Wednesday, July 11, 2018

සීනි බද්ද සහ ඇස්පාර්ටේම්

සීනි බද්ද සහ ඇස්පාර්ටේම්
Image result for coke zeroImage result for pepsi zero


මෑත කාලයේ සීනි අධි භාවිතයෙන් බෝ නොවන රෝග වැඩියැයි රජය විසින් සීනි භාවිතය අඩු කිරීමේ අරමුණින් යැයි සියළු පැණි බීම මත බද්දක් පැනවූ බව බොහෝ දෙනා දන්නා කරුනකි.
එයට අමතරව නොබෝ දිනකින් තවත් ඒ සමාන බද්දක් පැනැවීමට කටයුතු කරනා බවත් එම බද්ද යටතේ ටොෆී, චොකලට්, බිස්කට්, කේක් ආදී සියළු සීනි අඩංගු ආහාර අඩංගු වන බවත් පැවසේ. එහෙත් මේ ප්‍රවෘත්තිය හුදෙක් දැනට ආරංචි මාත්‍රයක් පමණක් බැවින් එහි සත්‍යාසත්‍ය භාවය නොදන්නා නිසා දැනට ඒ ගැන කථා නොකරමු.

මෙතැනදී ප්‍රධාන වශයෙන්ම සලකා බැලිය යුත්තේ සීනි භාවිතය දුර්මුඛ කිරීමේ සැබෑ අවසන් ප්‍රථිපලය කුමක්ද යනුයි.

දැනට අප දන්නා පරිදි සීනි භාවිතයේ වියදම් අධික නිසා සිසිල් බීම නිශ්පාදකයන් එයට විකල්ප පැණිරස කාරකය ලෙස ඇස්පාර්ටේම් නම් රසායනිකය භාවිතා කරන බව මේ පිළිබඳව දැනුමැත්තෝ දනිති.

මේ ඇස්පාර්ටේම් හා එහි ගුනාත්මක භාවය ගැන සලකා බැලීම දැන් කාලීන අවශ්‍යතාවයක් බවට ලංකාවේත් පත් වෙමින් තිබේ.
මෙතෙක් කල් ලංකාවේ ඇස්පාර්ටේම් නම් රසකාරකය භාවිතා වූයේ දියවැඩියා හෝ වෙනයම් සීනි අගුන රෝගීන් සඳහා වූ පැනිරස කාරකයක් ලෙසිනි. එය ෆාර්මසි වලින් පමණක් මිලදී ගත හැකි වූ රසකාරකයකි.එසේම එය සීනි වලට වඩා මිල වැඩි ආදේශකයක් නිසාද සාමාන්‍ය ජනයා කිසි දිනෙක මේ රසකාරකයට නිරාවරණය වූයේ නැත.

එහෙත් මෑතක පැනවූ සීනි බද්ද නිසා දැන් දැන් පොදු වෙළඳ පොලේ සීනි රහිත හෙවත් සීරෝ (ZERO) නමින් බොහෝ පැණි බීම වර්ග හඳුන්වා දෙමින් තිබේ.
මේවායේ ඇත්ත වශයෙන්ම සීනි බිඳකුදු අඩංගු නොවන අතර පැණි රසයෙහි කිසිදු අඩුවක් නැත. එවායේ ලේබලයේම සඳහන්ව ඇත්තේ "ඇස්පාර්ටේම්" රසකාරකය අඩංගු වන බවකි.
මේ හේතුවෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයා ඔවුන්ගේ කැමැත්තෙන් පරි භාහිරව මූල්‍යමය හේතුවක් නිසා ඇස්පාර්ටේම් භාවිතයට යොමු කරවා ඇතැයි කීවොත් එය වඩා නිවැරදි වේ.

ඉදිරියේදී ආරංචි ආකාර සීනි බද්දක් යම් හෙයකින් චොකොලට්, අයිස්ක්‍රීම්, බිස්කට්, කේක් ඇතුළු බේකරි නිශ්පාදන මත පැනවුවහොත්, මේ තත්වය වඩා පුළුල් වේ. ලාබ සීනි යොදාගෙන බදු ගෙවනවාට වඩා ඇස්පාර්ටේම් යොදා ගැනීම එවිට නිශ්පාදකයාට ලාභදායක වෙනු ඇත.
ඒ ඔස්සේ ජනතාව වැඩි වැඩියෙන් ඇස්පාර්ටේම් අනුභව කිරීමට පෙළඹෙනු ඇත.

ඒ නිසා ඇස්පාර්ටේම් පිළිබඳ යම් සොයා බැලීමක් කිරීමේ වැදගත් කම මතුවේ.
ඇස්පාර්ටේම් රසකාරකයෙහි මූලිකවම අඩංගු වනුයේ
ඇස්පාර්ටික් ඇසිඩ් නම් ඇමයිනෝ අම්ලය හා ෆීනයිලැලනයින් ඩයිපෙප්ටයිඩ් යන රසායනික ද්විත්වයයි.
ෆීනයිලැලනයින් ඩයිපෙප්ටයිඩ් රසායනිකය හැසීරීම අතින් දැනටම බොහෝ දෙනාගේ සැකයට භාජනය වී ඇති ග්ලූටමේට් කාණ්ඩයේ රසායනික වලට සමාන බව දැක්වේ. එම නිසා එහි ඇති සෞඛ්‍ය හිතකර භාවයද ප්‍රශ්නාර්ථයකි.
මේ රසායනිකය පැණි රසකාරකයක් ලෙස සීනි  මෙන් 200 ගුනයක් ප්‍රභල බව කියැවේ. එම නිසා ඉතා අඩු භාවිතයකින් කැලරි කිසිවක් ආහාරයට එක් නොකරමින් පැණි රස ගැන්විය හැකි ආදේශකයකි.

මේ ඇති ඉහත කී රසායනිකයන් ශරීරය තුලදී බිඳීමට ලක් වීමේන් ශක්තිය නිපදවන්නේ නැති වුවත් එම රසායනික ප්‍රථික්‍රියාවෙන් මෙතනෝල් අල්ප වශයෙන් නිපදවේ. මෙම මෙතනෝල් තව දුරටත් බිඳීමෙන් ෆොර්මැල්ඩිහයිඩ් (ෆොර්මලීන් ) නම් රසායනිකය සෑදෙන අතර එය හඳුනා ගත් කාර්සිනෝජනයක් හෙවත් පිළිකා කාරකයකි.

කෙසේ වෙතත් මේ ඇස්පාර්ටේම් රසකාරකය මීට බොහෝ කලකට පෙර ඇමරිකානු ආහාර හා ඖශධ පරිපාලනය (FDA) විසින් අනුමත කර ඇති අතර 2007 දී එය නැවත තහවුරු කොට ඇත. ඔවුනට අනුව
සිදු කර ඇති වැඩිදුර පරීක්ෂණ ඔස්සේ අස්පාර්ටේම් හා සිරුරේ වර්දක (ටියුමර්ස් ) හට ගනීම පිළිබඳ පැහැදිලි සබඳ තාවයක් හඳුනාගෙන නැති අතර ඒ නිසා මුලින් කර ඇති අනුමැතියෙහි වෙනසක් කිරීමට අනවශ්‍ය බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

එය එසේ වුවත් වෙනත් පරීක්ෂන් කණ්ඩායම් තම පරීක්ෂන ප්‍රථි පල ඔස්සේ පෙන්වා දෙන්නේ මීයන් ඇසුරින් සිදු කල පරීක්ෂන මගින් දිගින් දිගටම ඇපාර්ටේම් ලබා දුන් මීයන් බහුල වශයෙන් ටියුමර්ස් වර්ධනය වීමට බඳුන් වූ බවකි.

ඇස්පාර්ටේම් වෙත පක්ෂ පාතීව අදහස් දක්වන්නන් මෙහිදි පෙන්වා දෙන්නේ ඉතා ප්‍රභල පැණිරස කාරකයක් වන ඇස්පාර්ටේම් මිනිසුන් ආහාරයට ගත්තද දෛනික පරිභෝජනය වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණක් බැවින් එමගින් සෑදෙන මෙතනෝල් ප්‍රමානය මිනිස් සිරුරක බර සමග සැසඳීමේදී කිසි සේත්ම හානිකර තත්වයකට පත් නොවනා බවයි.

එසේම තවත් පර්යේශකයන් කියන්නේ මේය දිගින් දිගටම ශරීර ගත වීම නිසා එහි අහිතකර ප්‍රථිඵල කාලයත් සමග ඉතා දීර්ග කාලයකට පසු අත්දකීමට ලැබෙනු ඇති බවයි.

තව දුරටත් මා ඔබේ අවධානයට ලක් කරන්නට කැමති කරුනක් වේ.
ඇමරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලනය(FDA) හා යුරෝපයේ යුරෝපීය ආහාර සුරක්ෂිතතා අධිකාරිය(EFSA) විසින් අනුමත කර ඇති මේ රසකාරකය භාවිතා කර ඇති ආහාර දර්ව්‍ය ඇසුරුම් වල ළමයින්ට නුසුදුසුය කියා නිශ්පාදකයින් විසින් සඳහන් කිරීමට පෙළැඹී ඇත.
එනම් මෙය ඉතා දීර්ඝ කාලයක් භාවිතයෙන් අනිසි ප්‍රථිඵල ඇති කරවන බව ව්‍යංගයෙන් පිළිගනීමට ආහාර නිශ්පාදකයන් පවා එකඟවේ.

තව දුරටත් ඇස්පාර්ටේම් භාවිතයෙන්
හිස රුදා
කරකැවිල්ල හෝ ක්ලාන්ත ගතිය
ආහාර ජීරණ අපහසුතා
මානසිකතවය වෙනස් වීම්

හා වඩා බරපතල රෝග තත්ව වන
ඇල්සයිමර් රෝගය
උපත් සංකූලතා
පාර්කින්සන් රෝගය
අදී බරපතල තත්ව ගනනාවක් ඇති විය හැකි බව ඇමරිකානු පිළිකා අයතනය (Cancer.org) මගින් දක්වා ඇත.
එහෙත් මේවා පර්යේශන මගින් ඍජුවම සහිතක කොට නැති බවක් ඔවුන් සඳන් කලද ඒ ඔස්සේ ඇස්පාර්ටේම් අහින්සකයෙකු නොකිරීමට ඔවුන් වග බලා ගනී.

ඉතින් මෙවැනි තත්වයක් යටතේ නොබෝ දිනකින් ශ්‍රී ලාංකිකයන් නිරාවරණය වීමට නියමිත් අළුත් සගයා (Aspartame) මිතුරෙකුද නැතහොත් මිතුරු වෙසින් එන මාරයාගේ නියෝජිතයෙකුදැයි විමසීමෙන් බැලීම කාගේත් ශරීර සෞඛ්‍යයට හිතකර වනු ඇත.




2 comments:

  1. ඉතාම වැදගත් දැනුවත් කිරීමකි. ඔබ කැමතිනම් අනෙක් බ්ලොග් අඩවියෙත් මේ ලිපිය ඇතුල් කර මෙතැනට බැඳියක් දමන්න.
    එය නොකළත් ඔබේ මුලාශ්‍ර මෙහි ඇතුලත් කරන්න.

    ReplyDelete
    Replies
    1. මා තොරතුරු බොහෝ තැන් වලින් ගවේශනය කලා. එහෙත් ඒ බොහෝ තොරතුරු මා දක්වා ඇති ඇමරිකානු පිළිකා ආයතනයේ වෙබ් අඩවිය මගින් සනාත වෙනවා.
      www.cancer.org

      Delete