Sunday, May 8, 2016

වැට් බද්ද නිසා කාලා හමාරද?




ව්‍යාපාර පිරිවැටුම් බද්ද ඇතුළු තවත් බොහෝමයක් වූ බදු එකම බදු ක්‍රමයකට යටත් කිරීමටත් බදු ක්‍රමය වඩාත් සරල හා ඍජු කිරීමටත් කලකට පෙර හඳුන්වා දුන් වැට් බද්ද ඇත්තෙන්ම පසු ගිය කාලයේ භාවිතා වූයේ එම අරමුනින්මද යන්න විමසා බැලිය යුතු කාලය පැමිණ ඇතැයි සිතමි.
එහෙත් මේ බදු ක්‍රම ඇතුළු ආර්ථික කරුනු විග්‍රහ කිරීමට මා ආර්තික විශය පිළිබඳ විශේෂ්ඥ දැනුමක් ලද්දෙකු නොවන බව කල් තියා කීම වඩා යෝග්‍යය. මේ කරුන ගැන මා සාකච්චාවට එළැඹෙන්නේ රටේ ආර්ථික ප්‍රවාහය තුල ගැවසෙන තවත් එක් හුදී ජනයෙකු ලෙස පමණි.

වැට් බදු ක්‍රමය සමස්ථ රටේ ආර්ථිකය පාලනය කිරීමට රජයක් සතු අපූරු මෙහෙයුම් පද්ධතියකි. මේ ක්‍රමය තුළින් රටේ බොහෝ කුඩා වෙළඳ සැල දක්වා රජයට බදු එකතු කිරීමේ මධ්‍යස්ථාන බවට අමතර පිරිවැයකින් තොරව පත්කර ගත හැකි සංකල්පයකි. එමගින් රටේ ආර්ථිකය තුල සංසරණය වන භාණ්ඩයක් හෝ සේවාවක් එය උපන් තැනදි තිබූ අගයෙහි සිට අවසානයෙහි පරිභෝජනය කොට අවසන් වනතෙක් පියවරින් පියවර අගය එකතුවීමක් වන සෑම අවස්ථාවකදීම එම එකතු වූ අගයට සමාන්තර වූ බදු කොටසක් රජය වෙත බදු ගෙවන්නා විසින්ම ගනනය කොට ගෙවා දමන අපූරු සංකල්පයකි.
මෙහිදී ඉතාම කුඩා ව්‍යාපාරික කොටස අවසන් පරිභෝජනයට සමාන කොට නොතකා හැරීම මගින් සමාජයේ පහළම ස්ථරයේ බදු අත් හැර දැමීමක් වර්ථමානයෙහි සිදු කරනු ලබයි.
මෙය බැලූ බැල්මට ඉතා සමාජ හිතවාදී පියවරකි. දුප්පතුන්ට කරනා සහනයකි. එහෙත් ඇත්තෙන්ම එය එසේද?

ව්‍යාපාරිකයන්හට වැට් බද්දෙහි බලපෑම..

වැට් බද්දෙහි සාකච්චාවට ගත යුතුම තැන එතැනයි. මෙයට වසර කිහිපයකට පෙර රජය විසින් මාසික පිරිවැටුම රු ලක්ෂ 15 නොඉක්මවන ව්‍යාපාර වැට් බදු සඳහා ලියපදිංචි කිරීමෙන් මුදා හැරිණි (මුදා හැරිණි කීවාට වඩා ලියාපදිංචිය තහනම් කෙරිනි කීම වඩා යෝග්‍ය වේ ). මේ තීරණය එවකට සිටි කුප්‍රකට මුදල් ලේකම් වරයාගේ ඍජු අවශ්‍යතාවය මත සිදුවූ බවට කථා පැවතිනි. එහි සත්‍ය අසත්‍යතාවය කීමට අපි නොදනිමු. එහෙත් එහි ප්‍රථිපලය පිළිබඳ විමසා බැලීමට අපට අයිතියක් ඇත.
මේ තීරනය නිසා පිරිවැටුම ලක්ෂ 15 නොඉක්මවන කුඩා ව්‍යාපාරයන් මින් මතුවට ක්‍රමයෙන් වැඩී විසල් ව්‍යාපාරවලට අභියෝග කරන්නන් බවට පත් වීමේ අභියෝගය විසල් ව්‍යාපාරිකයන්හට ස්ථාවරව විසඳා දීමක් සිදු විය.

ඒ අනුව කුඩා ව්‍යාපාරිකයන්හට තමන් වැට් ගෙවීමක් කලද එය නැවත අයකරගත නොහැකි අතර තමන්ගේ පාරිභෝගිකයා වැට ලියාපදිංචි අයෙකු වුවත් ඔහුගෙන් වැට් අයකරගැනීමේ හැකියාවෙන් නෙරපා හැරීමක් සිදුවිය.
එම නිසා වැට් බද්ද භාණ්ඩ වල මිලට අතුලත් කර බිල් නිකුත් කරන කුඩා ව්‍යාපාරිකයා වෙනුවට විසල් ව්‍යාපාරිකයින් සැමවිටම වැට් බද්ද වෙනම අයකරගැනීමට සමත් අයම තමන්ගේ සැපයුම් කරුවන් ලෙස තෝරා ගන්නා ලදී. එමගින් කුඩා ව්යාපාරිකයන්හට තිබූ අවස්තාද බිඳ හෙලීම මගින් ඔවුන් කිසිදාක අපේක්ෂිත 15 ලක්ශයේ පිරිවැටුම් සීමාව ලඟා කර නොගැනීම මගින් සදා කුඩා ව්‍යාපාරිකයෙකුගේ මට්ටමට පහත හෙලන ලදී.
යම් කිසි ව්‍යාපාරිකයෙකු උපරිම වෙහෙස වී 15 ලක්ෂයේ පිරිවැටුම් සීමා ලඟා කර ගෙන වැට් සඳහා ලියා පදිංචි වූවානම්, එතැන් සිට ඔහු කරනු ලබන සෑම අලවි කිරීමකදීම 15% ක වැට් බද්දක් රජයට ගෙවිය යුතු වේ. මෙහි වරදක් නැත ක්‍රමය එයයි. එහෙත් ලියාපදිංචියට පෙර එම ව්‍යාපාරිකයා ආනයනය කල යම් තොගයක් වෙයි නම් ඔහු එයට දැනටමත් ගෙවා ඇති වැට් බදු මුදල නැවත අය කර ගැනීමට ඉඩක් නොලැබේ. එම භාණ්ඩ වැට් බදු නොගෙවා ලබා ගත් භාණ්ඩ ලෙස රජය විසින් සලකනු ලබයි. එවිට මෙම තොග වලින් කරනු ලබන වෙළඳාම සඳහා අලුතින් 15% ක් ගෙවීමට සිදු වීමේන් සමස්තයක් ලෙස මෙම තොගයට 30%ක වැට් බද්දක් ගෙවීමට සිදු වේ.
අපට පිළිගත හැකි සීමාව තුල කිසිදු ආනයන කරුවෙකු 30% ක් තරම් අධික ලාභ කොටසක් තම ආනයන මත නො පටවයි. එම නිසා අළුතින් වැට් බදු සඳහා දායක වන ව්‍යාපාරිකයෙකු දැනට තමන් සතු සමස්ත (නොවිකුනා ඇති ) ආනයනිත තොග සඳහා 30% ක වැට් මුදලක් රජයට ගෙවීමට සිදු වේ. මෙවන් වූ අලාභයක් සහිතව ව්‍යාපාරයක් කරගෙන යෑම කොතරම් දුරකට ප්‍රායෝගිකදයි ඕනෑම අයෙකුට වැටහෙනු ඇත.
අවසන් ප්‍රතිපලය වන්නේ වැට් සීමාවට පැමිණි ආනයන කරුද හැකි තුරුම්පුවක් ගසා වැට් ලියා පදිංචි වීමෙන් වැලකී තම ව්‍යාපාරය සුළුවෙන් කරගෙන යෑමට උනන්දු වීමයි.
මෙමගින් නියත ලෙසම වැඩි දියුනු විය හැකි සුළු ව්‍යාපාර වැඩි දියුනු වීමට ඉඩ අහුරා මැඩ පැවැතවීමක් සිදු කෙරේ.

මෙය පැහැදිලිවම කුමන්ත්‍රනයකි. එහි ප්‍රථිපලය සාමාන්‍ය ජනයා අතර මුදල් ගැවසීම දුර්වල වී, සමස්ත ආර්ථිකයම නිසල වී එක තැන පල් වන ස්වරූපයක් ඇති වීමයි. රටේ කොතරම් විසල් ව්යාපෘති ක්‍රියාත්මක වූවද ජනතාව අත මුදල් නොගැවසෙන බවට වූ චෝදනාවට මෙය එක් ප්‍රභල සාධකයක් විය හැකිය.

ඒ සියල්ල අතරේ වත්මන් රජය විසින් එම බදු සඳහා වූ පිරිවැටුම් සීමාව ලක්ෂ 15 සිට 10 දක්වා අඩු කිරීමක් මෑතක සිදුවූ වැට් සංශෙධනය හරහා ගෙන ඒමෙන් මදක් ඉදිරි පියවරක් තබා ඇති බවක් පෙනේ. එහෙත් මෙය කලින් පහර දී පා දෙකම බිඳ දමා සිටි එකෙකුට කිහිලි කරුවක් දීමක් වැන්නකි. දැන් කිහිලි කරුවෙන් පලක් නැත දිය යුත්තේ රෝද පුටුවකි.
එනම් වැට් සඳහා වූ පිවැටුම් සීමාව මසකට ලක්ෂ 5 දක්වා පහත හෙලිය යුතුය. එසේම ඕනෑම ආනයන කරුවෙකුට තම අභිමතය පරිදි වැට් සඳහා ලියා පදිංචි වීමේ අවස්ථාව උදා කර දිය යුතුය. ඒ මගින් අති විශාල ලෙස වැඩි වන වැට් ලිපිගොනු තොගය කලමනාකරණය කිරීම රජයට අවාසියක් වන බැවින් යම් වැට් ලියා පදිංචි සමාගමක් හෝ ආනයන කරුවෙකු අවම පිරිවැටුම් සීමාව වූ ලක්ෂ 5 පවත්වා නොගන්නා විටකදී වැට් බදු කලමනාකරන ගාස්තුවක් රජයට අයකර ගත හැකිය.

මේ මගින් රටේ සෑම පුර වැසියෙකුටම ව්යාපාර ලෝකය තුලදී සමාන අවස්තා ලබා දිය හැකි අතර, රජයේ බදු එකතු කිරීම් වඩා පහත මට්ටමකදී අමතර පිරිවැයකින් තෝරව කර ගත හැකි වනු ඇත. සියළු ලොකු කුඩා සමාගම් එකම බදු චක්‍රයක් තුල ක්‍රියාත්මක වීමෙන් බදු ක්‍රමය මෙන්ම රටේ මුදල් සංසරනයද වඩා ක්‍රමවත් හා සෞඛ්‍ය සම්පන්න වනු ඇත.



5 comments:

  1. කරුණාකර, ෆලොවර්ස් ගැජට්එක එකතු කරන්න. කියවන්නන්ට පහසුවක්.

    ReplyDelete
  2. නියමායි ඔහොම යං

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අටම්පහුර,
      මේ වගේ වචනයකුත් හයියක්

      Delete
  3. ///මේ මගින් රටේ සෑම පුර වැසියෙකුටම ව්යාපාර ලෝකය තුලදී සමාන අවස්තා ලබා දිය හැකි ///

    ReplyDelete
    Replies
    1. ඔව් මා එසේ විශ්වාස කරනවා.
      ස්තුතියි ඔබෙ ප්‍රතිචාරයට

      Delete