ලංකාවේ සිංහල බෞද්ධ උගතුන් යම් කිසි ප්‍රමාණයක්
දැන් දැන් නිරාගමිකයන් බවට පත් වන ප්‍රවණතාවයක් දැක ගැනීමට ඇත.
මෙයට හේතු සොයා බැලීම
කාලීන අවශ්‍යතාවයක් ලෙස මට සිතේ.
මෑතකාලීනව බොහෝ සාම්ප්‍රදායික බෞද්ධ පවුල්
වලින් බිහි වන උගතුන් සිංහල බුද්ධාගම අත්හරිනවා පමණක් නොව පන්සලේ ඇති අපගාමී චර්‍යාවන්
ආදිය මතුකරමින් බුද්ධාගම හරයක් නැති තවත් එක ආගමක් ලෙස හුවා දක්වමින් සිටිති.
මෙහිදී මා සලකන්නේ බුද්ධාගම සැබැවින්ම ආගමක්ද
යන්න සොයා බැලිය යුතු බවයි.
ඊට ප්‍රතම සොයා බැලිය යුත්තේ ආගමක් යනු
කුමක්ද යන්නයි. අවිඥ්ඥානිකව බොහෝ දෙනා ආගම් ගැන දැන සිටියත් ආගම් වෙනුවෙන් යුධ ප්‍රකාශ
කලත් ආගමක් යනු කුමක්දැයි වටහා ගත්තෝ අල්පය.
ආගම
මේ වචනය සෑදුනු හැටි හෝ එය විවිධ භාශාවලින්
යෙදෙන හැටි ගැන සෙවීමට මෙහිදී වෙහෙසිය යුතු නැත. අද වන විට ආගම යන සිංහල වදනත්
"religion" යන ඉංග්‍රීසි වදනත් සියයට සියයක්ම එකම අරුතකින්
භාවිතා කෙරේ.
ඒ අනුව ආගමක් (Religion) සතුව
ආගම් කතෲ වරයෙකු සිටීම
ආගමික සංස්ථාවක් පැවතීම
විශ්වාසයන් සමුදායක් පැවතීම
ඇදහීම් ක්‍රම හා පූජා විධි පැවතීම
අනිවාර්‍යයෙන් සුරැකිය යුතු සම්ප්‍රධායන්
පැවතීම
දුක කියා පිහිට ඉල්ලා සිටීමේ අවස්ථාවක්
තිබීම
වැනි සරළ පොදු ලක්ෂන රැසක් හඳුනා ගත හැකිය.
මගේ හඳුනා ගැනීමේ හැටියට සිංහල බෞද්ධයන්ගේ
බුද්ධාගම සැබැවින්ම ආගමකි. එහි ඉහතසඳහන් සෑම සියළු ලක්ෂණයක්ම අඩංගුය.
නම් වශයෙන් හිංදු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, යුදෙව් ආදී ඕනෑම ආගමික විශ්වාස පද්ධතියක්
තුල මේ සෑම ලක්ශනයක්ම එකම අයුරින් සමන්විතය. එහෙත් ඇදහිලි ක්‍රම හා සම්ප්‍රදායන් වල
ඒ ඒ සංස්කෘතීන්ට අදාල වූ වෙනස්කම් පමණක් හඳුනා ගත හැකිය.
නූතන නිරාගමිකයන් බවට පත්වන බුද්ධාගම්කාර
පවුල් වල උගත් දරුවන් ප්‍රභලවම ගැටෙන්නේ මෙන්න මේ කී බුදු දහම පාදකව පිහිටුවාගෙන ඇති
ලෞකික ආගමික සංස්ථාවක් වන බුද්ධාගම සමගින්ය.
එලෙස මේ සාම්ප්‍රදායික ආගමක් වූ බුද්ධාගම
හා ගැටෙන උගත් බුද්ධිමත් නව පරපුර (නව පරපුර කීවාට අප අයත් පනස් විය ඉක්මවූ උගතුන්ද
මේ කුලකයට අයත් වේ ) ඒ තුලින් විවේචනයට ලක් කරන්නේ බුදු හිමියන්වය, බුදු හිමියන්ගේ දහමය.
මේ
අත්තෝනෝමතික විවේචනය මුලාවකි. බුදු දහමේ උගන්වන්නේ කුමක්දැයි නොදැන කරන විවේචනයකි.
ඔවුන් සැබැවින්ම, පුවත් පතක මාතෘකා පාඨ පමණක් කියවා අන්තර්ගතය සිතින්
මවා ගමේ කඩ මණ්ඩියේ කයිවාරු ගසන්නන් වැනිය.
රේරුකානේ හිමියන්ගේ පොත්වලින් කඩල ගොටු
ගැසීම.
මේ මා ඉතා මෑතකදී කියවූ බ්ලොග් ලිපියක අන්තර්ගත
වූ කාරනයකි. මේ ලිපි රචකයා කියන්නේ රේරුකානේ හිමියන්ගේ පොත් වලින් වැඩ්ක් ගත හැකි බවත්
ඒවානම් කඩල ගොට්ටක් ගසා ගැනීමට හෝ අවශ්‍යනම් හදිස්සියකට ගන්ජා සුරුට්ටුවක් ඔතා ගැනීම
වැනි වැඩකට බවයි.
මේ කියමන දකින් බුද්ධාගම් කාරයෙකු මෙයින්
කැළඹීමකට පත්විය හැකිය. අපොයි අර යකා අපා ගත වෙන්නට හදනවා යැයි විස්සෝප වන්නට හැකිය.
ආගම් අදහන්නන් ගේ හැටි එසේය.
එහෙත් මා කියන්නට තනන්නේ මේ ආකාරයෙන් බරපතල
විවේචනයක් එම පොත් කෙරෙහි එල්ල කරන බ්ලොග් රචක සහෘදයා එම පොතෙහි සඳහන් එකදු කරුනක්
වත් විමර්ශන ශීලීව හෝ අඩු තරමින් තර්කානුකූලව බිඳ හෙලීමක් නොකරන බවයි. එසේනම්,
ඔහු මෙවැනි කථාවක් කීමෙන් බලා පොරොත්තු වන්නේ කුමක්ද?
පැහැදිලිවම ආගම් භක්තිකයන් උරණ කරවා ඒ තුලින් පොරක්
වීමටත් නූතන බ්ලොග් චන්ඩින් අතර සම්මතයට ගරහන නිර්භීත බ්ලොග් චන්ඩියෙකු ලෙස වැජබීමටත්ය.
අදාල ලිපිය හුදෙක් හිස් "චන්ඩි පාට්"
එකක් බව කියා මා ප්‍රථිචාරයක් දැමුවද එයට කිසිදු පිළිතුරක් රචකයා ගෙන් මෙතුවක් ලැබී
නැත.
පටලවා ගත් පංචස්කන්ධය
තවත් බ්ලොග් සාකච්චාවකදී සත්ත්වයෙකු වීමට නම් පංචස්කන්ධයක් දැරිය යුතුයැයි මා කියා සිටි විට නිරාගමිකයෙකු ලෙස පෙනී සිටින එම උගත් බ්ලොග් කරු පෙරලා විමසුවේ පංචස්කන්ධයක්ම අවශ්‍යයිද යන්නයි. එවිට මා ස්කන්ධ 5 සවිස්තරාත්මකව පෙන්වා දුන් කල ඔහු නිහඬ වෘතයකට පිවිසුනි. මින් මා වටහා ගත්තේ බොහෝ දෙනෙකු මෙන් ඔහුත් පංචස්කන්ධය යනු පංච ඉන්ද්‍රිය ලෙස වරදවා වටහා ගෙන උන් බවකි. බුදු දහම යනු තවත් එක ආගමකියි පෙන්වීමටත් බුද්ධාගමේ වැරදි හරහා බුදු දහමට ගැරහීමටත් වෙර දරන බොහෝ දෙනාගේ බුදු දහම පිළිබඳව වූ දැනුම එයාකාරය.
මෑතකදී ප්‍රවීන බ්ලොග් රචක අටම්පහුර කතුවරයා සල්ගාදු නමින් පන්සලක් ආස්‍රිත කථාවක් කෙටි කථාවක් ස්වරූපයෙන් එලි දැක්වීය. මේ කථා කරන්නේ බුද්ධාගමේ ආගමික ස්ථානයක් වූ පන්සලක් ඇසුරේ බුද්ධාගමේ නියෝජිතයන් වූ හාමුදුරු කෙනෙකුගේ චර්‍යාවයි. මෙය හිතලුවක් සේ බැහැර කිරීම හෝ බුද්ධාගමට අගෞරව කිරීමක් සේ ගත යුතු නැත. බුද්ධාගම යනු ගෞරවනීය විද්‍යාවක් හෝ දැනුම් පද්ධතියක් නොවන නිසා මෙවැනි කථා තුලින් බුද්ධාගම් කාරයින් ගැටුමට ලක් විය හැකිය. එහෙත් මේ යථාර්ත වාදී කථාවෙන් හාස්‍යයට ලක් කෙරෙන්නේ බුදු හිමියන් දෙසූ දහම නොවෙයි. වටහා ගත යුතු සත්‍යය එයයි.
මෙවැනි රචනා හරහා දහම හාස්‍යයට ලක් කිරීමට තැත් දරන්නන් කෙරෙහි අනුකම්පා කිරීම හැර කල හැකි අනිකක් නැත.
නැවත මුල් මාතෘකාවට එළැඹෙමින්, ඉහත සඳහන් කාරනා අනුව ආගමක් අරුත් දැකිවිය හැකිනම්
ඒවා ප්‍රථික්ශේප කරන උදවිය නිරාගමිකයින් ලෙස හැඳින්වේ නම්, මාද නිරාගමිකයෙක්මි.
බුදු හිමියන්ගේ දහම පිළිගන්නා අයෙකු නිරාගමිකයෙකු
විය හැක්කේ කෙසේද?
මෙය ඉතා ගැඹුරින් විමසා බැලිය යුත්තකි.
බුදු හිමියන්ගේ දහම යනු දැනුම් පද්ධතියකි.
බුදු හිමියන්ම අගය කොට ඇති පරිදි එය ප්‍රායෝගිකව භාවිතා කිරීමෙන් අවබෝධ කොට ගත යුතු
දැනුම් පද්ධතියකි.
එහි වැඳුම් පිදුම් කිරීමෙන් අවසන් ඵලය කරා
එළැඹීමේ මගක් නැත.
යැදීම් නැත
ආශ්චර්‍යයන් නැත
සියල්ලටම වැඩියෙන් එහි මැවුම් කරුවෙකු නැත.
ඒ වෙනුවට ඉතා ගැඹුරු හේතු ඵල දහමක් ඇත.
ඉතින් මෙය ආගමක් වන්නේ කෙසේද?
ඒ අනුව බුදු හිමියන්ගේ දහම දැක ඇති,
එය වටහා ගත යුත්තක් බව තේරුම් ගෙන එය ඇසුරු කරනා
නිරාගමිකයෙකි.
දහම පිළිගන්නා තැනැත්තා පරිපූර්ණ ලෙස දහම
අවබෝධ කල අයෙකු විය යුතු නැත. එහෙත් දහමෙහි ඇති යම්කිසි කොටස් වටහා ගැනීම තුලින් දහමේ
හරවත් බව දැක තව දුරටත් එය වටහා ගැනීම සඳහා විමර්ශනය කරන පුද්ගලයා බුදු දහම පිළිගන්නෙකු
වේ.
දැන් යමෙකුට මේ ආකාරයෙන් බුදු දහම දකින්නෙකු
ආගම් භක්තිකයෙකු යැයි නම් කිරීමේ හැකියාවක් ඇතිද?
බුදු හිමියන්ගේ දහම තුල එදා බෞද්ධයන් හෝ බුද්ධාගම් කාරයින් සිටියේ නැත. බුද්ධාගම් කාරයින් සිටීමට බුදු හිමියන් ආගමක් දේහනා කලේද නැත.
උපාසකයා
බුදු හිමියන් වහන්සේ තමන් වටහා ගත් ලෝක ධර්මය හෙවත් වෙනත් ඈසකින් ලෝකය බැලීම හා ඒ තුලින් පරම වූ ලෝක සත්‍යය වටහා ගන්නා ආකාරය මිනිස් වර්ගයා හට කියා දෙනු ලැබීය.
එය දැනුම් පද්ධතියකි
විද්‍යාවකි.
එය සැකෙවින් වටහා ගෙන ඒ මගට පිවිසෙන මිනිසුන් උන් වහන්සේ හැඳින්වූයේ "උපාසක " යනුවෙනි.
මේ කියන්නේ සුදු රෙද්දක් හැඳ, මල් වට්ටියක් හිස තබාගෙන සිටින අනුන්ට අංචි අදින උපාසක ප්‍රථිරූපකයන් ගැන නොවෙයි.
නිරාගමිකයාත්, බෞද්ධයා හෙවත් බුද්ධාගම් කාරයාත්, උපාසකයාත් යනු එසේය.....
නිරාගමිකයා දෘශ්ඨිවාදියෙකු වන්නේ කෙසේදැයි ඉදිරි ලිපියකින් සාකච්චා කිරීමට බලා පොරොත්තු වෙමි.
මෙසේ මේ ලියන මා ජීවිතයේ කිසිදු දිනයක දහම් පාසැලකට පය නොතැබූ, මේ තාක් කල් ජීවිතයේ එකම එක වතාවක් හෝ (ළමා කාලයේදී වත් ) අටසිල් සමාදන් නොවූ පුද්ගලයෙකු බව කියවන උදවිය දැන ගැනීම වැදගත් වේ යැයි සිතමි.