැනෙකදී යම් කිසි පර්යේශන නිලධාරීන් පිරිසකට ලැබුනු මේ බීජ කිහිපයක් ඔවුන් වවා පඳුරක් බිහි කොට එය මනාව ආරක්ශා කර පූජ්‍ය වහරක හිමියන් එය බැලීමට වඩමවා තියෙනවා. එහිදී උන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ පැහැදිලිවම අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වටිනා ස්වයංජාත් වී බවත් එය ලංකාවට නැවත පහල වන බව උන් වහන්සේ ප්‍රකාශ කලේ මීට බොහෝ කලකට පෙර බවත්ය. එසේම උන් වහන්සේ පවසනවා, මේ භෝගය පහල වී ඇත්තේ ලක් වාසීන්ගේ පින් මහිමය නිසා බවත්, මේ භෝගය නිසා අනාගතයේදී ලක් වාසීන්ට සහල් හිඟයක් කිසිදා ඇති නොවන බවත්. එක් බීජයක් හෝ සපා බලන්නේවත් නැතුව සෑදෙන සැම බීජයකින්ම පැල සදමින් එය ප්‍රචාරනය කරන ලෙස උන් වහන්සේ උපදෙස් දෙනු ලබනවා.
මේ ගැන සඳහන් වීඩියෝ පටයක් යූ ටියුබ් අඩවියේ අදටත් සුරක්ශිතව තියෙනවා.
https://www.youtube.com/watch?v=vnf2dw2NTzc     -    මේ තියෙන්නේ එහි යූ ටියුබ් වීඩියෝව


තවත් තැනෙක යූ ටියුබ් වීඩියෝවක අයෙක් පැහැදිලිවම ප්‍රකාශ කරනවා ලංකාවේ ඇති සියලු සහල් වර්ග වල මූලාරම්ඹය මේ ස්වයංජාත් සහල් බවත් එම මුල් සහල් ගසින් අපට වඩා හොඳ පලදාවක් ලබා ගත හැකි බවත්.

මේ මාහානර්ග ස්වයංජාත සහල එදා සිට බොහෝ දෙනෙකු වගා කල අතර දැන් වන විට එය සැලකිය යුතු තරමට ලංකාව තුල ව්‍යාප්තව ඇත. එය අක්කර ගනනින් වගා කලවුන් පවා දැන් වන විට සිටිති.

ඇත්තටම මේ ස්වයංජාත යනු මොනවාද?
මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ස්වයංජාත වගා කරුවන් හෝ ප්‍රචලිත කරන්නන් කැමති නැහැ. ඒත් ඒ නිසා අපිට ඉන් වැලකී   සිටීමට නම්  නොහැකියි.
බතලගොඩ වී පර්යේශනායතනයේ නිලධාරීන් ඉතා පැහැදිලිව මේ ශාකය හඳුනාගෙන තියෙනවා. ඔවුන්ට අනුව එහි වර්ගී කරනය සෝගම් බයිකලර් (Sorgham bicolor) වේ.

අප පරිභොජනය කරන සහල් ශාකයේ විද්‍යාත්මක වර්ගීකරනය නම් ඔරිසා සැටීවා (Oryza Sativa) යන්නයි.

ශාක හා සත්ත්ව වර්ගී කරනය ගැන සුළු හෝ දැනුමක් ඇත්තෙකුට පැහැදිලි වෙනවා මේ කථා කරන්නේ හාත්පසින්ම වෙනස් වූ ශාක විශේශ දෙකක් ගැන බව.
එසේනම් තව දුරටත් මේ ස්වයංජාත යයි හඳුන්වන ශාකය සහල් විශේශයක් නොවෙයි.

එසේනම් ඒ කුමක්ද? අපි සොයා බලමු.
https://en.wikipedia.org/wiki/Sorghum_bicolor (විකිපීඩියා ඔබට මේ ගැන බොහෝ තොරතුරු සපයයි)

තෘණ කුලයේ සෝගම් නම් ශාක ගනය අප්‍රිකානු භූමිය පදනම් කරගෙන බිහිවූ ශාක ගනයකි. මෙහි ස්වභාවයෙන්ම ඉතා රළු පාරිසරික තත්වයන්ට ඔරොත්තු දීමේ හා අඩු ජල සම්පාදනයකින් පැවතිය හැකි ලක්ෂන සහිතය. වියලි අප්‍රිකානු භූමීන්ට ගැලපෙන සේ.
සෝගම් බයිකලර යන ශාක විශේශය මේ තිහක් පමණ වන සෝගම් විශේශ අතුරින් භහුලවම හමුවන ප්‍රබේධයකි.

ස්සෝගම් බයිකලර් ශාකයෙහි තවත් විශේශත්වයක් වනුයේ එහි උප විශේශ අති විශාල සංක්‍යාවක් පැවතීමයි. එය හරියටම පොල් කියන ශාක විශේශයෙහි පොල්, තැඹිලි, කුන්දිරා, නවසි ආදී වශයෙන් විවිධාකාර වූ ශාක පවතිනවා මෙන්ය. මේ වෙනස් කම් සහිත සෝගම් බයිකලර් ප්‍රභේධ අතර දෙමුහුමෙන් ස්වභාවිකවත්, මිනිස් මැදිහත් වීමෙනුත් වෙනස් වෙනස් ප්‍රභේධ ගොඩනගා ගත හැකිය.

සෝගම් බයිකලර් ශාකය හෙවත්  ව්‍යාජ ස්වයංජාත භාවිතා කරන්නේ මොනවාටද?

ඇත්තෙන්ම මෙය වුවමනා නම් මිනිසාට ආහාරයට ගත හැකි ධාන්‍ය වර්ගයකි. එහෙත් ඉතා රළු ධාන‍ය විශේශයක් නිසාත් තවත් නොයෙකුත් හේතුන් නිසාත් මේ ශාකය නිර්දේශ කරන්නේ සත්ත්ව ආහාර සඳහාය. එයත් පත්‍ර හා ශාක කොටස් (ඉතා වේගයෙන් වැවෙන නිසා) ගවයන් වැනි සතුන්ගේ ආහාර පිණිසය.
මෙම ශාකයෙහි බීජ සත්ත්ව ආහාර සඳහා යොදා ගත හැකි මුත් ඉරිඟු වැනි ධාන්‍ය වලට වඩා ජීරණය අපහසු ධාන්‍යයක් ලෙස අර්ධ ජීරනය කල තත්වයකින් සකසා සත්ත්ව ආහාර ලෙස යොදා ගැනීමට නිර්දේශ කරනු ලබයි.

මෙම ශාකයෙහි පත්‍ර හා කොටස් කිරි ගවයන් පෝශනය පිණිස යොදා ගැනීමේදී ගැබ් ගත් දෙනුන්ට එය ලබා දීම අවධානම් සහගතය. මේ ශාකයෙහි අඩංගු ඇතැම් රසායනිකයන් ගබ්සා කාරක ලෙස හඳුනාගෙන ඇති නිසා ඒ මගින් දෙනුන් ගබ්සා වන බව සොයාගෙන ඇත. එම නිසා කිරි දෙනුන් හට මේ ශාකය ලබා දීම නිර්දේශ නොකෙරේ.
මේ අඩු පාඩුව සකස් කලා යැයි පැවසේන නව දෙමුහුම් ප්‍රබේධයක්  සමාගමක් අලෙවි කරන බව අසා ඇත්තත් ඒ පිළිබඳව සත්‍ය අසත්‍ය තාවය දන්නේ නැත.

නූතන වගා ක්‍රමයන් හි ඇති සජීවී පාංශු වගාවන්හී පසේ ඇති අයින්ද්‍රීය සංගටක ප්‍රමානය කෙටි කලකින් වැඩිදියුනු කර ගැනීම සඳහාද ඉතා වේගවත් වර්ධනයක් සහිත මේ ශාකය වගා කෙරේ. මේ ශාකයෙන් අක්කරයකින් මාස තුනකින් පමණ ටොන් දහයක් පමණ එයින්ද්‍රීය කොටස් (Bio Mass) ප්‍රමානයක් ගොඩ නගා ගත හැකි බව පැවසේ.

සෝගම් බයි කලර් හෙවත් ව්‍යාජ ස්වයංජාත මිනිස් ආහාරයක් ලෙස.

මෙය ලෝකයේ කිසිදු රටක මිනිස් ආහාරයක් ලෙස පරීක්ෂණ පවත්වා ඇති බවක් වාර්තා නොවේ. හේතුව ඉතා රළු ආහාරයක් වන මෙය සත්ත්ව ආහාරයක් ලෙසම කාලයක් පුරා ප්‍රචලිතව පැවති ශාකයකි.
එහෙත් මෙය මිනිසුන්ට ආහාරයට ගත නොහැකි ධාන්‍යයක් ලෙසද නම් කෙරෙන්නේ නැත. කැමතිනම් ආහාරයට එකතු කර ගැනීමේ හැකියාවක් ඇත. එහෙත් ගවයින්ට බලපාන ගබ්සාකාරක ගුනය එලෙසින්ම මිනිසුන්ට බලපානවාද නැතිදැයි සොයා බැලීමක් කර නැති බව සිහිතබා ගත යුතුය.

වැවූ අයගේ අස්වනු වලට දැන් කුමක් කරමුද?
Image may contain: plant, flower, nature and outdoor
මෙන්න මේය තමා දැන් ඇති ප්‍රභලම ප්‍රශ්නය.

මේ ශාකය ස්වයංජාත යැයි සිතා වගා කල වුන් දැන් ගැටළුවකට මැදිවී සිටිති. එම නිසා දැන් දැන් අළෙවිකරන ක්‍රමවේද මේ සඳහා යොදා ගැනෙමින් පවතින බවක් පෙනෙයි.

දැන් යම් පරිමානයකින් මෙය වගා කල වුන් මේ ශාකයෙහි ඇති ගුනය හා අයිතිහාසික වැදගත් කම ගැන දේශනා පවත්වති. එයට බුදු හිමියන්වද ගාවා ගනිති.

තවදුරටත් ගොස් පඳුරු කිහිපයක් වවා ගත් උදවියගෙන් මේ බීජ කිලෝව රු 150.00 ගනනේ ඉල්ල සිටිති. එ හරහා මේ බීජ වලට වෙළඳ පොලක් ඇතැයි ව්‍යාජ වටිනාකමක් සාදති.

කිහිප දෙනෙකු කියන විට අපි වවාපුවා නම් රු 150.00 ගනනේ ගෙදරටම ඇවිත් ගෙන ගියා කියා මේ බීජයට ( ව්‍යාජ සහලට ) ව්ටිනා කමක් ඇතිවේ.
ඉන් වඩා විශාල තොග නිශ්පාදනය කර ඇති උන්ගේ වගාවට අස්වැන්නට වටිනාකම තහවුරු වේ.
ඔවුනටත් අඩුම ගනනේ සිල්ලර වෙලඳ පොලෙහි මේ කිලෝවක් රු 150.00 ට විකුනා ගත හැකි වනු ඇත.

ඒත් අවසානයෙහි වන්නේ අසරණ මිනිසුන් මේ කිසිදු වෙලඳ පොල වටිනා කමක් නැති (සත්ත්ව ආහාර ලෙස පවා ) ව්‍යාජ සහලකට අධික මිලක් ගෙවා ආහාරයට ගැනීමට පෙළඹීමයි.

මෙවැනි ලිපියකින් අපිට මේ ගැන විශාල පණිවුඩයක් සමාජයට දීමට නොහැකිය. ඒ සඳහා මාසතු ශක්තියක් නැති බැවින් මෙලෙස මේ ගැන ලියා තබමි.

***---------------------------------------------------------------------***

මෙහි ඇති ඡායා රූප මා හඳුනන වෛද්‍යවරියක් වන වෛද්‍ය මංජුලා ජිනසේන මහත්මිය විසින් විමසා බැලීමට වගාකරන ලද සෝගම් බයිකලර් හෙවත් ව්‍යාජ ස්වයංජාත සහල් පඳුරු කිහිපයේ අස්වැන්නෙනි.


මේ ලිපිය හරහා සෝගම් බයිකලර් සහලකැයි සිතා වැවූ උදවියට අගතියක් කිරීමේ පරමාර්ථයක් නැත. එසේම මෙහි නම  සඳහන් භික්ෂූන් වහන්සේ නමට අපහාසයක් කිරීමෙහි අරමුණක් නැත.