Tuesday, September 6, 2016

කසාද මිනිහට අයිතියක් නැද්ද ගෑනිට වෙඩි තියන්න !

කසාද මිනිහට අයිතියක් නැද්ද ගෑනිට වෙඩි තියන්න !

මෑත කාලයේ ජනමාධ්‍ය වල බොහෝ සාකච්චාවට ලක් වුනු සැමියෙකු විසින් තම බිරිඳට වෙඩි තබා මරා දැමීමට තැත් කිරීමේ  කාරනය තුලින් මට වෙනස් කථාවක් මතක් වුනා. මේක මීට අවුරුදු 15 කට විතර කලින් මම මුහුන දුන් අත්දැකීමක්.

එවකට මා රාජකාරි කල පෞද්ගලික ආයතනයේ මගේ ලේකම්වරිය ලෙස සේවය කල තරුණිය එවකට තම විවාහයෙන් වෙන්ව මව සමග ජීවත් වූ තැනැත්තියක්. ඉතා කාර්‍ය ශූර තරුණියක වූ ඇයගේ පෞද්ගලික ජීවිතය ගැන මා ඊට වඩා යමක් දැන සිටියේ නැහැ.
ඉතා කැපවීමෙන් තම රාජකාරි ඉටුකල ඇය, දිනපතාම මෙන් රැකියාවට පැමිණියේ මාගේ අංශයේම සෙවය කල අලෙවි නිළධාරියෙකුගේ රාජකාරි රථයෙන් ඔහු හා අසල කාර්‍යාලයක සේවය කල ඔහුගේ බිරිඳද සමගින්.

එක් දිනක් උදයේ මා අසුනේ රැඳී සිටියදී හදිසියෙන් මෙන් දුවගෙන ආ පෙර කී අලෙවි නිළධාරියා සියල්ලන් තැති ගන්වන පුවතක් කියා සිටියා. ඔහු සුපුරුදු පරිදි ඔහුගේ බිරිඳ කාර්‍යාලය අසලින් බස්සවා අපගේ කාර්‍යාලය ඉදිරියෙන් ලේකම් වරිය බස්සවා රතය අයිනට කර නවත්වනවාත් සමගම අසල නවතා තිබූ ත්‍රීරෝද රියකින් ඉදිරියට පැමිණි තරුණයන් තිදෙනෙක් අර ලේකම්වරිය බලහත්කාරයෙන් ඇද ත්‍රිරෝද රියට දමාගෙන පලා ගොස් ඇත.
වාසනාවකට මගේ අලෙවි නිලධාරියා ඒ තිදෙනා අතර සිටි ඇයගේ වෙන්ව සිටින සැමියා හඳුනාගෙන ඇත.

ඒ අවස්ථාවේ මාගේ උපදෙස් මත වහාම මා ඇයව රැගෙන පැමිණි අය හා තවත් අලෙවිඅංශයේ තරුණයෙකු ආසන්නම පොලිස් ස්ථානය වෙත පිටත් කර හැරියේ රැගෙන පැමිණි අයගේත් පැහැර ගැනීමට ලක් වූ තරුණියගේත් ආරක්ශාව වෙනුවෙනුයි.
ඔවුන් ගොස් පොලීසියට මෙය පැමිණිලු කල විට පොලීසිය අසා ඇත්තේ රැගෙන ගියේ සැමියා විසින් බව හඳුනා ගත්තාද යනුයි.
ඒ සැමියා බව පැවසූ විට එසේනම් අපිට කරන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ටත් ප්‍රශ්ණයක් නැහැ ඒගොල්ලන්ගේ පවුලේ ප්‍රශ්ණය ඒගොල්ලෝ බේරාගනියි කියා පැමිනිලි කිරීමට ගිය පිරිස හරවා එවා තිබුනා.

කිරීමට කිසිවක් නොවුනු හා එකට රාජකාරි කල මිතුරියකගේ හදිසි ආපදාවෙන් කැලැඹුනු ආයතනයේ පිරිස ලෙස වහාම මේ ගැන ඇයගේ මවට හා ඤාතීන්ට දැනුම් දී ඔවුන්ව පැහැරගැනුම සිදුවූ ප්‍රදේශයට අයත් පොලිස් ස්ථානයට යොමු කිරීමට කටයුතු කළා.

මේ තරුණිය සැමියාගෙන් වෙන්වීමට නීත්‍යානුකූලව කටයුතු කරමින් සිටි බවත්, පැහැර ගැනුම කල සැමියා කිසියම් වූ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වූ කාලකන්නියෙකු බවත් ඇයගේ ඤාතීන්ගෙන් අප පිරිස පසුව දැනගෙන තිබුනා.

මේ සමස්ථ සිදුවීම අප සමාජයේ එදිනෙදා සිදුවන දහසකුත් එකක් පවුල් ආරවුල් සමග බැලීමේදී හුදු තවත් එක් සිදුවීමක් මිස කථා කිරීමට තරම් වූ වැදගත් සිදු වීමක් නොවෙයි.
එහෙත් අදටත් මේ සිදුවීම මගේ මනසේ රැඳී පවතින්නේ එකම එක හේතුවක් නිසයි. ඒ අදාල අවස්තාවේ පොලීසියේ හැසිරීම හා එම තරුණිය මිහුණ දුන් අති භයංකාර අනාරක්ෂිත තත්වය.
ඇය කෙරෙහි ද්වේශයෙන් ඊර්ශ්‍යාවෙන් හා ක්‍රෝදයෙන් පසුවූ සමාජ තත්වය අතින් ඇයට නොගැලපෙන එම අවාසනාවන්ත මිනිසා ඇයගේ ජීවිතයට අනතුරක් කලා නම්, ඇයට ඇසිඩ් ප්‍රහාරයකින් වැනි යමකින් හානි කලානම්, දරුනු ලෙස වදදී අඩන්තේට්ටම් කලා නම්,  යම් අයුරකින් ඇය හා මේ උන්මත්තකයා ලිංගික ඇසුරක් ඇවැත්වූවා නම්, ඔහු වසර ගනනාවක් ඇගෙන් වෙන්ව සිටීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්වය කෙබඳු විය හැකිද එයින් ඇයට ඇති වන සෞඛ්‍යමය අවධානම කොතෙක්ද? එය සාපරාධී ස්ත්‍රී දූශනයක් නොවන්නේද?
එවැනි අවධානමකින් ගැලවීමට ඇයට පුද්ගලයෙකු සතු අයිතියක් නොවන්නේද?
ඇයගේ ඉච්චාවෙන් තොර බලහත් කාරයක් හමුවේ ඇයගේ අයිතීන් හා ජීවිතය ආරක්ශා කර දීම පොලීසිය සතු වගකීමක් නොවන්නේද?

අදාල දිනයේ ඇගේ අරමුණ වූ රැකියාවට වාර්තා කිරීම බලහත්කාරයෙන් වැලකීමට අදාල දිනය වනවිටත් නීතියෙන් අවලංගු නොවූ සැමියා වූ පමණින් ඔහු සතු බලයක් වෙත්ද?
පොලීසිය ගරු කලේ එවන් වූ අයිතියකටද?

පුද්ගලයෙකු තමන්ගේ ඉච්චාවෙන් තොරව බලහත්කාරයෙන් රැගෙන යාමට හා රඳවා තබා ගැනීමට විවාහ නීතිය බලය සපයන්නේද?
එය එසේනම්
ගැහැණිය යනු අපේ නීතියට අනුවත් සැමෙයාගේ යටතේ ජීවත් වන දෙවැනි අන්තියේ පුරවැසියෙකු විය යුතුයි නේද?

අද වන විට සමාජය අස්වාභාවික ලිංගික රුචියන් ඇති පුද්ගලයින්ගේ අයිතීන් ගැන පවා කථා කරති. එහෙත් සැබැවින්ම ගැහැණිය සතුව නීතිමය ආරක්ෂාවක් වෙත්ද?

තත්වය එබඳු නම් කසාද මිණිහා ගෑනිට වෙඩි තිබ්බාම මොකද?