Tuesday, March 28, 2017

ගන්ධබ්බයා කවුද?



ප්‍රකට බ්ලොග් රචක කොළඹ ගමයා හි අජිත් විසින් රචිත පුනර්භවය හා අන්තරාභවය ගැන ඔහු විසින් කරන ලද හැදෑරීමක් පදනම් වූ අන්තරා භවිකයෙකු ගැන කියැවුනු ලිපි පෙල තුල මා විසින් ඔහු හා වැඩිදුරට සාකච්චාවක යෙදුනි. එනමුත් මගේ දායකත්වය හිටි අඩියේ නවතා දැමීමට සිදු වීම නිසා ඒ මාතෘකාව ගැන මා දරන අදහස් මෙසේ සටහන් කොට තැබීම මැනැවැයි සිතුනු නිසා මේ ලිපිය සකස් කරමි.

පළමුවෙන්ම අපි මේ වචන පැහැදිලි කර ගත යුතුය
අන්තරාභවිකයා යනුවෙන් කීවිට එය ඉතා පැහැදිලිව භවයන් දෙකක් අතර සරන්නෙකු හෙවත්    භවයකින් නික්මුනු එහෙත් භවයක් නොලද්දෙකු වෙයි. එහෙත් මෙහි පුද්ගල භාවයක් පැහැදිලිවම කියැවෙන බව වටහා ගත යුතුය.
නොයෙකුත් පර්යේශණ මගින් ඇතැමුන් මේ අන්තරාභවිකයා සමග ගනුදෙනු කරනා බව සාක්ෂි සාධක සමග ඉදිරිපත් වෙයි.

දැනට අපි මේ සාකච්චාවට බඳුන් වන අන්තරාභවිකයා සතු පුද්ගල භාවය හෙවත් මතකයක් සහිත, සිතුවිළි පහල කරන, පුරුදු සහිත තත්වය පමණක් ධාරනය කර ගනිමු.

දැණ් ගන්ධබ්බයා යනු කවරෙකුදැයි විමසා බලමු.
ගන්ධබ්බ යන වදන ඉහතින් අර්ථ දැක්වූ අන්තරාභවිකයා යන සංකල්පය හා ගැලපෙන අරුතකින් මහායානයේ යෙදෙන බව බොහෝ තැන් වල මාද කියවා ඇත්තෙමි. එය පාදක කරගෙන අජිත් විසින් ඔහුගේ රචනා වලද මේ වචනය යොදාගෙන තිබුනි.
මෙය බුදු දහමේ කියැවෙන ආකාරය එය බව කියා පෑමට අජිත් විසින් මා හට ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා වල ද මේ ගන්ධබ්බ සංකල්පය කියැවෙන බව හා එයට උදාහරණ ලෙස මහා තණ්හාය සංඛය සූත්‍රය ද උපුටා දක්වන ලදී.

එහෙත් එම අදාල සූත්‍රයෙහි කියැවෙන "ගන්ධබ්බ" යන වදනින් ඉහත මා දක්වන ලද ආකාරයේ අන්තරාභවිකයෙකු අරුත් ගැන්වෙන්නේ කෙසේදැයි ඔහු පැහැදිලි කලේ නැත.

මෙය වදනක් නිවැරදිව අරුත් නොගන්වා දෙදෙනෙකු එකම වදනට අරුත් දෙකක් දරමින් කරනා ලද පුහු වාදයක් බවට පත් වූයේ මෙතැනිනි.

ගන්ධබ්බ යන වචනය මෙතැනින් ඉදිරියට භාවිතයට නොගත යුතු යැයි මා සිතමි ඒ වෙනුවට වඩා එකඟ විය හැකි යෙදුමක් වන අන්තරාභවිකයා යන යෙදුම මා භවිතා කරන්නට කැමැත්තෙමි.

අන්තරාභවයක් ගැන කථා කිරීමට අප භවය හඳුනා සිටිය යුතුය
භවය හඳුනා ගැනීමට සත්ත්වයා හඳුනා සිටිය යුතුය.
සත්ත්වයාගෙන් තොර වූ භවයක් ගැන කතා කිරීම අභව්ය කාරනයකි.

සත්ත්වයා යන සංකල්පය බුදු දහමෙහි හැඳින්වෙන්නේ ස්ඛන්ධයන් පහක එකතුවක් ලෙසිනි..
සෑම සත්ත්වයෙකුටම ස්ඛන්ද පහක්ම තිබිය යුතුද කිය එහිදී අතුරු පැනයක් පැන නැගුනු මුත් එය එසේම විය යුතුයැයි මා සිතමි.
මේ ස්ඛන්ධ පහ යනු
* සත්ත්වයාගේ සමස්ථ භෞතික ස්කන්ධය වූ රූපය.
(භෞතික වාදීව සිතන විට අපට සත්ත්වයා තුල හඳුනා ගත හැක්කේ මෙයම පමණි, ඉන් ඔබ්බෙහි කිසිවක් නැත )
* සත්ත්වයා පරිසරය හා ගැටීමේදී එයට දක්වන සංවේදී භාවය වන වේදනාව. (මෙය නාම ධර්මයක් හෙවත් නාමික වූ ස්ඛන්ධයකී,"සංකල්පයකි")
* තෙවැනි ස්ඛන්ධය වූ සංඤ්ඤාවෙහි පවතිනුයේ වේදනාවන් තුල ඇති පණිවුඩයයි. එය සත්ත්වයාගේ මතකය හා බැඳී පවතින්නකි. සත්ත්වයා සතු ඉගෙනුම නැමති හැකියාවද මෙයයි. (මෙයද නාම ධර්මයකි )
* සංඛාරය යනුවෙන් හඳුන්වන සිව්වැනි ස්ඛන්දය විසින් කියැවෙන්නේ විවිධ වූ සංඤ්ඤා එක් කර ඒවා ඇසුරින් වඩා සංකීර්ණ වූ සංකල්පයන් ගොඩනගා ගැනීමයි. අප අවට ඇති පරිසරය අනුව අප සිටින ස්ථානය ගැන අදහසක් ඇති කර ගැනීම වැනි.
* මේ සියල්ලට අමතරව ඇත්තේ විඤ්ඤානය යන පස් වැනි ස්ඛන්ධයයි. මෙය බොහෝ දෙනා ආත්මය වැනි පවතින සංකල්පයක් ලෙස වරදවා වටහාගැනීමක් කර ඇත. එසේම මරණයෙන් පසු  නැවත උපතක් සඳහා මියගිය තැනැත්තාගේ සිට අළුත් සත්ත්වයාගේ සිරුරට ඇතුළුවන ඒකකයක් ලෙසද වරදවා වටහා ගනිති.
එහෙත් ඇත්තෙන්ම විඤ්ඤානය යනු යම් කිසි වේදනාවකට යාවන සංඤ්ඤාව පදනම්ව ගොඩනැගෙන සංස්ඛාරය හඳුනා ගැනීමයි.

මෙය දහමෙහි ඉගැන්වෙන අයුරු ඉතාම කෙටි ක්ෂණයක් තුලදී යම් කිසි එක් සංස්ඛාරයක් හඳුනා ගැනීමෙන් කෙළවර වේ. එහෙත් අඛන්ඩව එකක් පසු පස එකක් ලෙසින් විඤ්ඤානයන් බිහි වෙමින් අනන්ත සංඛ්‍යාවක් වූ සංස්ඛාරයන් හඳුනා ගනියි.
මෙය අඛන්ඩ ක්‍රියාවලියකි..

ඒ අනුව දැන් අප සොයා බැලිය යුත්තේ සත්ත්වයා යනුවෙන් පවතින්නේ කුමක්ද යන්නයි.
රූපය යන සංකල්පය අද වන විට නූතන විද්‍යාවන්ගෙන්ද මනාව පැහැදිලි කල හැකි නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින් සංකල්පයකි. සිරුර සැදී ඇති පදනම රසායනික පරමාණු ලෙස ගත හොත්, කිසිදු පරමාණුවකට එහි උප පරමානුක අංශුන් ස්ථාවර නැති නිසා මෙය නිරන්තරවම වෙනස් වෙමින් පවතින එකම සැකිල්ලක් බව වටහා ගත හැකිය.

සියළු නාම ස්ඛන්ධයන් යනු රූපය මත ඇති වන භාහිර බල පෑම් නිසා ක්ෂනයක් පිණිස හටගෙන වියැකී යන නාමික සංකල්පයන්ය. එසේ වූ කල සත්ත්වයා යනුවෙන් වූ පවතින සංකල්පය කුමක්දැයි සිතා බැලිය යුතු වේ.

මේ මොහොතේ පවතින සත්ත්වයා යනු මේ මොහොතේ ඇති යම් කිසි සංස්ඛාරයක් විඤ්ඤානය කරන හා ඊට අනුරූප වූ සිතුවිල්ලක් පහල කරන පෙර විඤ්ඤානය මරා දමා සිතුවිල්ලට අනුරූප විඤ්ඤානයකින් සිතුවිල්ල ග්‍රහනය කරගන්නා සංකල්පයකි.
ඒ අනුව සත්ත්වයා යනු හුදු වර්ථමානයම (ක්ෂ්ණයක් පමණවත් නැති මේ දැන් පමණක්ම ) බව වටහා ගත හැකිය.

සත්ත්වයා තුළ ඇති පැවැත්මක් ලෙස අප වරදවා ගන්නේ මතකයයි. මතකයට අමතරව පුරුදු නම් වූ තවත් කොටසක් ඇත. සත්ත්වයෙකු තුල පුද්ගල භාවයක් හට ගනුයේ මේ ආකාර වූ මතකය හා පුරුදු නිසාවෙනි.

යම් කිසි පුද්ගලයෙකු තුල මතකය හා පුරුදු නොරැඳේද, ඔහු තුළ පැවතිය හැකි පුද්ගල භාවය කුමක්ද? එවන් වූ සත්ත්වයෙකු ක්ෂනයක් පාසා වෙනස් වන කිසිදු පැවැත්මක් නැති එකෙකු බව වැටහෙනු ඇත.

ඒ අනුව කුඩා කල සිටි මා දැන් සිටින මා නොවේයැයි කියන කියමන් වඩා හොඳින් වැටහෙනු ඇත. කුඩා කල සිටි මා හා දැන් සිටින මා අතර වූ එකම සම්බන්ධය නම් මතකය හා පුරුදු පම්ණි.
එසේනම් මේ දැන් සිටින මාද මීට මොහොතකට පෙර සිටි මාගේ මරණයෙන් පසු පැවැත්මයි.

දැන් අපි නැවත අන්තරාභවිකයා කෙරෙහි එලැඹීමට පෙර, භවය හඳුනා ගනිමු.
භවය යන සංකල්පය වඩා හොඳින් පැහැදිලි කෙරෙන්නේ පටිච්ච සමුප්පාදය තුලිනි.
ඒ කෙසේද යත්. (පටිච්ච සමුප්පාදයෙන් අවශ්‍ය කොටස පමණක් උපුටා දක්වමි.)

වේදනා පච්චයා තණ්හා
තණ්හා පච්චයා උපාදානං
උපාදාන පච්චයා භව
භව පච්චයා ජාති

එනම්
වේදනාව (අප ඉහතින සාකහ්චා කල ) නිසා තණ්හාව ඇති වේ,
තණ්හාව නිසා උපාදානය ඇතිවේ (දැඩිව අල්වා ගැනීම / ග්‍රහනයට ගැනීම )
උපාදානය නිසා භවය (පැවැත්ම ) ඇති වේ.
භවය (පැවැත්ම ) නිසා ජාතිය (උපත ) ඇති වේ.

මේ අනුව භවය යනු උපාධානය නිසාම හටගන්න දෙයක් ලෙස දහමෙහි ඉගැන්වේ. ඒ කෙසේදැයි බැලුවහොත්, එක් සංස්කාරයක් ග්‍රහණය කරගන්නා සත්ත්වයා එය අත් හරින්නේ තවත් සංස්ඛාරයක් ග්‍රහණය කර ගනිමිනි. මේ ආකාරයෙන් සත්ත්ව විඤ්ඤානය ක්ෂනයක් පාසා එකක් හැර අනෙකක් ලෙස උපාදානය කිරීම නිසා සත්ත්වයාට භවය හෙවත් පැවැත්මක් පිළිබඳ සංකල්පය ඇති වේ. (මේ භවය යනු කාලයට සමාන වදනක් ලෙස මා ඇතැම් විට දකිමි ඒ ගැන වැඩි දුරට විස්තර කීරීම දැනට අපහසුය )

දැන් අපි අන්තරාභවිකයා දෙසට හැරෙමු.

මෙතැනදී භවය යන්නට වෙනත් අරුතක් දෙන බව දැකිය හැකිය.
එනම් මෙහිදී සත්ත්වයාගේ එක් භෞතික ජීවිතයක් (මවු කුසක පිළිසිඳීමේ සිට මරණය දක්වා ) භවයක් ලෙස සැලකෙයි. මෙය අපි පොදු වහරේදී පෙර භවය, මේ භවය, මතු භවය ආදී ලෙසින් භාවිත වේ. මේ අදහස හුදෙක්ම පෙර ආත්මය මේ ආත්මය ආදී වශයෙන් යෙදෙන විට අදහස් කරන ආත්මය යන සංකල්පයට සමාන වෙයි. මෙය බුද්ධ කාලයට පසු වෙනත් මත වාද නිසා ගොඩ නැගුනක් විය හැකිය. මෙය මාගෙ උපකලපනයක් පමණි.
මේ අරුතින් භවය ගත් කල මේ භවයෙන් නික්මෙන සත්ත්වයා හට මීලඟ භවයකට පිවිසීමට සිදු වේ.
එසේ වූ කල එයාකාර වූ භව දෙකක් අතර හිදැසක් (යම් කිසි කාලයක් ඇතැයි සිතීම මෙවන් මතවාද බිහි වීමට හේතුවයි.
දැන් අපි භවයන් දෙකක් අතර තත්වයක් ගැන සිතමු.
එක් භවයකින් නික්මෙන සත්ත්වයෙකු (නික්මෙන්නෙ කුමක්දැයි මට වටහා ගත නොහැකිය ) වෙනත් භවයකට පිවිසීමට පෙර තත්වයක් ලෙස මෙය වටහා ගත යුතුය. දැන් මෙතැන සත්ත්වයා වෙනත් භවයකට පිවිස නැති නිසා එතැන සත්ත්වයෙකු නැත. එනම් රූපයක් නැත, රූපයක් නැති තැන වේදනා ලැබීමට පරිසරය හා ගැටෙන්නට දෙයක් නැත, වේදනා නැති කල සංඤ්ඤා නූපදී, සංඤ්ඤා නොමැති කල සංස්ඛාරයන් උපදින්නට ද බැරිය. එසේ වූ කල විඤ්ඤානයක් හට ගන්නේ කුමක් අරභයාද? එයත් විය නොහැකිය.
මේ සියල්ල එසේ නම් භවයකින් තොරව වෙසෙන අවස්ථාවක, එහි සිතුවිලි පහල කරන්නේ කවුරුන්ද? මෙය සමස්ථයක් ලෙසම අභව්ය කථාන්දරයකි.
එසේ මරණින් පසු කෙනෙකු සිතුවිළි පහල කරයිනම්, මතකය දරයි නම් එතන භවයක් ඇත. එනම් මේ භවය යනු උපතක සිට මරනය දක්වා කාලය යන සංකල්පය තුල මේ භවිකයෙකු මිස අන්තරා භවිකයෙකු නොවිය යුතුය.

බුදු දහමේ උගන්වන පුණර්භවය යනු මරණින් පසු උපත හෙවත් පුණරුත්පත්තියට යෙදෙන වෙනස් වූ නමක් නොවන්නේය. පුණර් භවය යනු අර්ත දැක්විය යුත්තේ පුණර්(නැවත නැවතත්  ) භවය (පැවතීම ) යනුවෙනි. එනම් සත්ත්වයා තුල තෘශ්නාව උපාධානය කිරීම පවතින තාක් සත්ත්වයා විසින් භවය තනමින් පවතියි. එය නැවත නැවතත් කරමින් පැවතීම මරණය හා සම්බන්ධ නොවෙයි. සත්ත්වයා එක් උපතක සිට මරණය අතර තුරද නිරන්තරයෙන් පුණර් භවයට මුහුණ දෙන අතර එය හුදු භෞතික මරණයකින් කෙලෙවර නොවේ. එය අඛණ්ඩ වූ ක්‍රියා දාමයකි. සත්ත්වයා නිරතුරුව පුණර්භවයක් ලබන නිසාවෙන්ම අන්තර භවිකයෙකු ගැන කථා කීරීම නිශ්පලය.

අවසානයේ සූත්‍ර දේශ්නා වල එන "ගන්ධබ්බයා" අන්තරාභවිකයෙකු නොවේ යැයි මා වටහා ගනිමි.

මේ ලිපිය ඔස්සේ මා ප්‍රකාශ කරන්නේ මා වටහා ගන්නා ආකාරය මිස අනෙකුන් එසේ වටහා ගත යුතු බවක් නොවනා වග අවධාරණය කර සිටිමි.


Wednesday, March 22, 2017

සමරිසියන්ගේ සන්තර්පනය පිණිස පන්සලට අවලාද නැගීම...!

සමරිසි කියන වචනයම සිංහල බසට අළුත් වචනයකි. අප පාසැල් කාලයේ හෝ ඉන් අනතුරුවත් මේ මෑතක් වන තුරු මෙවන් වදනක් ගැන අසා නොතිබුනි.

එහෙත් දැන් අපට ඒ ගැන කථා කිරීමට පොළඹවන සුලු පරිසරයක් හා බල කිරීමක් සිදුව ඇත.

මේ ගැන මා යමක් ලිවිය යුතුයැයි සිතුනේ කලක් තිස්සේ බ්ලොග් ලෝකයේ විවිධා කාරයෙන් මේ ගැන සාකච්චා වන අයුරු දැකීමෙන් හා මා බ්ලොග් ඇසුරට පත් වීමට පෙර සිටම, විවිධ ප්‍රවෘත්ති වෙබ් අඩවි තුලින් පවා මෙවන් මාතෘකාවක් දුටු සැනින් එයට පන්සල හා බුදු දහම ගාවා ගෙන කරන අසික්ශිත විවේචන  දැක ඇති නිසාවෙනි.

ඇත්තෙන්ම බුදු දහ්ම සමරිසි බව පිළිගන්නවාද? බැහැර කරනවාද?
බැහැර කිරීමක් හෝ අනුමත කිරීමක් සැබැවින්ම නැත. (ඇතැමෙක් එය බැහැර කිරීමක් ලෙසද තවකෙකු අනුමත කිරීමක් ලෙසද ගෙන වාද කිරීමට මෙයද හේතුවකි ),
සියළු ආකාර ලිංගික සන්තර්පනයන්, කායික ආශාවන් සැතපවීමකි. එය සම විශම යැයි බෙදා දැක්වීම හරසුන් ක්‍රියාවකි. ආශවන් සැතපවීමක් යනු සැතපවීමකි. බුදු දහම මගින් ලෝකෝත්තර සුවයක් සොයන්නන්හට මෙවන් වූ සියළු ආකාර සැතපවීම් වලින් මිදීමට උගන්වනු ලබයි. එසේනම් ගිහියන්හට?
ගිහියන්හට විඳිනා වූ සුවයක් තමාටත් අනුනටත් හානි නොවන පරිදි විඳීමටත්, කොයි ආකාර විඳීමක් වුව පමණ ඉක්මවා යාම නිසා පිරිහීමට හේතු වන බවත් කියා තමන්ට අවැසි ඉලක්කය කුමක්ද? ඒ අනුව හැසිරීමට මග කියා දී ඇත. කිසිදු තහනමක් හෝ වර්ග කිරීමක් ඇත්තේ නැත යැයි ඉඳුරා කිව හැකිය.

ගිහි උපාසකයින්හට බුදු හිමියන් පංචසීලයක් පිළිපැදීමට යෝජනා කරයි. උන් වහන්සේ එහි තෙවැනි සිල් පදය ලෙස කාමේසු මිච්චාචාරා යනුවෙන් සිල් පදයක්ද එක් කොට ඇත. මේ කථා කරන කාමය යනු ලිංගිකත්වයද?
මා හේතු යුක්තව එසේ නොසිතමි. කාම යන වදනට විව්ධ අරුත් ගැන්විය හැකි වුවත් දහම තුල එය භාවිතා වන්නේ ඉතා පුළුල් අරුතකිනි. දහමේහි එන කම සම්පත්තීන් යනු පංච ඉන්ද්‍රියයන් සැතපවීමෙහි මගයි. ඒ අනුව පංච කාමයම අදි පරිබෝජනය කිරීම, පමණ නොදැන ඇසුරු කිරීම නුසුදුසු ලෙස බුදු හිමියන් දක්වා ඇති ලෙස අපිට පිළිගත හැකිය.
මතුපිටින් ඉතා සරළ එහෙත් හරයෙන් බැලූ විට බුද්ධිමතාට ඉතා බරපතල මෙවන් වූ සීලයක් රැකීමට යෝජනා කරන බුදු හිමියන්, උන්වහන්සේගේ ශ්‍රාවක භික්ෂු පරපුර වෙත පැවතියේ කෙසේදැයි සොයා බැලීම ඉතා වටනේය.

කාමය හෝ ලිංගිකත්වය යන කරුණු භික්ෂු සංඝයා විශයෙහි බලනොපාන අත්ශයින්ම ග්‍රාම්‍ය වූ පුහුදුන් (පෘතග්ජන ) හැසිරීමකි. නිර්වාන මාර්ගය අයැද සියළු ගිහි සම්පත් හැර පියා සසුන් මගට පිවිසෙන පැවිද්දාට අමුතුවෙන් මෙවන් වූ ග්‍රාම්ය හැසිරීම් අයෝග්‍ය බව කීමට බුදු හිමියන් වෙර දරා නැත.
එහෙත් බුද්ධත්වයෙන් විසි වසරකට පසු උන්වහන්සේ ප්‍රාථිමෝක්ෂය (භික්ෂු සීලය ) දේශනා කිරීමේදී ඒ අවස්ථාවේ නොයෙක් ලාමක භික්ෂූන් අතින් මෙවන් වූ භික්ෂුත්වයට නොගැලපෙන ලාමක ක්‍රියා සිදුවීමට හා ඒවා බුදු හිමියන් වෙත වාර්ථා වීමට පටන් ගෙන තිබී ඇත.

එසේ වූ කල බුදු හිමියන් ඉතා පැහැදිලිවම විව්ධාකාරයෙන්, එකදු හිදැසක් නොතබා ස්ත්‍රී, පුරුශ, තිරිසන්, අමනුශ්‍යා ආදී ඕනෑම කොටසකට අයත් වන සත්ත්වයෙකු සමග පවත්වන ලිංගික ඇසුරක් පාරාජිකා අකුසලයක් ලෙස අරුත් ගන්වා ඇත. එසේ වූ කල යම් වූ පැවිද්දෙකු එවන් වූ ඇසුරක් පැවැත්වූයේද? ඔහු හෝ ඇය එසැනින් භික්ෂූත්වයෙන් පිරිහේ. තව දුරටත් භික්ෂුවක යන ආමන්ත්‍රනයට සුදුසු නොවේ. ගිහියන්ගෙන් වැඳුම් ලැබීමට සුදුසු නොවේ. යම් ස්ත්‍රී හෝ පුරුෂ පැවිද්දෙකු වින්දනයක් ලබන අරමුනින් ස්වයං හැසිරීමක නිරත් වූයේද? එය පාරාජිකාවක් නොවුනත් ඉතා බරපතල ඇවතකි. භික්ෂු සමූහයා අභිමුවෙහි පාපොච්චාරනයක් කොට නිවැරදි වන බවට සපත කොට නිවැරදි කර ගත යුතු ඇවැතකි.

දහම අනුව පංචස්කන්ධයකින් සැදි සත්ත්වයාගේ එම පංචස්කන්ධයම මොහොතින් මොහොත මැරෙමින් උපදින සංකල්පයකි.
සත්ත්වයා සත්ත්වයෙකු ලෙස හඳුනා ගන්නේ හා සත්ත්වයෙකුගේ පැවත්මක් අප දැක ගන්නේ හුදෙක්ම සත්ත්වයාගේ තුල ඇති මතකය හා පුරුදු හේතුවෙනි.
මතකය හා පුරුදු නොවුනා නම් සෑම සත්ත්වයෙකුම එක් මොහොතක පමණක් පවතින සංකල්පයකි.

විඳීම් වලදී සත්ත්වයා ඇබ්බැහි වලට යන්නේත්, එකම විඳීම නැවත නැවත සොයන්නේත් වරක් විඳි සත්ත්වයා මතකය ඇසුරින් විඳීම සැපවත් ලෙස ගැනීමත් එම විඳීම දැන් සිටින සත්ත්වයා විඳ නැති වීමත් නිසාවෙනි.

මේ තත්වය මත යමෙකු සමලිංගිකත්වය පන්සල හා ගලපා දැක්වීමට වෙර දැරීම හුදු මිත්‍යාවකි.
එහෙත් පන්සල් පරිසරය තුල සිටින සියළු භික්ෂූන් ප්‍රාථිමෝක්ෂය අකුරට සුරකින් සිල්වතුන් යැයි මා කිසි විට නොකියමි.
එසේනම්?
යම් කිසි භික්ෂුවක් පාරාජිකාවකට පැමිණ එය සඟවාගෙන වෙසෙයිද?
යම් කිසි භික්ෂුවක් වෙනත් අවශේස ඇවැතක් සඟවාගෙන වෙසෙයිද?
මෙවන් වූ පුද්ගලයෙකු නිසැකවම භික්ෂු ප්‍රථිරූපකයෙකි, හෙවත් භික්ෂුවක් ලෙස වෙස් ගෙන සිටිනා වූ මිනිසෙකි. එවන් වූ මුග්ද පුද්ගලයින් අද වන් සමාජයක ඕනෑ තරම් සිටිය හැකි වුවද, එය පාදක කොටගෙන භික්ෂූන් අවමානයට ලක් කිරීම නුසුදුසු ක්‍රියාවකි.
සියළු දුක් නසා නිවන් මගට පිවිසීමට වරම් ඉල්ලා පැවිදි දිවියට පිළිපන් භික්ෂුවකගෙන් එවන් වරදක් සිදු වනුයේම නැත.

ගිහි සමාජය තුල වෙසෙන නොයෙකුත් දෘශ්ටීන් දරන ලාමක මිනිසු තුල සම විශම ආදී නොයෙකුත් ආකාර පාංච කාම සම්පත්තීන් වීන්දීම් ඇත. එය ස්වභාවිකය. සත්ත්වයා විඳීම සැපයක් ලෙස ගැනීම සත්ත්ව ගතියකි. මිනිසාගේ සිට සිතුවිළි පහල කරනා වූ සෑම සත්ත්වයෙකුම මේ ලක්ෂණ පෙන්වති.
එහෙත් නිවන් අරමුණෙහි වෙසෙන භික්ෂුව එසේ නැත. !