Tuesday, January 23, 2018

ස්වයංජාත අස්වනු නෙලමු


Image may contain: night


ස්වයංජාත සහලක් ගැන අපි මීට කලකට පෙර කථා කලානේ ඔන්න දැන් ස්වයංජාත වැවූ උදවියගේ අස්වනු පැහෙන්න අරගෙන. දැන් තියෙන්නේ අස්වනු නෙලා ගන්නයි ඒ අස්වනු විකුනා ගන්නයි.

හැමටම කලින් මේ ස්වයංජාත ලංකාවට පහල වුනේ කොහොමද කියල සොයා බලමු.


එක් තැනෙක කියැවෙනවා පැරනි දාගැබක කැනීම් කිරීමේදී ඒ තුල මංජුසාවක තැන්පත් කොට තිබූ අවුරුදු දහස් ගනනක් පැරණි ධාන්‍ය වලින් මේ පැල හදා ගත්තා කියා. ඒත් ඒ ගැන සහතික කරන කිසිදු පුරා විද්‍යා වගකිව යුත්තෙකුගේ ප්‍රකාශයක් නම් සොයා ගන්නට නැහැ.

තවත් තැනෙකදී යම් කිසි පර්යේශන නිලධාරීන් පිරිසකට ලැබුනු මේ බීජ කිහිපයක් ඔවුන් වවා පඳුරක් බිහි කොට එය මනාව ආරක්ශා කර පූජ්‍ය වහරක හිමියන් එය බැලීමට වඩමවා තියෙනවා. එහිදී උන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ පැහැදිලිවම අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වටිනා ස්වයංජාත් වී බවත් එය ලංකාවට නැවත පහල වන බව උන් වහන්සේ ප්‍රකාශ කලේ මීට බොහෝ කලකට පෙර බවත්ය. එසේම උන් වහන්සේ පවසනවා, මේ භෝගය පහල වී ඇත්තේ ලක් වාසීන්ගේ පින් මහිමය නිසා බවත්, මේ භෝගය නිසා අනාගතයේදී ලක් වාසීන්ට සහල් හිඟයක් කිසිදා ඇති නොවන බවත්. එක් බීජයක් හෝ සපා බලන්නේවත් නැතුව සෑදෙන සැම බීජයකින්ම පැල සදමින් එය ප්‍රචාරනය කරන ලෙස උන් වහන්සේ උපදෙස් දෙනු ලබනවා.
මේ ගැන සඳහන් වීඩියෝ පටයක් යූ ටියුබ් අඩවියේ අදටත් සුරක්ශිතව තියෙනවා.
https://www.youtube.com/watch?v=vnf2dw2NTzc     -    මේ තියෙන්නේ එහි යූ ටියුබ් වීඩියෝව


තවත් තැනෙක යූ ටියුබ් වීඩියෝවක අයෙක් පැහැදිලිවම ප්‍රකාශ කරනවා ලංකාවේ ඇති සියලු සහල් වර්ග වල මූලාරම්ඹය මේ ස්වයංජාත් සහල් බවත් එම මුල් සහල් ගසින් අපට වඩා හොඳ පලදාවක් ලබා ගත හැකි බවත්.

මේ මාහානර්ග ස්වයංජාත සහල එදා සිට බොහෝ දෙනෙකු වගා කල අතර දැන් වන විට එය සැලකිය යුතු තරමට ලංකාව තුල ව්‍යාප්තව ඇත. එය අක්කර ගනනින් වගා කලවුන් පවා දැන් වන විට සිටිති.

ඇත්තටම මේ ස්වයංජාත යනු මොනවාද?
මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ස්වයංජාත වගා කරුවන් හෝ ප්‍රචලිත කරන්නන් කැමති නැහැ. ඒත් ඒ නිසා අපිට ඉන් වැලකී   සිටීමට නම්  නොහැකියි.
බතලගොඩ වී පර්යේශනායතනයේ නිලධාරීන් ඉතා පැහැදිලිව මේ ශාකය හඳුනාගෙන තියෙනවා. ඔවුන්ට අනුව එහි වර්ගී කරනය සෝගම් බයිකලර් (Sorgham bicolor) වේ.

අප පරිභොජනය කරන සහල් ශාකයේ විද්‍යාත්මක වර්ගීකරනය නම් ඔරිසා සැටීවා (Oryza Sativa) යන්නයි.

ශාක හා සත්ත්ව වර්ගී කරනය ගැන සුළු හෝ දැනුමක් ඇත්තෙකුට පැහැදිලි වෙනවා මේ කථා කරන්නේ හාත්පසින්ම වෙනස් වූ ශාක විශේශ දෙකක් ගැන බව.
එසේනම් තව දුරටත් මේ ස්වයංජාත යයි හඳුන්වන ශාකය සහල් විශේශයක් නොවෙයි.

එසේනම් ඒ කුමක්ද? අපි සොයා බලමු.
https://en.wikipedia.org/wiki/Sorghum_bicolor (විකිපීඩියා ඔබට මේ ගැන බොහෝ තොරතුරු සපයයි)

තෘණ කුලයේ සෝගම් නම් ශාක ගනය අප්‍රිකානු භූමිය පදනම් කරගෙන බිහිවූ ශාක ගනයකි. මෙහි ස්වභාවයෙන්ම ඉතා රළු පාරිසරික තත්වයන්ට ඔරොත්තු දීමේ හා අඩු ජල සම්පාදනයකින් පැවතිය හැකි ලක්ෂන සහිතය. වියලි අප්‍රිකානු භූමීන්ට ගැලපෙන සේ.
සෝගම් බයිකලර යන ශාක විශේශය මේ තිහක් පමණ වන සෝගම් විශේශ අතුරින් භහුලවම හමුවන ප්‍රබේධයකි.

ස්සෝගම් බයිකලර් ශාකයෙහි තවත් විශේශත්වයක් වනුයේ එහි උප විශේශ අති විශාල සංක්‍යාවක් පැවතීමයි. එය හරියටම පොල් කියන ශාක විශේශයෙහි පොල්, තැඹිලි, කුන්දිරා, නවසි ආදී වශයෙන් විවිධාකාර වූ ශාක පවතිනවා මෙන්ය. මේ වෙනස් කම් සහිත සෝගම් බයිකලර් ප්‍රභේධ අතර දෙමුහුමෙන් ස්වභාවිකවත්, මිනිස් මැදිහත් වීමෙනුත් වෙනස් වෙනස් ප්‍රභේධ ගොඩනගා ගත හැකිය.

සෝගම් බයිකලර් ශාකය හෙවත්  ව්‍යාජ ස්වයංජාත භාවිතා කරන්නේ මොනවාටද?

ඇත්තෙන්ම මෙය වුවමනා නම් මිනිසාට ආහාරයට ගත හැකි ධාන්‍ය වර්ගයකි. එහෙත් ඉතා රළු ධාන‍ය විශේශයක් නිසාත් තවත් නොයෙකුත් හේතුන් නිසාත් මේ ශාකය නිර්දේශ කරන්නේ සත්ත්ව ආහාර සඳහාය. එයත් පත්‍ර හා ශාක කොටස් (ඉතා වේගයෙන් වැවෙන නිසා) ගවයන් වැනි සතුන්ගේ ආහාර පිණිසය.
මෙම ශාකයෙහි බීජ සත්ත්ව ආහාර සඳහා යොදා ගත හැකි මුත් ඉරිඟු වැනි ධාන්‍ය වලට වඩා ජීරණය අපහසු ධාන්‍යයක් ලෙස අර්ධ ජීරනය කල තත්වයකින් සකසා සත්ත්ව ආහාර ලෙස යොදා ගැනීමට නිර්දේශ කරනු ලබයි.

මෙම ශාකයෙහි පත්‍ර හා කොටස් කිරි ගවයන් පෝශනය පිණිස යොදා ගැනීමේදී ගැබ් ගත් දෙනුන්ට එය ලබා දීම අවධානම් සහගතය. මේ ශාකයෙහි අඩංගු ඇතැම් රසායනිකයන් ගබ්සා කාරක ලෙස හඳුනාගෙන ඇති නිසා ඒ මගින් දෙනුන් ගබ්සා වන බව සොයාගෙන ඇත. එම නිසා කිරි දෙනුන් හට මේ ශාකය ලබා දීම නිර්දේශ නොකෙරේ.
මේ අඩු පාඩුව සකස් කලා යැයි පැවසේන නව දෙමුහුම් ප්‍රබේධයක්  සමාගමක් අලෙවි කරන බව අසා ඇත්තත් ඒ පිළිබඳව සත්‍ය අසත්‍ය තාවය දන්නේ නැත.

නූතන වගා ක්‍රමයන් හි ඇති සජීවී පාංශු වගාවන්හී පසේ ඇති අයින්ද්‍රීය සංගටක ප්‍රමානය කෙටි කලකින් වැඩිදියුනු කර ගැනීම සඳහාද ඉතා වේගවත් වර්ධනයක් සහිත මේ ශාකය වගා කෙරේ. මේ ශාකයෙන් අක්කරයකින් මාස තුනකින් පමණ ටොන් දහයක් පමණ එයින්ද්‍රීය කොටස් (Bio Mass) ප්‍රමානයක් ගොඩ නගා ගත හැකි බව පැවසේ.

සෝගම් බයි කලර් හෙවත් ව්‍යාජ ස්වයංජාත මිනිස් ආහාරයක් ලෙස.

මෙය ලෝකයේ කිසිදු රටක මිනිස් ආහාරයක් ලෙස පරීක්ෂණ පවත්වා ඇති බවක් වාර්තා නොවේ. හේතුව ඉතා රළු ආහාරයක් වන මෙය සත්ත්ව ආහාරයක් ලෙසම කාලයක් පුරා ප්‍රචලිතව පැවති ශාකයකි.
එහෙත් මෙය මිනිසුන්ට ආහාරයට ගත නොහැකි ධාන්‍යයක් ලෙසද නම් කෙරෙන්නේ නැත. කැමතිනම් ආහාරයට එකතු කර ගැනීමේ හැකියාවක් ඇත. එහෙත් ගවයින්ට බලපාන ගබ්සාකාරක ගුනය එලෙසින්ම මිනිසුන්ට බලපානවාද නැතිදැයි සොයා බැලීමක් කර නැති බව සිහිතබා ගත යුතුය.

වැවූ අයගේ අස්වනු වලට දැන් කුමක් කරමුද?
Image may contain: plant, flower, nature and outdoor
මෙන්න මේය තමා දැන් ඇති ප්‍රභලම ප්‍රශ්නය.

මේ ශාකය ස්වයංජාත යැයි සිතා වගා කල වුන් දැන් ගැටළුවකට මැදිවී සිටිති. එම නිසා දැන් දැන් අළෙවිකරන ක්‍රමවේද මේ සඳහා යොදා ගැනෙමින් පවතින බවක් පෙනෙයි.

දැන් යම් පරිමානයකින් මෙය වගා කල වුන් මේ ශාකයෙහි ඇති ගුනය හා අයිතිහාසික වැදගත් කම ගැන දේශනා පවත්වති. එයට බුදු හිමියන්වද ගාවා ගනිති.

තවදුරටත් ගොස් පඳුරු කිහිපයක් වවා ගත් උදවියගෙන් මේ බීජ කිලෝව රු 150.00 ගනනේ ඉල්ල සිටිති. එ හරහා මේ බීජ වලට වෙළඳ පොලක් ඇතැයි ව්‍යාජ වටිනාකමක් සාදති.

කිහිප දෙනෙකු කියන විට අපි වවාපුවා නම් රු 150.00 ගනනේ ගෙදරටම ඇවිත් ගෙන ගියා කියා මේ බීජයට ( ව්‍යාජ සහලට ) ව්ටිනා කමක් ඇතිවේ.
ඉන් වඩා විශාල තොග නිශ්පාදනය කර ඇති උන්ගේ වගාවට අස්වැන්නට වටිනාකම තහවුරු වේ.
ඔවුනටත් අඩුම ගනනේ සිල්ලර වෙලඳ පොලෙහි මේ කිලෝවක් රු 150.00 ට විකුනා ගත හැකි වනු ඇත.

ඒත් අවසානයෙහි වන්නේ අසරණ මිනිසුන් මේ කිසිදු වෙලඳ පොල වටිනා කමක් නැති (සත්ත්ව ආහාර ලෙස පවා ) ව්‍යාජ සහලකට අධික මිලක් ගෙවා ආහාරයට ගැනීමට පෙළඹීමයි.

මෙවැනි ලිපියකින් අපිට මේ ගැන විශාල පණිවුඩයක් සමාජයට දීමට නොහැකිය. ඒ සඳහා මාසතු ශක්තියක් නැති බැවින් මෙලෙස මේ ගැන ලියා තබමි.

***---------------------------------------------------------------------***

මෙහි ඇති ඡායා රූප මා හඳුනන වෛද්‍යවරියක් වන වෛද්‍ය මංජුලා ජිනසේන මහත්මිය විසින් විමසා බැලීමට වගාකරන ලද සෝගම් බයිකලර් හෙවත් ව්‍යාජ ස්වයංජාත සහල් පඳුරු කිහිපයේ අස්වැන්නෙනි.


මේ ලිපිය හරහා සෝගම් බයිකලර් සහලකැයි සිතා වැවූ උදවියට අගතියක් කිරීමේ පරමාර්ථයක් නැත. එසේම මෙහි නම  සඳහන් භික්ෂූන් වහන්සේ නමට අපහාසයක් කිරීමෙහි අරමුණක් නැත.

12 comments:

  1. දන්නා නොදන්නා හැම මගුලකටම හාමුදුරුවො ඇඟිලි ගහන එකේ ගොවිතැනට එහෙම නොවී තියෙයියැ.
    ඕවා දානෙට හොඳ ඇති

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රා ජේ,
      ඇත්ත තමයි, මිනිස්සු කන දෙයක් කාලා හදල දෙන දෙයක් දානෙට වලඳන්නේ නැතුව ඉතිහාසගත හාල් කියලා සෝගම් කවන්න යන්නේ මොකටද?
      බුදු හාමුදුරුවන්වත් නොකල දේවල් නේ කරන්න යන්නේ.

      Delete
  2. හරි එතකොට මේ ස්වයංජාත හෝ මොකක් හෝ නම් තියෙන දේ ආහාරයට ගන්න බැරිද? මොකද මේවා ආහාරයට ගත්ත අය කියනවා මේක බත් හා සමාන ආහාරයක් කියලා. ඒ වගේම මෙතන දාලා තියෙන දත්තවල මූලාශ්‍ර දෙන්න පුළුවන්ද මේ ගැන තව හොයන්න.

    ReplyDelete
    Replies
    1. අපොයි අමුතුවෙන් දත්ත මම දෙන්න ඕනේ නැහැ.
      විකිපීඩියා එකේ යූ ටියුබ් එකේ එහෙම පොඩ්ඩක් හොයන්න.

      ඔය ස්වයංජාත කියන ගහ සෝගම් බයිකලර් කියන විශේශය බවට තහවුරු කරන්නේ බතල ගොඩ වී ප්‍රයේශන ආයතනය.

      එතනින් පස්සේ අපිට තියෙන්නේ සෝගම් බයිකලර් වල විස්තර හොයන එකයි.

      ස්වයංජාත කියන ගහේ ඡායා රූප හා සෝගම් බයි කලර් කියන ගහේ ඡායාරූප සැසඳුවත් ශාක වර්ගී කරනය දන්නා කෙනෙකුට ඒ ගස් දෙවර්ගය දෙවර්ගයක් නොව එකම ශාක විශේශයක් කියන එක හඳුනා ගත හැකියි.

      Delete
    2. කාපු අය කියන්නේ මේක බත් වගේ නෙවෙයි ඕලු බත් වගෙයි කියලා.
      ඕලු බත් කියන්නේ ඕලු ගෙඩියේ ඇට වලින් උයන බත්. ඒකත් සහල් නොවන වෙනත් බීජයකින් උයන බතක්නේ. මේ බීජ වලින් බත් උයන්න පුළුවන් ඒකේ සැකයක් නැහැ. සහ ඒ බත් කන්නත් පුළුවන්.

      Delete
    3. ගොඩක් වෙලාවට ඕලු ඇට සහල් සමග මිශ්‍ර කර තමා උයන්නේ.ඒ වගේම ඉතාම රළු වියලි ආහාරයක්.ඕලු ඇට කෑමට සුදුසු ලෙස සකස් කිරීමත් සෑහෙන කාලයක් ගතවෙන වැඩක්.

      Delete
  3. ජීවන්ත, ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.
    ඔව් ඔබ හරි ඕලු හාල් තනිවම උයන්න රළු වැඩියි. ඒ නිසා සහල් සමග මිශ්‍ර කර තමයි උයන්නේ.
    අපි නං පොඩි කාලේ ලපටි ඕලු ගෙඩි කඩලා ඇට කාලා තියෙනවා ඒවා ඉරි රසයි. පැහුනු ඇට හරිම තදයි.
    ඉතින් ඒ ඕලු හාල් බත වගේම රළු ආහාරයක් තමයි මේ සෝගම් බයිකලර් බීජ වලින් උයන බත. කෑ අය කියන්නේ එහෙමයි. (මමනම් කාලා නැහැ )

    ReplyDelete
  4. එහෙමඅමාරුවක මිනිස්සු වැටනෙකන් බලන් සිටියේ ඇයි. වගා නිලධාරීන් ෙම් ගැන දැනුවත් නැතිද?

    ReplyDelete
    Replies
    1. නයනෙ - සිතුවිළිJanuary 25, 2018 at 6:34 AM

      ඒක තමයි ගැටළුව මද්දා,
      හැබැයි අපි ස්තුති කරන්න ඕනේ බතලගොඩ වී පර්‍යේශන නිලධාරීන්ට.

      ඒ ඔවුන් වහාම ක්‍රියාට්මක වී මේ ගස නිවැරදිව හඳුනාගැනීම හා ඒ විද්‍යාත්මක තොරතුරු සමාජගත කල නිසා.

      ඒත් මේ ව්‍යාජ ස්වයංජාත ප්‍රචාරණය පිටුපස ඇති ආගමික බලවේග ජයගැනීම කාට වුවත් අපහසු අභියෝගයක්.

      හැකි සැවොම ඒ දැනුවත් කිරීම කිරීමයි කල හැකි එකම විසඳුම

      ඒත් ගව අහරකින් බත් උයාගෙන කන අය ගැන කල හැක්කක් නැහැ

      Delete
  5. රළු මුත් ඕලු බත් රසවත්ය. කුරක්කන් ධාන්‍යය තම්බා බත් මෙන් කෑමට ගත නොහැකි මුත් එය කොටා පිට්ටු සකස් කර බත් කන අයුරින් කෑමට ගනී. මේ දෙකේම ආවේනික රසයක් ඇත. එසේම තන්තු කොටස් වැඩිය. පෝෂ්‍ය ගුණය කෙසේදැයි නොදනිමි. මේ දෙකම මිල සාමාන්‍ය හාලට වඩා වැඩිය.

    ඉහත විස්තර කෙරෙන ඊනියා "ස්වයංජාත" හාලත් මේ යම්කිසි අයුරකින් ආහාරයට ගත හැකිනම් අගනේය. සාමාන්‍ය හාල් වගා කරන බිම් මෙමගින් ප්‍රතිස්ථාපනය නොකෙරෙන හෙයිනුත්, අධික ජල පරිභෝජනයක් අනවශ්‍ය බැවිනුත්, ගෙවතු වල සුළු පරිමාණයෙන් වගා කෙරෙන හේතුවෙනුත් (මෙය වගා නොකෙරිණිනම් ඒ තැන් වල කිසිවක් වගා නොකිරීමට ඉඩ තිබිණි), රසායනික සමාගම් තර කෙරෙන කෘෂිකර්මයක් නොවන බැවිනුත් (බීජ හුවමාරුව සහ රසායනික නොවන ගොවිතැන) මෙය දිරි දිය යුතු කර්තව්‍යයක් ලෙස දකිමි.

    ක්‍රෝටන් කොළ කෑමට සූදානම් සමාජයක් සෝගම් කෑමට යොමු වේනම් එය දියුණුවක් නොවේද?

    "ස්වයංජාත": අඃ ! ඒක වෙළෙඳ නාමය කියමු. මොකෝ ඔයා කොකා කෝලා බෝතලයක් ගන්නකොට කොකා කෝ කියල අහනවද, නෑනේ.

    ReplyDelete
    Replies
    1. එතැනදීත් ඔබතුමා ස්වයංජාත වැවීමට විරුද්ධ නොවිය යුත්තේ ඇයි කියන එකට හොඳ පිවිසීමක් ගන්නවා.
      මම කියන්නේ මේක ඔය කියන ආකාරයේ සුපිරි අහරක් නොවන බවයි.
      ඔබ කියන සියළු තර්ක පිළිගත්තත් ගව අහරක් කියන එක අමතක කලත්, ගවදෙනුන්ට ගබ්සා කරවන ධාන්‍යයක් සිංහලයන්ගේ අහරක් ලෙස ප්‍රචලිත වීම සැක කටයුතු නැතිද?

      Delete
    2. "මෙය දිරි දිය යුතු කර්තව්‍යයක් ..." යන යෙදුම වැරදි බව සිතමි. මා ඉන් අදහස් කළේ මෙය සංවිධානාත්මකව ප්‍රචලිත කළ යුතු දෙයක් බව නොවේ. එය වවන තැනැත්තන් එය වැවීමටත් එය අනුභව කරන තැනැත්තන් විසින් අනුභව කිරීමටත් සංවිධානාත්මකව විරුද්ධ නොවිය යුතු බවයි. මෙයට සංවිධානාත්මකව විරුද්ධ වේනම් එයම ප්‍රචාරයකි. මේ මට්ටමේදී ඔබ විසින් ඔබේ බ්ලොග් අඩවියේ කෙරෙන අදහස් දැක්වීම මට්ටමේ දෙයකට එහා ගිය - විශේෂයෙන් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වල සංවාද වලට බඳුන් කළ යුතු මට්ටමේ - විරෝධයක් නොදැක්විය යුතු බවයි මා අදහස් කරන ලද්දේ.

      ගබ්සා කරවන ධාන්‍යයක් ආහාරයක් ලෙස ප්‍රචලිත වීම ගැන බිය විය යුතු නැත. අනවශ්‍ය ප්‍රචාරයක් නොලැබෙන තැන මේවා ලත් තැනම ලොප් වනු ඇත. ඔබේ බ්ලොග් ලිපිය ධනාත්මක ලෙස මේ සඳහා දායක වනු ඇත. මක් නිසාද යත්, යම් දිනෙක ස්වයංජාත හැල් වී ගැන සොයන කෙනෙකුට ඔබේ ලිපිය කියවන්නට ලැබෙන බැවිණි.

      Delete