Tuesday, May 16, 2017

ඇත්ත කියා අනුන්ගේ ජීවිත අවුල් කරනා අහින්සකයෝ....!

ඇත්ත නොකියනවා කියන්නේ බොරු කියනවා කීමද?


මීට වසර දහයකට පමණ පෙර මා කියැවූ නවකථාවක් මට සිහිවේ. ඒ ජයසේන ජයකොඩි මහතාගේ මනුස්සාත්ම නම් වූ කෘතියකි. එහි චරිත වල නම් ගම ආදිය මට දැන් මතක නැත. එහෙත් කථා සාරාංශය තුල

දුප්පත් ගැමි පරිසරයක වෙසෙන පවුලකි. උත්සහවන්ත ගොවියෙකු වූ සැමියා මැලේරියා හෝ යම්කිසි බරපතල රෝගයකට ලක්ව කාලයක් දුරවලවී අසරණ වෙයි.දරුවන් කුඩාය.  ඒ කාලයේ භාහිර පුද්ගලයෙකුගේ මැදිහත් වීම මත ගැහැණිය ඔහු හා කිහිප අවස්ථාවක් සඹඳතා ඇතිකර ගනී. රෝගී සැමියා කිසිවක් නොදනී.

දීර්ඝ කාලයක් ගත වේ භාහිර සඹඳතා නැත පවුල සාමාන්‍යය. දරුවන් වැඩිහිටිය පවුලට ආදායම් උපදවයි. සියල්ල සාමකාමීයි. මහළු මව මරණ මංචකයේ සිටිමින් ඉතා මහළු සැමියාහට තමන් ජීවිත කාලයක් හිතේ තද කරගෙන සිටි සැමියාට කල "ද්‍රෝහි කම" කොඳුරා කියා සමාව අයැද මිය යයි. තමා ජීවිත කාලය තුල සිහිනෙන් වත් නොසිතූ මේ "විශ්වාස ඝාතනය" ගැන ඇසීමෙන් වික්ශිප්ත වන මහල්ලා දැඩි නිහඬ බවක ගිලී හිඳ "ඇයි උඹ ඕක දැන් මට කීවෙ" කියා අසන විටත් මැහැල්ල මිය ගොස් අවසන්ය.
(ජයසේන ජයකොඩිගේ බොහෝ පොත්වල් ඔහු යොදාගන්නේ හොරණ ප්‍රදේශයෙහි ජීවත් වූ යම් ගැමි යෙකුගේ සත්‍යය වූ සිදුවීම් සාරාංශය කොටගෙන ඔහු විසින් ගොඩනගන කථාය )

මෙවැනි පෞද්ගලිකව දන්නා කථාද ඇති මුත් මෙහි ලිවීම නුසුදුසු යැයි සිතමි.
මා ලියා තිබූ කථාවද ඉවත් කරදමමි.

කල යුත්තේ කුමක්ද?

සත්ත්වයා ලෝකය ගොඩනගන්නේ තමන් ගේ ඉන්ද්‍රියයන් වල ග්‍රහණයට ලක් වන සංවේදන තුළිනි. කොටින්ම සත්ත්වයාගේ ග්‍රහණයට නතු නොවූ දෑ සත්ත්වයාගේ ලෝකය තුල නැත. සත්ත්වයා සිය ග්‍රහනයට ලැබෙන සංවේදන තුලින් සංස්කරණය කරමින් ලෝකය ගිඩ නගයි. එසේ සංස්කරනය කරමින් ගොඩ නොනැගූ කිසිවක් ලෝකයෙහි නැත.

අපට හිරු සඳු නොදැනේ එහෙත් එකිනෙකට වෙනස් වූ ආලෝකයන් දෙකක් දැනේ ඒ ආලෝකය දැනෙන ආකාරය අනුව සකසා ගෙන අපි අර ඉරය මේ හඳය ලෙස අපේ ලෝකය තුල වූ පරිසරය ගොඩ නගා ගනිමු. දරුවෙකු උපතේදීම හඳුනා ගන්නා අම්මා තාත්තා ආදී සංකල්ප සියල්ලම මෙසේය. අම්මාගේ රූපය ආලෝක සංඥ්ඥාවක් ලෙසින් හඳුනිමු. අම්මාගේ කටහඳ ශබ්දයක් ලෙසින් හඳුනුමු. ඇගේ පියවර රිද්මය හඬක් ලෙසින් හඳුනිමු. ඇගේ සුවඳ ආග්‍රාන සංවේදනයක් ලෙසින් හඳුනිමු. ඇගේ රූපයෙහි, හඬෙහි වෙනස් වීම් තුලින් ඇය සතුටින් දුකින් බව ග්‍රහනය කර ගනිමු. මේසේ අපි ලෝකයෙහි ඇති එක එක දේ ඒ හා සම්බන්ධ සංවේදනා තුලින් ග්‍රහණය කරමින් අති සංකීර්ණ වූ ලෝකයක් තනා ගනිමු. එසේ තනාගත් ලෝකය එසේ පවතින ලෝකයකැයි විශ්වාසයකින් බැඳී එහි නොයෙකුත් සෙල්ලම් පෙන්වමින් සිටිමු.

සත්ත්වයා ලෝකය තුල පැවැත්ම එයාකාරනම්....

අපේ ඇසට ලක් නොවූ නොදන්නා වූ දේ ගැන අපේ පැවැත්ම කෙබඳුද?
අපි නොදුටු, නොඇසූ, ගන්දයක් නොදැනුනු, රසක් නොදැනුනු, ස්පර්ශ නොවුනු දේ අපේ ලෝකයෙහි කෙසේවත් අඩංගු නොවුනු දැනුමය. මා ගෙදර නිසිටි කාලයෙහි මගේ අල්ලපු ගෙදර කවරෙකු සිටියේද කුමක් කථා වුනේද, කවුරුන් ආවා ගියේද වශයෙන් කිසිවක් මා නොදන්නා අතර එය මගේ ලෝකයෙහි මොමැති දේ වේ. ඒ ගැන සෙවිමෙන් පලක්ද නැති නිසා එයට කාලයක්ද නැති නිසා මා එයට නොවෙහෙසෙමි එය මගේ ලෝකයෙහි අංගයක් නොවෙයි. එහෙත් සම්මතය තුල මා උදේ ගෙදරින් යන විට එම නිවස තිබූ නිසා එවන් නිවසක් ඇති බව මගේ ලෝකයෙහි අංගයකි. ඒ තුල මිනිස් ක්‍රයාකාරකම් වන බවක් මීට පෙර මගේ ලෝකය දැන සිටි නිසා එහිතුල මිනිස් ක්‍රියා කාරකම් වන බවක් මගේ ලෝකයෙහි ඇත.

මා නැති අතරෙහි මගේ නිවස තුල සිදුවිය යුතු හා නොයුතු දේ ගැන මා තුල ඊට වඩා පැහැදිලි දැක්මක් හා විශ්වාසයක් ඇත. මේ විශ්වාසයෙහි පදනම කලින් එය සිදුවූ ආකාරය මත පදනම් වේ.

මගේ ලෝකය තුල යමක් සිදුවන ආකාරය පමණක් නොව යමක් සිදුවිය යුතු ආකාරය පවා අපි කලින් තීරණය කරන්නෙමු. එසේම යමක් සිදු වූ ආකාරය අප නොදන්නා විට එය සිදුවිය යුතුව තිබූ ආකාරයට එය සිදුවූ බව අපි සිතන්නෙමු. එසේ සිතූ කල අපේ ලෝකය තැනෙන්නේ එසේ අපි සිතාගන්නා කරුනු වලින් නොදන්නා කරුනු පුරවා ගැනීමෙනි.

අපි අතිශයින් විශ්වාස කරන කෙනෙකු ගේ පැවැත්ම සිදුවිය යුතු ආකාරය ගැන අපි තුල යම්කිසි සැලැස්මක් පූර්වයෙන් ගොඩනගාගෙන ඇත. අපි න්දකින නොදැනෙන තැනෙකදී ඒ විශ්වාස වන්තයා හැසිරෙන ආකාරය අපි සිතින් ගොඩනගා ගන්නෙමු. ඒ මගින් අප විශ්වාස වන්තයාගේ අප නොදන්නා කොටස අපි විසින්ම පුරවාගෙන ඒය අපේ ලෝකය කරගනිමු.

ඉහත මා දැක්වූ පළමු අවස්ථාවේදී මහල්ලාගේ ලෝකය සාමකාමීය. ඔහු ජීවිතය තුල විශ්වාස කල දෑ එලෙසින්ම පවතී. ඔහුගේ ජීවිත අරමුණු වූ ලෝකයට දරුවන්ට කල යුතු යුතුකම් ඉටුකොට ඔහු ජීවිතයෙහි අවසානය බලාපොරොත්තුවෙන් සිටින්නෙකි. ඔහුගේ ආදරබර විශ්වාස වන්ත බිරිඳ මහළුව දුබලව මරණ මංචකයේය. ඇයට ඉටුකිරීමට නොහැකි ඌ යම් යුතුකමක් වේද ලබා දිය නොහැකි වූ සැපයක් වේද ඒ ගැන සැමියෙකු ලෙස ඔහු පශ්චාත්තාපයෙහි සිටියි. එවන් මොහොතක ඔහු ගේ ලොවෙහි කිසි දිනෙක නොවූ සිදු වීමක් ඔහුගේ ලෝකයට ඇතුලු වීමෙන් ඔහු ලබන සැනසුමක් වේද?
ඒ දැනුම ඔහුගේ ලෝකයට පැමිණීමද නොපැමිණීමද වඩා යහපත්.
මැහැල්ලගේ පාර්ශවයෙන්, ඇය දැනුවත්ව පෙළඹවීමක් මත වරදක් සිදුකොට ඇත. ඇය එතැන සිට ජීවිත කාලයක් සැමියා ඇයට ආදරයෙන් සලකන වාරයක් පාසා ඒ ගැන පසුතැවෙමින් ජීවිතය ගෙවා දමා ඇත. එහෙත් අවසන් මොහොතේ ඇයට ඒ පශ්cචාත්තාපයෙන් මිදීමට අවැසිය. ඇයට මරණයට මුහුණ දීමට ශක්තියක් නැත. වංචාකාරී හැඟීම සිතට වද දේ. එම නිසා ඇය සැමියා ඉදිරියෙහි පාපොච්චාරණයක් කොට, සිත සැහැල්ලු කොටගෙන, මිය යන්නීය.

මගේ විග්‍රහයේ හැටියට ඇය සැබැවින්ම සැමියාට වරදක් කරන්නේ අන් සැමියෙකු පහස ලැබූ මොහොතේ නොව. මරණ මංචකයේදී කරන පාපොච්චාරණය මගින් තම ආත්ම විමුක්තිය පතා සැමියාගේ විමුක්තිය බිලි ගැනීමෙනි. ඇය කල වරද ඇය බොහෝ දුරට විඳවා ඇති බවක් පෙනේ. එහෙත් ඇය විමුක්තිය සොයන්නේ සැමියාගේ විමුක්තිය බිලිගැනීමෙනි.

ඔහුගේ ලෝකය තුල නොවූ දෑ නොමැති තාක් කල් එය නොමැතිය. එහෙත් ඇය විසින්ම එසේ පාපොච්චාරණය කිරීම මගින් දැන් එය ඔහුගේ ලෝකයෙහි දැනුමයි. එය එසේ වූ බව ඔහු පිළිගනියි. ඔහු රැවටීමකට හසු වී ඇත. එය නිවැරදි කරගැනීමට ඔහුට කාලයක් නැත. ඔහුගේ ලෝකය විනාශ වී ගොස් ඇත.

මා මෙහිදී මතු කිරීමට තැත් දරන්නේ සත්‍යවාදී වීම හොඳ වුවත්  තමාගේ විමුක්තිය පිණිස අනෙකාගේ (අහින්සකයෙකුගේ) විමුක්තිය බිලිගනිමින් සත්‍යවාදී වීමට වඩා තමා කල වරද තමාම විඳවමින් සිටීම යහපත් බවයි. එය පරාර්ථකාමී සැබෑ ආදරණීය ක්‍රියාවක් බවයි.



ඇත්ත කීමෙන් යමෙකු දුකෙහි වැටෙන බව දන්නවානම් එම ඇත්ත නොකියා සිටීමෙහි වරදක් නැතැයි මම සිතමි.
ඇත්ත කියා ගන්නට නොහැකිවීම නිසා වරද කල අහින්සකයා විඳවීමෙහිත් වරදක් නැතැයි මා සිතමි.