Thursday, December 7, 2017

ප්‍රභාකරන් වගේ යකෙකුට මෛත්‍රී කරන්නේ කොහොමද?



හාමුදුරු වරු මෛත්‍රිය ගැන උගන්වන කොට කියනවා සකල ලෝක වාසීන්ම අරමුණු කරගෙන මෛත්‍රී කරන්න කියලා. එක් එක අය අරගෙන මෛත්‍රී කරන්න කියලා.

බුදු හාමුදුරුවෝ කරණීය මෙත්ත සූත්‍රයේදී කියනවා, එක දරුවෙක් ඇති මවක් ඇයගේ දරුවාට මෛත්‍රී කරනවා වගේ සකල ලෝක සත්ත්වයාටම මෛත්‍රී කරන්න කියලා.

ඒත් බොහෝ උපාසක උපාසිකා වන්ට මේ වැඩෙ කියන තරම් පහසු නෑ. ලෝකෙට මෛත්‍රී කරන්න ගියාම මතක් වෙන්නේ තරහ කාරයෝ. තමන්ට අපහාස කල උන්, තමන්ගේ දරුවන්ගේ දියුනුවට බාධා කල උන්, තමන්ගේ මතයට එරෙහිව ගැටෙන උන්, තමන්ගේ ජාතියට ආගමට වින කරන උන්, වගේ නොයෙකුත් (උන්ට මෛත්‍රී කරන්නේ කොහොමද කියන කුලකයට අයිති) චරිත.

යුද්ධය ප්‍රභලව පැවති සමයේ දිනක් (කොළඹ හා අනෙක් නගර ආස්‍රිතව බස් වල කෝච්චි වල බුරුතු පිටින් අහින්සකයින් මැරෙන කාලයේ,දින පතා පත්තර පිටු පුරා මියගිය පාසැල් සිසු දරුවන්ගේ දෙමාපියන්ගේ මල මිනී බදා හඬාවැටෙන පින්තූරු පලවන යුගයේ), රූපවාහිනියේ දහම් ගැටළු වැඩසටහනකදී එක් මවක් හාමුදුරුවන්ගෙන් කෙලින්ම විම්සා සිටියා "හාමුදුරුවනේ රටේ වෙන දේවල් වල හැටියට අපි කොහොමද ප්‍රභාකරන් වගේ ම්ලේච්චයෙකුට මෛත්‍රී කරන්නේ" කියලා.

එදා තත්වය අනුවනම් මේක හරිම උභතෝකෝටික ප්‍රෂ්නයක්.

මට මතක හැටියට එදා ඒ හාමුදුරුවනුත් ඒ ප්‍රෂ්නයට සාරථක පිළිතුරක් දී ගැනීමේ අසාර්ථක වුනා. ඒත් මනුස්සයෙක් කියල හිතලා මෛත්‍රී කරන්න් කියලා හාමුදුරුවන් ප්‍රශ්නයෙන් ලිස්සල ගියා.

ඇත්තටම අපිට ඒ වගේ දැඩිව අපේ පිළිකුලට වෛරයට පාත්‍ර වෙන ආකාරයේ පුද්ගල චරිතයකට මෛත්‍රී කල හැකිද?
එසේනම් ඒ කොහොමද?

මෙන්න මේ ප්‍රශ්නය ඉහත මම උපමා කරගත් පුදගල චරිතය ඉවත් කරලා සොයා බලන්න ඕනේ.

ඇතැමුන් කියන ලෙස උපේක්ශාවෙන් බැලීමෙන් (ආදරයෙන් හා ද්වේශයෙන් තොරව ) ද මේ වගේ කෙනෙකුට මෛත්‍රී කරන්නේ. ද්වේශයෙන් තොරව බැලිය හැකිනම් තවත් මෛත්‍රියක් මොකටද?
ඉතින් එතැනට එන්නේ කොහොමද?

මට නම් මේක කල නොහැකි දෙයක්. ඔය කියන විදියට ඕනෙම කෙනෙකුට මෛත්‍රී කරන්නේ කොහොමද.

මෙන්න මෙහෙමයි මම ඒ ප්‍රෂ්ණෙට පිළිතුරු සොයා ගත්තේ.

අපි මෛත්‍රී කරන්වා කියල කරන්නේ මොකක්ද.

මම නිදුක් වෙම්වා
මම නිරෝගී වෙම්වා
මම සුවපත් වෙම්වා
මම නිවන් දකිම්වා

කියලා ඇස් වහගෙන ජප කරලා ඉවර වෙලා

සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා
සියළු සත්ත්වයෝ නිරෝගි වෙත්වා
සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා
සියළු සත්ත්වයෝ නිවන් දකිත්වා

කියලාත් ජප කරනවා.

ඒත් ප්‍රායෝගිකව අපි දන්නවා
සියළු සත්ත්වයෝ නිදුක් වෙන්නේවත්, නිරෝගී වෙන්නේවත්, සුවපත් වෙන්නේ වත් ඒ වගේම නිවන් දකින්නේවත් නැතෙයි කියන කාරනය.

මෙක පහැදිලි කරගන්න අපි "සිරිපාල මුදලාලි" කියල චරිතයක් ගනිමු.
දැන් මේ සිරිපාල මුදලාලි අරමුණු කරල අපි කියනවා " සිර්‍රිපාල මුදලාලි නිදුක් වෙත්වා" කියලා. ඔන්න ඔතැනදී සිරිපාල මුදලාලි නිදුක් වෙන්නට නම්, ඔහු තුල දුක පවතින්නට ඕනෑ. දුකක් දොම්නසක් පසුතැවීමක් අසහනයක් නැති මිනිසෙක් ලෝකයේ නැති බව ඕනෑම කෙනෙකුට වැටහෙනවානේ. ඉතින් අපි ඔහු තුල ඇති දුක් මොනවාදැයි උපකල්පනය කල හැකියි එවිට අපිට අපි දන්නා සීමාව තුල ඔහුගේ යම් යම් දුබලතා දුක් පීඩා වැටහෙන්නට ගන්නවා.

ඔහු තුළ තිබිය හැකියි ඔහු දුකට පත්කරවන හෙතු කාරනා රැසක්. අපි ඒ එක් එක් කාරනය ඔහුට දුකට හේතු වී ඇත්තේ කෙසේද? ඔහු ඒ දුක නිසා කොතරම් පීඩාවක් ලබනවාද ආදී වශයෙන් යම් අනුමාන උපකල්පනයක් කල හැකි වෙනවා.
ඒ දුකින් මිදීමට ඔහුට කල හැකි දේ සහ ඊට ඇති ඉඩ ප්‍රස්ථා අපිට පෙනෙනවා. ඒත් ඒවා මග හැරී ඇති හේතුනුත් අපිට පෙනෙනවා.

ඊලඟට බලමු "සිරිපාල මුදලාලි නිරෝගි වෙත්වා" කියන කොට.
ඒත් එහෙම නේද, දැන් අපිට පෙනෙනවා ඔහු තුල ඇතී  හෝ තිබිය හැකි පීඩා කාරී තත්වයන් රෝගී භාවයන්. ඉතින් ඔහු ඒවාට ලක් වී ඇති හේතූන් , ඒවායින් මිදීම වලකන හේතූන්.

මේ විදියට අපිට මේ සමස්ත ජප කිරීමම හේතු පහදමින් දීර්ග භාවනාවක් කිරීමට හැකියි.

එතකොට මේ භාවනාවේ ප්‍රථිපලය ?

මෙහෙම දිගින් දිගට සීතීමෙන් අපි  අනෙක් අරමුණු ගත පුද්ගලයා තුල ඇති අඩු පාඩු දුබලතා හා පීඩා හොඳින් වටහා ගන්නවා. ඒ ඔස්සේ ඔහු, අප කෙරෙහි දක්වන විරෝධී හැසිරීම වල හේතූන් පැහැදිලි වෙනවා. දැන් අපි ඒ පුද්ගලයාගේ භාවයන් සමග ගනුදෙනු කරන්නේ නැහැ. අපි ගනුදෙනු කරන්නේ ඔහුගේ භාවයන් වලට ඇති හේතුන් සමගයි. ඔහුටම ජය ගත නොහැකි හේතූන් සමගයි.

අපි අමුතුවෙන් ඔහු දිහා මෛත්‍රීයෙන් හෝ උපෙක්ශාවෙන් බැලීමක් දැන් අවශ්‍ය නැහැ. ඒ අපි දැනටම ඔහුව ගැඹුරින් දැක් ඇති නිසා. දැන් ඔහු සමාජය ඉදිරියේ දක්වන භාවයන් එසේ නොවුනාම් පුදුමයි කියන තත්වය දක්වා අපි ඔහුව වටහා ගන්නවා.
ඉන් පසු අපිට ඔහු කෙරෙහි වෛරයක් ද්වේශයක් නම් ඇති වන්නේම නැහැ. අපි එක්කො ඔහුගෙන වන පීඩ වැලකීමට ඔහුව මග හරිනවා. නැතිනම් ඔහු සමග සුහදව හැසිරෙනවා. සුහද හැසිරීමකට දැන් නම් බාධා නැහැ (ඔහුගෙන් අපිට අන්තුරක් නැතිනම් ).

ඔන්න ඔහොමයි මම මෛත්‍රී කිරීම ප්‍රායෝගිකව දුටුවෙ.

මේක කියවන හැමට මෛත්‍රී සිත් පහල වේවා.!
ඔව් පරලොව ගිය ඒ අසරනයා ප්‍රභාකරන් කෙරෙහිත් !
ඒ අන්තවාදී දැක්මම දරමින් එය ඉදිරියට ගෙන යන්නට තැත් දරන අනෙක් සියළු අසරනයින් කෙරෙහිත් !

7 comments:

  1. ප්‍රභාකරන් වගේ යකෙකුට මෛත්‍රී කරන්නේ කොහොමද?

    මේ සුවිශේෂ ප්‍රශ්නයකි - හෙවත් තෝරා ගත් ප්‍රශ්නයකි. ප්‍රශ්නය ඇසෙන්නේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොවේ.

    සමහර විට ඔය ප්‍රශ්නය තථාගතයන් වහන්සේගෙන් ඇසිණි නම් උන් වහන්සේ තුෂ්නිම්භූත වීමට ඉඩ තිබිණි. සිතිවිළිට අනුව "එදා ඒ හාමුදුරුවනුත් ඒ ප්‍රෂ්නයට සාරථක පිළිතුරක් දී ගැනීමේ අසාර්ථක වුනා. ඒත් මනුස්සයෙක් කියල හිතලා මෛත්‍රී කරන්න් කියලා හාමුදුරුවන් ප්‍රශ්නයෙන් ලිස්සල ගියා."

    දැන් නැවත ප්‍රශ්නයට එමු.
    ...

    ReplyDelete
    Replies
    1. ප්‍රභාකරන් වගේ යකෙකුට මෛත්‍රී කරන්නේ කොහොමද?

      මා මේ ප්‍රශ්නය තේරුම් ගන්නේ වෙනස් අයුරකිනි. අපි ජීවිතයේදී විවිධ චරිත රඟමු. දරුවෙක් දෙමාපියන් හමුවේ රඟන චරිතය පාසැලේදී ඒ අයුරින්ම රඟන්නේ නැත. ගුරුවරයෙක් නැති විට ඔහු වෙනස්ම චරිතයක් බවට පත් වෙයි. කසාදයෙන් පසු සිටින්නේ පෙර සිටි පෙම්වතා හෝ පෙම්වතිය හෝ ම නොවේ. පන්සලේ දී හැසිරෙන අයුරින් සැණකෙළියක හැසිරෙන අයෙක් වෙත්නම් ඒ ස්වල්ප දෙනෙකි.

      ඔබ අනුභව කරන්නේ නම් අනුභව කළ යුතුයි; ක්‍රීඩා කරන්නේ නම් ක්‍රීඩා කළ යුතුයි; භාවනා කරයිනම් භාවනා කළ යුතුයි. මලපහ කරමින් ම කැකිරි කෑම මනුෂ්‍යයෙකුට සුදුසු දෙයක් නොවේ.

      අර ස්වාමින් වහන්සේ සිටි තැන මා සිටියේ නම් ඇයට දෙන පිළිතුර වන්නේ...

      "ඔබ භාවනා කරන විට භාවනා කරන්න. මෛත්‍රී කරන විට මෛත්‍රී කරන්න. වෛර කරන විට වෛර කරන්න. කරන දෙය හරියට කරන්න. ගැටළුව ඇති වන්නේ දෙක තුනක් එකටම කිරීමට යන විටයි." ආකාරයේ පිළිතුරකි.

      පෞද්ගලිකව මටනම් පුද්ගලයෙක් වශයෙන් සළකා වේළුපිල්ලෙයිගේ පිරබාහරන් මහතාට මෛත්‍රී කිරීමේ ගැටළුවක් නැත. එසේ වුවත් කිරිබත් උයාගෙන නොකෑවත් ඔහුගේ මරණයෙන් අපරිමිතව සතුටු වූ කෝටි දෙකක ජනකායක මාත් කෙනෙක්මි.

      නැවත හැරී බලන කළ පිරබාහරන් මිනීමරුවා සහ ඔහු මළ බව නිවේදනය කළ මිනීමරුවා අතර වැඩි වෙනසක් ඇත්ද?

      Delete
  2. මෙවර මගේ ලිපියෙහි මාතෘකාව බොහෝ දෙනෙකුට එය කියැවීමට බාදා කල බවක් දකිමි.
    හේතුව මේ බ්ලොග් ලිපි කියවන්නන් බහුතරයක් බ්ලොග් කරුවන්ම වන හෙයින් හා ඔවුන් ගෙන් බහුතර කුමන හෝ හේතුවකට සහජීවන අන්තවාදීන්ය.
    මාතෘකාවෙනම මා ප්‍රභාකරන් වගේ "යකෙකුට" කීම නිසා බොහෝ දෙනෙකු මේ ලිපිය මගින් සහජීවනයට අභියෝග කර ඇති සැටියක් දුටුවාට සැක නැත.

    මගේ බොහෝ ලිපිවලට අගනා ඌන පූර්ණ සපයන මගේ කලණ මිතුරු කතා කතු තුමාද මෙවර ලිපිය කියවා ඇත්තේ ඔහුගේ දෘශ්ටි කෝනයෙනි. එනෙසා ඔහුද ලිපියේ සැබෑ අන්තර්ගතය ග්‍රහනය කරගෙන නැත. ඒ වෙනුවට ඔහුත් ප්‍රභාකරණ නම් වූ පුද්ගලයාට සාපේක්ශ ප්‍රතිචාරයකින් සේහීමට පත්වී ඇත.

    මෙය ඔවුන්ගේ වරදක් නොව මාගේ ලිවිමේ හැකියාවෙහි හෝ රටාවෙහි වරදක් විය යුතුය.

    එහෙත් මේ ලිපියෙහි මාගේ පරමාර්ථය වූයේ ප්‍රභාකරන් වැනි ඍණ අන්තයේ පුද්ගලයෙකුට පවා නිරපේක්ෂව මෛත්‍රීය කියන සංකල්පය ප්‍රායෝගික තලයට නැගීමේ ක්‍රමයක් ගැන සාකච්චා කිරීමය.

    කෙසේ වුවත් මෙය කියවූ එකෙකු හෝ මේ ආකාරයෙන් මෛත්‍රීය විදර්ශනා කල හැකි වබ වටහා ගන්නට ඇත.

    ReplyDelete
  3. සුබ නව වසරක්!

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට වඩා සතුටුයි ජෝසප් සහෝදරයාගෙ මංගල සටහන් මේ තැන තැබීම ගැන.
      ඔබටත් එසේම වේවා

      Delete
  4. https://nayanegesithuwili.blogspot.com/2017/07/blog-post.html?showComment=1516250795709#c9054667540693796931

    ReplyDelete