Sunday, July 24, 2016

ලොකු රටක්ද? පුංචි රටක්ද?

ඒ 1999 දී පමණ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාදිපති ධූරය දරණ යුද්ධය දිනපතා මල මිනී කොළඹට එවන යුගයේ දිනක්.
මම කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ මල් වෙළඳ ප්‍රදර්ශනයක ඉබාගාතේ ඇවිදිමින් සිටි වෙලාවක.
බොහෝම වැදගත් පෙනුමක් ඇති වයස්ගත දමිල මහතෙකු අහම්බෙන් මෙන් මා හා කථාවට වැටුනා. ඉතාම ව්‍යක්ත ඉංග්‍රීසි භාවිතයක් තිබූ ඔහු මා හා කථා කලේම ඉංග්‍රීසියෙන්. ඇතැම් විට ඔහු සිංහල බස නොදන්නෙකු විය හැකියැයි මට සිතුනා.
සරළ කතා බහකින් පසු ඔහු රටෙ තත්වය ගැන කථා කරමින්

මේ කොයිතරම් ලස්සන රටක්ද. අපිට ලෝකේ කොහේ හිටියත් මේ රටේදි දැනෙන සතුට ලබන්න බැහැ. ඒත් මේ රටට වෙලා තියෙන අවාසනා වන්ත තත්වය නිසා අපිට මේ රට අත් හරින්නට සිදු වුනා.
මගේ විමසුමට පිළිතුර් දෙමින් ඔහු මගේ ගෙවල් තිබුනේ උතුරේ. අපි ඒ ඔක්කොම අත හැරලා දැම්මා. එහෙ තියෙන අවාසනා වන්ත තත්වයත් එක්ක දරුවෙක් තියා ගන්නේ කොහොමද. දන් මගේ දරුවෝ ඔක්කොම ඉන්නේ කැනඩාවේ. ඒ අය දැන් ලොකු රස්සා කරනව මායි බිරිඳයිත් එහෙ ඉන්නේ  ඒත් අපිට දැනෙන්නේ අපි පිටස්තරයෝ කියලායි කියා ඔහුගේ දිවියේ දුක්බර පැත්ත ගැන නොදන්නා මා හා විවෘත්ත වුනා.
මගේ පිළිතුර වුනේ මේ රටට මේ තත්වය උදා කලේ ජාති බේදයකින් තොරව අපේ රටේ සිටි අවස්ථා වාදී දේශපාලකයින් බවයි. කොටින්ම බොහෝ දේශපාලකයින්ට අක්කරයක ඉඩ ප්‍රමාණයක වුව එය වෙනම රටක් ලෙස පිළිගැනේනම් තමා පිදීමට සැදී පැහැදුන ජනගහනයක් වෙත්නම් ඔවුන් එයට කැමැති බවයි. එසේම සාමාන්‍ය ජනයා වූ අපිට වටින්නේ වඩා විශාල දේශයක පුර වැසියන් වීම පමණයි කියායි.
ඒ ඇසූ ඔහු වික්ශිප්ත වූවා. මාහට පුතා කියා ඇමතූ ඔහු තමා කවුරුන්දැයි දන්නේදැයි මගෙන් විමසා සිටියා. මා මේ කථා කරන්නේ කවරෙකු සමග විය හැකිදැයි මා සිතුවේත් එවිටයි. තමා හඳුන්වා දෙමින් ඔහු.
ඔබ මා දැන සිටීනට ඉඩක් නැහැ. මා දේශපාලනයෙන් සමුගෙන දැන් දීර්ඝ කාලයක් ගත වෙලා. මා දමිල එක්සත් විමුක්ති පෙරමුණ යටතේ අමිර්තලිංගම් මහතාගේ නායකත්වයෙන්  ..... ආසනය නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රී වරයායි (ඔහුගේ නමත් සඳහන් කරමින් අවාසනාවකට මට එය දැන් මතක නැත ) . ඔබ කියන දෙය සම්පූර්ණයෙන්ම ඇත්ත බව මටත් දැන් හිතෙනවා. ඒ මොකද දැන් මම දේශපාලකයෙකු නොවෙයි එක් සාමාන්‍ය පුද්ගලයෙකු පමණක් නිසා. ඇත්තෙන්ම මේ බෙදී වෙන්වීම දේශපාලකයින්ගේ මිස සාමාන්‍ය ජනතාවගේ වුවමනාව නොවෙයි තමයි. ජනතාව ආරක්ෂා කල යුතු අය නිසා ජනතාව විනාශ වෙනවා.
තවත් බොහෝ දේ කතා කරමින් සිට අපි වෙන්ව ගියා. මා ඔහු ජීවිතයට දුටු මුල්ම හා අවසන් අවස්ථාව එයයි.

මගේ මේ අත්දැකීම ගැන ලියන්නට සිත් වුනේ ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ වෛද්‍ය රුවන් විසින් ලියා ඇති වාසවිලාන් ලිපියේ විසල් දමිල ගෘහය ගැන තොරතුරු කියවූ විටයි.


මේ ලිපිය ලියා යම් කාලයක් ගත වුනා. එය පල කිරීමට තරම් උනන්දුවක් ඇති වුනේ නැහැ. ඒත් කමක් නැහැ කියා දැන් පල කරන්නට සිතුවා.

16 comments:

  1. බොහෝ දේශපාලයකයින්ට හා පූජකයින්ට තම පැවැත්ම හා වැඩි දියුණුව සඳහා සාමාන්‍ය මිනිස්සුන්ගේ සිත ඇතුලේ තිබෙන බය සැකය අවිශ්වාසය ඊරිසියාව හා අන්තවාදී අදහස් මතු කරගෙන ඔවුන්ගේ මතයන් හෝ ඇජෙන්ඩාවන් ඒවාට ආරෝපණය කිරීම අවශ්‍යයි. ඒක පටන් ගන්න විතරයි ඕනෙ මිනිස්සු ඊට පස්සෙ ඒක ගෙනියනවා තමන්ගේ අදහසක් අවශ්‍යතාවයක් විදිහට

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++

      අමුවෙන්ම කියනවනම් රෙද්ද දුන්නම මිමි වලට කපලා මහලා ඇඳගන්නවා ටොප් එකට ප්‍ර !!!

      Delete
    2. // බොහෝ දේශපාලයකයින්ට හා පූජකයින්ට //

      ඉහත කොහෝට් එකට එකෙන් ම අයිති වන සින්හල බ්ලොග් කාරයන් ව හිතා මතා හලා දැමීම ගැන ස ර ස තුමා ගේ බලවත් අප්‍රසාදය!

      Delete
    3. ඔව් ප්‍රා ජේ, මේක දේශපාලකයෝ පූජකයෝ විතරක් නෙවෙයි අඩු වැඩි වශයෙන් සමස්ත ප්‍රජාවම මේ වගේ අනුන්ගේ දුර්වලතා වලින් තමන් ගේ වාසිය සදා ගැනීම් කරනවා.
      රාජකාරි ස්ථානයක අභ්‍යන්තර කපා ගැනිම් ගැන සිතන්න.
      ඒත් පුළුල් සමාජයක, රටක මේ දේ වන විට එය පැහැදිලිව පෙනෙන්නවා ඒ ඊට ගොදුරු වන පිරිස වඩා පුළුල් නිසා.

      මිනිස්සු කපලා මහලා ඇඳගැනීම වගේම, හැකි හැම විටම අනෙකාට ඇන්දවීමත් මිනිස් ස්වභාවයම තමයි.

      Delete
    4. සරස තුමා කියපු කාරනේ නම් මට වැටහුනේ නැහැ වගෙයි ...

      Delete
    5. ස රස, බ්ලොග්කාරයොත් ට්‍රයි කරනවා ඇති. ඒත් කවුද ඇඳගන්නෙ?

      Delete
    6. ප්‍රා ජේගේ කථාව හරි, බ්ලොග් කාරයෝ කොයි තරම් ට්‍රයි කලත් කවුරුවත් ඇඳගන්නේ නැහැ. හැබැයි පූජකයෙක් හරි දේශපාළුවෙක් හරි කිව්වොත් රෙද්ද දෙන්න ඉස්සෙල්ලා උදුරලා අරගෙන කපල මහලා ඇඳගන්නේ.

      Delete
  2. ඔහුගේ නම අමතක විීම නං ලොකු පාඩුවක් නෙද නයනේ...
    විවෘත්තව ලෝකය දිහ බලන්න පුලුවන් මිනිස්සු හරි අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මහේශ් ඒ වගේ මිනිසෙකුගේ නම අමතක වීම නම් මගේ අතින් සිදු වුනු බරපතල වරදක්.
      හැබැයි ඔහු දේශපාලකයෙකුගේ භූමිකාවෙන් මිදී ලෝකය දෙස බැලුවේ හෝ ඔහුට බැලුනේ මගේ ප්‍රකාෂය නිසා බවයි මට නම් සිතුනේ.

      Delete
  3. ලිව්වා එක හොඳයි. එවැනි කතා කිහිපයක්ම මම දන්නවා.

    ReplyDelete
  4. ඔබ මගේ ලිපි වලට නිරතුරු ප්‍රතිචාර දක්වතත් ඔබගේ බ්ලොගයට පැමිණීමට කල් ගත වීම ගැන සමාව අයදිමි. වෙනම රටක් හෝ බලය බෙදීමක් ඉල්ලා සිටින්නේ දේශපාලකයින් බව කීම හරියටම හරි. මෙයට හොඳ පිළිතුරක් අගමැති තුමා කියා තිබුණා. එනම් බලය ගම් දෙක තුනක් ඇතුලත් ග්‍රාම රාජ්‍ය වලට බෙදා දිය යුතු බව. ගම් දෙක තුනේ කුඩා ඒකක වෙන්වීමට හැකියාවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉයන් ඔබ සැමගේම ප්‍රථිචාර මම අගය කරනවා. මා ඔබේ ලිපිවලට ප්‍රතිචාර දැමූ පමණින් එය ඔබේ වගකීමක් වන්නේ නැහැ. මා ලියන දේ වැදගත් බවක් ඔබ දකිනවානම් ඔබේ ප්‍රතිචාරය නිතැතින්ම ඔබෙන් මතුවේවි.
      ඔව් බලය විමධ්‍යගත කිරීම ඉතා වැදගත් ක්‍රියාවක් ඒත් අපි මේ කථාව අසන කී වැනි රාජ්‍ය නායකයාද වත්මන් අගමැති?

      දේශපාලකයින්ට අවශ්‍ය වුවත්, අපේ රාජ්‍ය නිළධාරී පැලැන්තිය මීට එකඟ නැහැ. මේ නිළධාරීන්ට ජාතියක් නැහැ උපතින් ජාතිය මොකක් වුවත් නිළය ලද බොහෝ දෙනෙකුගේ හැසිරීම එහෙම තමයි

      Delete
  5. මාතලන් එදා ඉඳලම ඉන්නේ දෙමළ ජනතාවටම වෙන් උන වෙනම ප්‍රශ්න නෑ කියන ස්ථාවරයේ... ප්‍රශ්ණ තියෙනවා මිනිස්සුන්ට ජාති බේදයක් නොමැතිව.. ඒත් මේ කාළකන්නි දේශපාලුවෝ ගාව ඒවට උත්තර නෑ... ඒ නිසා උන් කරන්නේ කවදාවත් හදන්න බැරි සංහිදියාවක් ගැන බයිලා ගහනවා... අපි පොඩි කාළේ ඔය සංහිදියාව අගේට තිබුනා... යුද්ධ ඇති කලේ කාලකන්නි දෙශපාලුවෝ...

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන්, මෙතැනදී මම ඔබේ අදහස සමග හොඳින්ම එකඟයි.
      හැබැයි දේශපාලුවෝ ගාව ඒවට උත්තර නැහැ නෙවෙයි.උන් වුවමනාවෙන්ම උත්තර මග හරිනවා. අන්න එවිටයි උන්ගේ පැවැත්ම තහවුරුවන්නේ.
      එතකොට අපි උන් කියන කථාවලට හුරේ දමමින් ගිහින් ඡන්දය දෙනවා. (දෙමළාත් සිංහලයාත්, යෝනකයාත් අනෙක් උනුත් මෙහෙමම තමයි )

      Delete
  6. හ්ම් ! එතුමා ක්‍රියාකාරී දේශපාලනයේ සිටියේ නම් ඔය ස්වයංවිවේචනය කිසිසේත්ම නොකිරීමට ඉඩ තිබිණි.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම කනිෂ්ක, ඔහු කලේ ස්වයං විවේචනයක් නොවෙයි. මා කී දේ තුලින් ඔහු ඒ මොහොතේදී නෙත් විවර කර බැලීමක් පමණයි. ඊ ලඟ මොහොතේදී ඒ දැක්ම ඔහු තුල තිබුනාදැයි කියාවත් මා දන්නේ නැහැ.

      Delete