Wednesday, July 5, 2017

වාහනයට පෙට්‍රල් ගැසුවෙමි.

Image result for fuel station

පින්තූරෙ අන්තර් ජාලයෙන් බාගත් එකක්

ලද අත්දැකීමක් වාහන පාවිච්චි කරන කාටත් වැදගත් නිසා මෙතැන ලියන්නට සිතුනා.

එහෙම හිතලා ලියන්න ආවාම කාලෙකින් බ්ලොග් පැත්තෙ නාව නිසා ලියන එක බ්ලොග් එකට ඇතුලු කරන්න කොහොමද මතක් කරගන්නත් ටික වෙලාවක් ගියා.

කථාව මෙහෙමයි.

මම නුගේගොඩ ඉඳන් නාවල පාරේ රාජගිරිය පැත්තට එන ගමන් වාහනයට පෙට්‍රල් ටිකක් ගහගන්න ඕනා වුනා.
එනකොට පාරේ හොඳට පේන්න තියෙන නාවල විවෘත්ත විශ්ව විද්‍යාලය අසල ඉන්ධන පිරවුම් හල දැකලා එතැනට ගියා වැඩේ කරගන්න.

මම ඉන්ධන පොම්පෙ ලඟ වාහනය නවත්තලා පැති වීදුරුව ඇරලා සේවකයාට කිව්වා දෙදාහක ගහන්න කියලා
මිනිහත් කිසි කථාවක් නැතිව පොම්පේ දෙදාහ සටහන් කරලා වාහනේ ඉන්ධන මූඩිය ඇරලා පොම්පෙදාලා පෙට්‍රල් ගැහැව්වා.

ස්වයංක්‍රීය ලීවරය දාලා වීදුරුවෙන් අත දාලා මුදලුත් ගත්තා. මම බිලක් ඉල්ලුව නිසා මිනිහ ටක් ගාලා ගිහින් බිලක් අරන් ඇවිත් හිට ගත්තේ කෙලින්ම මට පොම්පේ වැහෙන ආකාරයට.
එහෙම ඉඳන් මට බිල දික් කරලා මගෙන ඇහුවා මහත්තයා සල්ලි දුන්නද කියලා. (ඒ වචනේ ඇහැව්වෙම මගේ අවධානය ඉවතට ගන්න කියලා මට තේරුනේ පස්සෙයි )

එතකොටම කීක් කීක් කීක් කියල හඬවල් කීපයක් මට සේවකයාට පිටු පසින් ඇහුනා.

මට හොඳින් මතක තිබුනා සේවකයා ඇවිත් හිට ගන්න කොට මීටරයේ කියැවීම තිබුනේ එක් දහස් දෙසීයක පමණ මට්ටමේ.

සේවකයා ජනේලයෙන් ඉවත් වන විට මීටරයේ දෙදාහ වැටිලා පොම්පය නැවතිලා.

වරදක් සිදු වුනු බව මට එක විටම වැටහුනා.

මම සේවකයාගෙන ඇහුවා ඒ මොකක්ද වුනේ දෙදාහක් තෙල් වැදුනේ නැහැ කොහොමද පොම්පෙ නැවතුනේ කියලා.

එතකොට කලබල වුනු ඔහු එක වරම පොම්පයේ බොත්තමක් එබුවා එතකොට මීටරයේ නැවතුනු තැන කියැවීම එක් දහස් හාරසිය හතලිස් පහක් පෙන්නුම් කලා.

එවිට ඔහු වහාම පොම්පෙ නැවතිලා සර්, මම තව පන්සිය පණහක් ගහන්නම් කියලා ආයෙත් අලුතින් පන්සිය පණහක් ගැහැව්වා.

පස්සේ බලන කොට උපක්‍රමය තමයි
අදාල සේවකයා පොම්පේ වහලා සිට ගත්තාම, පිටුපසින් වෙනත් අයෙක් වහාම එහි බොත්තම් ඔබා පොම්පය නවතා එහි දෙදාහක් අගය සටහන් කිරීම.

ඉතින් එය නොදන මම ඉවත්ව ගියා නම් ඔවුන් රුපියල් පන්සිය පණහක අමතර ලාබයක් ලබනවා.

මෙය දැන සිටීම කාටත් වැදගත් නිසා මෙසේ සටහන් කර තිබ්බේ.

ඒත් ඉතින් මම ඒ වන්චාවට එරෙහිව එම සේවකයන් ගැන පාලකයින්ට පැමිණිලි කලේ නම් නැහැ.
එය කල යුතුද නැද්ද යන්න මට ගැටළුවක් වුනු නිසා කරබාගෙන එතැනින් පිටව ආවා.

12 comments:

  1. ස්තුතියි නයනේ මේ අත්දැකීම බෙදාගත්තට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කියැවීමට හා ප්‍රතිචාර දැක්වීමට

      Delete
  2. මේක ගොඩක් තැන් වල වෙනවා. වඩා හොඳයි වාහනයෙන් බැහැලා ඉන්ධන ගන්න එක. ඉන්ධන ගහන කොට පම්ප් එක ඉස්සරහම හිටගන්න.

    ReplyDelete
    Replies
    1. ඉයන්,
      ඔබේ උපදෙස තමයි ක්‍රියාත්මක කල යුතු නිවැරදිම පිළිවෙත.
      අපි කම්මැලි කමට වාහනයෙන් නොබැහැ ඉන්නවා මිනිස්සු ඒකෙන් වාසි ගන්නවා.

      Delete
  3. මේ තැන්වල පැමිණිලි කරන්න අංක තියෙනවා නේද? ඇයි එහෙම නොකරන්නේ. මේ ගැන කිව්වාට හොඳයි. මම කවදාවත් ඔතනට ගිහින් නැහැ. මොකද්දෝ හේතුවක් නිසා යන්න හිතෙන්නෙම නැහැ

    ReplyDelete
    Replies
    1. ඔව් ලිඛිතා
      මමත් මෙතැන නිතර යන තැනක් නෙවෙයි.
      එදා ගියා.
      ඊට කලින් මෙහෙම හදිස්සියට කීයක හරි පෙට්‍රල් ටිකක් ගහ ගන්න දෙතුන් සැරයක් ඔතනට ගිහින් ඇති.
      ඇත්තටම පැමිණිලි කලා නම් ඒ කීප දෙනෙකුගේ රස්සාව අහිමි වෙන්න වුනත් තිබුනා.
      පාරිභෝගික අධිකාරියට පැමිණිලි කලා නම් අයිතිකාරයත් අමාරුවේ.
      මට එහෙම කරන්න හිතුනේ නැහැ.
      ඒත් මම කල වැඩේ ඔවුන්ට අනුබල දීමක් කියලත් කෙනෙකුට කියන්න පුළුවන්

      Delete
  4. Nice post dude. This kind of experience should have been shared with others, though you did not complain with relevant authorities. Better to publish in social media like Facebook page which allows many other people to be informed & aware of similar frauds.

    ReplyDelete
    Replies
    1. yes that's why i thought that i should at least write this here.
      i will think of writhing it on FB
      Thanks

      Delete
  5. මට එහෙම ඔහොම උනා නං සේවකයාටත් ගහලා, උගේ ගෝලයාටත් ගහලා, පොම්පෙත් කඩලා තමයි පස්ස බලන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, හොරකම් නොකර සාධාරනව සොච්චමක් උපයන අපිට ඒ වගේ දෙයක් වුනාම එන ආවේගය එහෙම තමයි.

      ඒත් ඉතින් එහෙම අවේගශීලීවහැසීරුනොත් අපිම තමයි වැරදි කාරයෝ වෙන්නේ.

      මට එවෙලේපාලනාධිකාරියට පැමීලි කරන්න තිබුනා කියන තර්කයනම් මම පිළිගන්නවා.

      එය මා කල යුතුව තිබුනක්.

      Delete
  6. කොළඹ රාජගිරිය – නාවල මාර්ගයේ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්කාරිත්ව ධුරය දරන ඉන්ධන පිරවුම්හලේ පොම්ප සියල්ලට සීල් තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද රාත්‍රියේ (17) පියවර ගනී.

    ඉන්ධනහල්වල පොම්ප යොදා ගනිමින් බවුසර රථවලට භූමිතෙල් පැටවීම නීතිවිරෝධී ක්‍රියාවකි. එම වරද නාවල ඉන්ධන පිරවුම්හලේ සිදු කෙරුණු බව විශේෂ හදිසි වැටලීම් ඒකකය විසින් අනාවරණය කර ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ අවසන් වන තුරු ඉන්ධන පිරවුම්හලේ පොම්පවලට සීල්තැබූ බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියා සිටී.

    ReplyDelete
    Replies
    1. ප්‍රවෘත්තිය දැක්කා, මේ තැනම කල තවත් මෙවැනිම වංචාවක් ගැන ෆේස් බුක් එකේත් ලොකු සංවාදයක් ඇතිවුනා ටික කලකට පෙර.

      Delete